ප්‍රාතිමෝක්‍ෂ ශීලය දුර්වල වන්නේ ඇයි?

දිගින් දිගටම පැවති වැසි සහිත කාලගුණය නිසා, පරිසරයේ ගහකොළ සියල්ලක්ම රූපයේ ආශ්වාදයෙන් හොඳටෝම තිරිහන් වෙලා. ළපටි දලූ, ළපටි කොළ වලින් නැවුම් වූ පරිසරය, රූපයේ ආදීනවය ගැන පුංචි හෝ මතකයක්වත් අවධිකොට දෙන්නේ නැහැ.

පලූ ගස්වල තරුණ කොළ බුදින වඳුරු රංචුව, මේ දිනවල ආහාර අහේනියක් නැති නිසාම, වෙනදාට වඩා අකීකරුභාවයෙන් කුටිය අවට කැලෑ පරිසරයේ හැසිරෙන්නේ කුටියේ වැලි මළුව කොතෙක් ඇමදුවත්, අතු කොළ වට්ටලා වැලි මළුව අපිරිසිදු කරනවා.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී, ඇවිදින ඉරියව්වට වඩා, පනින ස්වභාවයේ ඉරියව් දැක්වූ ස්වාමීන් වහන්සේ නමක් අරභයා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අදාළ ස්වාමීන් වහන්සේ අතීත ආත්මභාව පන්සියයක වඳුරු කුලයේ ඉපදීම නිසාම, සාංසාරික පුරුද්දට, උතුම් රහත්ඵල අවබෝධය ලැබූ මේ ජීවිතයේදීත්, දෙපයින් වැඩම කිරීමට වඩා පැනීමේ ඉරියව්වට ප්‍රියතාවයක් දක්වනවාය කියලා. උතුම් රහතන් වහන්සේ නමකගේ ජීවිතයත්, වඳුරු කුලයේ ජීවිතයකුත් අතර පටිච්චසමුප්පන්නව තිබිය හැකි සමීප සම්බන්ධය මොනතරම් නම් ධර්මානුකූල ද?

පාරිලෙය්‍ය වනයේ දී, හුදකලාව වැඩසිටි බුදුරජාණන් වහන්සේට මී වද වලින් පූජාවක් සිදුකළ ඒ පිංවන්ත වඳුරා, පටිච්චසමුප්පන්නව සංසාරයේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියාට කිසිදු සැකයක් නැත. අපි කල්‍යාණමිත්‍ර ආශ්‍රයන් ලැබුවත්, සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම දුර්වල නම්, පුංචි තැනක් වැරදුනොත්, සතර අපාය අපිට උරුමය.

සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම දුර්වල පිංවතෙක්, පසුගිය දවසක භික්‍ෂුවට චෝදනාවක් සිදුකරලා තිබුණා සද්ධර්මයත්, දේශපාලනයත් පටලවා ගන්න එපාය කියලා.

බුදුරජාණන් වහන්සේ, උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයට දේශනා කොට තිබෙන්නේ, පිංවතුන්ලාගේ මෙලොව යහපත උදෙසා, දෙවැනිව පිංවතුන්ලාගේ පරලොව යහපත උදෙසා, තෙවැනිව මෙලොව සහ පරලොව කෙරෙහි තෘෂ්ණාව බැහැර කොට භව නිරෝධය සාක්ෂාත්කොට ගැනීම උදෙසායි.

ඉහත අර්ථයන් තුනම එකිනෙකට බැඳිලයි තිබෙන්නේ. මෙලොව යහපත් කොටගත් පිංවතායි, පරලොව යහපත් කොටගන්නේ. මෙලොව, පරලොව යහපත උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතුකොට ගන්න පිංවතායි භව නිරෝධය දෙසට අවශ්‍ය, සම්මා සමාධිමත් සිතක් ඇතිකොට ගන්නේ.

භික්‍ෂූන් වන අපිට පිංවත් ඔබලාගේ මෙලොව යහපතෙන් තොරව, පරලොව යහපතක් ගැන කතා කරන්න බැහැ. ඉහත අර්ථයන් දෙකින් තොරව, භව නිරෝධයක් ගැන කතා කරන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබේ මෙලොව, පරලොව යහපත උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතුකොට ගන්නය කියල. රටේ දේශපාලනය උදෙසා, රාජ්‍ය ප්‍රතිපත්තීන් උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගී කොටගන්නය කියල. බුදුරජාණන් වහන්සේගේ රාජ්‍යයක සුරක්‍ෂිතභාවය උදෙසා, සතුරු බලමුළු පරාජය කොටදැමීම උදෙසා සප්ත අපරිහානි ධර්මයන්, දසරාජ ධර්මයන් සූත්‍රගත ධර්මයේ බොහෝම පැහැදිලිව දේශනාකොට තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියදී, කොසොල් රජතුමාට, බිම්බිසාර රජතුමාට, අජාසත්ත රජතුමාට නිරතුරුවම ධර්මාවවාදයන් ලබා දුන්නා. දානමාන පිංකම් සිදු කිරීමට නිරතුරුවම අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නොවේ, රජතුමන්ලාගේ අන්තඃපුර බිසෝවරුන්ට ධර්මය දේශනා කිරීමේ අවසරය ආනන්ද ස්වාමීන් වහන්සේට ලබා දී තිබුණා. ඉහත සෑම කාරණයකින්ම බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්වූයේ රාජ්‍ය පාලනය උදෙසා, ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගී කොටගැනීමේ ඇති වැදගත්කමයි. දේශපාලනයට සද්ධර්මයේ අර්ථයන් මුහුකිරීමේ වැදගත්කමයි.

