මේ ආත්මයේ පිංකම්වලින් පමණක්‌ යැපෙන්නට හිතන්න එපා

අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ පංචඋපාදානස්‌කන්ධය ගිනිගන්නා විට ගිනි රස්‌නය මත සිසිලස සෙවීම විහිළුවක්‌ වෙනවා. දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්‌වෙන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත් ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්‌මයි.

පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට එනවිට ඔබ නිවැරැදිව ඔබේ ශාස්‌තෘන් වහන්සේ කවුද කියලා හඳුනාගන්න ඕනේ. අපේ ශාස්‌තෘන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. වෙනත් බාහිර පුද්ගල චරිත ඔබේ මාර්ගය කරගන්න එපා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පංචමහා ගංගාවන්ගෙන් කොතෙක්‌ ජලය ගලාගෙන ඇවිත් මහා සාගරයට වැටුණත් මහා සාගරය උතුරා නොයන්නේ යම්සේද, කොයි තරම් මනුෂ්‍යයන් දෙවියන් නිවන් අවබෝධයකරා ගියත් ලෝකය හිස්‌ වන්නේ නැහැ කියලා. එම නිසා පිංවත් ඔබ නිවන් මාර්ගයේ ගමන් කළාය කියලා කවදාවත් රට, ජාතිය, ආගම, අනතුරට පත්වෙන්නේ නැහැ.

අපි මේ ලෝකයට ඇවිල්ල තිබෙන්නේ යම් කාරණාවක්‌ උදෙසාමයි. ඒ කාරණය තමා තුළ සැඟවිලා තිබෙනවා. මේ තමා තුළ සැඟවිලා තිබෙන කාරණය මතුකර දෙන්නේ කුසලය සහ අකුසලය තුළිනුයි. මේ කුසලය සහ අකුසලය තමා තුළින් මතුකර දෙන්නේ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා කියන පුද්ගලයන් දෙදෙනා විසින්මයි. බුදුරජාණන් කෙරෙහි විශ්වාසයෙන් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයම සොයාගෙන යන්න. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් කුසලයම ජීවිතයට එකතුකරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය සොයාගෙන යොදුන් දහස්‌ ගණනක්‌ වුවද දුර යන්න කියලා. කළ්‍යාණ මිත්‍රයන් මුණගැසෙන්න, සද්ධර්මය ශ්‍රවණය කරන්න, එම කළ්‍යාණ මිත්‍රයන් අනුව ජීවත් වන්න කියලා. ජීවිතය තුළින් කුසල පක්‍ෂය වැඩෙන විට අතීතයේ විපාක නොදී තිබූ කුසල් ශක්‌තිය අයෝමය ශක්‌තියක්‌ ලෙසින් මතුවී එනවා. යමෙක්‌ අකුසල් පක්‍ෂය නම් වඩන්නේ ඔහු තුළින් අතීත අකුසල් ශක්‌තියයි මතුකර දෙන්නේ.

අපි දක්‍ෂ වෙන්න ඕන අතීත භවයන්හිදී විපාක නොදුන් කුසල් ශක්‌තිය මතුකරගන්න. විපාක නොදුන් අප්‍රමාණ කුසල් ශක්‌තියක්‌ අපේ ජීවිත තුළ සැඟවිලා තිබෙනවා. අතීතයේ සමහර බුද්ධෝත්පාද කාලවල අපි ඉපදිලා ගොඩාක්‌ කුසල් දහම් කරගෙන තිබෙනවා. සමහර සම්මා සම්බුද්ධ ශාසනවලදී අපේ ආයුෂ අවුරුදු විසිදාහයි. සමහර සම්මා සම්බුද්ධ ශාසනවලදී අපේ ආයුෂ අවුරුදු හතළිස්‌ දාහයි, හැටදාහායි…. ආදී වශයෙන් දීර්ඝ ආයුෂ අපි වින්දනය කර තිබෙනවා. මෙවැනි දීර්ඝ ආයුෂ වින්දනය කරපු කාලවල අපි ගොඩාක්‌ පිංකම් සිදුකරගෙනත් උපාදන පච්ඡයා භවෝ කියන ධර්මතාවය නිසා අපි සතර අපායන්ට වැටිලා තිබෙනවා. සතර අපායට වැටුණාට පසුව සතර අපායෙන් ගොඩ ඒමක්‌ නැහැ. සතර අපායේ සත්වයන් තුළ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ම වැඩෙන නිසා සතර අපායේ කාලය ඉතා දීර්ඝ වෙනවා. මේ හේතුවෙන් කළාවූ පිංකම් වලට විපාක දීමට ක්‍රමයක්‌ නැහැ. පිංවත් ඔබේ ජීවිත තුළ සැගවුණ මේ සියුම් තැන පිංවත් ඔබ නුවණින් මතුකරගන්න ඕන. සතර අපායන්ට වැටීම නිසා අතීතයේ විපාක නොදී තිබෙන මේ කුසල් කන්ද ඔබ මතුකර ගත යුතුයි.

