තෘෂ්ණාව ඇති තැන බැඳීම් උපරිමයෙන් තිබේ

මේ 2020 ජනවාරියයි. අලූත් අවුරුද්දක්, අලූත් දවසක්, අලූත් බලාපොරොත්තුවක් අලූත් ප්‍රාර්ථනාවක්, අලූත් ජීවිතයක් පිංවත් හැමගේම ජීවිත අලූත්වෙලා ගෙවීගිය පරණ අවුරුද්ද පමණක් අතීතයට වෙලා කාගේවත් සෙනෙහසක් නැතුව බලා සිටිනවා. මෙය සටහන් තබන භික්ෂුවට මැවිලා පෙනෙනවා තවත් දවස් තුන්සිය හැටපහක් ගෙවී ගිය තැන මේ ලැබුවා වූ සුන්දර 2020 අලූත් අවුරුද්දත් අතීතයේ කුණු කූඩයට වැටිලා කාගේවත් සෙනෙහසක් නැතුව බලා සිටින හැටි.

අලූත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු ගොඩාක් හදවතේ දරාගත්ත අම්මා කෙනෙක් උදෑසන පිණ්ඩපාත දානයට පාත්‍රයට කිරිබත් කැබැල්ලක් පූජා කරලා ස්වාමීන් වහන්සේ, ඔබවහන්සේට සුබ අලූත් අවුරුද්දක් වේවා කියලා සුබපැතුවා. භික්ෂුව එම අම්මාට ප්‍රකාශ කළේ මෑණියෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපිට අලූත් අවුරුද්දක් කියලා විශේෂ දවසක් නැහැය කියලා. දවසින් දවස ජරා, ව්‍යාධි, මරණ වලින් පරණ වෙන අපිට කෙසේ නම් අලූත් භාවයක් ලැබෙන්නද?

අවංකභාවයෙන් යුතුව සිදුකරන සුබපැතීමක් තුළ මෛත්‍රිය, කරුණාව, මුදිතාව හොඳින්ම කැටිවෙලයි තිබෙන්නේ. එවන් සුබපැතීමක් තුළින් දෙපාර්ශ්වයටම ආයුෂය, වර්ණය, සැපය, බලය ජීවිතවලට එකතු වෙනවා. නමුත් සියලූම සංස්කාරයෝ වෙනස් වී යන පංච උපාදානස්කන්ධ ලෝකයක ආයුෂ, වර්ණය, සැපය, බලය කියන්නේත් පව ඉදිරියෙත්, අකුසලය ඉදිරියේත් වෙනස් වී යන ධර්මතාවයක්මයි.

2020 ජනවාරි පළවැනිදා කියන්නේ භික්ෂුවගේ ජීවිතයේ ගෙවා දැමූ පනස් අටවැනි (58* අලූත් අවුරුද්දයි. භික්ෂුව මෙලොවට බිහිවුණේ දෙසැම්බර් 21 වැනිදා නිසාම භික්ෂුවගේ ජීවිතයේ පළමුවැනි ජනවාරි පළමුවැනිදා උදා වුණේ භික්ෂුව දවස් දහයක් වයසැති පුංචි බිලින්දෙක්ව සිටියදීය.

භික්ෂුව මොහොතක් අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමුකොට දකිත්දි භික්ෂුවගේ ජීවිතයේ ගෙවීගිය අලූත් අවුරුදු පනස් අට (58* භික්ෂුවට දැනෙන්නේ අනිත්‍ය වූ සංස්කාර විසින් ඇටවූ මායාවක් වශයෙන්මයි. ඒත් ඒ හිස් මායාකාර අතීතය ඇත්ත වසන් කොට බොරුව ඇත්ත කොට පෙන්වන මැජික්කරුවෙක්සේ අනාගතය උදෙසා කොතෙක් නම් සංස්කාරයෝ රැස්කොට දෙන්නට ඇතිද?

පිංවත් ඔබ අද දවසේ ලැබුවා වූ අලූත් අවුරුද්ද නිත්‍යභාවයෙන් දකිමින් අනාගතය උදෙසා මොනතරම් නම් කුසල් සහ අකුසල් සංස්කාරයන් රැස්කොටගන්නට ඇති ද? සුබම, සුබ අලූත් අවුරුද්දක් වේවා යැයි හිතවතෙකුට, හිතවතියකට සුබපතද්දී ඒ චේතනාව තුළ මොන තරම් නම් තෘෂ්ණාවක් බැසගෙන තිබෙනවාද?

