තාක්‍ෂණයට නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම.

පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල් හේතුකාරණය වූ සංස්‌කාර හේතුවෙන්, කර්ම ශක්‌තිය, විඤ්ඤාණය කොයි ආකාරයෙන් ද ඕපපාතිකව බ්‍රහ්මයෙක්‌, දෙවියෙක්‌, යක්‍ෂයෙක්‌, ප්‍රේතයෙක්‌, තිරිසන් සතෙක්‌ උපදින්නේ, මව්කුස ඇති කලල රූපයට කොහොමද විඤ්ඤාණය බැසගන්නේ කියලා දැකලා නැහැ. එය පියවි ඇසෙන් දකින්නත් බැහැ. අවිද්‍යාවක්‌ම වූ පෘතග්ජන ලෝකය විසින් ‘විද්‍යාව’ ලෙසින් හඳුන්වන දෙයටත් බැහැ. ප්‍රඥාවේ විද්‍යාවෙන් පමණයි එය දැකිය හැක්‌කේ. සමාධිය ප්‍රගුණ කළ සිතකින් පමණක්‌ දැකිය හැකි විෂයක්‌මයි. මොකක්‌ද මේ විඤ්ඤාණය කියන්නේ? එහි හැඩය, වර්ණය, ස්‌වරූපය හැසිරීම් රටාව මොකක්‌ද? අපි මේවාට පිළිතුරු දකින්න හරි කැමතියි.

මේවා නිසාම නොයෙක්‌ දෘෂ්ඨිවල බැඳෙන්නත් හරිම කැමතියි. මේවා ගැන නොදැනීම නිසා සිදුකරගන්නා අකුසල්ද අප්‍රමාණයි. යක්‍ෂයාගේ ඕපපාතික පහළවීමේදී භික්‍ෂුවට මුළින්ම දර්ශනය වුණේ වේගයෙන් භ්‍රමනය වන සුළං සුළියක්‌. මෙය හරියට දිය සුළියක ස්‌වභාවයෙන් වේගයෙන් භ්‍රමනය වුණා. පොළොවේ සිට අඩි 6ක්‌ පමණ ඉහළින් මෙම සුළිය ඇති වුණේ. මේ සුළං සුළියේ වේගය, ප්‍රවේගය කිසිදු යන්ත්‍රයකින් මැනිය නොහැකි තරම් අති ප්‍රවේගකාරියි. මෙම වේගය විසින් යක්‍ෂ රූපය නිර්මාණය වුණා. දැන් භික්‍ෂුව ඉදිරියේ සිදුවූ වේගවත් ක්‍රියාවලිය නිමාවී කළු පැහැති යක්‍ෂ රූපයේ කඳ කොටස පැහැදිළිව දර්ශනය වුණා. සියල්ල සිදුවීමට තත්පර දහයකට වඩා ගියේ නැහැ. මේ වේගය ඔබ සමාධිය තුළින්ම දැකිය යුත්තක්‌. මෙහිදී භික්‍ෂුවට දර්ශනය වූයේ ඕපපාතිකව උපත ලද යක්‍ෂයාගේ කඳ කොටස පමණයි. බෙල්ලෙන් ඉහළ කොටස ඒ මොහොතේ පහළවුණේ නැහැ. කළු පැහැති අඩි 7ක්‌ පමණ උසැති හැඩි දැඩි යක්‍ෂ රූපයේ කය සහ මනස පහළවීම,ඉපදීම එම මොහොතේ සිදුවූව ද, ඇස, කන දිව, නාසය ඒ මොහොතේ පහළවුණේ නැහැ. මේ යක්‍ෂයාගේ පෙනුමෙන් භික්‍ෂුව අනුමාන කළේ මොහු සම්‍යදෘෂ්ඨීක යක්‍ෂයෙක්‌ බවයි. භික්‍ෂුව අනුමාන කළේ ප්‍රේත ජීවිතයක්‌ ගතකරමින් සිටි පිංගැනීමට හැකි ප්‍රේතයෙක්‌. භික්‍ෂූන්වහන්සේලා නිතිපතා අනුමෝදන් කළ පිං අනුමෝදන්ව ප්‍රේත ජීවිතයෙන් අතමිදී, ආරණ්‍ය ආරක්‍ෂක සම්‍යදෘෂ්ඨීක යක්‍ෂයෙක්‌ ලෙස උපත