කාවෙක්‌ කියන කථාවක්‌

අගෝස්‌තු මාසයේ මේ කඳුකරයට සුළඟ බොහෝම වේගවත්. කඩින් කඩ, වරින් වර සුළං ඇතිවෙනවා. සුළං හඩේ වේගවත් බව හරියට ගුවන් යානාවක්‌ එන හඬ වගෙයි. සුළඟ කොච්චර වේගවත් වුණත් දිරාගිය අත්තක්‌ මිසක්‌ ගසකටවත් හානියක්‌ නැහැ. වේලාව හවස හයහමාරට පමණ ඇති. ලන්තෑරුමේ එළියෙන් ඔබට මේ සටහන ලියන්නේ. ගෝනෙක්‌ බොහොම ළඟ කෑගහනවා ඇසෙනවා. දිය කඩිත්තේ වතුර බීලා යන ගමන් වගෙයි. ඉඳහිට හෝතම්බුවෙක්‌ වියළි කොල මත දුවනවා ඇසෙනවා. කැලේ සතෙක්‌ නිදහසේ ඇවිදිනවා දැක්‌කහම සතුටක්‌ ඇතිවෙනවා. දඩයක්‌කරුවන් සිල් අරගෙන වගෙයි. රාත්‍රියට වෙඩි හඬ ඇසුනේ නැහැ. එක මනුස්‌සයෙක්‌ සිල්පදයක්‌ රකිනකොට සතුන් කොච්චර නම් සැනසිල්ලක්‌ ලබනවද. සතුන් ගැන සටහන් තබනකොට බුදුරජාණන්වහන්සේගේ කාලයේ ජීවත්වුණ කාවෙක්‌ ගැන මතක්‌ වුණා.

එක්‌තරා ස්‌වාමීන්වහන්සේ නමක්‌ සිටියා, උන්වහන්සේ ශිල්පදවලට හුඟක්‌ ගරු කරපු ස්‌වාමීන්වහන්සේ කෙනෙක්‌ නොවන බවයි පෙනෙන්නේ. වස්‌ කාලයට පෙරාතුව මෙම ස්‌වාමීන්වහන්සේට සිවුරක්‌ කරගන්න හොඳ සළුවක්‌ හම්බවෙනවා. ස්‌වාමීන්වහන්සේ කල්පනා කරනවා වස්‌ කාලයෙන් පසුව මේ සළුවෙන් සිව්රක්‌ කරගන්න නම් එතෙක්‌ මේ සළුව තමන්ගේ නැගෙණියට භාරදෙනවා කියලා. වස්‌ කාලයෙන් පසුව නැවත ලබාගැනීමේ පොරොන්දුව මත සළුව නැගෙණියට භාරදුන්නා. සළුවේ වටිනාකම දැක්‌කහම නැගෙණියට සළුව ගැන ආශාවක්‌ ඇතිවුණා. ඇය මෙම සළුවෙන් තමන්ට ඇඳුමක්‌ මසාගත්තා. වස්‌ කාලයෙන් පසුව මේ ස්‌වාමීන්වහන්සේ නැගෙණිය සොයාගෙන පැමිණ තමා ප්‍රවේශමෙන් තබාගිය සළුව නැවත ඉල්ලා සිටියා. නැගෙණිය ළඟ ස්‌වාමීන්වහන්සේට දෙන්න සළුවක්‌ තිබුණේ නැහැ. ඇය වෙනත් රෙද්දක්‌ ස්‌වාමීන්වහන්සේට ලබාදුන්නා. ස්‌වාමීන්වහන්සේ එය ප්‍රතික්‍ෂේප කළා. ස්‌වාමීන්වහන්සේගේ දැඩි ඉල්ලීම නිසාම මුල් සළුවෙන් තමා මසාගත් ඇඳුම ස්‌වාමීන්වහන්සේට ලබාදුන්නා. ස්‌වාමීන්වහන්සේ මේ සළුව කෙරෙහි දැඩි තෘෂ්ණාවෙන් බැඳිලයි ඉඳලා තිබෙන්නේ. ස්‌වාමීන්වහන්සේ තම කුටියට ගිහිල්ලා අර කාන්තා ඇඳුමේ මැහුම් ගලවලා එය නැවත සළුවක්‌ කොට පසුව සිවුරක්‌ කරගත්තා. සිවුර මහලා ඉවරවෙලා නැවතත් තම නැගෙණියගේ නිවසට ගොස්‌ එම සිවුර නැගෙණියට දීලා කියනවා මම මේ සිවුර අරගෙන යන්න එනවා. එතෙක්‌ ඔබ මේ සිවුර ප්‍රවේශමෙන් තබාගන්න කියලා. නමුත් රාත්‍රි කාලයේදී කුටියේදීම මෙම ස්‌වාමීන්වහන්සේ අපවත් වෙනවා. ස්‌වාමීන් වහන්සේ අපවත් වුණු බව දැනගන්නා නැගෙණිය තමා භාරයේ තබාගිය සිවුර සංඝයාට භාරදෙන්න සිවුරත් අරගෙන ආරාමයට ගියා.

