තණ්හාව යනු කුමක් ද?

පිංවත් මහත්මයෙක් කලකිරුණු මුහුණෙන් යුතුව භික්ෂුවට ප්‍රකාශ කළේ ස්වාමීන් වහන්ස, මගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් සහ මගේ ව්‍යාපාරයෙන් තොර ජීවිතයක් මට නැහැය කියලා. මට බයත් සිතෙනවා ස්වාමීන් වහන්ස, මේවා මත්තේම ජීවත්වෙලා, මරණින් පසුව මාව සතර අපායට වැටෙයිද කියලා.

ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ මෙම මහත්මයාට සම්මා දිට්ඨියට අදාළව යම් දැනීමක් තිබෙනවා, නමුත් එම දැනීම ශක්තිමත්කොට ගැනීමට අවශ්‍ය වීර්යයේ ප්‍රශ්නයක් තිබෙනවාය කියන කාරණය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පිංවතෙක් තම බිරිඳ කෙරෙහි ”බිරිඳ” යැයි නිත්‍ය සංඥාවන් තබාගන්නවා නම්, තම දරුවන් කෙරෙහි ”දරුවන්” යැයි නිත්‍ය සංඥාවන් තබාගන්නවා නම්, තම ව්‍යාපාරය කෙරෙහි ”ව්‍යාපාරය” යැයි නිත්‍ය සංඥාවන් තබා ගන්නවා නම් එම පිංවතා පටිච්චසමුප්පන්නව නැවත බිරිඳත්, දරුවන් සහ ව්‍යාපාරයන් උදෙසා වර්තමානයේ සංස්කාරයන් රැස්කොට ගන්නවාය කියලා.

ඒ වගේමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පිංවතෙක් තුළ මෙලොව සහ පරලොව යැයි සංඥාවන් නොවේ නම්, යම් පිංවතෙක් තුළ පඨවි ධාතුව තුළ පඨවි ධාතුව යැයි සංඥා නොවේනම්, ආපෝ ධාතුව තුළ ආපෝ ධාතුව යැයි, වායෝ ධාතුව තුළ වායෝ ධාතුව යැයි, තේජෝ ධාතුව තුළ තේජෝ ධාතුව යැයි සංඥා නොවේනම්, යම් පිංවතෙක් තුළ රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සම්පත් තුළ, රූපාවචර සහ අරූපාවචර සංඥා නොවේ නම් එම උත්තමයා තුළ භව නිරෝධය යැයි සංඥාව උපදිනවාය කියලා. එම උත්තමයා තුළ සකස්වෙන භව නිරෝධය යැයි සංඥාවද, සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වූ සංඥාවක් වෙයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භික්ෂූන් වන අපිට මහණෙනි ඔබලා යම් චීවරයක් පරිහරණය කිරීමේදී එම චීවරය නිසා අකුසල් ධර්මයන් වැඩෙත්ද, කුසල් ධර්මයන් පිරිහෙයිද එබඳු චීවර පරිහණය කරන්නට එපාය කියලා. එවැනි චීවර නොසෙවිය යුතුය කියලා.

මහණෙනි, යම් පිණ්ඩපාතයක් පරිහරණය කිරීමේදී අකුසල ධර්මයන් වැඩේද, කුසල් ධර්මයන් පිරිහේද එවැනි පිණ්ඩපාත පරිහරණය නොකළ යුතුයි, එවැනි පිණ්ඩපාත නොසෙවිය යුතුය කියලා.

මහණෙනි, යම් භික්ෂුවක් සේනාසන පරිහරණය කිරීමේදී, ඖෂධ පරිහරණය කිරීමේදී අකුසල ධර්මයන් වැඩේද, කුසල් ධර්මයන් පිරිහේද එවැනි සේනාසන සහ ඖෂධ පරිහරණය කරන්න එපාය කියලා. එවැනි සේනාසන සහ ඖෂධ නොසෙවිය යුතුය කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනාකොට තිබෙනවා.

සම්මා සතිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, මාර්ග අංග හයකින් පෝෂණය වූ බොහෝම සුන්දර මාර්ග අංගයක්.

ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා සතිය කියලා කියන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන් පිළිබඳව, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවෝ, සම්මා වායාම කියන මාර්ග අංගයන්ගේ අර්ථයන් කෙරෙහි ඇතිකොට ගන්නා වූ විශ්වාසයයි. එම විශ්වාසය තුළින් ඇතිකොටගත් සම්මා සතියයි.

ඉහත සම්මා සතියයි, පිංවත් ඔබට සම්මා සමාධිමත් සිතක් ඇතිකොට දෙන්නේ. මෙම සම්මා සමාධිමත් සිතයි ලෝකෝත්තර වටයේදී සතර සතිපට්ඨාන ධර්මයන් තුළින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් විදර්ශනාවට යොමු කරන්නේ.

වර්තමාන සමාජයේ ලෞකික සම්මා සතිය දුර්වල නිසාම ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ග අංග හය දුර්වල නිසාම විශේෂයෙන්ම ගිහි පින්වතුන් ඇඳුම් පැලඳුම්, නිවාස, ආහාර, ඖෂධ කෙරෙහි බලවත් තෘෂ්ණාවෙන් කටයුතු කරන බවක් පෙනී යනවා.

උතුම් සම්මා දිට්ඨිය අපි තුළ දැනීම් සකස්කොට දෙනවා කර්මය සහ කර්මඵල විශ්වාසයක් තිබෙනවාය කියලා. යහපත් දෙයෙහි යහපත් විපාකයක්, අයහපත් දෙයෙහි අයහපත් විපාකයක් තිබෙනවාය කියලා. මරණින් පසුව නැවත පටිච්චසමුප්පන්න උපතක් තිබෙනවාය කියලා. දෙවියෙක්, බ්‍රහ්මයෙක් වගේම ප්‍රේතයෙක් සහ යක්ෂයෙක් ඕපපාතිකව උපදිනවාය කියලා.

වර්තමාන සමාජයට ඉහත විශ්වාසයන් කෙරෙහි සම්මා සතිය නොමැති නිසාම පින්වත් ඔබ සිතන්නේ නැහැ මම මිල අධික ලස්සන, ලස්සන ඇඳුම් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳී ගියොත්, දුප්පත් පින්වතෙක් තමන් සතු එකම ඇඳුම කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳී ගියොත්, මරණාසන්න මොහොතේ එම ඇඳුම් කෙරෙහි බැඳී ගියොත් ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න උපත එම ඇඳුම් ගොඩේම කාවෙක් වෙලා උපදින්න පුළුවන්ය කියලා. එම ඇඳුම් අල්මාරියේම ප්‍රේතයෙක් වෙලා උපදින්න පුළුවන්ය කියලා.

පින්වත් ඔබ සිතන්න, සම්මා දිට්ඨියේ අර්ථයන්ට අදාළව මම මාගේ නිවස කෙරෙහි සීමාව ඉක්මවා තෘෂ්ණාවෙන් බැඳී ගියොත්, කුමක්ද වෙන්නේ කියලා. වර්තමානයේ බොහෝම විසිතුරු, සුන්දර, මිල අධික නිවාස සමාජය තුළ වේගයෙන් ඉදිවෙනවා. සමහර පින්වතුන් මූල්‍ය ආයතනවලින් විශාල වශයෙන් ණය අරගෙනයි මෙම නිවාස ඉදිකරන්නේ. ඒ නිසාම තම සුඛෝපභෝගී නිවාස කෙරෙහි තිබෙන බැඳීම වැඩියි.