ලද බවයි. ප්‍රේතයාගේ සිතේ ඇති වූ අවසාන චුති සිත, ඊට කැමති උපාදානය තුළ බැසගත්තා. නව යක්‍ෂ ප්‍රතිසංධිය සකස්‌ වෙන මොහොතේ එම සිත අනිත්‍යභාවයට පත්වෙනවා මොකද එම සිත ක්‍රියාත්මක වී අවසන්. ඒ ක්‍රියාත්මක භාවයම තමයි භික්‍ෂුව දැක්‌කේ එම චුතිසිත ක්‍රියාත්මක භාවයට පත්වී අනිත්‍යවනවිට යක්‍ෂයාගේ කය හෝ මනස බාහිර රූප සමග පස්‌සවීමෙන් නැවත නැවත සිත් සකස්‌ වෙනවා භික්‍ෂුව සමාධියෙන් මෙතනදි අත්දැක්‌කේ ඕපපාතික සත්වයෙක්‌ මරණයට පත්වෙන විට සකස්‌ වුණ අවසාන සිත ඊට උපාදානය වු කර්මයට අනුරූපීව සකස්‌ වුණ කර්මශක්‌තිය ‘සංස්‌කාර පච්චයා විඤ්ඤාණා’ කියන ධර්මතාවයට අනුවයි මේ උපත සකස්‌වුණේ. දැන් මොහු ජීවමාන යක්‍ෂයෙක්‌. මෙතනදි භික්‍ෂුවට ඉතාමත් පැහැදිලිව අරමුණුවුණා විඤ්ඤාණ ධාතුව හැඩයක්‌ වර්ණයක්‌ ඇති රූපයක්‌ නොවේ. විඤ්ඤාණ ධාතුව වශයෙන් භික්‍ෂුව දැක්‌කේ අති ප්‍රවේගකාරී වේගයක්‌ පමණකි. වේගය නිසාම එතන ශක්‌තියක්‌ ගැබ්වෙලා තිබෙනවා හරියටම සුළංසුළියක්‌ වගේ වේගයෙන් භ්‍රමණය වෙමින් යක්‍ෂ රූපය නිර්මාණය වුණා. මේ මොහොතේ මේ සිද්ධිය මතකයට එනවිට භික්‍ෂුවට සිනහාවක්‌ පහළවෙනවා. මොකද මෙතන ගතයුතු චන්ද රාගයෙන් උපාදානයකරගත් කිසිවක්‌ තිබුණේ නැහැ. වේගයක්‌ පමණක්‌මයි තිබුණේ. මේ වේගය කියන්නේ අනිත්‍යය. මේ අනිත්‍යය දකින පිංවතා විඤ්ඤාණයට බැඳෙන්නේ නැහැ. ඔහු අවබෝධයෙන් දන්නවා බැඳෙන දෙයක්‌ එතන නැහැ කියලා. අල්ලාගන්න ස්‌ථිරත්වයක්‌ එහි නැහැ කියළා. විඤ්ඤාණය කියන්නේ වීදුරු පෙට්‌ටියක්‌ තුළ, ගල්ගුහාවක්‌ තුළ, සීල් කරපු පෙට්‌ටියක්‌ තුළ, සිදුරක්‌ නැති කාමරයක්‌ තුළ කොටුකරන්න සිරකරන්න පුළුවන් දෙයක්‌ නොවේ. විඤ්ඤාණය කියන්නේ ධාතුවක්‌. එහි එකම ස්‌වභාවය වේගයෙන් අනිත්‍යභාවයට පත්වීමයි. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ ස්‌වභාවයන් වේගයෙන් අනිත්‍යභාවයට පත්වීමයි. මේ ධාතූන් අනිත්‍යභාවයට පත්වීමේ වේගය තුළ, අවකාශ ධාතුවකුත් එහි සකස්‌ වෙනවා. මේ අවකාශ ධාතුව තුළින් විඤ්ඤාණ ධාතුව ඕනෑම රූපයක්‌ විනිවිද ගමන් කරනවා. අඩි 100ක්‌ ඝන කමැති ලෝහ කුට්‌ටි වලින් තැනූ සිදුරු නොමැති කාමරයක්‌ තුළට නිමේශයකින් ගමන් කිරීමට විඤ්ඤාණ ධාතුවට හැකිය. මොකද ලෝහ කුට්‌ටියද නිරතුරුවම අනිත්‍යයේ වේගයට නතුව තිබෙන නිසා.

