සාගරය යනු සීමාවක් නැති පාපයයි

මේ දිනවල සුළඟ හරිම සැරයි. සුළෙඟ් වේගයට ගස්වල අතු එකිනෙක ගැටිලා ගස්වල තිබෙන වියළි කොළ පමණක් නොවේ, ළපටි කොළත් වැලි මළුවට වැටෙනවා. පරිසරයේ වායෝ ධාතුව කිපෙනකොට, පරිසරයේම සාමාජිකයන් වෙන ගස් වැල් ද, මනුෂ්‍ය අපි ද පීඩාවන්ට ලක්වෙනවා. පරිසරයේ වායෝ ධාතුව කිපීම නිසා, මනුෂ්‍ය අපිත් පීඩාවන්ට ලක්වෙන්නේ, අතීත සංසාරයේ අපිත් සුළඟට අධිගෘහිත සුළං වළාහක දෙවියන්ව ඉපදිලා කාමච්ඡන්දයන් විඳින්න, වායෝ ධාතුව කිපීමට, වේගවත්භාවයන්ට පත්කිරීමේ අකුසල් විපාකයන් නිසාමයි කියලයි භික්ෂුවට සිතෙන්නේ.

සුළඟ ගැන සිතත්දිත්, අව්ව, වැස්ස, පින්න, සීතල, හිම, කාන්තාර ගැන සිතත්දී, භවයේ මොනතරම් නම් නවාතැන්පළවල් තිබෙනවා ද? තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවය කියන ධර්මතාවය තුළ, මෙවැනි කාම භවයන්හි අපි කොතෙක් නම් අව්, වැසි, සුළං උපාදානය කොටගෙන ජීවත් වෙන්න ඇති ද? තෘෂ්ණාවේ මහා සාගරය නොසිඳී තිබෙනතාක්කල් උපාදානයේ රැළි භවයට ගොඩ ගහනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබ ඔය ඇසින් දකින මහා සාගරය කියන්නේ, මහ පොළොවෙන් හතරෙන් තුනක්ම වසාගෙන තිබෙන දිය කඳක් පමණක්මය කියලා. මේ මහා සාගරය නමැති දිය කඳට, සීමාවක්, මායිමක් තිබෙනවා කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සීමාවක්, මායිමක් නොමැති කාමභව, රූපීභව, අරූපී භවයන් දක්වා පැතිරුණු භව සාගරය සැබෑම මහා සාගරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබේ ඇස කියන්නේ මුහුදක්, ඇස නිසා සකස්වෙන ඵස්සය ඉවසීමෙන්, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීමෙන්, ජාති, ජරා, ව්‍යාධි, මරණ නමැති සැඩ මසුන්ගෙන්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස නමැති චණ්ඩ උවදුරු වලින් ගහන වූ භව සාගරයට ඔබ වැටෙනවාය කියලා.

කන, නාසය, දිව, ශරීරය, මනස කියන්නේ මහ මුහුදක්. පිංවත් ඔබ මේ සළායතනයන්ගේ ඵස්සය ඉවසනවා නම්, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරනවා නම්, ජාති, ජරා, ව්‍යාධි, මරණ නමැති සැඩ මසුන්ගේ ග්‍රහණයන්ට, පරක් තෙරක් නොපෙනෙන කල්ප ගණන් දීර්ඝ, සීමාවක්, මායිමක් නොමැති, භවාත්‍රය නමැති මහ මුහුදට වැටෙනවාය කියලා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ පිංවත් සත්පුරුෂ ඔබට, මේ මහා සාගරයෙන් එතෙරවීමේ මාර්ගය දේශනා කිරීමටයි. පිංවත් ඔබ මේ මහා භව සාගරය තරණය කිරීමට නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස නිසා, කන නිසා, සකස්වෙන ඵස්සය ඉවසන්න එපාය කියලා. නිරතුරුවම ඵස්සයේ අනිත්‍යභාවය දකින්නය කියලා. ඵස්සයේ අනිත්‍යභාවය දකින පිංවතා, ඇසේ ඵස්සය යනු ඇසත්, බාහිර රූපයත්, විඤ්ඤාණයෙත් එකතුවක් බව දකින පින්වතා, ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සැඩ මසුන් සහිත මහා සාගරය තරණය කළාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

