ඔබේ අතීත භව ගමනේ කැඩපතක්‌ ඔබ ඉදිරියේ ඇත

මේ නුවණින් මෙනෙහි කිරීම කියන කාරණයෙන් වර්තමානයේ පිංවතුන්ලා හුඟක්‌ බැහැරවයි සිටින්නේ. නුවණින් මෙනෙහිකිරීම හීන වන විට අපි මෝහය දෙසටයි ගමන් කරන්නේ. ඔබ සංසාරයේ ගෙවා පැමිණි දුර සද්ධර්ම ශ්‍රවණය ඔස්‌සේ මතුකර ගන්න. විවේකීව සිටින වේලාවට තමා සංසාරයේ ලබා ඇති ජීවිත නුවණින් සිහිකරන්න. දෙහිවල සත්ව උද්‍යානයේ ඇති සතුන් ඔබේ අතීත භව ගමනේ කැඩපතක්‌ ලෙස දකින්න. අතීතයේ ඔබ සක්‌විති රාජ සම්පත්, ශක්‍ර දිව්‍ය සම්පත්, මනුලොව ධන කුවේර සම්පත් ලබලා සතුටු වුන හැටි නුවණින් දකින්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිව තිබෙන කෝටු කැබලි එක ගොඩක්‌ ගසලා ඒ සෑම කෝටු කැබැල්ලක්‌ම ඔබේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. දැන් මේ කෝටු කැබැල්ල, කෝටු කැබැල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ අම්මාගේ අම්මා, වශයෙන් ඔබේ පරපුර දියනොවී තිබියදීම කොටු කැබලි ප්‍රමාණය ඉවර වෙනවා කියලා. මෙසේ මැරෙමින් ඉපදෙමින් පැමිණි ගමනේදී මනාප දෙයින් වෙන්වීමට සිදුවෙලා, අමනාප දෙය සමග එක්‌වීමට සිදුවෙලා නෙතින් ගලාගිය කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහ පොළවේ ඇති පස්‌ සියල්ලම වෙරළු ගෙඩි තරමට ගුලි කරන්න කියලා. එහෙම ගුලි කරලා එක්‌ වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස්‌ ගුලිය ගුලිය අයින් කරන්න කියනවා. මේ මගේ ගෙවී ගිය එක කල්පයක්‌. මේ මගේ ගෙවී ගිය දෙවැනි කල්පය, මේ මගේ ගෙවී ගිය තුන්වෙනි කල්පය කියලා. වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස්‌ ගුලි ඉවර වෙනවා. ඒත් තමා ගෙවාගෙන පැමිණි කල්ප ප්‍රමාණය ඉවර වෙන්නෙ නැහැ කියලා.

මේ සංසාරේ ගැඹුර පිංවතුන්ලා කමටහනක්‌ කරගන්න. මේවා නුවණින් මෙනෙහි කරමින් සංසාර බිය සකස්‌ කරගන්න. ප්‍රඥාව කියන කාරණය ආලෝක පුජා තුළින්, විදුලි පන්දම් පූජාව තුළින් ඇති වන්නේ නැහැ. ඔබ තුළ ප්‍රඥාව මෝදුවෙන්න නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය සිද්ධවෙන්න ඕන. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහිකරන්න ඕන. එවිටයි පිංවත් ඔබ තුළ ප්‍රඥාව ඇතිවෙන්නේ.