අපේ සමාජයේ සමහර පිංවතුන් විශේෂයෙන්ම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් කරන අයගේ මතයක්‌ තිබෙනවා ප්‍රේතයෙක්‌ , යක්‍ෂයෙක්‌ බෝතලයක සිර කර තැබිය හැකිය කියලා. තොවිලයක්‌ නටලා, රුපියල් දහස්‌ ගණනක්‌ වියදම් කරලා අමනුෂ්‍යයන්ව සිරකෙරුවා කියලා කට සීල් කරන ලද බෝතල් මුහුදට දමනවා ඔබ දැකලත් ඇති.

අමනුෂ්‍යයෙක්‌ කියන්නේ ඇස, කන, නාසය, දිව, මනස , ශරීරය කියන ඉන්ද්‍රියන් හයෙන් පරිපූර්ණ සත්වයෙක්‌. එම ශරීරයේ ඝණභාවයක්‌ නැහැ. සියුම් ශරීරයකුයි තිබෙන්නේ. මේ ඉන්ද්‍රියන් බාහිර රූප සමග ඵස්‌සය වීමෙන් අමනුෂ්‍යයින්ගෙත් පංච උපාදානස්‌කන්ධය සකස්‌ වෙනවා. අමනුෂ්‍යයා තුළත් කාය සංස්‌කාර, වචී සංස්‌කාර, මනෝ සංස්‌කාර සිද්ධවෙනවා. මෙවැනි අමනුෂ්‍යයෙක්‌ බෝතලයක්‌ තුළ සිරකෙරුවොත් අනිවාර්යයෙන්ම කාය සංස්‌කාර, ආශ්වාස-ප්‍රශ්වාස නොමැතිවීමෙන් පීඩා විඳිමින් මියයනවා. එහෙම මියගියා කියලා අවසාන වශයෙන් එම අමනුෂ්‍යයා තුළ සකස්‌වෙන චුති සිත විඤ්ඤාණය බෝතලය තුළ සිරවී තිබෙන්නේ නැහැ. බෝතලය කියන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන රූපයක්‌. එහි ස්‌වභාවය වේගයෙන් අනිත්‍යභාවයට පත්වීමයි. ඒ අනිත්‍යයේ වේගය තුළින් විඤ්ඤාණ ධාතුව ගමන් කරනවා, උපාදානය සකස්‌ වුණ බැසගැනීම වෙත. මෙවැනි අවස්‌ථාවක අමනුස්‌සයා තමාව බෝතලයේ සිරකිරීමට කටයුතු කළ පුද්ගලයන් කෙරෙහි ද්වේශයක්‌ සකස්‌ කරගැනීම නිසා, වඩා නපුරු රෞද්‍රවූ ප්‍රේත යක්‍ෂ ජීවිතයක්‌ ලබන්න පුළුවන්. එම අයගෙන් පළිගැනීම උදෙසා. ඒක නිසා වෙන්න ඇති යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් කරන අයත්, එම මිථ්‍යාදෘෂ්ඨීක සේවාවන් ලබන අයත්, දියුණුවක්‌ නොමැති, පීඩාකාරී ජීවිත ගතකරන්නේ. මේවා තමාගේ මෝහය නිසා සිදුවන තත්ත්වයන්. මෙතැනදී වඩාත් බරපතළ තත්ත්වය නම් එවැනි අමනුෂ්‍යයෙක්‌ බෝතලයක්‌ තුළ සිරකොට මරාදැමීමේදී බරපතළ අකුසලයක්‌ද සිදුවීමයි.

