සෑහීමකට පත්නොවන හේතුව කුමක්ද?

භික්ෂුව මුණගැසෙන්නට පැමිණි මැදිවියේ මහත්මයෙක් ප්‍රකාශ කළේ, ස්වාමීන් වහන්ස, මගේ නෝනාගේ කන්දොස්කිරියාව අහලා මට දැන් ජීවිතයත් එපා වෙලාය තිබෙන්නේ කියලා. මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. නොසෑහීම ජීවිතය කොටගත් නෝනා මහත්මියක්ය කියලා.

මම වෙළඳපොළට ගිහිල්ලා වටිනාම, හොඳම ඇඳුමක් පැළඳුමක්, ආහාරයක්, ගෘහ උපකරණයක් ගෙනත් දුන්නත්, ඒක අතට අරගෙන අසන්නේ අපෝ මීට වඩා හොඳ එකක් තිබුණේ නැද්ද කියලා. කිසිම දවසක අනේ මේක නම් බොහෝම හොඳයි කියලා, මට සතුටක් නම් දීලා නැහැය කියලා. ඒ මහත්මයා කියනවා, ස්වාමීන් වහන්ස, මට දැන් හොඳටෝම තේරෙනවා, මට ඇයව සෑහීමකට පත්කරන්න බැහැය කියලා. මොකක්ද මේකට හේතුව කියලා ඒ මහත්මයා ප්‍රශ්න කරනවා.

භික්ෂුවට මුණගැසුණ තවත් විවාහක මහත්මයෙක් ප්‍රකාශ කළේ, ස්වාමීන් වහන්ස, මම චොක්ලට් එක සාක්කුවේ සඟවාගෙන, ඔයාට අද ටොපියක් තමයි ගෙනාවේ කියලා එම ටොපිය තමාගේ නෝනාට දෙනවා. ඇය එම ටොපියෙනුත් සෑහීමකට පත්වෙනවා. ඇයට දුන් ටොපිය වෙනුවෙනුත් කෘතවේදී වෙනවාය කියලා.

මොකක්ද මේ සමාජ ජීවිතය තුළ උඩුදුවන සෑහීමකට පත්වීම සහ නොසෑහීමට පත්වීමේ ප්‍රශ්නයේ ධර්මානුකූල හේතුව? යම් පිංවතෙකුට හෝ පිංවතියකට සෑහීම සහ නොසෑහීම කාරණාවන් පහක් කෙරෙහි ඇතිවෙන්න පුළුවන්. එම කාරණාවන් පහ තමයි රූප, වේදනා, හඳුනාගැනීම්, සංස්කාර සහ විඤ්ඤාණ ධර්මතාවයන්.

යම් පිංවතෙක් තුළ ඉහත කාරණාවන් පහ කෙරෙහි සෑහීම සහ නොසෑහීම ඇතිවෙන්නේ අහේතුවක් නිසා නම් නොවේ. හේතුවක් නිසාමයි. නොසෑහීම තුළ ජීවත්වෙන මෙවැනි පිංවතුන් හුඟදෙනෙක් පටිච්චසමුප්පන්නව පෙර ජීවිතවල ඉතාමත් ධනවත්, ප්‍රභූ, මහේශාක්‍ය ජීවිත ගතකළ පිංවතුන්. එසේත් නැතිනම් මධ්‍යම පාන්තික ඇති හැකි ජීවිත ගතකළ පිංවතුන්.

මෙම පිංවතුන් පෙර ජීවිතවල ධනවත්භාවය නිසාම ඉස්තරම් දේවල්, වටිනාම දේවල්, රසවත්ම දේවල් පරිහරණය කළ පිංවතුන්. මේ අය ඇඳුමක්, ආහාරයක්, වාහනයක්, නිවසක් පරිහරණය කළා නම් හොඳම වටිනාම දේවල් තමයි පරිහරණය කළේ.

නමුත් පෙර ජීවිතයේදී මොනතරම් වටිනා, හොඳම දේවල් පරිහරණය කළත්, මෙම පිංවතුන්ලා තම තමන්ගේ ආදායම්වලට, සමාජ තත්ත්වයට අදාළව ප්‍රණීතව, පිරිසිදුව, විසිතුරුව දන් දුන්නෙ නැහැ. පෙර ජීවිතයේ දී තමන්ගේ පෙර පින නිසාම ප්‍රණීත, විසිතුරු, මහේශාක්‍ය සංස්කාරයන් පරිහරණය කළත්, මහා සංඝරත්නයට, අන්‍ය ආගමික පූජකතුමන්ලාට, උපාසක උපාසිකාවන්ට, සාමාන්‍ය ජනතාවට දුන්න දානයන් සහ පරිත්‍යාගයන් අප්‍රණීත, නොවිසිතුරු, නොවටිනා දානයන් තමයි පූජා කළේ, පරිත්‍යාග කළේ. එම දානයන්ගෙන් සහ පරිත්‍යාගයන්ගෙන් අනුන් නොසෑහීම නිසාම, එහි විපාකයන් වශයෙන් මේ ජීවිතයේ දී තමන්ට ලැබෙන කිසිම දෙයකින් තමන් සෑහීමකට පත්වෙන්නේ නැහැ.

