දකින්න, ශීලයෙන් භාවනාවට දෙන ජවය

භාවනාවට ප්‍රවේශය – 1

පිංවත් ඔබ භාවනාවට යොමුවන්න ඕනේ මොන තරම් පෙර සූදානමකින්ද. පෙර සූදානම කියන්නේ, නාලා පිරිසිදු වේලා, ඇල්වතුර වීදුරුවක්‌ බිලා, වේගයෙන් හුස්‌මක්‌ අරගෙන, දොර ජනෙල් ඇරලා….. කියන කාරණා නොවේ. මේවාත් අවශ්‍ය තමයි. වඩාත් වැදගත් වෙන්නේ, කුමක්‌ උදෙසාද අපි භාවනා කරන්නේ, කුමක්‌ නැති කිරීමට ද භාවනා කරන්නේ කියන කාරණාවත්, පංචනිවරණ යනු කුමක්‌ද? ඒවා ඔබ වෙන් වශයෙන් හඳුනා ගත්තාද?

කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්ධච්ඡ, කකුක්‌ච්ඡ, විචිකිච්චා කියන කාරණාවල ස්‌වභාවය, හඳුනාගෙන භාවනාවට යොමු වෙන්න. එසේ නොවුණහොත්, ඔබ භාවනා කරන කාලවේලාවේදී වැඩි වශයෙන් වැඩෙන්නේ ඉහත මාර ධර්මයන්මයි.

භික්‌ෂුවට හමු වූ තරුණ දරුවන් පිරිසක්‌ භික්‌ෂුවගෙන් විමසුවා මේකෙන් ගැලවෙන හැටි කියලා දෙන්න කියලා. ඒ දරුවන් පාවිච්චි කළ වචන ටිකයි ඉහත සඳහන් කලේ. කාගෙන් ගැලවෙන හැටි ද මේ දරුවන් අහන්නේ? බ්‍රහ්මයෙක්‌, දෙවියෙක්‌, යක්‌ෂයෙක්‌ගෙන්, ගැලවෙන හැටි ද මේ දරුවන් අහන්නේ? අපිට ගැලවෙන්න තිබෙන්නේ මේ කාගෙන්වත් නොවේ. ඔබලා තුළම සකස්‌වෙන්නා වූ තෘෂ්ණාවෙන්. දුකට හේතුවන තෘෂ්ණාව තමා තුළම තබාගෙන, භික්‌ෂුවගෙන් අසනවා මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. මේ දරුවන් අවංකවමයි මේ ප්‍රශ්නය ඇසුවේ. එහෙම නම් ඇයි මේ ප්‍රශ්නය අසන්නේ ?

චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනුම අඩු නිසා. ඒ වෙලාවේ භික්‌ෂුව එම දරුවන්ට ප්‍රකාශ කළා චතුරාර්ය සත්‍යයේ දුක කියලා කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරදේව, දුක්‌ඛ දෝමනස්‌ස, උපායාස, පංච උපාදහස්‌කන්ධ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්‌වීමේ දුක, මේ සියල්ලම දුක නම් මේ දුක සකස්‌ වෙන්නේ ඔබලා තුළම නේද? දෙවැනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දුකට හේතුව තෘෂ්ණාව කියලා. දුක තමා තුළ නම් සකස්‌ වෙන්නේ දුකට හේතුව තෘෂ්ණාවත් තමා තුළම නේද සකස්‌ විය යුත්තේ? තුන්වන ආර්ය සත්‍යය, ‘දුකෙන් මිදීම’ කියන්නේ තෘෂ්ණාවෙන් මිදීම, කියන කාරණය. දුකත් තමා තුළම නම් සකස්‌ වෙන්නේ දුකට හේතුව තෘෂ්ණාව, තමා තුළම නම් සකස්‌ වන්නේ දුක නැති කිරීමට තෘෂ්ණාව නැති කළ යුත්තේ තමාම නේද? එහෙම නම් තෘෂ්ණාව නැති කිරීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ යුත්තෙත් තමාම නේද? එහෙම නම් චතුරාර්ය සත්‍ය තමා තුළින්ම නේද ක්‍රියාත්මක විය යුත්තේ. එනිසා ඉහත ධර්මයන් භාවනාවට පෙර නුවණින් හැකිතාක්‌ මෙනෙහි කරන්න. එවිට ඔබට හැකි වේවි ලෝකයෙන් ඔබව හුදකලා කොට තබාගන්න. ඔබ අත්විඳින දුකේ දිග පළල දකිමින් දුක සකස්‌වීමට හේතු වන තෘෂ්ණාව, කෙලෙස්‌ බරිත සිතුවිලි, නුවණින් හඳුනාගෙන බැහැර කොට දමන්න.

මේ කාර්යය ඔබට පහසුවෙන් කරගැනීමට හැකියාව ලැබෙන්නේ ඔබ ශීලයට ඔබේ ජීවිතය තුළින් ලබාදී ඇති වටිනාකමේ ප්‍රමාණය මතයි. ඔබ ශීලයෙන් දුර්වල නම් ඉන්ද්‍රිය සංවරයක්‌ ගැන සිතාගැනීමටවත් නොහැකි වනු ඇත. මෙවැනි අවස්‌ථාවක ඔබ කළ යුතුව ඇත්තේ බුදු ගුණ භාවනාවට වැඩිපුර යොමු වෙමින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු කරගනිමින් ශීලයෙන් ශක්‌තිමත් වීමට උත්සාහ ගැනීමයි. මේ ධර්ම මාර්ගයෙන් අර්ථවත් අවබෝධයක්‌ ලබාගැනීමට ඔබට අවශ්‍ය නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ අනුපිළිවෙලට මාර්ගය වඩන්න දක්‌ෂ වෙන්න. ඔබ ආහාර ගන්න කොට හැම ව්‍යාංජනයකින්ම ටික ටික බෙදාගෙන රස බලනවා වගේ, හැම දෙයකින්ම ටික ටික කරන්න යන්න එපා. හේතුඵල ධර්මයන්ට යටත්වයි ධර්මයේ සෑම පියවරක්‌ම සකස්‌ වෙන්නේ. ඔබ තුළ සමාධියක්‌ සකස්‌ නොවේ නම්, එය කමටහනේ වරදක්‌ නොව, ශීලයේ දුර්වලතාවයකි. සමාධියට ඔබ තවම සූදානම් නැහැ කියන කාරණයයි.

ධර්ම සාකච්ඡාවකදී පැමිණි පිංවතුන් සියලු දෙනාම ප්‍රශ්න යොමු කළේ භාවනාව සම්බන්ධව, භාවනා කිරීමේදී ඇති වන ගැටලු සම්බන්ධව, නමුත් එක මහත්මයෙක්‌ පමණක්‌ ප්‍රශ්න තුනක්‌ යොමු කළා ශීලය සම්බන්ධව. පංච ශීලයට අදාළවයි එම ප්‍රශ්න තුනම. නමුත් එතන සිටිය අනෙක්‌ පිංවතුන්ට පෙනුනේ එම ප්‍රශ්න ප්‍රාථමික ගනයේ ප්‍රශ්න හැටියට. මොකද ශීලය ගැනනේ කතා කළේ. භාවනාව ගැන නොවේ. නමුත් ඉහත පිංවතුන්ගෙන් භික්‌ෂුව වඩාත් පසසන්නේ, ගරු කරන්නේ, ශීලය පිළිබඳව ප්‍රශ්න කළ පිංවතාම, මොකද ශීලය පිරිසිදු කොටගෙන, නිරවුල් කොටගෙන, අහවර වෙලයි, භාවනාවක්‌ අර්ථවත් වෙන්නේ. එතනයි භාවනාවේ ජයග්‍රහණය සඳහා සමාධිය සකස්‌ වෙන්නේ. සමාධිමත් සිතයි යහපත් අයහපත් දෙකම විදර්ශනාවට ලක්‌ කොට දෙන්නේ.

යමෙක්‌ ශීලය ශක්‌තිමත් කිරීමට උත්සුක වෙනවා නම්, යම් දවසක ඔහු සමාධිය එතුළින් මතු කොට ගන්නවා. යම් දවසක ඔබ සතර අපායෙන් මිදෙනවා කියන්නේ ශීලය, ආර්යකාන්ත ශීලය හැටියට ආරක්‍ෂා වෙනවාය කියන කාරණයයි. ආර්යකාන්ත ශීලයට පැමිණි කෙනා සිල් පදයක්‌ බිඳීම දකින්නේ පිරිසක්‌ මැද නිර්වස්‌ත්‍රව සිටීමටත් අන්ත අන්ත දෙයක්‌ විදිහටයි. ඒ නිසා කැඩුනු ශිල් පදය වහා නිවැරැදි කරගන්නවා. වැරැද්ද දකිමින් නැවත නොබිඳෙන ආකාරයෙන් නිවැරදි වෙනවා. සතර අපායෙන් මිදුන පිංවතා තුළින් සාමාන්‍ය කෙනෙකුට වඩා අර්ථවත් ආකාරයෙන් ශිල් පද ආරක්‍ෂා වෙන්නේ. පානාතිපතා වේරමණී ශිල් පදය ඔහුගෙන් අර්ථවත් වෙන්නේ. මම නැවත සතර අපායන්ට වැටී හරකෙක්‌ එළුවෙක්‌, කුකුළෙක්‌ මාළුවෙක්‌ ලෙස මැරුම් කන්නේ පීඩාවට ලක්‌ වන්නේ නැහැ කියන අර්ථයෙන්. එම විශ්වාසයෙන්. රහතන් වහන්සේ නමකගෙන් මුසා වාදා වේරමණී ශිල් පදය ආයාසයකින් තොරවම ආරක්‍ෂා වෙන්නේ, මේ ලෝකයේ ලොකුම බොරුව වන, ලෝකය සැපය කියන මුසාවාදය නොකියන, ලෝකය පංච උපාදායකත්වය දුකයි කියන අර්ථයම ප්‍රකාශ කරන උත්තමයා හැටියට. රහතන් වහන්සේ තුළින් අදින්නාදානා වේරමණී ශිල් පදය ආයාසයකින් තොරවම ආරක්‍ෂා වෙන්නේ අර්ථවත් වෙන්නේ මේ රූපය මට අයිති නැහැ, රූපය නිසා සකස්‌ වෙන ඵස්‌ස වේදනා සංඥා සංඛාර විඤඤාණය මගේ නොවෙන නිසා හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌ වුණ රූපයක්‌, ඇසක්‌, කනක්‌, මගේ කියා අන්සතු දෙයක්‌ මගේ කර ගන්නේ නැහැ කියන ඉහළම අර්ථයකින්.

පිංවත් ඔබ හොඳින් හිතලා බලන්න, අපි සියලු දෙනාම, මගේ කියලා අයිති කරගෙන සිටින, බැඳිලා සිටින, ඇස, කන, දිව, නාසය, මනස, කය ඔබේම නොවේ නේද? ඔබට අයිති නැති දෙයක්‌ ඔබ අයිති කරගෙන සිටින්නේ. ඔබට අයිති නැති ඵස්‌ස වේදනා සංඥා සංඛාර විඤඤාණ ධර්මයන් ඔබ ඔබේ කරගෙන සිටින්නේ. ඒක තමයි මේ ලෝකයේ තිබෙන බරපතළම සොරකම. මේ සොරකම නිසා නේද ඔබට සංස්‌කාර හේතුවෙන් භවයට රැගෙන යන බරපතළ වැඩ සහිත අත්හිට වූ සිරදඩුවම් නියම වෙන්නේ.

රහතන් වහන්සේ නමකගෙන් කාමේසුමිච්චාචාර වේරමණී ශිල් පදය ආරක්‍ෂා වෙන්නේ, කාමය තිබෙන්නේ රූපය තුළ නොවේ, රූපය කෙරෙහි සකස්‌කොට ගන්නා වූ තෘෂ්ණාව නිසාය කියන කාරණය අවබෝධ කොට ගෙන, අනිත්‍ය භාවයට පත් වෙන රූපය, රූපයේ ස්‌වභායෙන් තිබීමට ඉඩහැර අනිත්‍ය වූ දෙයක්‌ කෙරෙහි ඇති තෘෂ්ණාව තමා තුළින් ක්‌ෂය කිරීමෙන්ය.

රහතන් වහන්සේට ඇසක්‌ ඇත. බාහිර රූපය අරමුණුවනු ඇත. එහෙත් තෘෂ්ණාව නැත. ඵස්‌සය සිදුවෙද්දීම රහතන් වහන්සේ අනිත්‍ය දකිනු ඇත. ශිල් පදවල ආශ්චර්යවත් අර්ථය, පිංවත් ඔබව ඔසවා තබන ලෝක ධාතුවේ උත්තරීතර අවබෝධයේ විජයග්‍රහණයන් ගැන භාවනාවට පෙර ඔබ මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමෙන් ඔබට අයිති ආජීව අශ්ඨමක ශීලය අර්ථවත්ව රැක ගැනීමට යොමු වන්න. ශිල් පදවල අර්ථයන්ට ඇති දුරස්‌භාවය දකිමින් එම දුරස්‌භාවය අහෝසිකර ගැනීමට වීර්ය ගන්න.

පිංවත් ඔබ බිරිඳට, ස්‌වාමිපුරුෂයාට, දරුවන්ට දේපළට ඇති බැඳීම, ඒවා ආරක්‍ෂා කරගැනීමට දරන විර්යයට වඩා ශක්‌තියක්‌ ශීලය ආරක්‍ෂාව උදෙසා යොමු කරන්න. ඔබත් එවැනි ආශ්චර්යවත් උත්තමයෙක්‌ වෙනවාය කියන අධිෂ්ඨානය ඇති කරගන්න. අනිත්‍ය අකුසල් සංස්‌කාර, ඔබේ අයෝමය විර්යයෙන් ශක්‌තිමත් කරගත් කුසල් ශක්‌තිය යොදාගනිමින් යටපත් කොට දමා, තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ශීලයේ ශක්‌තියෙන් භාවනාව උදෙසා නැගී සිටින්න. ඔබ තුළ සකස්‌කොටගත් ෙච්තනාව, විඤඤාණයේ හැඩ රුව සකස්‌ කොට දෙන බව හොඳින් දකින්න. භික්‌ෂුව මේ සටහන් කරන්නේ තවත් කතාවක්‌ නොව පිංවත් ඔබට භාවනාවට (පෙර) පූර්වකෘතියක්‌ බව නුවණින් දකින්න.