මෙසේ දකින්න, පුද්ගල සංඥාවෙන් මිදෙන්න

භාවනාවට ප්‍රවේශය – 3

පිංවතුනි ආයතන වශයෙන් මේ කය වෙන්කර දකින්න පුළුවන්. කුමක්‌ හේතුවෙන්ද ඇස, කන, නාසය, දිව, කය, මනස සකස්‌ වුණේ නාමරූප ධර්මයන් නිසා. කුමක්‌ නිරෝධය කළොත්ද නාමරූප නිරෝධය සිද්ධවෙන්නේ? අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. නාමරූප නිරෝධය හේතුවෙනුයි සලායතන නිරෝධය සිද්ධවෙන්නේ.

අපි එක පාරටම නාමරූප නිරෝධය සලායතන නිරෝධය කියල ගත්තොත් සමහරවිටක අපි භාවනාවේදී රැවටෙන්න පුළුවන්. මොකද සමාධි භාවනාවේදී ඇලීම් ගැටීම් වලින් තොර උපේක්‍ෂාව කියන මට්‌ටමේදී ඇස, කන, නාසය, දිව, කය, මනස සංසිඳිලා තිබෙන්නේ. යටපත්වෙලා තිබෙන්නේ. සලායතන නොදැනී ගොස්‌ සියුම්ව ගොස්‌ තිබෙන්නේ. මෙන්න මේ ස්‌වභාවයට සමහරෙක්‌ රැවටෙනවා සලායතන නිරෝධය කියලා. ඒ සමාධි ඵලයේදී ඉන්ද්‍රියන් සංසිඳී ගියත් අවිද්‍යාව තුළයි තමා සිටින්නේ. මෙන්න මේ හේතුව නිසා පටිච්චසමුප්පාද ධර්මය මුල, මැද, අග වශයෙන් පියවරෙන් පියවර දකින්න අවශ්‍යයි.

බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ඇස නිරතුරුව මැරෙමින් උපදිනවාය කියලා. එසේනම් ඇස උපදිනවාය කියන්නේ කුමක්‌ද? ඇස මැරෙනවාය කියලා කියන්නේ කුමක්‌ද? ඇස ඉපදෙනවාය කියල කියන්නේ ඇසත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ඵස්‌සය වීම හේතුවෙන් චක්‌ඛු විඤ්ඤාණය සකස්‌ වුණාය කියන කාරණයයි. චක්‌කුවිඤ්ඤාණය සකස්‌ වුණ සැනින් ඔබ මොකද කරන්නේ. ඇසෙන් දුටු රූපය ගැන මනසින් සිතන්න පටන්ගන්නවා. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණය සකස්‌ වුණාය කියන කාරණයයි. ඇසෙන් රූපයක්‌ දකිනවිට චක්‌ඛු විඤ්ඤාණය සකස්‌ වුණා. ඇසෙන් දැකපු රූපය ගැන සිතනවිට චක්‌ඛු විඤ්ඤාණය අනිත්‍යවෙලා මනෝ විඤ්ඤාණය සකස්‌ වෙනවා. මෙසේ හිතනවිට ඔබව මදුරුවෙක්‌ කනවා. ඒ මොහොතේ කාය විඤ්ඤාණය සකස්‌වෙනවා, මනෝවිඤ්ඤාණය අනිත්‍යවෙලා. චක්‌කුවිඤ්ඤාණය අනිත්‍යවෙලයි මනෝවිඤ්ඤාණය සකස්‌ වුණේ. ඔබ හොඳින් දැනගත යුතුයි මේ ආයතන හයෙන් කුමක්‌ හෝ එක ආයතනයක්‌ පමණයි වරකට ඉපදිලා තිබෙන්නේ. සෑමවිටම ආයතන පහක්‌ මැරිලයි තිබෙන්නේ. චක්‌ඛු විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය කියලා කියන්නෙ නෑ. මනෝ විඤ්ඤාණයට කායවිඤ්ඤාණය කියන්නේ නැහැ. එකක්‌ අනිත්‍යවෙලයි අනෙක සකස්‌ වෙන්නෙ. මෙන්න මේ ආකාරයට විඤ්ඤාණ ආයතන හය තුළින් ඉපදෙමින් මැරෙමින් ගලාගෙන යනවාය කියන්නේ ආයතනයක්‌ ඉපදෙමින් මැරෙමින් පුද්ගලයාගේ ආයුෂ උණුසුම පහව ගොස්‌ මැරෙන මොහොතේ, විඤ්ඤාණය චුති චිත්තය හැටියට මේ ශරීරයෙන් බැහැරව තවත් මව්කුසකට හෝ ඕපපාතික උපතකට හෝ බිත්තරයක්‌ තුළට බැසගන්නවා.