පිංවත් ඔබ පෙර ජීවිතයේදී දන් දුන්න නිසා එහි විපාක හැටියට, ඔබට අවශ්‍ය දෙය ලැබෙනවා. නමුත් දානය ලබන්නා සෑහීමකට පත්වෙන ආකාරයට දන් පූජා නොකළ නිසා, ලෝභ සිතින් දන් පූජා කළ නිසා එහි විපාකයන් හැටියට ඔබට ලැබෙන කිසිවකින් ඔබ සෑහීමකට පත්වෙන්නේ නැහැ. නොසෑහීමේ දුක තුළම ඔබ ජීවත් වෙනවා.

භික්ෂුව මේ සටහන තබන්නේ පිංවත් ඔබලාගේ සැපය උදෙසායි. ලද දෙයින් සෑහීමකට පත්වෙන ජීවිතයක් උදෙසායි. පිංවත් ඔබ මහා සංඝරත්නයට වේවා, ගිහි පින්වතුන්ට වේවා, දුගී මගී යාචක පින්වතුන්ට වේවා, මහලූ නිවාසයකට වේවා, තිරිසන් සතෙකුට වේවා දානයක් පූජා කරනවා නම්, පරිත්‍යාගයක් කරනවා නම් කරුණාකර ඔබ කෙරෙහි අනුකම්පාවෙන්, පිංවත් ඔබලාගේ ආදායමට සරිලන ආකාරයට සිදු කරන්න. දෙන්නම් වාලේ දෙන්න එපා. නොදී බැරිකමට දෙන්න එපා. සඟවාගෙන දෙන්න එපා. ලෝභ සිතින් දෙන්න එපා.

පිංවත් ඔබ තමන්ගේ දානයෙන්, අනුන්ව නොසෑහීමට පත් කළොත්, පිංවත් ඔබ පසුපසින් ඇදී එන සෙවනැල්ල සේ, නොසෑහීමට පත්වෙන අනාගත පටිච්චසමුප්පන්න ජීවිත ඔබටත් ලැබේවි. සමාජය තුළ ජීවත්වීමේ දී අපි දකිනවා, සමහරක් ධනවත් පිංවතුන්ලාගේ දානය දීමේ ශක්තිය හුඟාක්ම දුර්වලයි. මේ දුර්වලභාවයන් සකස් වෙන්නේ, කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය සහ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසාමයි. මෙතනදී අපි ඉලක්කකොට ගතයුත්තේ දුර්වල පුද්ගලයා නොව, ඔහුව දුර්වල කරන අවිද්‍යාවයි.

පිංවත් ඔබ අවංකවම දුප්පත් කෙනෙක් නම්, ඔබ, ඔබේ පිණ්ඩපාත දානයට බතුයි, පොල් සම්බෝලයි පූජා කරන්න. එය ඔබට මහත්ඵල මහානිසංස පිංකමක් වෙනවා. මොකද අවංකවම ඔබට තිබෙන දෙයයි ඔබ දන් දෙන්නෙ. නමුත් යම් පිංවතෙක්, තමන් ප්‍රණීතව ආහාර අනුභව කරලා, අනුනට අප්‍රණීතව, නොවටිනා දෙවැනි ශ්‍රේණියේ දෙයක් පූජා කරනවා නම්, එවැනි පිංවතුන්ලාට පටිච්චසමුප්පන්නව තමන්ට ලැබෙන කිසිම දෙයකින් සෑහීමකට පත්නොවන අතෘප්තිමත් ජීවිත ලැබෙන්නට පුළුවන්.

යම් දුප්පත් පිංවතෙක් තමන් උදෑසන ආහාරයට පිසගත් බත් සහ පොල් සම්බෝලය පිණ්ඩපාතයේ වැඩිය ස්වාමීන් වහන්සේ නමකට පූජා කරනවා. නමුත් එම ස්වාමීන් වහන්සේගේ යම් දුර්වලතාවයක් නිසා, එම පිණ්ඩපාතයෙන් එම ස්වාමීන් වහන්සේ සෑහීමකට පත්වෙන්නේ නැහැ. එම ස්වාමීන් වහන්සේ සෑහීමකට පත්වූයේ නැතත්, එම පිණ්ඩපාතය පූජා කළ දුප්පත් පිංවතා තුළ ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මයේ කර්මඵල විශ්වාසය තිබුණා නම්, එම පිණ්ඩපාතය මහත්ඵල මහානිසංස වෙනවා. තමන්ට ලැබුණු දෙයින් තමන් නොසෑහුණේ, එම ස්වාමීන් වහන්සේගේ සංස්කාරයන්ගේ විපාකදීමේ යථා ස්වභාවය නොදන්නා නිසාමය.

