ඔබ මැරි මැරී උපදින්නේ මේ සසර බිය විශ්වාස නොකළ නිසාමය

පහත සිද්ධිය පිංවතුනට දෙමාපියන්, දරුවන් අතර ඇති බැඳීම පිළිබඳ සංසාර බිය ඇතිකර ගැනීමට උපකාර වේවි.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනකොට, එම භික්‍ෂුවට ප්‍රේත මවක්‌, පාසල් ඇඳුමින් සැරසුණු, පොත් බෑගයක්‌ කරේ එල්ලාගත් ප්‍රේත පාසල් දරුවෙක්‌ සමග දර්ශනය වෙනවා. මේ ප්‍රේත අම්මා ප්‍රේත දරුවාගේ අතින් අල්ලාගෙන ප්‍රධාන පාසලක්‌ ඉදිරිපිට බස්‌ නැවතුමක සිටිනවා. මේ ප්‍රේත අම්මා දරුවාව පාසල් එක්‌කරගෙන ඇවිල්ලා. පාසල ඇරුණු පසු නැවත ප්‍රේත විමානයට යනවා වෙන්න පුළුවන්. එම ප්‍රේත පිරිස්‌ බස්‌ රථයේ නැගලා යනවා අපි දකින්නේ නැහැ. ප්‍රේතයින් ජීවත්වන ප්‍රේත විමාන තිබෙනවා. ඒවා හරියට අපිළිවෙළට එක පෙළට හැදුණු සෙල්ලම් ගෙවල්, ගවගාල් වගෙයි. ජරාවාස වෙච්චි මුඩුක්‌කු පැල්පත් වගේ හරි අපිරිසිදුයි. අකුසල් නිසාම මේ ප්‍රේත විමාන මැද්දෙන් අපිරිසිදු කාණු ගලාගෙන යනවා. භූත මැස්‌සෝ, භූත බල්ලෝ, භූත කුකුල්ලු මේ ප්‍රේත විමානවල සිටිනවා. කකුල් ඉදිමුණු ප්‍රේතයෝ, ඇඟපුරා භූත මැස්‌සන් වැසූ ප්‍රේතයෝ, ඉතාමත් අපිරිසිදුව මේවායේ ජීවත්වෙනවා.

පිංවත් ඔබට සමහරවිට මේවා විශ්වාස කරන්නට බැරිව ඇති. මේවා විශ්වාස කිරීමට අපි මැලි නිසයි ලෝකය තුළ තවමත් අපි මැරෙමින්, ඉපදෙමින් ජීවත්වෙන්නේ. සංසාරයේ කටුක බිය තවමත් අපි නොදකින්නේ. පියවි ඇසට නොපෙනෙන භවයේ මේ කටුක යථාර්ථය උතුම් සමාධියේ ශක්‌තියෙන් දකින පිංවතායි සංසාර බිය ඇතිකරගෙන සංසාරයෙන් ගැලවී යන්නේ.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවනවිට එක්‌ ප්‍රේත විමානයක ප්‍රේතයන් දෙදෙනෙක්‌ සහ ප්‍රේතියන් තුන්දෙනෙක්‌ දර්ශනය වෙලා තිබෙනවා. භූත බල්ලන්, භූත කුකුළන් කිහිපදෙනෙක්‌ එම ප්‍රේත විමානයේ ඉඳලා තිබෙනවා. මේ ප්‍රේතියන්ගේ ස්‌වභාවයෙන් භික්‍ෂුව හඳුනාගෙන ඇත්තේ ඔවුන් පෙර ජීවිතයේ මනුෂ්‍ය ලෝකයේ ගණිකාවන් බවයි. මේ ප්‍රේතියන් බීමත් ස්‌වභාවයෙන් තමයි ඉඳලා තිබෙන්නේ. පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක්‌ මතුවෙන්න පුළුවන්, කොහොමද ප්‍රේත ලෝකයේ ප්‍රේත ප්‍රේතියන් බීමතින් සිටින්නේ කියලා. මත් වතුරට ලොල්වෙලා මියයන මනුෂ්‍යයන් ප්‍රේත ලෝකයේ උපත ලැබුවහම මනුෂ්‍යයන් මත්වතුර බොන තැන් ඇසුරු කරගෙන තමයි ජීවත්වෙන්නේ. අරක්‌කු තැබෑරුම් අසල මෙන්ම අරක්‌කු පාවිචිචි වන සාදවලද මේ ප්‍රේත ප්‍රේතියන්, ඔබ පාවිච්චි කරන අරක්‌කු වීදුරුව ආඝ්‍රාණය කරනවා වෙන්න පුළුවන්. මේ හේතුව නිසා අරක්‌කු වලට ලොල්වුණු ප්‍රේත ප්‍රේතියන් වෙරිමතයට මත්වෙනවා වෙන්න පුළුවන්. පිංවත් ඔබ ඔබේ නිවසේ අරක්‌කු සාදයක්‌ පවත්වනවා කියන්නේ ගමේම සිටින මත්වතුරට ගිජු ප්‍රේත ප්‍රේතියන් ඔබේ නිවසට ගෙන්වා ගන්නවා කියන කාරණයයි. අවසානයේ ඔබ කාගේ ආශිර්වාදයද ලබන්නේ? ගමේ සිටිනා මත්වතුරට ලොල් වූ ප්‍රේත ප්‍රේතියන්ගේ ‘මූසල ආශිර්වාදයයි’