ඉහත හේතූන් නිසාමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ ‘ඇස, කන… නිරතුරුවම මැරෙමින් ඉපදෙනවාය කියන්නේ. එසේනම් පිංවතුන් මගේ කරගෙන තිබෙන්නේ නිරතුරුවම මැරෙන ඉපදෙන ඇසක්‌. ඉහත කරුණු අනුසාරයෙන් ඇසේ ඉපදීමත් මරණයත් නුවනින් මෙනෙහි කරන්න. ඔබ රූපයක්‌ දෙස හොඳින් බලන්න. ඔබට දැනේවි ඇස පමණයි ඉපදිලා තිබෙන්නේ අනෙක්‌ අයතන මැරිලයි තිබෙන්නේ කියලා. දැන් එම රූපය ගැන ඔබ සිතන්න පටන් ගන්නවා. එවිට ඔබට හොඳින් දැනේවි ඇස මැරුනා මනසයි ඉපදිලා තිබෙනනේ කියලා. මෙන්න මේ ඉපදීමේ මියයාමේ ක්‍රියාවලියේ වේගවත් භාවය හොඳින් නුවනින් මෙනෙහි කරන්න. ඇස මැරෙමින් ඉපදෙන මොහොතක්‌ පාසා මැරෙමින් ඉපදෙන විඤ්ඤාණය ගැන සියුම්ව මනසින් දකින්න උත්සහ ගන්න. ඇස පමණක්‌ නොවේ අනෙකුත් ආයතන ගැනද මෙසේ මෙනෙහි කරන්න. නිරතුරුවම මියයන උපදින ඇස කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න.

මීළඟට ඔබ ශරීරයේ කොටස්‌ හයකට මනසින් වෙන්කර ගන්න. ඇස මනසින් උගුල්ලලා පැත්තකින් තබන්න. කන, නාසය, දිව, හෘදවස්‌තුව, ඉතිරි මස්‌, කටු, නහර ගොඩ එක ගොඩකට ගන්න. මනස යැයි හෘදවස්‌තුව අනුමානයට ගන්න. දැන් පිංවත් ඔබ ඉදිරියේ වෙන් වශයෙන් ගොඩවල් හයක්‌ තිබෙනවා. මේ ගොඩවල් හය දකිද්දී ඔබට ඔබේ රූපය ගැන සංඥාවක්‌ තිබෙන්න බැහැ. මනෝමය සංඥාවකින් ඔබ මෙය දකින්න පුරුදුවෙන්න. ඒ තරමටම ඔබේ සතිය සිsහිය එම මස්‌ ගොඩවල් හය කෙරෙහි යොමුවෙන්න ඕනේ. පුද්ගල සංඥාවෙන් මිදී මස්‌, රුධිරය පිළිකුල්ය, දුගඳය කියන සංඥාවෙන් මේ ගොඩවල් දෙස බලන්න. මේවා ඔබට අයිති නැති දේවල් බව දකින්න. නිලමැස්‌සන් මේවා බුදින හැටි මනසින් දකින්න. කබරයින්, කිඹුලන් පැමිණ මේ මස්‌ තළුමරමින් බුදින හැටි දකින්න. පිංවත් ඔබේ ඔය රම්‍ය, සුරම්‍ය, සුභ වශයෙන් ගත්තාවු සිරුර “මම” කිඹුලකුගේ, කබරයෙකුගේ කුසේ, ආමාශයේ වමනයක්‌ බවට පත්වෙන හැටි, අශුචි බවට පත්වෙන හැටි මනසින් දකින්න. පිංවත් ඔබේ ආයුෂ වර්ණය සැපය බලය අනිත්‍යවී කිඹුලාගේ ආයුෂ වර්ණය සැපය බලය වැඩෙන හැටි දකින්න. කිඹුලාගේ අමාශය තුළ ඔබේ රූපය සිතින් මවාගෙන දකින්න. රූපය ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න.