යම් පිංවතෙක් තමන්ට ලැබෙන දෙයින් සෑහීමකට පත්නොවන ජීවිතයක් නම් ගතකරන්නේ, කරුණාකර ඔබේ ආදායමට ගැලපෙන ආකාරයට පරිත්‍යාගයන් සිදු කරන්න. එවිට සෑහීමකට පත්වීමට අදාළ සංස්කාරයන් ඔබ තුළින් ශක්තිමත් වේවි.

මෙය සටහන් තබන භික්ෂුව අද උදෑසන ගම්මානයේ නිවාස අටකට පිණ්ඩපාතයේ වැඩියා. නිවාස තුනකින්ම ලැබුණේ බත් පමණක්මයි. භික්ෂුව එම බත් හැන්දත් සෑහීමකින් පිළිගත්තේ දිව්‍ය භෝජනයක් වගේමයි. මොකද දානය කියන්නේ ඒ තරම්ම දුර්ලභ අර්ථයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පංච උපාදානස්කන්ධ ලෝකය තුළ සකස් වෙන දිනන්න අපහසුම යුද්ධය තමන් සතු යමක් අනුනට දන්දීමය කියලා.

පංච උපාදානස්කන්ධ ලෝකය තුළ හටගන්නා යමක් දෙම්දෝ සහ යමක් නොදෙම්දෝ යැයි ඇතිවෙන ඇලීම් සහ ගැටීම් සිතුවිලි යුද්ධයෙන් මම දන්දෙමි යැයි කියන පාර්ශ්වය ජයග්‍රහණය කිරීම, තෘෂ්ණාවෙන් නිරතුරුවම තිරිහන්වෙන ලෝකයේ දුර්ලභම ජයග්‍රහණයක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

යම් දුප්පත් පිංවතෙක් බත් හැන්දක් පමණක් පාත්‍රයට පූජා කරද්දී, අපි දකින්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට තවත් ඉදිරියට යන්න පුළුවන්ය කියලා. එයත් භික්ෂූන් වන අපි පිණ්ඩපාත ගමනේදී ලබන නික්ලේශී ආත්ම තෘප්තියක්.

මාර්ගය තුළ හික්මෙන ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩිය යුත්තේ, තමන් නොලැබූ විදර්ශනාමය අවබෝධයන් ලැබීම උදෙසා, කය පවත්වාගෙන යැමට ආහාර සොයාගැනීම උදෙසා පමණක්මයි. බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කොට තිබෙනවා, පිණ්ඩපාත චාරිකාවට අදාළව පනවා ඇති ශේඛියා ධර්මයන්ට යටත්ව, ඉර වගේ, සඳ වගේ තැන් තැන්වල නොනැවතී පිණ්ඩපාත චාරිකාවේ වඩින්නය කියලා.

නමුත් අතීතයේ වැඩසිටි මහ රහතන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩියේ ආහාර සොයාගෙන පමණක්ම නොවේ. උන්වහන්සේලාට පිණ්ඩපාත චාරිකාවේ දී ආහාර කියන සංඥාව නොවැදගත් සංඥාවක්. උන්වහන්සේලා පිණ්ඩපාත චාරිකාව ප්‍රයෝජනයට ගත්තේ, ගිහි පිංවතුන් තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය ශක්තිමත්කොට දීමටයි.

උන්වහන්සේලා බත් හැන්දක් පූජා කළත් සිත පිරෙන්න පිං අනුමෝදන් කරනවා. යම් නිවසකින් අද දානයට පූජා කරන්න මුකුත් නැහැය කියලා කිව්වොත්, ඒ නොලැබීමත් උන්වහන්සේලාට සුන්දර අවස්ථාවක්මයි. පූජා කරන්න යමක් නැහැය කියපු පිංවතාටත් ‘අභිවාදනශීලිස්ස’ කියලා පිං අනුමොදන් කරනවා. එවිට එම පිංවතුන් තුළ මහා සංඝරත්නය කෙරෙහි, දානය කෙරෙහි ඡන්දය වැඩි වෙනවා. එය සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක්මයි.

