තෙරුවන කෙරෙහි සැක උපදවන සිතුවිලි බැහැර කරන්න

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සද්ධර්මයට දායාද වෙන්න, ශීලයට, සමාධියට, ප්‍රඥාවට, ඥානදර්ශනයන්ට, විමුක්තියට දායාද වෙන්න කියලා. ඔබලාගේ ශාස්තෘන් වහන්සේ උතුම් නිකෙලෙස් විවේකයෙන් ගතකරත්දී මාගේ ශ්‍රාවකයන් වන ඔබලා අවිවේකයෙන් නොහික්මෙන්න එපාය කියලා. උතුම් සංඝ සමාජයේ අපිට රට, ජාතිය, ආගම, පන්සල, ආරණ්‍යය, සමාජ වගකීම්, මේවා නිසා විවේකය ගොඩාක් අඩුයි. මේ දවස්වල කොරෝනා ඇඳිරි නීතිය නිසා, ලොකු විවේකයක් අපිට ලැබිලා තිබෙනවා. නමුත් ඒ විවේකයත් අපි ගත කරන්නේ, මරණ බියෙන් නම්, රෝග බියෙන් නම්, සැකය විසිරුණු සිතින් නම්, කොරෝනාව නිසා අපිට ලැබුණු විවේකයත්, ධර්මානුකූලව කෙලෙස් වඩන අවිවේකයක්මයි.

ධර්මානුකූලව අපි විවේකයක් ලැබුවාය කියන්නේ, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ච, විචිකිච්චා පංච නීවරණ ධර්මයන්ගෙන් තාවකාලිකව හෝ මිදී, සම්මා සමාධිමත් සිතින් වාසය කිරීමයි. අපි දවසේ පැය විසි හතරම, කුටියට වෙලා විවේකීව, කාම සිතුවිලි වඩනවා නම්, ද්වේශ සිතුවිලි වඩනවා නම්, ලෝභ සිතුවිලි වඩනවා නම්, අපේ ජීවිත අන්ත අවිවේකී ජීවිතයකි. පිංවත් ඔබ ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ඔස්සේ තෘෂ්ණාව පෝෂණය කරන මොහොතක් පාසාම, තෘෂ්ණාව හේතුවෙන් උපාදානය ද, උපාදානය හේතුවෙන් භවය ද, ඔබ තුළින්ම පටිච්චසමුප්පන්නව පෝෂණය කරනවා. ඔබ විවේකයෙන් කුටියේ සිටියාට තෘෂ්ණාවෙන් නිත්‍ය, සැප, සුබ, ආත්මීය සංඥාවෙන්, යම් රූපයක්, විඳීමක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණ ධර්මයන් අල්ලා ගන්නා මොහොතේදී, ඔබ භවයට දුවමිනුයි සිටින්නේ. ඔබට නොතේරුනාට ඔබ භව ගමනේ හති දමමිනුයි සිටින්නේ. විවේකී-කුටියෙත්, විවේකී-කාමරයෙත් අපි ලබන අවිවේකය එයයි.

මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, නොසැලෙන, නොකැඩෙන නික්ලේෂී අර්ථවත්ම විවේකයක් තිබෙනවා. ඒ විවේකය තමයි, අවිද්‍යාව නිරෝධය කිරීමෙන්, බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේ ලබන ආර්ය විවේකය. අවිද්‍යාව ප්‍රහීණය නොකළ භික්ෂුවක් ලබන සම්මා සමාධියේ ධ්‍යානගත විවේකය, අනාර්ය විවේකයක්. එය කැඩෙන විවේකයක්, සැලෙන විවේකයක්, වේදනාවේ ආශ්වාදය හේතුවෙන් රූපාවචර සහ අරූපාවචර උපාදානයන්ට බැඳී යන, ඒ බැඳීයැම නිසාම නැවත භවය, ජාති, ජරා, මරණ, ව්‍යාධි පෝෂණය කරන විවේකයක්. ඒ කියන්නේ මාරයාගේ ඇස වසා භව ගමනේ දුවන විවේකයක්.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ, උතුම් මහ රහතන් වහන්සේ සතු ආර්ය විවේකය, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිරෝධය කළ විවේකයක්. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් එකතුව සකස්වෙන, ඵස්සය ඉදිරියේ තෘෂ්ණාවේ ”කිරි මුල්” පවා විනාශකොට දැමූ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නොදුවන, ඒ නිසාම හති නොදමන ආර්ය විවේකයක්. ඔබ ලබන අනාර්ය විවේකයේදී ඇලීම් සහ ගැටීම් දෙක තාවකාලිකව යටපත්කොට, උපේක්ෂාව පෝෂණය කරන අතර, ඔබ ලබන ආර්ය විවේකයේදී, ඇලීම්, ගැටීම්, උපේක්ෂා ධර්මයන් තුනම නිරෝධය කොට දමනු ඇත.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ආර්ය විවේකයෙන් වැඩ සිටියදී, ශ්‍රාවක භික්ෂූන් වන අපි කෙසේද විවේකයෙන් හික්මිය යුත්තේ? කෙසේද ඊට මාර්ගය මතුකොට ගත යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට තිබෙනවා.