පිංවත් ඔබ නැවත ඉහත මස්‌ගොඩවල් හය මනසින් දකින්න. පිංවත් ඔබ වඩාත්ම කැමති ප්‍රියකරන ආදරය කරන අයගේ රූපය එකිනෙක අරගෙන එම හැම රූපයකම ඇස මනසින් උගුල්ලලා ඇස්‌ ගොඩට දමන්න. කන් මනසින් උගුල්ලලා කන් ගොඩට දමන්න. අනෙකුත් ඉන්ද්‍රියන්ද ඒ ඒ ගොඩවල්වලට දමන්න. ඒ පුද්ගල සංඥාවලින් මිදෙන්න. මස්‌ හැටියට දකින්න. පිළිකුල දුගඳ, ලේ හැටියට දකින්න. ඔබේ නිවසේ ජීවත්වන සියලු දෙනාම ඔබේ ගමේ ජීවත්වන සියලුදෙනාම, නගරය, රට හැටියට සියලු දෙනාගේම ශරීර මනසින් ඉන්ද්‍රියක්‌ වශයෙන් වෙන්කර ගොඩවල් හයට දමන්න. තිරිසන් සතුන් පවා ඇස ඇස්‌ ගොඩට දමන්න. දැන් ඔබ ඉදිරියේ ඇස්‌ කන්දක්‌, කන් කන්දක්‌… ආදී වශයෙන් (මනස ලෙසින් හෘද වස්‌තුව ගත්විට) මස්‌ කඳු හයක්‌ තිබෙනවා නේද? පිදුරුතලාගල කන්ද වැනි උසට ගොඩනැගුණු සත්ව පුද්ගල සංඥාවන්ගෙන් මිදී නුවනින් දකින්න. මම හැටියට මගේ ඥාතීන් හැටියට ලෝකයා හැටියට පිංවත් ඔබට දැන් අරමුණුවන්නේ ඇස්‌ ගොඩකි, කන් ගොඩකි, මස්‌ගොඩවල් හයකි. නැවත නැවත මනසින් ඇස්‌ ගොඩ දෙස බලන්න. තිරිසන් සතාගේ ඇසත් මනුෂ්‍යයාගේ ඇසත්, මසත් අතර වෙනසක්‌ නැහැ නේද? මනුෂ්‍ය තිරිසන් භේදයක්‌, ස්‌ත්‍රී, පුරුෂ භේදයක්‌ ජාති, ආගම් භේදයක්‌ නැහැ නේද? කුණුවෙන දියවෙන මස්‌ ගොඩවල් හය දෙස නැවත නැවත මනසින් දකිමින් අවබෝධය ලබන්න. පිංවත් ඔබේ ඇසට නොපෙනුනේ ප්‍රේත, තිරිසන්, දිව්‍ය, බ්‍රහ්ම ජීවිතවලද සලායතන වල ස්‌වභාවය ඉහත ආකාරයමයි නුවනින් දකින්න. නිරතුරුවම භාවනා කරන ඔබ පුද්ගල සංඥාවෙන් මිදී ලෝකය ඇස්‌ගොඩක්‌, කන්ගොඩක්‌ වශයෙන් දකින්න උත්සහ ගන්න. එය රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය, ආත්ම දිට්‌ඨිය නැති කර ගැනීමට මහෝපකාරීවේවී.

ඉහතින් සඳහන් කළ මනස යනුවෙන් හෘදවස්‌තුව ගන්න කියලා එක ගොඩකට මෙතනදී ඔබ විතර්කයක්‌ සකස්‌කර ගන්න එපා. මනස කියන්නේ හෘදවස්‌තුවටද, මොළයටද, රුධිරයටද එසේත් නැතිනම් කුමක්‌ද කියන කාරණය ඒ විතජිතය සකස්‌ කළ සිත අනිත්‍යයයි කියලා දැකලා මනස කියන ගොඩට හෘදවස්‌තුව දමන්න.