චීවරය සෝද සෝද මඩේ දැමීම නවතමු

පිංවත් ඔබේ භික්‍ෂු ජීවිතයට ඔබ නැවත හැරෙන්න. කොතනකවත් ඔබට වැරදීමක්‌ වෙලා නැහැ. ඔබ නිවරැදි තැනයි සිටින්නේ. නිවරැදි තැන කියන්නේ ඔබ සිතන්න දක්‍ෂ තැනයි ඔබ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබ ඉන්නේ වැරදි තැනකයි කියලා මෙතෙක්‌ ඔබ සිතුව ක්‍රමය වෙනස්‌කර ගන්න. ජවය, නිවැරදි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉලක්‌කය කරා යොමුකර ගන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබත් මමත් ඉපදිලා දස දහස්‌ වතාවක්‌ පැවිදිවෙලා සිටින්නට ඇති. බුදුරජාණන් වහන්සේලාගෙන්, රහතන් වහන්සේලාගෙන් කමටහන් අරගෙන අපි භාවනා කරන්න ඇති. ඒත් කොතනක හෝ අපිට වැරදිලා තිබෙනවා. මග නොමග අපි පටලවගෙන තිබෙනවා. ඒ නිසාම අතීතයේ සම්මාසම්බුද්ධ ශාසනවලදී උපසම්පදාව ලබා අපි පෙරවු චීවර සෝද සෝදා මඩේ දැමීමක්‌ තමයි අපි කරල තිබෙන්නේ. මෙවරත් අපි, අපිම අතීතයේ මඩේ දැමූ චීවරය නැවත සෝදා දරාගෙන සිටිනවා. මෙවර ඔබ ස්‌ථිර තීරණයකට එන්න නැවත මේ උතුම් චීවරය මඩේ දමන්නේ නැහැය කියල.

සම්මා දිට්‌ඨියෙන් තොරව කවදාකවත් සම්මා සංකප්පයක්‌ ඇතිවෙන්නේ නැහැ. සම්මා සංකප්පයන්ගෙන් තොරව කවදාකවත් සම්මා වාචාවක්‌ සකස්‌වෙන්නේ නැහැ සම්මා වාචාවන්ගෙන් තොරව සම්මා කම්මන්තයක්‌ සකස්‌වෙන්නෙ නැහැ. මේ සියල්ලන්ගෙන්ම තොරව සම්මා සතියත්, සමාධියක්‌, සම්මා ඥාණ සම්මා විමුක්‌තියක්‌ සකස්‌වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන් ගලපමින් බුදුරජාණන් වහන්සේ මාර්ගය බොහෝම පැහැදිලිව දේශනා කර තිබෙනවා. මුතු වැලක්‌ අමුණලා තිබෙනවා වාගේ මාර්ගය පැහැදිලිව තිබෙනවා.

භික්‍ෂුව දන්නා එක්‌තරා ස්‌වාමීන් වහන්සේ නමක්‌ සිටියා. උන්වහන්සේ පැවිදිවීමට පෙර අන්‍යාගමික කෙනෙක්‌. බුදුදහම ගැන පැහැදිල මේ පිංවතා පැවිදිවෙනවා. උන්වහන්සේ වැඩ සිටියේ කැලයේ ඈත කුටියක. තුන්සිවුරයි පාත්‍රයයි පරිහරණය කළේ. එක වේලයි වැළඳුවේ. හුදකලාව වැඩසිටි උන්වහන්සේගේ කුටියට අහම්බෙන් යද්දි උන්වහන්සේගේ කුටියේ අන්‍යාගමික ආගමික නායකකුගේ රාමු කරපු කුඩා ජායා රූපයක්‌ තිබෙනවා. භික්‍ෂුවත් උන්වහන්සේගෙන් විමසල තිබෙනවා ඇයි ඔබ මේ ජායාරූපය තබාගෙන සිටින්නේ කියල. උන්වහන්සේ කියනවලු මේ ජායාරූපය දැක්‌කම මගේ සිත හොඳින් සමාධිගත වෙනවා කියල. බලන්න සම්මා දිට්‌ඨියෙන් තොරව ඒ ස්‌වාමීන්වහන්සේ සම්මා සතියත් සම්මා සමාධියත් හොයනවා. කවදානම් මේ කාරණය සිද්ධවෙයිද? තවම අමුලිකා සද්ධාව කියන තැනයි උන්වහන්සේගේ ජීවිතය තිබෙන්නේ.