ශාස්තෘන් වහන්සේ විසින් පිංවත් භික්ෂූන් වන අපිට යම් ධර්මයක් ප්‍රහාණය කර දමන්න යැයි දේශනා කොට තිබේනම් එම විනාශකාරී ධර්මයන් ප්‍රහාණය කොට දමන්න. ශාස්තෘන් වහන්සේ කුමන ධර්මයන්ද ප්‍රහාණය කොටදමන්න කියලා අපිට කියන්නේ? අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්මයන්, අනුවණින් මෙනෙහි කිරීම අපේ භික්ෂු ජීවිත වලින් බැහැර කරන්න. අසත්පුරුෂ පුද්ගලයා තමා පමණක් නොවේ, වැරදි ධර්මයන්, විකෘති ධර්මයන්, වැරදි ප්‍රතිඥාවන් දේශනා කරලා අනුන්වත් විනාශකොට දමනවා.

උතුම් තෙරුවන් සරණ කෙරෙහි සැක උපදවන, තෙරුවන්ගේ උතුම් ගුණයන් විකෘති කරන, උතුම් විනය ධර්මයන් අඩු තක්සේරුවකට දමන, මාර්ගඵල උන්මාදය ඉහ වහා ගිය, කර්මයේ කර්මඵල විශ්වාසය නොහඳුනන, මිථ්‍යා දෘෂ්ටිය ජීවිත වලින් බැහැර කරන්න, ප්‍රහාණය කරන්න.

වැඩිහිටියන්ට ගරු නොකරන, තමා තමාටම හිංසා පීඩා කොටගන්න, නෙක්ඛම්මය වඳ බැස්සා වූ, වචනයේ සංවරභාවයක් නැති, මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය, අපේ භික්ෂු ජීවිත වලින් ප්‍රහාණය කරන්න. උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ මිච්ඡා සතිය, මිච්ඡා සමාධිය අපේ භික්ෂු ජීවිතවලින් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අපගේ භික්ෂු ජීවිත තුළ වැඩෙන ශීල විශුද්ධියේ සහ චිත්ත විශුද්ධියේ දුර්වලභාවයන් නිසාම, අපි අපේ ජීවිතවලට ගලපා නොගන්නා උතුම් පටිච්චසමුප්පාද ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන් හේතුවෙන් සකස්වෙන දිට්ඨි විශුද්ධියේ දුර්වලභාවයන් හේතුවෙන් අපි තුළ බුර බුරා වැඩෙන සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකින නිවන් මාර්ගය අවහිර කරන පළමු කඩඉම, සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ අන්‍යශීලවෘතයන් වහ වහා අපේ භික්ෂු ජීවිතවලින් ප්‍රහාණය කොටදමන්නය කියලා, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට සිහිපත්කොට දෙනවා.

පිංවත් ඔබට, අධිමාන්නයේ කිරුළු පළඳවන නෙක්ඛම්ම සංකප්පය වඳ බැහැපු තැන, ලෞකික ප්‍රඥාව දුර්වල වූ තැන, සරුසාරව වැඩෙන සක්කාය දිට්ඨියේ කුණු හැව, පිංවත් ඔබ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ සහ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ උපකාරයෙන් නිරෝධය කොට උතුම් සෝවාන්ඵල අවබෝධය අවංකව ලැබුවාට පසුව, ඔබේ ඊළඟ අභියෝගය වෙන්නේ කාම, රාග, පටිඝ ධර්මයන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය තවදුරටත් දකිමින්, මේ කාම, රාග, පටිඝ ධර්මයන් ප්‍රහාණය කරන්නය කියලා.

පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය තවදුරටත් දකිමින් කාම, රාග, පටිඝ ධර්මයන් නිරෝධය කළ අනාගාමී අවබෝධය ලැබූ පිංවතාට ඉතිරිව ඇති, අනුශය අවිද්‍යාව තවදුරටත් පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම ඒ අවිද්‍යා අනුශය ප්‍රහාණය කොට දමන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.