ගෞරවනීය භික්‍ෂූන් වහන්සේ පක්‍ෂ, පාට අනුව බෙදී දේශපාලනය කිරීම, ඡන්දය ඉල්ලීම, ඡන්දය ප්‍රකාශ කිරීම ධර්මානුකූලව ප්‍රාතිමෝක්‍ෂ ශීලය දුර්වලකොට ගැනීමකි. මේවා භික්‍ෂූන් වන අපිට කැප නැත. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සූත්‍රගත ධර්මයන්ට අදාළව, යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා සද්ධර්මයෙන් අනුශාසනා කිරීම, භික්‍ෂූන් වන අපිට බුදුරජාණන් වහන්සේ පවරා ඇති ශාසනික වගකීමකි. නමුත් මෙම ශාසනික වගකීම භික්‍ෂූන් වන අපි ඉටුකළ යුත්තේ, අපේ ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ආරක්‍ෂාව දිවි හිමියෙන් ආරක්‍ෂා කොටගෙනය.

භික්‍ෂූන් වන අපි ප්‍රාතිමෝක්‍ෂ ශිලයෙන් ආරක්‍ෂා වී, සියලූ සංස්කාරයෝ අනිත්‍ය බව දකිමින්, එම අනිත්‍ය වී යන සද්ධර්මයේ ආරක්‍ෂාව උදෙසා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගරු කරන, ශීලයෙන් සමාජයට පූර්වාදර්ශයන් දිය හැකි රාජ්‍ය නායකයන් රටට පත්කොට ගන්න කියලා ජනතාවට අනුශාසනා කිරීම, දේශපාලනය කිරීමක් නොවේ. බුදුරජාණන් වහන්සේ නමැති උතුම් පිය උරුමයෙන් අපි ලැබූ ශාසනික වගකීමකි.

සත්ත්වයා අත්විඳින මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකට එකම හේතුව, පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව යැයි මතුකොට දෙන, මේ උතුම් ධර්මය තෘෂ්ණාව තමන් තුළින්ම නිරෝධය කරන, සියුම් කොටගන්න එකම මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි මතුකොට පෙන්වන මේ උතුම් ධර්මය ලෝකයාට දේශනා කරන්න එපා.

මගේ ආධිපත්‍යයෙන් ලෝකයාව මුදා ගන්න එපා. ලෝකයාට ඇත්ත කියන්න එපා. ලෝකයාව දුක නමැති ලෝකයෙන් නිදහස් කරන්න එපා. ලෝකයා කාමච්ඡන්දයන් තුළම සිරගතකොට තබන්න යැයි වසවර්ති මාරයා ජයශ්‍රීමහා බෝමැඬදී බුදුරජාණන් වහන්සේට තර්ජනාත්මකව ප්‍රකාශ කරනවා.

වසවර්ති මාරයා බුදුරජාණන් වහන්සේට සැල කළේ දුකෙන් පෙළෙන සත්ත්වයාට දුකෙන් මිදෙන මාර්ගය දේශනා නොකොට වහ වහා පිරිනිවීයන්න කියලයි.

මාර තර්ජනයන්ට යටත් වී බුදුරජාණන් වහන්සේ ජයශ්‍රීමහා බෝමැඬදී පිරිනිවන් පෑවා නම්, චතුරාර්ය සත්‍යය ධර්මයන් ලෝකයාගෙන් සැඟවී යනවා. එවිට ලෝකය තුළ ඉතිරි වෙන්නේ, කාලා බීලා, විනෝද වෙලා, හම්බුකරලා මරණින් පසු සියල්ල ඉවරයි කියන වර්ගයේ ධර්මයක්.

වර්තමානයේ ඉහත අසත්ධර්මය බොහෝම වේගයෙන් සමාජගත වෙනවා. පරලොවක් ගැන සිතන්නේ නැහැ. සුගතියක් ගැන සිතන්නේ නැහැ. මැරිලා නැවත උපදිනවාය කියලා දන්නේ නැහැ. උපන් රට, ජාතිය, ආගම විකුණාගෙන කනවා. බලය උදෙසා සියලූ ගුණාත්මක මිනිස් ධර්මතාවයන් පාවා දෙනවා. මෙවැනි අසත්ධර්මයන්ගෙන් ජීවිත පුරවාගත් පිංවතුන්ලාට තිබෙන එකම ගැළවීම සහ සැනසීම, සද්ධර්මය මරා දමා උපදින නිර්ආගමික මිථ්‍යාවයි.