කැලෑ පරිසරයේ සුළෙඟ් වේගය තවමත් අඩුවෙලා නැහැ. විවෘතකොට තිබූ කුටියේ ජනේල කවුළුව භික්ෂුව වසා දැම්මේ, කුටිය ඇතුලේ සීතල ගතිය වැඩි නිසා. මේ දවස්වල සෙම්ප්‍රතිශ්‍යාවක්, කැස්සක් හදාගන්න භික්ෂුව හරිම අකමැතියි. උදෑසනට ගමට පිණ්ඩපාතයේ වැඩියහම උදෑසන පීනස් ගතිය නිසා හෝ කිඹුහුමක් ගියොත් ගමේ පිංවතුන් බයවෙන්න පුළුවන්, භික්ෂුවට කොරෝනා රෝගය ද දන්නේ නැහැ කියලා. තවත් පිංවතෙකුට කිඹුහුමක් ගියත් මරණ බිය ඇතිකොට ගන්න සමාජයක්, අපි ඉදිරියේ ඇති වී තිබෙන්නේ, අපි සැක නොකළ යුත්තක්, සැක කිරීමේ අකුසල් විපාකයන් නිසාමයි කියලා භික්ෂුවට සිතෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සෙල්ලමට ආශා කරන පුංචි දරුවන් සිටිනවා. මෙම දරුවන් සෙල්ලම් ගෙවල් හදාගෙන, සෙල්ලම් අම්මා, තාත්තා වෙලා, සෙල්ලම් බත් උයනවා. පොල් පිත්තෙන් හරකෙක් කපාගෙන කිරි දොවනවා. පුංචි දරුවෝ සෙල්ලම් ගෙවල් කෙරෙහි කැමැත්ත, බැඳීම, ආශ්වාදය නිසාමයි, ළමා කාලයේ සෙල්ලම් ගෙවල් උපාදානය කොටගෙන ජීවත් වෙන්නේ. සෙල්ලම් ගෙවල් කෙරෙහි තෘෂ්ණාව තිබෙන තාක්කල්, දරුවන් සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් මගේ කොටගෙන, මගේ ආත්මය කොටගෙන එම කුඩා දරුවන් සෙල්ලම් කරනවා.

නමුත් එම ළමුන් ලොකු මහත් වෙත්දී, සෙල්ලම් ගෙවල් කෙරෙහි, සෙල්ලම් බඩු කෙරෙහි කැමැත්ත පහව ගියාට පසුව, ආශාව, ආශ්වාදය පහව ගියාට පසුව, එම දරුවන් විසින්ම එම සෙල්ලම් ගෙවල් කඩා බිඳ දමනවා. නැවත පාවිච්චියට ගන්න බැරි තත්ත්වයටම පත්කොට දානවා. දරුවෝ මෙහෙම කරන්නේ, දරුවන්ට කවුරුවත් කියලා නොවේ. දරුවන් තුළින් සෙල්ලම් ගෙවල් කෙරෙහි තෘෂ්ණාව පහවගිය නිසාමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දරුවන් සෙල්ලම් ගෙවල් කෙරෙහි තෘෂ්ණාව පහව ගියාට පසුව, තමන් විසින්ම එම සෙල්ලම් ගෙවල් සුණුවිසුණු කොට දමනවා වගේ, ඔබේ රූපයත් නැවත හට නොගන්නා ආකාරයට සුණුවිසුණු කොට දමන්නය කියලා.

පිංවත් ඔබ දෑස්දෙක පියාගෙන දකින්නකෝ, අපි අතීතයේ, වර්තමානයේ මේ රූපය උපයෝගී කොටගෙන, මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස උපයෝගී කොටගෙන මොනතරම් නම් චක්ඛු විඤ්ඤාණය, ශ්‍රෝත විඤ්ඤාණය ආදී වූ සෙල්ලම් ගෙවල් හදා තිබෙනවා ද කියලා. පිංවත් ඔබ ආශ්වාදයේ තෘෂ්ණාවෙන් බැඳිලා හැදූ සෑම සෙල්ලම් ගෙයක්ම, අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ සෙල්ලම් ගෙදරක් නේද කියලා පිංවත් ඔබට දැන් වැටහෙනවා නේද?

මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය යටකොටගෙන ජරා, ව්‍යාධි, මරණ ආදීනවයන් මතුවෙලා එන, රූපය සමග තවදුරටත් රූපලාවණ්‍යයෙන්, ක්‍රීඩාවෙන්, ව්‍යායාමයෙන් ඔය රූපය සමග, රූපය ඇසුරෙන් සකස්වෙන පංච උපාදානස්කන්ධය සමග සෙල්ලම් ගෙවල් හදන්න යන්න එපා. මේ දීර්ඝ පටිච්චසමුප්පන්න භව ගමනේදී, කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගණනක්, භවාත්‍රයේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සතර අපායේ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරපු ගොරහැඬි වැඩිහිටියෝ අපි.

භවාත්‍රයේ දිග, පළල පිළිබඳව නිරතුරුවම අපිට කොළය වසා පෙන්වන, අපේ අවිද්‍යාවේ අන්ධභාවය නිසා අපි ද නිරවුල්ව නොදකින, පංච උපාදානස්කන්ධ මාරයා, පුංචි දරුවාව හඳුන්වන්නේ පුංචි බබා කියලා. භික්ෂුව දෑස් දෙක පියාගෙන මොහොතක් දකිනවා, පුංචි බබෙක් කියන්නේ, අතීත භවාත්‍රයේ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගණනින් වයෝවෘද්ධ පටිච්චසමුප්පන්න සත්ත්වයෙක්ය කියලා. එම නිසා ලොකු, කුඩා අපි සැවොම නාකි බබ්බු කියලයි ධර්මානුකූලව භික්ෂුව හඳුන්වන්නේ.

පිංවත් ඔබ තවදුරටත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ සෙල්ලම් ගෙවල් හදාගෙන, මම ලස්සනයි, මම තරුණයි, මම නිරෝගියි කියන නිත්‍ය, සුභ, ආත්මීය සංඥාවන් තුළ නොව අසුභය, පිළිකුල් සංඥාවන් තුළ විසිරුවා දකින්න. කායානුපස්සනාව තුළ විසුරුවා දකින්න. ආයෙමත් නිත්‍ය සංඥාවෙන් සෙල්ලම් නොකරන උපාදානය නිරෝධය වූ රූපයක් බවට ඔබේ රූපය පත්කොට ගන්න.

කුඩා දරුවන් සෙල්ලම් ගෙවල් කෙරෙහි තෘෂ්ණාව පහව ගියාට පසුව, සෙල්ලම් ගෙවල් කඩා බිඳ දමනවා සේම වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සංඥාවෙන් දකිමින් කඩාබිඳ දමන්න. ආදීනවය දකිමින් නිස්සරණය මතුකොට ගන්න.

තවදුරටත් අනිත්‍ය වූ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ සෙල්ලම් ගෙවල්වල අනිත්‍ය වූ ආශ්වාදයට බැඳෙමින් කාලය කා දමන්න එපා. කුඩා දරුවෙක් සෙල්ලම් ගෙවල් කෙරෙහි ආශාව පහව ගියාට පසුව, සෙල්ලම් ගෙවල් විනාශකොට දමනවා සේ, අතීත, වර්තමාන, අනාගත පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව විනාශකොට දමන්න, විසිරුවා දමන්න. පංච උපාදානස්කන්ධ මාරයා, මහා මන්දිරයේ ගෑස් ලිපේ ඉදෙන බාස්මතී බත් මුට්ටියෙනුත්, කුඩා දරුවා සෙල්ලම් ගෙදර පොල් කට්ටේ උයන බත් මුට්ටියෙනුත් එක හා සමානව සංස්කාර වලින්ම කප්පම් ගන්නවා. සංස්කාර නමැති කප්පම් වලින්මයි අපි භවාත්‍රයේ දිව්‍ය, මනුෂ්‍ය සුන්දර සෙල්ලම් ගෙවල් වගේම, සතර අපායේ අසුන්දර සෙල්ලම් ගෙවල් ද අපි නැවත, නැවත ඉදිකොට ගන්නේ. රූපාවචර සහ අරූපාවචර භවයන්හි දී අපි හදන සෙල්ලම් ගෙවල්වල අපි කාමච්ඡන්දයන් පිනවන සෙල්ලම් නොවේ, අපි කරන්නේ. එදාට අපේ සෙල්ලම වෙන්නේ සමාධියේ, වේදනාවේ ආශ්වාදයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, විදර්ශනාවෙන් පෝෂණය නොවූ සමාධිය ද මාරයාගේම සෙල්ලමක්ය කියලා.