මුලින්ම වැදගත් වන්නේ සමාධිය නොවේ. වැදගත් වෙන්නේ උතුම් සද්ධාවයි. සද්ධාවෙන් ජීවිතය පෝෂණය වුණ තැනයි සතිය සම්මා සතියක්‌ බවට, සමාධිය සම්මා සමාධියක්‌ බවට පත්වෙන්නේ. එතෙක්‌ අපි සම්මා සමාධියේ නාමයෙන් මිච්චා සමාධියක්‌ තුළ සිහින දකිනවා. මිච්චා සමාධියක්‌ තුළ මාර්ගඵල සොයනවා. පිංවත් ඔබ තුළ සම්මා දිට්‌ඨියේ දුර්වල තැන්වලට පිළියම් සොයන්නේ නැතිව සමථ විදර්ශනා ගැන සොයන්න යන්න එපා. සමථ විදර්ශනාවට වැය කරන කාලය තෙරුවන් කෙරෙහි සද්ධාව අර්ථවත්ව තියුණු කරගැනීමට යොදවන්න.

වරක්‌ භාවනා යෝගී ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා බෝධිවන්දනාව මිථ්‍යදෘෂ්ටියක්‌ කියලා. භික්‍ෂුව උන්වහන්සේගෙන් විමසුවා ජයශ්‍රී මහා බෝධින්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවාගෙන පැමිණි සංඝමිත්තා මහරහත් භික්‍ෂුණීයන් මිථ්‍යාදෘෂ්ටිකද කියලා. උන්වහන්සේට දෙන්න පිළිතුරක්‌ තිබුණේ නැහැ. සම්මාදිට්‌ඨියෙන් තොරව සතිය සමාධිය සොයායැමේ අනතුරයි ඔබ මේ දකින්නේ.

මේ ලෝකයේ ජීවත්වුණ ගෞරවණීය ස්‌වාමීන්වහන්සේ නමක්‌ සිටියා. උන්වහන්සේ ධුතාංගධාරී වනවාසී ස්‌වාමීන් වහන්සේ නමක්‌. උන්වහන්සේ සතිය ගැන සමාධිය ගැන බොහෝම ඉහලින් කථාකළා. නමුත් සද්ධාව ගැන කථාකළේ හුඟාක්‌ අඩුවෙන්. සංසාරබිය ගැන කථාකළේ හුඟාක්‌ අඩුවෙන්. මේ ගෞරවණීය ස්‌වාමීන්වහන්සේ අපවත් වෙනවා. අපි දන්න එක ස්‌වාමීන් වහන්සේ නමක්‌ උතුම් සමාධියෙන් අරමුණු කර බලලා තිබෙනවා මේ අපවත් වූ ස්‌වාමීන් වහන්සේ නැවත උපත ලැබුවාද පිරිනිවන් පෑවාද කියලා. මේ වෙලාවේ ඒ ස්‌වාමීන් වහන්සේ දකින්නේ අරූප බ්‍රහ්මතලයක උප්පත්තිය ලබල තිබෙනවා. මොකද මෙතනදි වෙලා තිබෙන්නේ?

උන්වහන්සේ වැඩිපුරම කතාකළ සතියත්, සමාධියත් සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ. එහෙම පෝෂණය වුණානම් උන්වහන්සේ මාර්ගඵලලාභී දෙවියන් අතරයි උපත ලබන්නේ සමහර විට පිරිනිවී යන්නත් තිබුණා.

අරූපි බ්‍රහ්මතලවල උපත ලබා ඇති බ්‍රහ්මයින්ට ඝනරූප සංඥාවක්‌ නැහැ. අරූපි බ්‍රහ්මතලවල බ්‍රහ්මයින්ට සමාධියට අරමුණු වෙන්නේ එරමිණියා ගොතාගෙන සිටින සියුම් මීදුමෙන් හැදුනාවු රූපයක්‌ වශයෙන්. සමහර පිංවත් ස්‌වාමීන් වහන්සේලා අදහස්‌ දක්‌වනවා අරූපි බ්‍රහ්මතලවල ජීවත්වන බ්‍රහ්මයින්ට රූපයක්‌ නැහැය කියල. භික්‍ෂුව ඒ මතයට එකඟ නැහැ. බුදුරජාණන් වහන්සේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය අනුව මේ ලෝකයේ සෑම සත්වයෙක්‌ම නාමරූප පච්චයා සලායතනා, සලායතන පච්චයා පස්‌ස කියන ධර්මතාවයන්ට යටත්වයි ජීවත්වෙන්නේ. ආයතන හයෙන් තොර සත්වයෙක්‌ මේ ලෝක ධාතුවේ සිටින්නට බැහැ. යමෙක්‌ ප්‍රකාශ කරනවානම් අරූපීබ්‍රහ්මතලවල ජීවත්වන බ්‍රහ්මයිනුත් රූපය තුළයි ජීවත්වෙන්නේ. නමුත් රූපයෙන් බැහැරව සිත පිහිටන නිසා රූපය ප්‍රකට වෙන්නේ නැහැ.