සියලූම සුන්දර වූ ද, අසුන්දර වූ ද සංස්කාරයෝ අනිත්‍යවී යනවා. අපි ලබන ජයග්‍රහණයේ හෝ පරාජයේ සංස්කාරයන් නිත්‍යභාවයෙන් තබා ගන්න අපි කාටවත්ම බැහැ. මේ මොහොතේ ලැබූ ජයග්‍රහණය, ඊළඟ මොහොතේ පරාජයක් බවට පත්වෙන්න පුළුවන්.

මේ ලෝකධාතුවේ මනුෂ්‍යයෙක් ලබන ශ්‍රේෂ්ඨම ලෞකික සැපය සහ බලය වෙන්නේ, සක්විති රජ පදවියයි. මෙය සටහන් තබන භික්‍ෂුව මොහොතක් ඇස්දෙක පියාගෙන අනිත්‍ය පංච උපාදානස්කන්ධ ධර්මයන්ට අදාළව නුවණින් දකිනවා, සංසාරයේ පටිච්චසමුප්පන්නව මම සක්විති රජපදවි කී දහසක් ලබන්න ඇති ද කියලා. භික්‍ෂුව මෙම සටහන කියවන පිංවත් ඔබටත් ආරාධනය කරනවා, ඒ අනිත්‍ය පංච උපාදානස්කන්ධය ඔබත් නුවණින් දකින්නය කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සක්විති රජුට පෙර සශ්‍රීක පින නිසාම දහසක් නිම්වළලූ සහිත දෙවි සත්රුවනක් පහළ වෙනවාය කියලා. එවිට එම සක්විති රජු සුවඳ දියෙන් නා පිරිසිදු වී වමතින් පැන් කෙණ්ඩිය ගෙන භවත් සත්රුවන පෙරලේවා, පෙරලේවා, සතර මහා දිවයින්ම දිනේවා කියලා දකුණතින් දෙවි සත්රුවනට දිය ඉසිනවා. එකල්හි එම දෙවි සත්රුවන මහා සාගරයෙන් එතෙරව සතර දිශාවන්ට පෙරළි පෙරළි යනවා. යම් පෙදෙසක සත්රුවන රැඳී සිටියේ ද, සක්විති රජු තම සිව්රඟ සේනා සමඟ පැමිණ එම රාජ්‍යයේ නවාතැන් ගන්නවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

එවිට අදාළ රාජ්‍යයේ රජතුමා සක්විති රජතුමා වෙත පැමිණ මහා රජාණෙනි, වඩින්න මේ රාජ්‍යය ඔබට පූජා කරමි. අපට මෙතැන් පටන් අනුශාසනා කරන සේක්වා යැයි ඉල්ලා සිටිනවා. සක්විති රජතුමා ඔවුනට අනුශාසනා කරන්නේ පංචශීලය ආරක්‍ෂා කොටගෙන ජීවත් වෙන්න කියන අනුශාසනය පමණක්මයි.

යුද්ධ නොකොට, සක්විති රජුගේ පිනේ ශක්තියෙන් සතරමහා දිවයින්ම, සක්විති රජුගේ යටත්භාවයට පත්වෙනවා. මෙවැනි මහේශාක්‍ය, සුන්දර, ප්‍රණීත සංස්කාරයෝත් අනිත්‍ය වෙලා ගියා. ඒ ප්‍රණීත ආශ්වාදයන් ආදීනවයන් බවට පත්වුණා.

අපි පටිච්චසමුප්පන්නව ලබන සියලූම සුන්දර වූ ද, ප්‍රණීත වූ ද සංස්කාරයෝ අනිත්‍යයි යන ලෝකයක, අපි මුලින්ම ආරක්‍ෂා කොටගත යුත්තේ, මේ අනිත්‍ය ධර්මය ලෝකයාට දේශනා කරන, සත්ත්වයා විඳින දුක, මේ දුකට හේතුව, මේ දුක නැති කිරීමේ මාර්ගය ලෝකයාට කියන මේ උතුම් සද්ධර්මයයි. එය පිංවත් ඔබේත්, මගේත් පරම පූජනීය වන්දනීය යුතුකමයි.

දෑස් දෙක පියවෙන තුරාවට මෙය සටහන් තබන භික්‍ෂුව, පරාජය කරන්නට කාටවත්ම බැහැ. ඒ ”මම” නිසා නොවේ. ”මම” කියන කුණු ආත්මීය අර්ථය, පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකින නිසාමය. භික්‍ෂුවගේ ජය සහ පරාජයන් අයිති අතීත සංස්කාරයන්ටයි. පිංවත් ඔබ පරාජයට අකමැති නම් කරුණාකර කුසල් ධර්මයන් ඔබේ පරම හිතවතා කොටගන්න.

කරුණාකර, ජයග්‍රාහී නායක පිංවතුන් ඉහත අර්ථයන් ජීවිතවලට එකතු කොටගන්න. එවිට ඔබලා ලැබූ ජයග්‍රහණයන් දීර්ඝායුෂ ලබාවි.