තෘෂ්ණාව තිබෙන තැන උපාදානය හෙවත් බැඳීයැම තිබෙනවා. බැඳීයැම තිබෙන තැන භවය තිබෙනවා. භවය තිබෙන තැන ජාති, ජරා, ව්‍යාධි, මරණ තිබෙනවා. තෘෂ්ණාව බැසගත් සුබපැතීමක් තුළ අනාගත ජාති, ජරා, ව්‍යාධි, මරණ සියල්ලක්ම සැඟවී තිබෙනවාය කියන කාරණය ධර්මානුකූලව පිංවත් ඔබ තේරුම් ගන්න.

සමාජය සමග කටයුතු කිරීමේදී එකිනෙකා සමග සහයෝගයෙන්, මිත්‍රශීලීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. එම නිසා පිංවත් ඔබලා සුහදව මෙත් සිතින් එකිනෙකා සමග සුබපැතුම් හුවමාරු කොට ගන්න. ඒ සෑම සුබපැතීමක් අවසානයේම ඔබ නිහඬව සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. මේ ලැබුවා වූ මායාකාර අලූත් අවුරුද්දත් පරණ වී යන බව විදර්ශනාත්මකව නුවණින් දකින්න. එවිට පිංවත් ඔබේ ගෞරවනීය, ආදරණීය අලූත් අවුරුදු සුබපැතුම විදර්ශනාත්මක සුබපැතුමක් වේවි. මේ ධර්මානුකූල යථාර්ථය අපි තේරුම් නොගන්නා තාක්කල් අලූත් අවුරුද්දක් කියලා කියන්නේ ඇතෙක් බරට අනාගතයට සංස්කාරයන් එකතුකොට ගන්නා මාරයාටම අයිති අවුරුද්දක් වනු ඇත.

ජාති, ආගම් බේදයකින් තොරව මාරයා ඔබට අලූත් අවුරුදු, සිංහල අවුරුදු, නත්තල්, තෛපොංගල් මේ සුන්දර උත්සවශ්‍රීයන් ලබා දී තිබෙන්නේ මාරයාගේ ලෝකයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සාධකය වන තෘෂ්ණාව හේතුවෙන් සකස් වන්නා වූ සංස්කාරයේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීම උදෙසාමය. මේ ඇත්ත උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධකොටගත් අපගේ ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන් අපිට ඔබලා අත්දකින සැබෑම අලූත් අවුරුද්ද, ඔබලා අත්දකින සැබෑම සිංහල අලූත් අවුරුද්ද යනු පිංවත් ඔබලා මේ පංච උපාදානස්කන්ධ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත්කොට ගන්නා දිනය වශයෙනුයි ධර්මානුකූලව සටහන් තැබිය යුත්තේ. විදර්ශනාත්මක අලූත් අවුරුද්දක්, නෙක්ඛම්මයෙන් පෝෂණය වූ අලූත් අවුරුද්දක්, ආර්ය ශ්‍රද්ධාවෙන්, ආර්ය ශීලයෙන් පෝෂණය වූ අලූත් අවුරුද්දක්, මෙයයි පිංවත් ඔබත් මමත් ප්‍රාර්ථනා කළ යුතු සතර අපා දුකෙන් මිදුණා වූ අලූත් අවුරුද්ද වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පිංවතෙක් ඇස පිනවීම උදෙසා, කන පිනවීම උදෙසා කාමයන් කෙරෙහි සිත ඇලී ගැලී වාසය කරයි ද, සැපයම නිත්‍යකොටගෙන ප්‍රාර්ථනා කරයි ද, ජීවිතය පසුකාලීනව දකිමින් ජීවත්වීමට ප්‍රාර්ථනා කරයි ද එම පිංවතාගේ සිත අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන්ගෙන් පෝෂණය වූ නෙක්ඛම්මය තුළ නොපිහිටයි කියලා.

මෙය සටහන් තබන භික්ෂුවට ගිලන්පස කෝප්පයක් පූජාකොට සිටගෙන සිටින ඉරියව්වෙන්ම වන්දනා කළ මහත්මයෙක් ප්‍රකාශ කළේ ස්වාමීන් වහන්ස, දණහිස් නවන්ට බැහැ පුදුමාකාර වේදනාවක් දැනෙනවා, එම නිසායි සිටගෙන වන්දනා කරන්නේ කියලා. භික්ෂුව එම මහත්මයාගෙන් දැන් වයස කීයද කියලා ඇසුවාම වයස අසූවයි කියලා ප්‍රකාශ කළා. භික්ෂුව එම වයෝවෘද්ධ මහත්මයාට වයසත් සමග ශරීරයේ දිරායැම අපි කාටත් පොදුයි කියලා මතක් කරනකොට එම මහත්මයා බොහෝම උද්‍යෝගයකින් ප්‍රකාශ කළේ මේ වයසට නොවේ ස්වාමීන් වහන්ස, වාත අමාරුවටයි කියලා. ඒ පිංවත් මහත්මයා සිතන්නේ වයස අසූවත් තරුණ වයසක්ය කියලා.