පිංවත් ඔබ මෙහෙම සිතන්න. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රීලාංකිකයෙක්‌ සිටිනවා. මොහු රැකියාව සඳහා ඇමරිකාවේ ජීවත්වෙන්නේ මොහුගේ බිරිඳ, දරුවෝ ජීවත් වෙන්නේ ශ්‍රීලංකාවේ. විශාල දේපලක්‌ද මව්රටේ මොහුට තිබෙනවා. මොහු හදිස්‌සි අනතුරකින් ඇමරිකාවෙදී මියයනවා. මියයන මොහොතේ මොහු තුළ ඇතිවන්නේ බිරිඳ, දරුවන්, දේපල කෙරෙහි චන්ද රාගයක්‌. කුසල් සිතක්‌ මතුවුණේ නැහැ. දීර්ඝ කාලයක්‌ විදේශගතව සිටි නිසා කළ පිංකම් තිබුණේ නැහැ. ශීලයක පිහිටියෙත් නැහැ. එම නිසාම තෘෂ්ණාවෙන් තෙත් වුණ සිත ප්‍රේත ප්‍රතිසංධියක්‌ ලබනවා. තමන්ගේ බිරිඳ, දරුවන් , දේපල සහිත නිවසේම මේ ජීවිත මාරුව තප්පර දහයක්‌ තුළ සිදුවෙලා ඉවරයි. තප්පර දහයකට පෙර ඇමරිකාවේ සිටි මනුෂ්‍යයා ඊළඟ නිමේෂයේදී ශ්‍රී ලංකාවේ තම නිවසේ ප්‍රේතයෙක්‌. ඇමරිකාවේ මැරුණා කියලා පාර, මග, දිශාව සොයාගන්න අපහසුවුනේ නැහැ. එය තමයි විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී විනිවිද ගමන් කිරීමේ ශක්‌තිය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ යැයි උපමාකර ඇත්තේ මොනතරම් අර්ථයකින්ද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට හැර අන් කවරෙක්‌ මෙම මැජික්‌කරු හඳුනාගන්නද. චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෙස, පටිච්ච සමුප්පාද ධර්මයන් ලෙස උන්වහන්සේ දේශනා කර වදාළ එම මැජික්‌ කරු නිරෝධය කිරීමේ මාර්ගය මොනතරම් නිරවුල්ද පැහැදිලිද අවබෝදාත්මකද. ඇසට නොපෙනෙන උපකරණයකට හසුනොවෙන විඤ්ඤාණ ධාතුවේ සියුම් ක්‍රියාකාරීත්වය ලෝකයේ නිර්මාණකරුවාය. මොහුගේ සූක්‍ෂමභාවය ලොව්තුරා සම්මා සම්බුද්ධ ගුණයෙන් අවබෝධකර ලෝකයාට පහදා දුන්නා මිස වෙන කව්රුන් කෙසේ නම් හඳුනාගන්නද? මෙම ඉහත කෙටි සටහන විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී අනිත්‍යභාවය හඳුනාගැනීමට ඔබට ප්‍රයෝජනවත් වේවි. මෙම සටහනේ මුලින් සඳහන් කළ ඕපපාතික යක්‍ෂයාගේ උපතේදී එම යක්‍ෂයාගේ ඉපදීම සිදුවූයේ බෙල්ලෙන් පහළ කොටස්‌ පමණි. එසේ වූයේ ඇයිද යන්න භික්‍ෂුව නොදනී. එය අපට දැනගත හැක්‌කේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් පමණි. අපි කෙසේ නම් කියන්නද? නමුත් අපට මෙවැනි අනුමානයක්‌ කරන්න පුළුවන් මේ ආකාරයේ උදාහරණයකින්. මනුෂ්‍ය දුවකගේ මව්කුසක ගර්භාෂයේ තැන්පත්ව ඇති උකුණුහිසක්‌ තරම් කුඩා කලල රූපයට තමයි බාහිරින් පැමිණෙන විඤ්ඤාණය බැසගන්නේ එම කලල රූපයට විඤ්ඤාණය බැසගන්න අවස්‌ථාවේ එහි කන, නාසය, දිව, සකස්‌ වෙන්නේ සති හතරක්‌ පමණ ගතවෙලා. එතෙක්‌ කලල රූපයේ කායවිඤ්ඤාණය පමණයි කලල රූපයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ අනුසාරයෙන් බලනවිට ඉහත යක්‍ෂ උපතේදී සමහර විට ඇස, කන, නාසය, දිව පහළ වීම ඉතා කෙටි ප්‍රමාදවීමකින් සිදුවෙන්න පුළුවන් මෙය අනුමානයක්‌ පමණයි. කෙසේ වෙතත් භික්‍ෂුවට අරමුණුවු ඕපපාතික යක්‍ෂයාගේ කය සහ මනස පමණයි එම මොහොතේ පහළ වුණේ.