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි දවස ‘උදය’ කියලා බ්‍රාහ්මණයෙක්‌ සිටියා. මේ උදය බ්‍රාහ්මණයාට සෝවාන් ඵලයට පත්වීමට පිං ඇතිභාවය දැකලා ඔහු කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ උදෑසන පිණ්‌ඩපාතය සඳහා උදයා බමුණාගේ නිවසට වැඩියා. උදය බමුණා බොහොම ගෞරවයෙන් දන් පූජා කළා. බුදුරජාණන් වහන්සේ උදය බමුණාට පිං අනුමෝදන් කරලා නැවත වැඩියා. බුදුරජාණන්වහන්සේ දෙවැනි දිනයේත්, තෙවැනි දිනයේත් පිණ්‌ඩපාතය සඳහා උදය බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කළා. තෙවැනි දිනයේ උදය බමුණා බුදුරජාණන්වහන්සේට කියනවා ‘ඔබ වහන්සේ මගේ ප්‍රනීත දානයේ රසයට ගිජුවෙලා ආයේ ආයෙමත් වඩිනවා නේද?’ කියලා. බුදුරජාණන් වහන්සේ බමුණාට කියනවා ‘බමුණ, බිත්තර වී වපුරනවා, අස්‌වැන්න නෙළනවා. ආයෙ ආයෙමත් වපුරනවා. යාචකයන් ඉල්ලාගෙන එනවා. දානපතියන් දන්දෙනවා. ආයේ ආයෙමත් දන් දෙනවා. සුගතියේ උපදිනවා. එළදෙනගෙන් කිරි දොවනවා. කිරි එරෙනවා. ආයෙ ආයෙමත් කිරි දොවනවා. වසු පැටවා ආයේ ආයෙමත් මව් වැස්‌සිය ළඟට යනවා. සත්වයා ආයේ ආයෙමත් ගර්භාෂයකට යනවා. ආයේ උපදිනවා. මැරෙනවා. අමු සොහොනට යනවා. තියුණු ප්‍රඥාව ඇති කෙනා ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන්කොට නැවත උපදින්නේ නැහැ’ය කියලා. මේ ධර්මය නුවණින් මෙනෙහි කරලා සංසාර බිය ඇතිකොටගෙන උදය බමුණා උතුම් සෝවාන් ඵලයට පත්වෙනවා.

උදය බමුණා අවබෝධකොට ගන්නවා බුදුරජාණන්වහන්සේ ආයෙ ආයෙමත් තමන්ගේ නිවසට පිණ්‌ඩපාතය වැඩියේ රසයට ගිජුවෙලා නොව, තමා තුළ ඇති, රසයට ගිජුභාවය නැතිකර දැමීමටය කියලා. පිංවත් ගිහි පැවිදි අපි කව්රුන් වුවද ආයේ ආයෙමත් උතුම් සංඝයා හමුවීමට යා යුත්තේ නැවත ගර්භාශයකට යැමට නොව, මේ ක්‍රියාවලිය නවත්වා ගැනීමට අදාළ ධර්මයන් ජීවිතයට එකතුකර ගැනීමටය.

පිංවත් තරුණ මහත්මයෙක්‌ ධර්ම සාකච්ජාවක්‌ අවසානයේ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘ඔබ වහන්සේ ධර්මය ගලපා දෙද්දී උතුම් සමාධියෙන් අත්දැක්‌ක කාරණා රාශියක්‌ සඳහන් කරනවා. ඔබ වහන්සේ ඔය කියන දේවල් අපි කොහොමද විශ්වාස කරන්නේ’ කියලා.

බොහොම අවංක ප්‍රශ්නයක්‌.

මේ කරුණු විශ්වාස කරන්න පුළුවන්කම ඇත්තේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින්මයි. මහා සංඝරත්නය කියන උතුම් අර්ථයත්, එම උතුම් අර්ථය පෝෂණය කරන සතර පාරාජිකාවෙන් මිදුණු ප්‍රාතිමෝක්‍ෂ ශීලයන්ගේ ශක්‌තියක්‌ කොටගෙනයි, ආභරණයක්‌ කොටගෙනයි භික්‍ෂුව මේ කරුණු සටහන් තබන්නේ. මේ ධර්මය දේශනා කරන්නේ. එතැන තමයි පිංවත් ඔබ ඇතිකොටගත යුතු විශ්වාසය. භික්‍ෂුවට ඔබට දිය හැකි සහතිකයත් එපමණමයි. මේවා සටහන් තබන භික්‍ෂුව පිළිබඳව ඔබ ප්‍රශ්නයක්‌ ඇතිකොටගන්න එපා. සටහන් තබන ධර්මය ගැන පමණක්‌ නුවණින් මෙනෙහි කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් ධර්මයත් සමග ගලපා බලන්න. භික්‍ෂුව සටහන් තබන ධර්මය, දේශනා කරන ධර්මය, සත්පුරුෂ ඔබට යහපතක්‌ම වේවි. සංසාර බිය ඇතිකොටගැනීමට මාර්ගයක්‌ වේවි.