මේ උතුම් ශාසනයේ ආයුෂය දීර්ඝකොට ගන්න නම්, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසම සතර ඍද්ධිපාද ධර්මයන් වඩන්න ඕනේ. එවිටයි ශාසනයේ ආයුෂ දීර්ඝ වෙන්නේ. ගිහි පිංවතුන්ලා ඉදිරියේ මහා සංඝරත්නය වර්ණවත් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

ස්වාමීන් වහන්සේලාගේ වර්ණය කියන්නේ උතුම් ශීලයයි. අපි ශීලයෙන් දුර්වල වුණොත්, අපේ වර්ණය අවපැහැ ගැන්වෙනවා. අපිව දැකීමට අප්‍රසන්න වෙනවා. ඒ නිසාම අපි කුඩා වරදෙහි ද බිය ඇතිකොට ගත යුතුව ඇතැයි බුදුරජාණන් වහන්සේ අවවාද කොට තිබෙනවා.

අවපැහැයට සමාජය ප්‍රියමනාප නැහැ. ඒ නිසාම අපි ශීලයෙන් වර්ණවත් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකගේ වර්ණය කියලා කියන්නේ, සමේ පැහැය වන සුදු, කළු හෝ තලෙළු පැහැය නොවේ. සම කියන්නේ පඨවි ධාතුව නියෝජනය කරන දෙතිස් කුණපයන්ගෙන් එකක් පමණක්මයි.

ධර්මානුකූලව භික්ෂුවකගේ වර්ණය කියන්නේ, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ ශීලයේ ඵලය වන ඉන්ද්‍රිය සංවරයයි. මිච්ඡා ආජීවයන්ගෙන් බැහැර වූ සම්මා ආජීවයයි. තමන්ට ලැබුණු සිවුපසය ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කිරීමයි.

යම් භික්ෂුවක් ඉහත කාරණා තුනෙන් පරිපූර්ණ නම්, එම භික්ෂුව අවර්ණවත් ලෝකය ඉදිරියේ ඒහිපස්සිකව වර්ණයෙන් බබලනවා. දෙවියන්, මනුෂ්‍යයින්, බ්‍රහ්මයින් එම භික්ෂුවට වන්දනා කරනවා. දුකෙන් පිරි ලෝකයට පින හෙවත් සැපය බෙදාදෙන උල්පතක් වෙනවා. භික්ෂු සමාජයේ ජීවත්වෙන අපි දුර්වර්ණ වුණොත් දෙවියන් මනුෂ්‍යයන්, බ්‍රහ්මයන් අපිව දකින්න ප්‍රිය වෙන්නේ නැහැ. මොනතරම් ලස්සන, කඩවසම්, සුදුපැහැ ස්වාමීන් වහන්සේ නමක් වූව ද ශීලයෙන් දුර්වර්ණ නම් දෙවියන්ට, මනුෂ්‍යයින්ට, බ්‍රහ්මයින්ට උන්වහන්සේව පෙනෙන්නේ ආකර්ෂණීය නොවන අවර්ණයකින්මයි.

භික්ෂු සමාජයේ වර්ණය වන ශීලය දුර්වල නම් අපට කවදාකවත් සංඝ සමාජයට පොදු ධර්මානුකූල සැපය ලබන්න බැහැ. භික්ෂු සමාජයේ සැපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, ලොකු පන්සල්, ආරණ්‍ය, යානවාහන, මිල මුදල්, පදවි තනතුරු නොවේ. මේවා දුක උනන උල්පත් යැයි ධර්මයේ සඳහන් වෙනවා.

සංඝ සමාජයේ උතුම් සැපය කියන්නේ, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුළින් පෝෂණය වූ ධ්‍යානගත සිතයි, මෛත්‍රී ධ්‍යානයයි. සංඝ සමාජයේ ධ්‍යාන සැපය ලබන භික්ෂුව මාරයාගේ දෑස් අන්ධ කළ භික්ෂුවක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මාරයාගේ දෑස් අන්ධ කළා කියන්නේ, තාවකාලිකව කාමයන්ගේ දොරටු වසා දැමුවාය කියන කාරණයයි.

එවැනි භික්ෂුවකට දෑස් තිබුණත්, එම දෑසෙන් රූප රිංගා යන්නේ නැහැ. කන තිබුණත්, ශබ්ද කනෙන් රිංගා යන්නේ නැහැ. සළායතනයන්ගේ වැසූ දොරටු සහිතවයි එම භික්ෂුව ජීවත්වෙන්නේ. එම භික්ෂුව දස දිශාවටම පතුරන මෙත් සිත, එම භික්ෂුවගේ නහර වැල් දිගේ ගමන් කරන රුධිරය පවා පිරිසිදුකොට, ශීලයේ වර්ණයටත්, සමාධියේ සැපයටත් පෝෂණයක්මයි ලබාදෙන්නේ.