ඔබ ලෝකයට යන්න හැරලා, ලෝකය පසුපසින් යන්න. එවිට පිංවත් ඔබට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ලෝකය අල්ලාගැනීමට යැම තුළින්මයි අපි වෙහෙසට පත්වෙන්නේ. රූපයේ අනිත්‍යභාවය දකිමින්, කෙළෙස්වල තුනී භාවය ඇතිකරගන්න. සෝවාන් ඵලයට පත්වුණ බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යය පාලනය කළේ, රූපයේ අනිත්‍යභාවය දැකීම තුළින් ඇතිකරගත් කෙළෙස්වල තුනීභාවය තුළින්මයි. යම් පිංවතෙක් පැවිදිවෙනකොට හෝ උපසම්පදා වෙනකොට අසන සාම්ප්‍රදායික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්රශ්නය තමයි ‘ඔබ රාජ භටයෙක්ද?’ කියන කාරණය. රාජ්‍ය හමුදාවන්ට අයිති භටයෙක්ද යන්න විනය කාරණාවක් බවට පත්වෙන්නේ බිම්බිසාර රජතුමා නිසා.
වරක් බිම්බිසාර රජතුමාගේ රාජ්‍යයේ ප්‍රාන්තයක සොරුන්ගෙන් ජනතාව පීඩාවට පත්වෙනවා. ප්‍රදේශය සාමකාමී කිරීම සඳහා රාජ නියෝගයෙන් යුද භටයන් අදාළ ප්‍රදේශයට පිටත්කොට හරිනවා. මෙහෙම යුද්ධයට ගිය දක්ෂ හමුදා නිලධාරීන්, ස්වාමීන්වහන්සේලාගෙන් බණ අහලා අකුසලය කෙරෙහි බියවෙලා පැවිදිවෙනවා. බිම්බිසාර රජතුමාට දැනගන්න ලැබෙනවා තම යුද සේනාවේ දක්ෂයන් පැවිදිවෙලාය කියන කාරනය. මේ හේතුව නිසාම ප්‍රාන්තයේ සොරුන්ගේ ග්‍රහණය වැඩිවෙලයි තිබුණේ. බිම්බිසාර රජතුමා මේ ගැන බුදුරජාණන්වහන්සේට පැමිණිලි කරනවා. යුද්ධය සංසිඳවන්න, ප්‍රදේශය ආරක්ෂා කරන්න යොමු කරපු හමුදාවේ භටයන් පැවිදිකිරීම වරදක්ය කියලා. යුද සේනාවේ පිරිස් පැවිදි කිරීම නිසා, සොරුන් මංපහරන්නන් දැඩි ලෙස ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්කොටගෙනයි තිබුණේ. මෙම කාරණාව ඇත්තක් බව දැනගත්ත බුදුරජාණන්වහන්සේ විනය කාරණාවක් පනවනවා, නිත්‍යානුකූලව රාජ්‍ය හමුදාවන්ගෙන් ඉවත් නොවූ කිසිවෙක් පැවිදි උපසම්පදා කිරීම තහනම් කරලා. මෙම විනය කාරණා පැනවෙන්නේ සෝවාන් ඵලයට පත්වුණු බිම්බිසාර රජතුමා නිසා. මේවායින් පැහැදිලි වෙනවා, යම් ගිහි පිංවතෙක් සෝවාන් ඵලයට පත්වුණාය කියලා, ඊට අදාළ ධර්මය ලෝකයට දේශනා කළාය කියලා, රට ජාතිය ආගම අනතුරට පත්වෙන්නේ නැහැ කියන කාරණය. අපේ කෙළෙස් වල ගොරෝසුකම නිසාම අපි ධර්මයට වැරදි අර්ථකථන දෙනවා.
හොඳයි නරකයි දෙකම ලෝකයේ තිබෙනවා. දුකයි සැපයි දෙකම ලෝකයේ තිබෙනවා. හොඳ ගැන පමණක් කථා කරන්න බැහැ. නරකත් ලෝකයේම කොටසක්. ඒ වගේමයි, නිවන ගැන කියන ධර්මයකුත්, භවය ගැන කියන ධර්මයකුත් ලෝකයේ තිබෙනවා. මේවා එකිනෙකට බැහැරව ලෝකය ගැන කථාකරන්න බැහැ. එම නිසා උතුම් නිවීමේ මාර්ගය ගැන කථාකිරීමේ අයිතියක් ලෝකයට තිබිය යුතුයි. උතුම් නිවන් මාර්ගයේදී අපේ ශාස්තෘන්වහන්සේ, ලොව්තුරා බුදුරජාණන්වහන්සේම බව මතුකොටගන්න අපි දක්ෂ වෙන්න ඕනා.
