උපාදානයන්ගෙන් මිදුණු ඔබ මේ ලෝකයේ මහා පුදුමය වන්නේය

පසළොස්වක පොහොය ලබන්න තව දින දෙකයි තිබෙන්නේ. මේ රාත‍්‍රියේ, ලා සඳ එළියෙන් කැලෑ පරිසරය ආලෝකමත් වෙලා. මගේ ජීවිත කාලය තුළ පසළොස්වක පොහොය දිනයන් කොච්චර නම් ගෙවී යන්න ඇත්ද? අනාගතයේ, තව පසළොස්වක පොහොය කීයක් නම් භික්ෂුව ජීවත්වෙයිද? අතීත සංසාරයේ පසළොස්වක පොහොයවල් කෝටි කීයක් භික්ෂුව අත්දකින්න ඇතිද?

අතීත පටිච්චසමුප්පන්න සංසාරයක් පුරාවට, පසළොස්වක පොහොයවල් කෝටි ගණනක් අත්වින්දත්, තවත් දින දෙකකින් උදාවෙන පසළොස්වක පොහොය, අපිට නැවුම් දෙයක්මයි. අලූත් දෙයක්මයි.

කාමයේ ආශ්වාදය සහ රූපයේ ආශ්වාදය නිරතුරුවම අපිට පරණ දේවල් අමතක කරවනවා. අලූත් දේවල් සඳහා අපි බලාපොරොත්තු ඇතිකොට ගන්නවා. උදාවෙන සෑම බලාපොරොත්තුවක්ම පරණ දෙයක් බවට පත්වෙනවාය කියන කාරණය, නුවණින් දකින්නේ නැහැ.

අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍යභාවය නොදකින පිංවතා, වර්තමාන පංච උපාදානස්කන්ධයට බැඳී, නිරතුරුවම අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය ශක්තිමත්කොට ගන්නවා.

මෙය සටහන් තබන භික්ෂුව, මේ ආසනය මත හිඳගෙන, මීට වසර එකොළහකට පෙර භික්ෂුව උතුම් පැවිදි උපසම්පදාවන් සිදුවූ මොහොත සිහියට නඟා ගන්නවා. ඒ සියලූම හේතුඵල ධර්මයන්ට අදාළ සිදුවීම්, අතීත අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් පමණක්මයි. බැඳීමක්, ඇලීමක් වර්තමානයේ නැහැ. ඒ නිසාම ඒ අතීත පංච උපාදානස්කන්ධයන් හේතුවෙන් භික්ෂුව අනාගත ලෝකය අස්වද්දන්නේ නැහැ.

වරක් බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙක් ප්‍රශ්නයක් විමසනවා. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මනුෂ්‍යයෙක්ද? එසේත් නැතිනම් දෙවියෙක්ද? එසේත් නැතිනම් යක්ෂයෙක්ද? කියලා. එම බමුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බමුණ මම මනුස්සයෙක්, දෙවියෙක් හෝ යක්ෂයෙක් නොවේ.

දියෙහි ඉපදී, දියෙහි වැඞී, දියෙන් මතුවී, දියෙහි නොඇලී පිපෙන කුසුමක් සේ මම ලොවෙහි උපන්නෙමි. ලොවෙහි වැඩුණෙමි. ලොව මැඩගෙන, ලෝකයේ නොඇලී වෙසෙමි කියලා.

අපේ උතුම් ශාස්තෘන්වහන්සේ එවන් සිංහනාදයක් කරද්දී ශ්‍රවකයින් වන අපි තවමත් මොකක්ද මේ කරන්නේ? ලොවෙහි ඉපදී, ලොවෙහි වැඞී, ලොවට කීකරුවී, ලෝකයේ ඇලී වෙසෙනවා පමණක්ම නේද?

බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධ ලෝකයට.