පින්වත් ඔබ මරණාසන්න මොහොතේ ඔබේ සුන්දර නිවසට බැඳී ගියොත්, නිවස ඔබට අතහැර ගැනීමට බැරි වුණොත්, පින්වත් ඔබ පටිච්චසමුප්පන්නව එම නිවසේ අත්තිවාරම බදාගත්ත බහිරවයෙක් වෙලා උපදින්න පුළුවන්. එම නිවසේම ප්‍රේතයෙක් වෙලා උපදින්න පුළුවන්. වර්තමානයේ නිවාස කෙරෙහි සමහරක් පින්වතුන් තුළ ඇති බැඳීයාම දකිනකොට ඉදිරියේදී අමනුෂ්‍ය ලෝකයේ, නිවාස ආශ්‍රිතව බහිරවයන්ගේ සහ ප්‍රේතයන්ගේ ගහනය බොහෝම වේගයෙන් වැඩිවෙන්න පුළුවන්. ඒ වගේමයි, තම නිවාස තෘෂ්ණාවෙන් උපාදානය කොටගැනීම නිසාම එම නිවසේම හූනන්, මකුළුවන්, ගෙම්බන් වැනි තිරිසන් සත්ත්ව උපත්වලටත් යැමේ ප්‍රවණතාවක් තිබෙනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ග අංග හයෙන් පෝෂණය නොවීම නිසාම, දුර්වල සම්මා සතියයි ඉහත අනතුරු ඔබට විවෘත කොටදෙන්නේ.

පින්වත් ඔබ සිතන්න, වර්තමානයේ සමාජගතවී ඇති විසිතුරු ප්‍රණීත ආහාර රටාව දෙස. අද උදෑසන මහත්මයෙක් භික්ෂුවට ප්‍රකාශ කළා, නගරයේ මුදලාලි මහත්මයෙක්ගේ මඟුල් ගෙදරක් තරු පහේ හෝටලයක තිබෙනවා, එහි ආහාර පිඟානක මිල රුපියල් හයදාහක්ය කියලා. අමුත්තන් හාරසියයකට ආරාධනා කරලා තිබෙනවාලූ.

භික්ෂුව එම මහත්මයාගෙන් ඇසුවා, මඟුල් ගෙදරකට මෙපමණ ධනයක් වියදම් කරන්නේ ඇයි කියලා. ඒ මහත්මයාගේ පිළිතුර වූයේ ඒ අයට සල්ලිවලට කරන්න දෙයක් නැහැය කියලයි. භික්ෂුව එම මහත්මයාට ප්‍රකාශ කළා සල්ලිවලින් පිං කරන්නය කියලා.

සම්මා සතිය දුර්වල පින්වතුන්ලා දන්නේ නැහැ, ඒ අයට තේරෙන්නේ නැහැ, තමන් සල්ලි වියදම් කරලා කරන පින අයිතිවෙන්නේ තමන්ටමය කියලා. ඒ වගේමයි, ඒ අය දන්නේ නැහැ මේ ජීවිතයේදී මෙපමණ විශාල ධනයක් තමන්ට ලැබුණේ පෙර ජීවිතයේ සිදුකොටගත් ශීලයෙන් පෝෂණය වූ පින නිසාමයි කියලා. පෙර ජීවිතයේ ශීලයෙන් පෝෂණය වූ පින නිසාම මේ ජීවිතයේදී ලැබුණු ධනය, කාමච්ඡන්දයන්, මත් වතුර සහ පංච නීවරණයන් උදෙසාම විනාශකොට දමනවා. සම්මා සතිය දුර්වල මනුෂ්‍යයෝ මරණාසන්න මොහොතේ ඉන්ද්‍රිය අසංවරභාවය නිසාම බරපතළ වූ භව අනතුරුවලට පත්වෙනවා.

පින්වත් ඔබ සිතන්න, වර්තමානයේ වේගයෙන් සමාජගත වී ඇති ප්‍රණීත, විසිතුරු ආහාරයන් සහ බීම වර්ග කෙරෙහි ඔබ තෘෂ්ණාවෙන් බැඳී ගියොත්, ආහාර ප්‍රත්‍යවේක්ෂාවෙන් ඔබ දුර්වල වුණොත් ඊළඟ ජීවිතයේදී පින්වත් ඔබ නරක් වූ ආහාරයක පණුවෙක් වෙලා උපදින්න පුළුවන්. පරණ වූ කේක් ගෙඩියක පණුවෙක් වෙලා උපදින්නේ පෙර ජීවිතයක රස කැවිලි කෙරෙහි තෘෂ්ණාවෙන් මැරුණු සත්ත්වයෙක්මයි. නරක් වූ අඹ ගෙඩියක ඕපපාතිකව උපදින පණුවා පෙර ජීවිතයක පලතුරු කෙරෙහි තෘෂ්ණාවෙන් මියගිය සත්ත්වයෙක්මයි.

තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවය, භව පච්චයා ජාති කියන ධර්මතාවය තෘෂ්ණාවට අදාළවමයි, හේතුඵල ධර්මයන් සකස්කොට දෙන්නේ.

නරක් වූ කොත්තු රොටියක, පිළුණු වූ බිත්තර ආප්පයක, කෙටි කෑම වර්ගයක ඕපපාතිකව උපදින පණුවන් ගැන සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා සතියෙන් දකින්න පුහුණු වෙන්න.

පින්වත් ඔබ සිතන්න, ඔබ පරිහරණය කරන ඖෂධ කෙරෙහි, විටමින් වර්ග, සිරප් වර්ග, කිරිපිටි වර්ග කෙරෙහි ඔබ තෘෂ්ණාවෙන් බැඳී ගියොත්, තෘෂ්ණා පච්චයා උපාදාන කියන ධර්මතාවය හේතුවෙන් කල් ඉකුත් වූ බෙහෙත් පෙට්ටියක, විටමින් බෝතලයක ඕපපාතික පණුවෙක් වෙලා උපදින්න පුළුවන්. වියළි පුස් බැඳුණ අරළු, බුළු, නෙල්ලි ගොඩක ගුල්ලෙක් වෙලා උපදින්න පුළුවන්.

උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වූ තැනදී සම්මා සතිය වැඩෙන්නේ මිච්ඡා සතියක් හැටියටයි. මිච්ඡා සතිය ජීවිත ගතවෙච්ච තැනදි පටිච්චසමුප්පන්නව ඕපපාතිකව ප්‍රේතයෙක්ව උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුරුවෙලා යනවා. පණුවෙක්, ගුල්ලෙක් වෙලා උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුර්වලවෙලා යනවා.

පසුගිය දිනක සම්මා සතියක් නැති මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, අතීතයේ වැඩසිටිය රහතන් වහන්සේලා ඇත්තටම පිරිනිවන්පෑවාද, උන්වහන්සේලා පිරිනිවන්පෑවාය කියලා මොකක්ද අපට ඇති සහතිකය කියලා.

භික්ෂුව එම අසරණ මහත්මයාට ප්‍රකාශ කළේ රහතන් වහන්සේලා පිරිනිවන්පෑවාද කියලා සාක්ෂි අවශ්‍ය නැහැ. උන්වහන්සේලා කාමයේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය, රූපයේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය, වේදනාවේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය අවබෝධ ගුණයෙහි දැක විමුක්තිය සාක්ෂාත්කොට ගත්තාය කියලා. ඉහත යථාර්ථය කාමයේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය යනු කුමක්දැයි නොදන්න මනුෂ්‍යයෙක් කෙලෙස නම් තේරුම් ගන්නද?

අපි මොනතරම් සද්ධර්මය දේශනා කළත්, අපි මොනතරම් සද්ධර්මය ශ්‍රවණය කළත්, උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමට ඇති අදක්ෂභාවයන් නිසාම සමාජය බරපතළ අනතුරක් කරා ගමන් කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අසත්පුරුෂ පුද්ගලයා, අසද්ධර්මය සරණ යනවාය කියලා. ඔහු පවට බියක් නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැහැ. ඔහු සිහිමුළාවට පත්වෙනවාය කියලා.

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ ආශ්‍රයම සොයාගෙන යනවා. ශ්‍රද්ධාව දුර්වල සම්මා සම්බුද්ධ ශාසනය හෑල්ලූවට පත්කරන මහණ බමුණන් සොයාගෙන යනවා. ඔවුන් හා මිශ්‍රවෙනවා. ඔවුන්ගේ සහායකයන් වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ සිතුවිලිම සිතනවා. ඔහුගේ සිතුවිලි මෙලොව තමාගේ දුක පිණිසත්, අනුන්ගේ දුක පිණිසත් හේතුවෙනවා.