මේ නුවණින් මෙනෙහි කිරීම කියන කාරණයෙන් වර්තමානයේ පිංවතුන්ලා හුඟක්‌ බැහැරවයි සිටින්නේ. නුවණින් මෙනෙහිකිරීම හීන වන විට අපි මෝහය දෙසටයි ගමන් කරන්නේ. ඔබ සංසාරයේ ගෙවා පැමිණි දුර සද්ධර්ම ශ්‍රවණය ඔස්‌සේ මතුකර ගන්න. විවේකීව සිටින වේලාවට තමා සංසාරයේ ලබා ඇති ජීවිත නුවණින් සිහිකරන්න. දෙහිවල සත්ව උද්‍යානයේ ඇති සතුන් ඔබේ අතීත භව ගමනේ කැඩපතක්‌ ලෙස දකින්න. අතීතයේ ඔබ සක්‌විති රාජ සම්පත්, ශක්‍ර දිව්‍ය සම්පත්, මනුලොව ධන කුවේර සම්පත් ලබලා සතුටු වුන හැටි නුවණින් දකින්න. එම සැපයන්ගෙන් තෘප්තිමත් භාවයට පත් නොවූ නිසාම නැවත කල්ප ගණන් සතර අපායන්හි ඉපදිලා සෙම්, සෙම් සොටු ගිනි අඟුරු, ලෝදිය, තණ කොළ, පුන්නක්‌කු… දුකම අනුභව කර ජීවත් වුණ අතීතය සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේයි කල්‍යාණ මිත්‍රය වශයෙන් අපට මේ සංසාර බිය මතුකර පෙන්වන්නේ. පිංවත් ඔබ මේ අතීත සංසාර ගමන නුවණින් මෙනෙහි කරන්න දක්‍ෂ වුවහොත් ඔබට දැනේවි මේ තිරිසන් ලෝකයේ ජීවත්වෙන සෑම සතෙක්‌ම, මේ ප්‍රේත ලෝකයේ ජීවත්වෙන සෑම සත්වයෙක්‌ම, ඔබගේ ඥතිවරයෙක්‌ය කියලා. මේ සුගතියේ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ලෝකවල ජීවත්වන සෑම සත්වයෙක්‌ම ඔබගේ අතීත ඥාතිවරයෙක්‌ය කියලා. බුදුරජාණන් වහන්සේ ස්‌වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා අවිද්‍යාව නිසා ඉපදෙමින් මැරෙමින් පැමිණි ගමනේදී රජවරු හිස ගසා දමද්දී වගුරපු රුධිරයද මහා සාගරයේ ජලයට වැඩිය කියලා. ගව යෝනියේ, බැටළු යෝනියේ, ඌරු යෝනියේ ඉපදිලා හිසගසා දමද්දී ගලාගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩිය කියලා. මහා සාගරය පරදවන තරම් රුධිරය අප සංසාරයේ හෙළා තිබෙනවා. ඉපදෙමින් මැරෙන ස්‌වභාවය අවසන් නොවන දෙයක්‌. නිදහස්‌ වෙන්නමයි ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අනේපිඬු සිටුතුමාට, විශාඛා උපාසකට, නකුලමාතාවට බුදුරජාණන් වහන්සේ හමුවන මුල්ම දැක්‌මේදීම සංසාර බිය නුවණින් මෙනෙහි කිරීම තුළින්මයි සෝවාන් ඵලයට පත්වෙන්නේ. පිංවත් ඔබට සිතන්න පුළුවන් ඒ අයට ගොඩාක්‌ පාරමී ශක්‌තිය වැඩිය කියලා. එම අදහස සද්ධාවේ දුර්වලතාවයක්‌ හේතුවෙන් සකස්‌වෙන විචිකිච්චාවේ ස්‌වභාවයක්‌ හැටියට දකිමින් බැහැර කර දමන්න. ලෝකය සිතන විදිහට සිතන්න ඔබ පෙළඹෙන්න එපා. ලෝකය යන්නේ දුක දිශාවටයි. ලෝකයම කමටහනක්‌ කරගෙන ලෝකයෙන් මිදෙන දිශාවට එන්න.

රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව රූපය ඇසුරු කරමින් ක්‍රමානුකූලව හීන කරගන්න. රූපයට රූපයේ ස්‌වභාවයෙන් තිබෙන්ට හැර රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහරින්න. ඔබ අතහරින දෙය අල්ලා ගන්න ඕන තරම් ලෝකයා සිටිනවා. ඔබ ලෝකයෙන් හිස්‌වුණාය කියලා ලෝකයට පාඩුවක්‌ නැහැ.