බුදුරජාණන් වහන්සේ ඉපදුනේ තුසිත දිව්‍යතලයේ වැඩ සිටියදී සකස් වූ අවසාන චුති සිත නමැති පංච උපාදානස්කන්ධය හේතුවෙන්මයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කොටගන්නා මොහොත දක්වාම, බෝධිසත්ත්වයන් තුළ වැඩුනේ ද නිත්‍ය වූ පංච උපාදානස්කන්ධ ධර්මයන්මයි. බෝධිසත්ත්වයන් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොටගත් මොහොතේ, පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව මරාදමා ලෝකයෙහි නොඇලෙන, උපාදානයන්ගෙන් නිරෝධය වූ, පංචස්කන්ධයක් බවට පත්විය.

ඵස්සය කෙරෙහි ඇති තෘෂ්ණාව, නිරෝධය වුණ තැන, උපාදානයට ඇති ඉඩකඩ අහිමි කළා වෙනවා. උපාදානයන්ගෙන් තොර, නැවත භවය සකස් වීමක් නැති පංචස්කන්ධයක් සතු අවසානය, අතීත සංස්කාරයන්ට අදාළව අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන්, පිරිනිවීම පමණක්මයි.

මෙම සටහන කියවන පිංවත් ඔබ මොහොතක් ඇස් දෙක පියාගෙන දකින්න, උතුම් ධර්ම මාර්ගයේ සුන්දර අත්දැකීම් ගැන. ඒවා කෙරෙහි ධර්ම ගෞරවයෙන් යුතුව, විමංසාවෙන් පෝෂණය වූ ඡන්දයක් ඇතිකොට ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ධාතූන් තිදෙනෙක් වෙතියි කියලා. ඒ තුන් ධාතූන් නම් රූප ධාතුව, අරූප ධාතුව සහ නිරෝධ ධාතුවයි. පිංවත් ඔබ ජීවත්වෙන කාම ලෝකය අයිති වෙන්නෙත් රූප ධාතුවටයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පිංවතෙක් අරූපාවචර ධ්‍යානයන් වඩත් ද, එම අරූපාවචර ධර්මයෝ රූපාවචර ධර්මයන්ට වඩා ශාන්තයි කියලා. මේ රූපාවචර සහ අරූපාවචර ධර්මයන්ට වඩා නිර්වාණ ධාතුව ශ්‍රේෂ්ඨයි, ශාන්තයි කියලා.

උතුම් නිවන කෙරෙහි සිත නොපිහිටන පිංවතා, නිවන කෙරෙහි විමංසාවෙන් යුත් ඡන්දයක් ඇතිනොකරගත් පිංවතා, රූප භවය, අරූප භවය කෙරෙහි තෘෂ්ණාවෙන්, නැවත උපාදාන පච්චයා භවයටම සේන්දු වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පිංවතෙක් රූප ධාතුවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවයන් පිළිසිඳ දැන, අරූප ධාතුවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවයන් පිළිසිඳ දැන රූප ධාතුවෙත්, අරූප ධාතුවෙත් සිත නොපිහිටා, නිර්වාණය අරමුණුකොට කෙලෙසුන්ගෙන් මිදෙයි ද, ඒ උත්තමයාමයි ශාසනයේ අරටුව කියලා.

මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ජීවිතයට දරාගැනීමෙන්, අපි හැමෝගේම ඡන්දය, නිවනේ ශාන්තභාවය නම්, එම ශාන්තභාවය මෙසේ විය හැකි යැයි අනුමාන කරමින්, මොහොතක් අපි අත්දකිමු. පිංවත් ඔබ මේ සටහන කියවා පංච නීවරණ යටපත් වුණා වූ සප්ත බොජ්ඣ`ඕඟ ධර්මයන් වැඩුන සිතින්, දෑස් දෙක පියාගෙන මොහොතක්, පටිච්චසමුප්පාද ධර්මයේ, තෘෂ්ණා නිරෝධා උපාදාන නිරෝධෝ, ධර්මතාවය සිහියට නගාගෙන, තෘෂ්ණාව නිරෝධය වූ ඔබේ අවසාන චුති සිත උපාදානයන් රහිතව, චුති සිත හෙවත් විඤ්ඤාණය, තමා තුළින්ම නිවී යන හැටි නුවණින් දකින්න. දුකේ සහකරුවන පංච උපාදානස්කන්ධ ලෝකයෙනුත්, උපාදානයන් නිරෝධය වූ අතීත සංස්කාරයන්ගේ රූකඩයක් වූ පංචස්කන්ධයෙනුත්, මොහොතක් මනසින් මිදී, නිවුනා, නිවුනා, නිවුනා යැයි නුවණින් දකින්න. ඒ දැක්ම පිංවත් ඔබට නිවන් මඟ දොරටු විවර කරන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත්කොට ගැනීමට ලොකු පිටිවහලක් වේවි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසිම දිනක දෙපයින් ඇවිදලා, දෙපයින් දුවලා ලෝකයේ කෙළවරට පැමිණිය නොහැකිය කියලා. ඒ වගේමයි ලෝකයේ කෙළවරට නොපැමිණ, දුකෙන් මිදීමක් ද නැහැ ය කියලා.

බුදුරජාණන් වහන්සේ ලෝකය වශයෙන් හඳුන්වන්නේ ඉර, හඳ, තාරකා, සතා, සිවුපාවා කියන සම්මුති ලෝකය නොවේ. මේවා සියල්ල හේතුඵල ධර්මයන්ගෙන් සකස් වූ සතර මහා ධාතූන්මයි.

බුදුරජාණන් වහන්සේ ලෝකය වශයෙන් හඳුන්වන්නේ, ඵස්සය කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ තුළම සකස්කොට ගන්නා වූ ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධ ලෝකයයි. මේ පංච උපාදානස්කන්ධ ලෝකය, ඵස්සය කෙරෙහි තෘෂ්ණාවෙන් සකස්වෙලා, සංස්කාර හේතුවෙනුයි විඤ්ඤාණයේ සහයෝගයෙන් නැවත නැවත ඵස්සයම සක‍්‍රිීය කොට දෙන්නෙ.

තෘෂ්ණාවේ නිරෝධයෙන් තොරව, පංච උපාදානස්කන්ධයේ නිරෝධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබ ජීවත්වෙන මහපොළවෙහි සහ ආකාශයෙහි අතර තිබෙන පරතරයට වඩා අති විශාල වූ පරතරයක් ඇති ධර්මතාවයක් තිබෙනවාය කියලා. ඒ ධර්මතාවය තමයි, යම් පිංවතෙක් ලෝකය යැයි පංච උපාදානස්කන්ධය පිළිනොගෙන, ලෝකය යැයි සම්මුති ලෝකය පිළිගනියි ද, එම අධාර්මික පිංවතාත්, නිවනත් අතර තිබෙන පරතරය, මේ ලෝක ධාතුවේ අතිවිශාල පරතරයයි කියලා.

උතුම් රහතන් වහන්සේ නමකටත් සළායතනය හෙවත් ආයතන හයක් තිබෙනවා. රහතන් වහන්සේගේ සළායතනයන් බාහිර රූපයන් සමග ඵස්සය වෙනවා. ඒත් එම ඵස්සය තෙත් කරන්න රහතන් වහන්සේ තුළ තෘෂ්ණාවේ තීන්ත නැහැ. රහතන් වහන්සේ ඵස්සය හේතුවෙන් අඳින සිතුවම්, ඇඳෙන මොහොතේම මැකී යනවා. ඒවා හරියට දිය මත අඳින අකුරු වගේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෘෂ්ණාව හේතුවෙන් සකස්වෙන සංස්කාර ලෝකයේ ඇස්බැන්දුම නුවණින් අවබෝධකොටගත් විදර්ශනාත්මක ප්‍රඥාව ඇති, නිරෝධය කළා වූ අකුසල් ඇති උත්තමයා, ඒකාන්තයෙන්ම ලෝකයේ ඇස්බැන්දුම දැන, මෙලොව සහ පරලොව නොපතන්නේය කියලා. එවිට එය අතීත සංස්කාරයන්ට අතහැරියා වූ ජීවිතයක්ය කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහා සාගරයේ කුමන තැනකින් දිය දෝතක් ගත්තත් එය ලූණු රසයි වගේ, මේ උතුම් සද්ධර්මය කොතැනින් ගත්තත්, ධර්මය තුළින් විමුක්තියේ රසයමයි අපි ලබන්න ඕනේ කියලා. පිංවත් ඔබ සද්ධර්මය ඇසුරු කළත්, සද්ධර්මය තුළින් ඔබ ලබන්නේ, විමුක්තියේ රසයෙන් තොර ආශ්වාදයේ දුහුල් වින්දනයෙන් එතුනු විවිධ වූ නීරස භව රසයන් නම්, එය සැබෑ සද්ධර්මයෙන් ගත් දිය දෝතක් නම් වෙන්න බැහැ. මේ සිත, ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකය, අතීතයක් පුරාවට පටිච්චසමුප්පන්නව කැමති අයුරින්, කැමති අරමුණු ඔස්සේ ඇවිදලා තිබෙනවා.

මේ මොහොතේ පිංවත් ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටුකොට අසන්න, අද දවසේ පිංවත් ඔබේ සිත කැමති, කැමති අරමුණු ඔස්සේ සහ අකමැති, අකමැති අරමුණු ඔස්සේ කොතෙක් නම් ඇවිදින්නට ඇතිද කියලා. ඒ ඇති වුණා වූ සිතුවිලි කොතෙක් නම් අනාගත භවයන් උදෙසා සංස්කාරයන් සකස්කොට දෙන්නට ඇති ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහා සාගරයේ රන්, රිදී, මුතු, මැණික් වැනි මහා වටිනාකමැති නිධානයන් තිබෙනවාය කියලා. මෙම වස්තූන් කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාමයි අසුරයින් මහා සාගරයට ප්‍රිය කරන්නේ කියලා.

මේ උතුම් සම්මා සම්බුද්ධ සාසනයේත් මිල කළ නොහැකි, මහා වටිනාකමැති සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන් තිස් හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ප්‍රිය කරන ඔබ, ඔබේ සිත කෙලෙස් වැඩෙන, කැමති සහ අකමැති අරමුණු වලට යටත්වීමට ඉඩනොදී සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන්ගේ ආරක්ෂාවට ගන්න දක්ෂ වෙන්න.

කාමයේ සහ රූපයේ ආශ්වාදයෙන් පෝෂණය වුණා වූ සිත කාමලෝක, රූපී සහ අරූපීලෝක වැනි ඈත දුර ගමන්, සිත ගමන් කරන්නේ පටිච්චසමුප්පන්නව දුර භවගමන් සම්බන්ධයෙන් අපි සතු විශේෂඥ දැනීම් නිසාමයි.

සිත කීවත්, විඤ්ඤාණය කීවත්, දුක කීවත්, පංච උපාදානස්කන්ධය කීවත් මේ සියල්ලේම අර්ථය තෘෂ්ණාවෙන් තෙත්වුණා වූ ඵස්සයක්ය කියන අර්ථයයි. දුකේ සහකරුවන් සියලූ දෙනාගේම මූල බීජය, තෘෂ්ණාව වුවත් පිංවත් ඔබ මේ ධර්ම සටහන කියවන්නේත්, ආශ්වාදයෙන් පෝෂණය කොටගත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ගොඩක සිරකරුවෙක් වෙලා නම්, එතැනදීත් ඔබ භව උගුලේ සිරවෙලයි සිටින්නේ.

මෙය සටහන් තබන භික්ෂුව සහ ධර්ම කරුණු මුල් කරගෙන බොහොම සියුම්ව, ධර්මයේ ආශ්වාදය සහ සංඝයා කෙරෙහි ආශ්වාදය ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දක්ෂ දුනුවායෙක් අශ්ව රෝමයක් දෙකට පැලෙන්නට, තම දුන්නෙන් විදිනවාය කියන කාරණය පුදුමයක් නොවේය කියලා.

නමුත් යම් පිංවතෙක් තෙරුවන් කෙරෙහිත්, විදර්ශනාත්මක ධර්මයන් කෙරෙහිත් තෘෂ්ණාවේ ආශ්වාදයෙන් බැහැරවෙලා, මේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා, දුකයි, අනාත්මයි වශයෙන් නුවණින් දකින්න දක්ෂ නම්, එයමයි මේ ලෝක ධාතුවේ පුදුම වියයුතු කාරණය කියලා.

පිංවත් ඔබ නිරතුරුවම අලූත් කෙනෙක් වෙන්න, සද්ධර්මය ශ්‍රවණය කරනකොට සහ කියවනකොට, අපි නිරතුරුවම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ප්‍රඥාවෙන් අපිව අලූත් වෙනවා. මේ ”මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” සටහන කියවන ඔබ වර්තමානයේ විදර්ශනාත්මක ධර්මයන්ගෙන් අලූත් වෙලා සිටින්නේ. ඒත් මේ සියල්ල තවත් පැය කිහිපයකින් පරණ වෙන්න දෙන්න එපා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දෙවෙනි ගමන දවසේ, නිවසට අලූතින් කැන්දාගෙන පැමිණි මනාලිය, අලූත් නැන්දා, මාමාට හරිම කීකරුයි කියලා. අලූත් ඥාතීන්ට ගරුත්වයෙන් සළකනවාය කියලා. නමුත් කාලය ගෙවී ගිහින්, අලූත් මනාලිය පරණ වෙද්දි, ඇය නැන්දා, මාමා සමග ගැටුම් ඇතිකොට ගන්නවා. ඇය ස්වාධීන වෙන්නට, අධිපතිභාවය ලබන්නට උත්සාහ ගන්නවාය කියලා.

ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබේ සිතත්, නිවසට අලූත ගෙනා මනාලියකගේ සිතක් බවට පත්කොට ගන්නය කියලා. මේ සටහන කියවා ඔබ තුළ සකස්වෙන, විදර්ශනාත්මක සිත, පරණ වෙන්න දෙන්න එපා. අලූත ගෙනා මනාලියකගේ සිත සේ සෑම නිමේෂයකදීම නිහතමානී විදර්ශනාත්මක අලූත්භාවය සහ නැවුම්භාවය සිහියෙන් යුතුව ආරක්ෂා කොටගන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි විදර්ශනාත්මක ආර්ය සද්ධාව වඩමින්, උතුම් ආජීවඅෂ්ටමක ශීලය කෙරෙහි විදර්ශනාත්මක ආර්ය ශීලය ඇතිකොටගත් පිංවතා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින දිශාවට, මධ්‍යස්ථ වීර්යයෙන් ගමන් කරන පිංවතෙක් වෙනවා ය කියලා.

මේ රාත‍්‍රියේ සුළෙඟ් වේගය හුඟාක් වැඩියි. පරිසරයේ ගහකොළ තරඟයට වගේ, එහා මෙහා පැද්දෙන හඬ භික්ෂුවට ඇසෙනවා. සුළඟට අධිපති සුළං වළාහක දෙවියන්, මේ රාත‍්‍රියේදී සුළඟ සමග මහුවී, සුවසේ කාමයේ ආශ්වාදයන් විඳිනවා ඇති.

සුළඟ උපාදානය කොටගෙන, සවසට මුහුදු වෙරළට යන, ගාලූමුවදොර පිටියට යන පින්වතුන්ලා සමාජයේ කොතෙක් නම් සිටිනවාද? අපිට මරණාසන්න මොහොතේ සුළං ආශ්වාදය පිළිබඳව තෘෂ්ණාවක් ඇතිවුණොත්, උපාදාන පච්චයා භවෝ, අපිත් සුළඟ උපාදානය කොටගත් සුළං වළාහක දෙවියෙක් වෙලා උපදින්න පුළුවන්.