ලෞකික සමාධියේ දී පිංවත් ඔබ මාරයාගේ දෑස් අන්ධ කළත්, මාරයාගේ කන් බිහිරි කොට, දෑත් දෙපා විලංගු දමා නැහැ. කාම, රාග, පටිඝයන් නිරෝධය කළ, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින, විදර්ශනාමය සමාධියේ දී පමණක්මයි පිංවත් ඔබ මාරයාව විසිරුවා දැම්මා වෙන්නේ, පරාජය කොට දැම්මා වෙන්නේ, නැවත භවාත්‍රයේ උපාදානයේ ලී කෝටු වලින් හදන සෙල්ලම් ගෙවල් නැවත හටනොගන්නම කඩා බිඳ දැම්මා වෙන්නේ.

දබ්බමල්ලපුත්ත පුංචි ස්වාමීන් වහන්සේ, සෝපාක පුංචි ස්වාමීන් වහන්සේ, චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ පුංචි වයසේදීම, අතීත සංසාරය පුරාවට බැඳීගිය සෙල්ලම් ගෙවල් තෘෂ්ණාව, නැවත හට නොගන්නම විනාශ කොට දමා, උපාදානය නිවීගිය තමන්ගේම පටිච්චසමුප්පන්න නාමරූප කුටියේ, සිත තැන්පත් කොට ගත්තේ, තවමත් කුටි හොය, හොයා ඇවිදින, තවමත් සංස්කාර නමැති ගඩොලින් භවාත්‍රයේ බිත්ති බඳින, පංච උපාදානස්කන්ධ සෙල්ලම් ගෙවල් කෙරෙහි, පහ නොකළ රාග ඇති, ද්වේශ, මෝහ ඇති අපිට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ මාර සෙල්ලම් ගැන, මාරයාගේ කප්පම් උපයන සෙල්ලම් ගැන පුංචිකමට, වැඩිහිටි අපි වටිනා ආදර්ශයක් දෙමින්, පිංවත් ඔබ මේ මොහොතේ පටන්, මෙතෙක් ගොඩනැගූ අනාගත භව සෙල්ලම් ගෙවල්වල සංස්කාර නමැති ගඩොල් බිත්ති විදර්ශනා නුවණින්, ගඩොලින් ගඩොල ගලවා දමන්න, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, විඤ්ඤාණයේ පැවැත්මට ගොදුරුබිම වෙන්නේ රූපයයි කියලා. රූපය ඇසුරේමයි විඤ්ඤාණය ගොදුරු සොයන්නේ. වේදනාව, සංඥාව, සංස්කාර ද විඤ්ඤාණයේ පැවැත්මට, වැඩීමට, විපුලභාවයට පැමිණීමට ගොදුරු සොයන සරුසාර ගොදුරු බිම්මයි. පිංවත් ඔබ රූප, වේදනා, සංඥා සහ සංස්කාර ධර්මයන් කෙරෙහි යම් රාගයක්, යම් ද්වේශයක්, යම් මෝහයක් තිබේ ද, යම් අවිද්‍යාවක් තිබේ ද ඒවා සහමුලින්ම විනාශ කොට දමා නම් වැඩ සිටින්නේ, පටිච්චසමුප්පන්න උපාදානය නිරෝධය වූ විඤ්ඤාණයට ඉතිරි වී තිබෙන්නේ එම උත්තමයා පිරිනිවී යන මොහොතේ තමා තුළින්ම නිවීයැම පමණක්මයි.