බුදුරජාණන්වහන්සේ ආරාමයේ වැඩ සිටිනවා. නැගෙණිය සිවුර ස්‌වාමීන්වහන්සේලාට භාරදෙන්න හදනකොට බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරනවා තව සතියක්‌ යනතෙක්‌ එය සංඝයාට භාරදෙන්න එපා. නැගෙණියට නිවසට රැගෙනගොස්‌ තබාගන්නය කියලා. නැගෙණියට ප්‍රශ්නයක්‌ ඇයි බුදුරජාණ්‌වහන්සේ සතියක්‌ යනතුරු සිවුර භාරනොදී ගෙදර තබාගන්න කිව්වේ කියලා. ඇය මේ ගැන බුදුරජාණන්වහන්සේගෙන් විමසුවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ඔබට පේනවාද ඔය සිවුර පුරා දුවන කාවෙක්‌ ඉන්නවා. ඔය සිවුර පුරා දිවයන කාවා වෙන කව්රුවත් නොවෙයි. ඔබේ අපවත්වුණ සහෝදර ස්‌වාමීන්වහන්සේය කියලා.

උන්වහන්සේ අපවත් වෙන වෙලාවේ, මේ සිවුර කෙරෙහි තෘෂ්ණාවෙන් අපවත් වෙලා, ඇඳුම් මත ඉපදෙන කාවෙක්‌ වෙලා. බලන්න උතුම් භික්‍ෂුත්වයක්‌, සළුවක්‌ කෙරෙහි ඇතිකරගත් තෘෂ්ණාව නිසාම කෘමියෙක්‌ ලෙස නැවත උපත ලැබුවා.

පිංවත් ඔබ ඔබේ ඇඳුම්, වටින ඇඳුම් වලට කපුරු බෝල දමනවා නේද? ඇයි ඒ කපුරු බෝල ඇඳුම් ඇල්මාරිවලට දමන්නේ. කාවන්ගෙන්, කෘමීන්ගෙන් ඇඳුම් ප්‍රවේශම් කොටගන්න. දැන් පිංවත් ඔබට පේනවා නේද ඔබේ ඇඳුම් අල්මාරියේ සිටින කාවෙක්‌ කියන්නේ පෙර ජීවිතයක ඇඳුම් උපාදානය කර මියගිය මනුෂ්‍යයෙක්‌මයි. ඔබේ රෙදි අල්මාරියේ දුවන කාවා තුළිනුත් ඔබට පුළුවන් සංසාර බිය පිළිබඳව වටිනා කමටහනක්‌ මතුකොටගන්න.

රෙදි අල්මාරි වල ඉන්න කාවෝ වගේමයි පොත් අල්මාරිවල සිටින කාවොත්. පොත් උපාදානය කොටගෙන, පොත් මගේ කොටගෙන, පොත් ජීවිතය කොටගෙන ජීවත්වන මනුෂ්‍යයන් සමාජයේ කොපමණනම් සිටිනවාද. පුස්‌තකාලය ජීවිතය කරගත්තු දැනුම එකම දහම කොටගත් මනුෂ්‍යයෝ සමාජයේ කොපමණනම් ජීවත්වෙනවාද. ඒ අයගේ ධර්මය තමයි පොත් විකිණීම, කියවීම, ලිවීම… සිත මේවා තුළ ගිලාබැසලයි තිබෙන්නේ. සූත්‍ර පොතක්‌ කියවන්න කැමති නැහැ. ධර්ම පොතක්‌ කියවන්න කැමති නැහැ. ලෞකිකත්වය තුළ ආශ්වාදය සකස්‌කොට දෙන දැනුමට විනෝදයට අදාළ අරමුණු මතුකොටදෙන පොත් උපාදානය කොටගෙන ජීවත් වෙනවා. උතුම් සද්ධර්මය කෙරෙහි ගෞරවයක්‌ නැති පොත් උපාදානය කරගත් පිංවතුන් මැරෙන වේලාවෙත් මේ පොත් උපාදානය වුණොත්, පොත් අල්මාරියේම කාවෙක්‌ වෙලා උපදින්න පුළුවන්.

සමහර පොත් අල්මාරි අරිනකොට බොහොම කඩිසරව දුවන කාවන්, කෘමීන් අපි දැකලා තිබෙනවා. එහෙම කාවෙක්‌ මීට පස්‌සේ දැක්‌කොත් ධර්මයෙන් බැහැරව පොත් උපාදානය කරගත් මනුෂ්‍යයෙක්‌ව එම කාවා තුළින් දකින්න. පොත්ගුලේ සිටින කෘමිසතා තුළිනුත් සංසාර බිය දකින්න. උතුම් සද්ධර්මයට සම්බන්ධ පතපොතට ඉහත කාරණය අදාළ නොවන බව සලකන්න. සද්ධර්මයට අදාළ පතපොත පරිශීලනය කිරීමෙන් පිංවතුන්ලාට අර්ථයක්‌මයි, මෝහයෙන් බැහැරවීමක්‌මයි සිදුවන්නේ.

බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් සූත්‍ර ධර්මයන් හැකිතාක්‌ පරිශීලනය කරන්න. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ප්‍රකාශවෙන ඕනෑම පොතක්‌ කියවන්න. හැකිතාක්‌ සද්ධර්මය කෙරෙහි දැනුම වර්ධනය කොටගන්න. නමුත් යම් දවසක දැනුම කෙරෙහි තිබෙන තෘෂ්ණාව අත්හැරුණුදාට තමයි ප්‍රඥාව සකස්‌වෙන්නේ කියන ධර්මතාව සිහිකොටගන්න.