සංස්කාරයෝ නිත්‍ය, සැප, සුබ වශයෙන් දකින මෙවැනි පිංවතුන්ලාට කවදාක නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේදී ප්‍රීතිය, සැපයෙන් පිරි අලූත් අවුරුද්දක් උදාවෙන්න ද? සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය සක්සුදක්සේ දකින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකුට පෙබරවාරි මාසේ විසිඅට වැනිදාත් අලූත් අවුරුද්දක්මයි.

සංස්කාරයන්ගේ නිත්‍යභාවයෙන් පෝෂණය වූ නෙක්ඛම්මයෙහි නොපිහිටන සිත අසුබයක්, පිළිකුලක්, මරණානුස්සතියක් නොදකින ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් වැඩීම පිණිසමයි හේතුවන්නේ. නෙක්ඛම්මයෙහි නොපිහිටන සිත ඇතෙක් බරට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි සක්කාය දිට්ඨියේ ආහාරයක්මයි, ආයතන හයට කෑම මේසය පිළියෙළ කොට දෙන්නේ.

පිංවත් ඔබ ලැබුවා වූ 2020 නව වසර තෙරුවන්ට ගරුකරන, ආර්ය මාර්ගයට ගරුකරන, අප්‍රමාදීභාවය ගරුකරන, ධර්ම සාකච්ඡාවට ගරුකරන පරණ නොවන අලූත් අවුරුද්දක් උදෙසා අලූත් ධර්මානුකූල දැකීමක් ඇතිකොට ගන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ අවිද්‍යාවෙන් උපත ලැබූ, තෘෂ්ණාවෙන් පෝෂණය වෙන්නා වූ මේ පංච උපාදානස්කන්ධ ලෝකය හරිම ගොරහැඩියි, හරිම බියකරුයි, හරිම අනතුරු සහිතයි. ඇසිපිය හෙළන පුංචි නිමේෂයකදී දිව්‍යතලයක දෙවියෙක්, තිරිසන් ලෝකයේ තිරිසන් සතෙක් වෙන්න පුළුවන්. පටිච්චසමුප්පන්න ලෝකය සිතුවිල්ලක් ඇතිවෙලා නැතිවෙලා යන වේගයටත් වඩා වැඩි වේගයෙන් නැවත නැවත සංස්කාර හේතුවෙන් තිරිහන් වෙනවා.

මිථ්‍යා දෘෂ්ටි, මිථ්‍යා සංකප්ප, මිථ්‍යා වාචා ආදී වූ සතර අපා දුක මැදිකොට පිහිටි ජරා, ව්‍යාධි, මරණ දුක ඝනව පිහිටි අනතුරු සහිත සැපය අතුරුදන් වූ නොමඟ වසා දමා බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබලාට මහා කරුණාවෙන් සැකයෙන් බියෙන් තොරව ගමන් කළ හැකි ප්‍රීතියෙන් සැපයෙන් ජීවත්විය හැකි ආර්ය මාර්ගයක් විවෘත කොට තිබෙනවා.

පිංවත් ඔබලාට ප්‍රීතිය සතුට අවශ්‍ය නම්, කරුණාකර ඒ බියෙන් තොර ආර්ය මාර්ගය වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වූ මාර්ගයම පරිහරණයට තෝරා ගන්න. එම ආර්ය මාර්ගයම සරණකොට ගන්න. අන් කෙනෙකු, අන් පුද්ගලයකු සරණකොට ගන්න එපා. ඔබ ඔබට දූපතක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

නමුත් අපි සෑම මොහොතකම ධර්මය සරණකොට ගන්න උත්සාහ ගන්නේ නැහැ. අනුනගෙන් සරණක් ලබන්නට අපේ සරණ අනුනට භාර දෙන්නට අපි හරිම කැමතියි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ වියරු පංච උපාදානස්කන්ධ සැඩ පහරින් මිදීම උදෙසා, අනතුරු අවමකොට ගැනීම උදෙසා ඔබේ ජීවිතය දූපතක් කොට ගන්න කියලා. ඔබේ ජීවිතය චණ්ඩ තෘෂ්ණාවේ සැඩ පහරට ඔරොත්තු නොදෙන කෙසෙල් කොට ඔරුවක් කරගන්න එපා.

පිංවත් ඔබ ධර්මය ජීවිතයේ එකම සරණකොටගත් තැන ධර්මයේ සැබෑම ප්‍රතිලාභයන් ඔබ වෙත ගලාගෙන එනවා. මොනවාද ධර්මයේ ප්‍රතිලාභයන් වෙන්නේ? ස්වාභාවික ධර්මයේ ප්‍රතිලාභයන් වෙන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලයයි.