‘තෙරුවන් සරණ මිස මට අන් සරණක්‌ නැහැ’ය යන සිංහනාදය කරන්න

අපි මියයන වෙලාවේ සම්මා සතියෙන් තොර සමාධියකට සිත පිහිටියොත් භවයේ උපතක්‌ සකස්‌වෙනවා. පළවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යානතලවල සිත පිහිටියොත් රූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. ඉන් ඔබ්බට අරූපය තුළ සිත පිහිටියොත් අරූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. එම නිසා උපත නිරෝධය කිරීමට පක්‍ෂව අවසාන චුති සිත සකස්‌ කර දෙන්නේ සම්මාදිට්ඨියෙන් පෝෂිත සිතක්‌මයි. ඉහත හේතූන් නිසා ආර්යඅෂ්ටාංගික මාර්ගයේ ඇති වැදගත්කම, අනුපිළිවෙළින් මාර්ගය වැඩීමේ වැදගත්කම නුවණින් දකින්න.

ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා, ඔබ වහන්සේගේ සූත්‍ර පිළිබඳ දැනුම කොහොමද කියලා. භික්‍ෂුව පැවිදිවෙලා මාස හයක්‌ පමණ යනතුරු කිසිම සූත්‍රයක්‌ කියවල තිබුණේ නැහැ. ස්‌වාමීන් වහන්සේලා හරහා සද්ධර්ම ශ්‍රවණය කිරීම පමණයි, කර තිබුණේ. පැවිදිවෙලා මාස නවයකට විතර පස්‌සේ භික්‍ෂුව සබ්බාවශ්‍රව සූත්‍රය කියවද්දී භික්‍ෂුවට දැනුණේ එම සූත්‍රය භික්‍ෂුව ලියපු සූත්‍රයක්‌ කියලයි. සතර සතිපට්‌ඨාන සූත්‍රය කියවන විට භික්‍ෂුවට එම සූත්‍රය තමා ලියපු සූත්‍රයක්‌ වශයෙනුයි දැනුණේ. එම සූත්‍රය කියවලා නැති වුණත් එම සූත්‍රවල අර්ථය භික්‍ෂුවගේ ජීවිතය තුළ තිබුණා. පිංවත් ඔබ ආර්යඅෂ්ටාංගික මාර්ගය තුළ සිටියොත් මුළු සූත්‍ර පිටකයේම අර්ථය ඔබේ ජීවිතය තුළ තිබෙනවා. පිංවත් ඔබ අර්ථවත්ව ආර්යඅෂ්ටාංගික මාර්ගය තුළ හික්‌මුණොත් නිරතුරුවම බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ සිටිනවා.

ස්‌වාමීන් වහන්සේ නමක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා, අපි අතහැරීම පටන් ගත යුත්තේ කොහොමද කියලා. මුලින්ම ඔබ ‘මිච්චා සම්මාදිට්‌ඨිය’ අතහැරල ලෞකික සම්මා දිට්‌ඨියට පැමිණිය යුතුයි. දෙවැනිව ලෞකික සම්මාදිට්‌ඨියත් අතහැරලා, ලෝකෝත්තර සම්මාදිට්‌ඨියට පැමිණිය යුතුයි. ආර්යඅෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අටම ඉහත ආකාරයට ඔබ තුළින් ක්‍රියාත්මක විය යුතුයි.

පිංවතෙක්‌ ඇසුවා, හාමුදුරුවනේ ‘මිච්චා සම්මාදිට්‌ඨිය කියන්නේ කුමක්‌ද’ කියලා. පිංවත් ඔබ දැකල ඇති සමාජයේ සමහරු සිටිනවා සර්ව ආගමික සරණයැමක්‌ ගැන කතාකරන. සියලුම ආගම් එක සමානයි කියන මත දරන අය සිටිනවා. විශේෂයෙන් දේශපාලනයේදී මෙවැනි මත ප්‍රකාශ වෙනවා. මොකද සෑම ආගමකම අයෙක්‌ගේ ප්‍රසාදය දිනාගන්න. සමහරු සිටිනවා, පසළොස්‌වක පොහොය දවසට පන්සලට යනවා. ඉරිදාට පල්ලියට යනවා. සිකුරාදාට කෝවිලට යනවා. මෙවැනි අය වැටෙන්නේ මිච්චා සම්මාදිට්‌ඨියටයි. ඔබ දක්‍ෂ වෙන්න ඕනේ කුමන අභියෝගයක්‌ හමුවේ වුවද අර්ථවත් ආකාරයෙන් ‘තෙරුවන් සරණ මිස මට අන් සරණක්‌ නැතැ’ යි කියන සිංහනාදය ප්‍රකාශ කරන්න.

මැරුනාට පසුව අපි නැවත ඉපදෙන්න පුළුවන් නොඉපදෙන්නත් පුළුවන්. දන් දුන්නොත් සිල් රැක්‌කොත් එහි විපාක තිබෙන්න පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. හොඳ නරක දේවල් කළොත් එහි හොඳ නරක විපාක තිබෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. මෙවැනි ප්‍රශ්නාර්ථ සහිත සිතිවිලි ඔබව මිච්චා සම්මා දිට්‌ඨියේ කොටස්‌කරුවන් බවට පත්කරනවා. මිච්චා සම්මාදිට්‌ඨිය හෙවත් අමූලිකා ශ්‍රද්ධාව ඔබව මිථ්‍යදෘෂ්ඨියටයි, දුගතියටයි ඇද දමන්නේ. ලෞකික සම්මාදිට්‌ඨිය ඔබව සුගතියටයි රැගෙන යන්නේ. ලෝකෝත්තර සම්මාදිට්‌ඨිය හෙවත් අචල සද්ධාව ඔබ තුළ විදර්ශනා නුවණයි සකස්‌ කරන්නේ. අචල සද්ධාව කියන්නේ විදර්ශනා නුවණින් පෝෂණය වුණ සද්ධාවයි. මෙතැනදී පිංවත් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ ලෞකික සම්මාදිට්‌ඨියට අයත් වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, මැරිලා හේතුඵල ධර්මයන්ට අනුව නැවත උපදිනවාය කියන විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්‌කොත් එහි ආනිසංශ තිබෙනවාය කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් තිබෙනවාය කියන විශ්වාසය, ඉහත ධර්මතාවයනුත් විපාක සකස්‌කරදී අනිත්‍යභාවයට පත්වෙන සංස්‌කාර ධර්මයන්ය කියල දකින්න. එවිට ඔබ මේ සුගතියේ සංස්‌කාරයන්ට බැඳෙන්නේ නැහැ. ඒ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවයට පත්වෙන සංස්‌කාරධර්මයන්ය කියල දකින්න. එවිට ඔබ මේ සුගතියේ සංස්‌කාරයන්ට බැඳෙන්නේ නැහැ. ඒ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේ ඔබ තුළ විදර්ශනා නුවණයි සකස්‌වෙන්නේ. මෙතැනදි ඔබ දක්‍ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දෙතිසක්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබළන්නා වු රූපකායත් අට්‌ඨිකසංඥාවෙන් දකින්න. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගාණක්‌ පාරමීදම්පුරල ඇතිකරගත් දෙතිසක්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබළන සම්මාසම්බුද්ධ රූපකායත් පිරිනිවන් මංචකයේදී අළුගොඩක්‌, ධාතූන් වහන්සේලා ගොඩක්‌ වුණාය කියල දකින්න. අති දීර්ඝ පාරමී ගමනක ඵලය වූ ඒ උතුම් සම්මා සම්බුද්ධ ඤාණයන් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත්වුණාය කියන කාරණය දකින්න. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේටත් පොදු වූ මේ ධර්මතාවන් ඔබේ ජීවිතයට ගලපා ගනිමින් අවබෝධය ලබාගන්න. පිංවත් ඔබ මේ යථාර්ථය දකින්න බය නම් කවදාකවත් ඔබට විදර්ශනා නුවණ ප්‍රඥාව ඇතිකර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

බුදුරජාණන්වහන්සේගේ උතුම් රූපකායත්, ජාති ජරා, ව්‍යාධි, මරණවලට යටත් රූපකායක්‌ය කියලා ඔබ දකින්න ඕනේ. මෙය සටහන් තබන භික්‍ෂුවට මේ මොහොතේ බුදුරජාණන්වහන්සේගේ රූපකාය සිහිපත් වුණොත් ඊළඟ සිතිවිල්ල සකස්‌ වෙන්නේ පිරිනිවන් මංචකයේ විසිරිලා තිබෙන අළු ටික, ධාතූන්වහන්සේලා සිහිපත් වෙලයි. ඊළඟ සිත සකස්‌වෙන්නේ එම ධාතූන් වහන්සේලාත් අනිත්‍යයි. කියන සිත සකස්‌වෙලා. සිත බැඳී යන්න, සිත රැඳී යන්න තැනක්‌ නැහැ. මුලින්ම ඔබ ඔබේ මස්‌ ඇසෙන් පෙනෙන රූපයේ අනිත්‍යභාවය දකින්න. මස්‌ ඇසෙන් දකින රූපයේ අනිත්‍යභාවයයි, එහි ඵලයයි කවදාහරි දවසක ප්‍රඥාවේ ඇසෙන, ඤාණදර්ශන තුළින් රූපයේ සැබෑම බිඳීයැමේ වේගය දකින ඤාණයක්‌ ඔබ තුළ සකස්‌ කොට දෙන්නේ.

රූපයේ අනිත්‍යභාවය වැඩීමේදී පිංවත් ඔබ නිරතුරුවම බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ සතර සතිපට්‌ඨාන සූත්‍රයට අදාළව කටයුතු කරන්න.