අද උදේ පිණ්ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක් මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ තද හිරුරැස්, කාටත් සමසේ විපාකයන් විඳීමට සලස්වනවා. භික්ෂුව පිණ්ඩපාතයේ වැඩමකොට, නැවත කුටියට වඩිනකොට එම එළදෙනගේ අයිතිකරු එළදෙනව සොයාගෙන ඇවිත්. එළදෙනගේ වැහැරුණු ස්වභාවය සමග බලනකොට එළදෙනගේ අයිතිකරු බොහොම පෘෂ්ඨිමත් කෙනෙක්. ඔහු බිම වැටී දඟලන එලදෙන ළඟට ඇවිත් බිම වැටී දඟළන එළදෙනගේ වලිගයෙන් අල්ලලා වේගයෙන් කැරකෙව්වා. එම පෘෂ්ඨිමත් මනුෂ්‍යයාගේ ශරීර ශක්තිය නිසා, භික්ෂුව හිතුවේ ඒ වැඩෙන් එළදෙනගේ වලිගය කැඩේවී කියලා. ඒත් එහෙම වුනේ නැහැ. එළදෙනගේ අකුසල් වගේම වලිගයත් ශක්තිමත්. වලිගය වේගයෙන් ඇඹරීම නිසා ඇතිවූ වේදනාවෙන් එළදෙන දෙතුන්වරක් මහ පොළොව මත කැරකී නැගිට ගැහි ගැහී දිවගියා. ඇය දිවගොස් බොහෝම උවමනාවෙන් තම ස්වාමියා දෙස බලා සිටියා. ‘අනේ ඔබත් කවදාහරි එළදෙනක් වෙලා මේ විදිහට මේ දුකම විඳිනවා නේද?’ කියන අයුරේ අදහසක් එළදෙනගේ බැල්ම තුළින් භික්ෂුව දැක්කේ. නමුත් එළදෙනගේ අයිතිකරු තුළින් භික්ෂුව දැක්කේ එවැනි බැල්මක් නොවේ. ඊළඟ මාසයේ මස් කඩයට හරක් පටවන ලොරිය එනතෙක්, එළදෙන මැරෙන්නට නම් එපාය කියන අදහසකුයි ඔහුගේ බැල්මෙන් ජනිත වුනේ. මල් ගැන කථා කරනකොට සුවඳ ඊට බැඳිලයි තිබෙන්නේ. ඒ වගේමයි, ජීවිත ගැන කථා කරන කොට දුක ඊට බැඳිලාම තිබෙනවා.
මේ ජීවිතයේදී මේ දෙදෙනා එළදෙන සහ එළදෙනගේ හිමිකරු වශයෙන් හමුවුණත් සංසාරයේ කී වතාවක් නම් මේ එළදෙන, එළදෙනගේ වත්මන් හිමිකරුගේ අම්මා වශයෙන් ඉපදිලා ඇතිද. අවිද්‍යාව විසින් පෙර සංසාරේ තමන්ගේ අම්මාව මේ ආත්මයේදී මසට විකුණගෙන කන තැනට අපිව පත්කොට තිබෙනවා.
දැඩි නියඟය මැද්දේ, කුසට අහරක් ජලයක් නොමැතිව, වැහැරීගිය ශරීරයකින් යුත් මේ එළදෙන දකිනකොට, භික්ෂුවට මතකයට එන්නේ, පෙර ජීවිතයක හොඳට හම්බකරලා, හොඳ රසවත් ආහාර තනිවම භුක්තිවිඳලා, හොඳින් දරු මුණුබුරන් හදලා, සුඛෝපභෝගී ජීවිතයක් ගතකරලා, දැඩි ලෝභකම නිසාම දන්දීම සිදුනොකර මියගිය කාන්තාවක්මයි. දන් නොදීම නිසා ආයුෂ, වර්ණය, සැපය, බලය හොඳටම දුර්වල කරලා. ශීලයක් රැක්කේ නැති නිසාම තිරිසන් ජීවිතයට වැටිලා.