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ මන්ත්‍රණයන්ම සිදුකරනවා. තමාට පීඩා පිණිසත්, අනුනට පීඩා පිණිසත් ඔවුන් මන්ත්‍රණය කරනවා. අනුන්ව බේදභින්න කිරීමට රට තුළ ජාතික, ආගමික අසමගිකම් ඇතිකිරීම උදෙසාම මන්ත්‍රණයන් සිදුකරනවා.

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ වචනම කතාකරනවා. ඔහුගේ වචන මුසාවාද, පිසුණාවාචා, සම්ඵප්ප්‍රලාපයන්ගෙන් දූෂණය වෙලයි තිබෙන්නේ. කතාවක් කළොත් බොරුවක්මයි, අනුනට මඩ ගැසීමක්මයි, විවේචනයක්මයි, ඇති ගුණ වසන්කොට කථා කිරීමක්මයි, නැති ගුණ හුවාදැක්වීමක්මයි.

අසත්පුරුෂ පුද්ගලයා, අසත්පුරුෂ කර්මයන් සිද්ධ කරනවා. ඔහු මහා සංඝරත්නයේ සිත් සතන් මානසිකව හිංසනයට පත්කරවා තම විරුද්ධවාදීන්ගේ සිත් කායිකව, මානසිකව හිංසනයට පත්කරනවා. ඔහු සිත්සේ සොරකම් කරනවා. සිත්සේ කාමයේ වරදවා හැසිරෙනවා. මිච්ඡා ආජීවයේ යෙදෙනවා. මෙවැනි අසත්පුරුෂ කර්මයන් සිදුකරන පුද්ගලයන් ස්වාමීන් වහන්සේලාට මිල මුදල්, ලාභ සත්කාර සහ සංවිධානාත්මකව කාන්තාවන් යොදවා තම අසත්පුරුෂ අරමුණුවලට කොටුකර ගන්නවා.

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ දානයන් දෙනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන් තොරව දන් දෙනවා. කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව, සියතින් සකස් කිරීමෙන් තොරව දන් දෙනවා. තම සමාජ තත්ත්වය ප්‍රකට කිරීම උදෙසා, දේශපාලන අරමුණු උදෙසා, ස්වාමීන් වහන්සේලාගේ සිත් දිනාගැනීම උදෙසා පූජා කරන අසත්පුරුෂ දානයන් සමාජයේ ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේමයි මංගල ප්‍රියසාදයන්හිදි ප්‍රණීත ආහාර ඇති තරම් අනුභව කරන්නට සලස්වා මිල අධික මත් වතුර සිහිවිකල් වෙනතෙක්ම බීමට ඉඩ සලස්වා අවසානයේ සුබ අනාගතයක්, සුබ රාත්‍රියක් කියලා තම ගෙවල්වලට පිටත් කරන, අසත්පුරුෂ දානයන් ද සමාජයේ ඕනෑ තරම් තිබෙනවා.

ඒ වගේමයි අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ දෘෂ්ටීන් ඇතිකොට ගන්නවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහු කර්මය කර්මඵල විශ්වාසය පිළිගන්නේ නැහැ. නැවත පටිච්චසමුප්පන්න උපත, දානයේ සහ ශීලයේ ආනිශංස, මවුපිය ගුණය පිළිගන්නේ නැහැ. අසත්පුරුෂ පුද්ගලයන්ගේ එකම විශ්වාසය වෙන්නේ තමන් නොමැරෙන මිනිසුන්ය යන්නයි. ඒ නිසාම ඔවුනගේ මරණය ඛේදවාචකයක්ම වෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහලවෙන්නේ පාපය ලාමක දෙයක් වශයෙන් දැකලා පාපයෙන් මිදෙන්න කියන සැබෑ ලෞකික සැපයටත්, විදර්ශනාත්මක, ලෝකෝත්තර සැපයටත් මාර්ගය ලෝක සත්ත්වයාට මතුකොට දීමටය.