මේ ජීවිතයේදී ඔබ සිදුකරගත් පිංකම්වලින් පමණක්‌ යැපෙන්න උත්සාහ ගන්න එපා. එය ඔබට ප්‍රමාණවත් මදි. විදර්ශනා නුවණ මතුකරගන්න.

ඔබ විවේකීව සිටින වෙලාවට භාවනා මනසිකාරයක්‌ තුළ සිටින වෙලාවට අතීත අති දීර්ඝ සම්මාසම්බුද්ධ ශාසන පිංවත් ඔබ නුවණින් මෙනෙහිකොට දකින්න. එම අතිදීර්ඝ ආයුෂ වින්දනය කළ කාලවලදී ඔබ සිදුකළා වූ අයෝමය පිංකම් මනසින් මතුකරගන්න. අතීත බුදුරජාණන් වහන්සේලාගෙන් සද්ධර්මය ශ්‍රවණය කළහැටි සිහියට නගාගන්න. බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, රහතන් වහන්සේලාට සිව්පසය පූජාකළ සැටි සිහියට නගාගන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසන වලදී භික්‍ෂු, භික්‍ෂුණී වශයෙන් පැවිදි උපසම්පදාව ලබා ගත කළ පැවිදි ජීවිත නැවත නැවත නුවණින් මෙනෙහි කරන්න.

එම පැවිදි ජීවිත අර්ථවත් නොවීමට හේතුවූ කාරණා නුවණින් දකිමින් ජීවත්වෙන්න. විපාක නොදුන් මේ කුසල් ශක්‌තිය පිංවත් ඔබ වර්තමානයේ මතුකර ගන්න.මේ අතීත කුසල් ශක්‌තිය නුවණින් මතුකර ගැනීම තුළිනුත් වර්තමානයේ ඔබ කරන පිංකම් තුළිනුත් කුසලයේ අයෝමය ශක්‌තිය ඔබ මතුකර ගන්න. මේ කුසලයේ අයෝමය ශක්‌තිය ඔබ තුළින් මතුවී පැමිණෙනවාය කියන්නේ ඔබ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අයෝමය ලෙස වැඩෙනවාය කියන කාරණයයි.

පිංවත් ඔබට මේ කුසල් ශක්‌තිය විදර්ශනා නුවනින් දැකීමට මාර්ගය සකස්‌කර දෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව විසින්මයි. ඔබ පසුබිම සකස්‌කර ගන්න. විදර්ශනා නුවන කියන කාරණය ඔබ තුළ තවම වැඩෙන්නේ නැතිනම් ඔබ කලබල වෙන්න එපා. ඔබේ අතීත කුසල් ශක්‌තිය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න. වර්තමානයේ කුසල් තුළින් අතීත කුසල් ශක්‌තිය මතුකර ගන්න. එසේ නොවුණහොත් තවම පාරමී කියන මෝහමූලික සිතුවිල්ල ගොදුරක්‌ බවට ඔබ පත්වෙනවා.