උතුරේ ත්‍රස්‌තවාදයට වඩා භයානක ත්‍රස්‌තවාදයක්‌ ඔබ ඉදිරියේ ඇත

තාවකාලිකව රට තුළ පැවති ත්‍රස්‌තවාදය පරාජය කිරීම හේතුවෙන් රට පුරා එල්ලා තිබූ බැනර්, තොරණ, පෝස්‌ටර්, දැන්වීම්, පිදූ ගෞරව සම්මාන, පැවත්වු ආචාර, ඇතිවු ඝෝෂාව, පුපුරාගිය රතිඤ්ඤා හඬ, දෙස බැලීමේදී වසර 30 ක්‌ තරම් කාලයක්‌ සමස්‌ත ජනතාව පීඩාවට පත්කළ ත්‍රස්‌තවාදය පරාජයට පත්කිරීම හේතුවෙන් ජනතාව මෙපමණ සතුටක්‌ ලැබුවානම්, ඔබට කල්ප ගණන් දුක, වේදනාව, ම්ලේච්ජත්වය, අවිචාරය, ගින්දර, යොධිය සමග දුක්‌විඳීමට සැලැස්‌වූ අතීතයේ ඔබ විඳි සතර අපායේ ත්‍රස්‌තවාදය ඔබ පරාජය කළහොත් මොනතරම් සතුටක්‌ ලබයිද?

වසර 35 ක පමණ කාලයක්‌ පමණක්‌ ඔබ විඳි මරණ බිය නැතිවීම හේතුවෙන් මේ තරම් සතුටුවෙනවා නම්, යුද්ධයේ දුක මේ තරම් කටුක ලෙස දැනී තිබුනා නම් ඒ සැබවින්ම ඔබ සතර අපායේ ඇති දුක ගැන නොදන්නා නිසාමයි.

උතුරේ යුද්ධයෙන් දිනන්න තරම්වත් උත්සාහයක්‌ සතර අපායෙන් මිදීම සඳහා නොගන්නේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ඔබේ ග්‍රහණයේ තබාගත හැකි දෙයක්‌ බව නොදන්නා නිසාමයි. ඔබවවත් ඔබේ පාලනයේ තබාගත නොහැකිය. යුද්ධයක ජය පරාජය හැමදාම නිත්‍යභාවයේ තබාගත හැකි දෙයක්‌ද නොවේමය. මනුෂ්‍යයා තූළින්ම අවුළුවා ගන්නා යුද ගිනි මනුෂ්‍යයා විසින්ම නිවාදමයි. නිෂ්පාදකයාත් එම නිෂ්පාදනයෙන් දුකට පත්වන්නාත්, විනාශකරගන්නාත්, නිවා දමන්නාත් මනුෂ්‍යයාමය. මේවා උදෙසා ඔබලා රැස්‌කරගන්නා අකුසල් අපි පසුපසින් සෙවණැල්ලක්‌ සේ විපාකදෙමින් පැමිණෙනවාමය. යුදබිමකදී ඔබට යම් අනතුරක්‌ සිදුවුනොත් ඔබගේ උපකාරයට රජයක්‌ ඇත, වෛද්‍යසේවා ඇත, නොයෙක්‌ සමාජසේවා ආයතන ඇත. එහෙත් සතර අපායට වැටෙන සත්ත්වයාට ඒ දුක වේදනාව, කුසගින්න විඳීමට සිදුවන්නේ තනිවමය. කඳුළු පිසදැමීමට, ලේ පිසදැමීමට, බෙහෙත් දැමීමට, සුවදුක්‌ විචාරීමට සතර අපායේ සත්ත්වයාට කිසිවෙක්‌ නොමැත. හේ තනිවම අපාදුක්‌ විඳිය යුතුය.

මනුෂ්‍ය ලෝකයේ ත්‍රස්‌තවාදයට වඩා සතර අපායේ ත්‍රස්‌තවාදය අති බිහිසුණුය, තියුණුය, අතිදීර්ඝය. ඔබ සැබෑ ජයග්‍රාහකයෙක්‌ වන්නේ අනාගතයේ යම් දිනයක නැවත ඇතිවන යුද්ධයක්‌ ජයගැනීමෙන් නොව නිරතුරුවම ඔබට අත වනන සතර අපායේ යුද්ධයෙන් ඔබ ජයගතහොත් පමණක්‌මය. මනුෂ්‍යයා යුද්ධය කරද්දී මාරයා සාමයට අත වනයි. මනුෂ්‍යයා සාමය උදාකරගනිද්දී මාරයා යුද්ධයට අත වනයි. යුද්ධයත් සාමයත් දෙකම මාරයාගේය. මේ දෙක අතර පරතරය මනුෂ්‍යයෙකුගේ සිතක්‌ අනිත්‍යභාවයට පත්වී තව සිතක්‌ හටගැනීමට ගන්නා කෙටි කාලයයි. ඒ කාලය තුළ ඔහු යුද ඇඳුම ගලවා සුදෝ සුදු ජාතික ඇඳුම ඇඟලාගනී. මේ ඇඳුම් දෙකම මාරයාගේමය. මාරයාගේ මේ විකට ඇඳුම් තරගවලින් මිදී සතර අපායේ ත්‍රස්‌ත්‍රවාදයෙන් මිදීමේ මග ලොව්තුරා බුදුසමිඳුන් බොහොම පැහැදිලිව දේශනා කර ඇත.

තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, තෙරුවන් ගුණ අර්ථ වශයෙන් දැනගෙන එම ගුණයන් කෙරෙහි ඇතිකරගන්නා විශ්වාසය ‘ජීවිතයේ එකම සැනසීම ලොව්තුරා බුදුරජාණන් වහන්සේය’ කියන විශ්වාසය. සසර දුකින් මිදීමේ එකම මාර්ගය ධර්මරත්නය කියන විශ්වාසය, සංඝරත්නයේ අනන්තවූ ගූණයන් පිළිබඳ විශ්වාසය, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබෙන කෙනා තමන්ගේ ජීවිතයට කුමන ප්‍රශ්නයක්‌ කරදරයක්‌ පැමිණියද තෙරුවන් කෙරෙහි විශ්වාසය පළුදුකරගන්නේ නැහැ. ඔබ සිතන්න ඔබේ රුපියල් දාහක්‌ නැතිවුණාය කියල. එවිට ඔබ සිතනවා නම් ‘මගේ රුපියල් දාහක්‌ නැතිවුණේ මම තෙරුවන් සරණ ගොස්‌ ඇති නිසාමයි. නැතිනම් රුපියල් දහදාහක පාඩුවක්‌ වෙන්න තිබුණා’ ය කියලා. ‘මට තනතුර පමණක්‌ අහිමිවුණේ තෙරුවන් සරණ යන නිසාමයි. නැතිනම් මට ජීවිතයත් අහිමිවෙන්න තිබුණා’ ය කියලා. මේ ආකාරයෙන් ඔබගේ ජීවිතයට කුමන අභියෝගයක්‌ පැමිණියද තෙරුවන් සරණ පිළිබද විශ්වාසය තමන්ගේ ජීවිතයේ එකම සරණ විශ්වාසය කරගන්න. ධර්මයේ සන්දිට්‌ඨික ගූණය පිළිබඳ නිරතුරුවම ඔබ විශ්වාසය තබන්න. ඊට එරෙහිව අදහස්‌ ප්‍රකාශ නොකරන්න. මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කරගැනීමට, සතර අපායෙන් මිදීමට නොහැකිය කියන මිථ්‍යා මතවලින් මිදෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ‘ධර්මය සන්දිට්‌ඨකයි’ වශයෙන් දේශණාකර ඇති නිසා එම සන්දිට්‌ඨක ගුණය කෙරෙහි අචල විශ්වාසය තබා ධර්ම මාර්ගයේ පෙරට යන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනා ඉක්‌මවා යැමට, සැකයන් ඇතිකිරීමට ඉවහල්වන මාරපාක්‍ෂික සිතුවිලිවලින් ඔබ මිදෙන්න. මහා සංඝරත්නය යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම උදෙසා ගමන් කරනා පිරිසක්‌ බව දකින්න. මහාසංඝරත්නයට උපදෙස්‌ දීමට අවවාද අනුශාසනා කිරීමට පිංවත් ගිහි ඔබ උත්සාහ නොගන්න. නිරතුරුවම අතීතයේ වැඩසිටියාවු ගුණයෙන් ඥානයෙන් පරිපුර්ණවු මහා සංඝරත්නයේ එම ගුණයන් ඥානයන් දකිමින් සිහිකරමින් වර්තමාන මහාසංඝරත්නය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න.

දෙවැනිව ඔබ ශීලය ආර්යකාන්ත ශීලයක්‌ ලෙස ආරක්‍ෂකරගන්න. තමා අතින් සිල්පදයක්‌ බිඳුනොත් ඒ මොහොතේම එම සිල්පදය නිවැරුදිකරගැනීම, ආර්යකාන්තශීලය ආරක්‍ෂා කරන පිංවතාගේ ලක්‍ෂණයක්‌. ඔහු තමා අතින් වූ වරද හෙළිකිරීමට මැළිවෙන්නේ නැහැ. ආර්යකාන්ත ශීලය රකින කෙනා තමාගේ ආත්ම ගරුත්වයට වඩා තමා සතර අපායෙන් මිදීමට කැමති වෙනවා. සිල්පදයක්‌ බිඳදමා ලබන තාවකාලික අසත්පුරුෂ ආශ්වාදයට වඩා සතර අපායට වැටුනොත් එහිදී ලබන දීර්ඝ විපාකයන් ගැන මෙනෙහි කරනවා. නිතරම ඔබේ ඇසට පෙනෙන තිරිසන් ලෝකයේ සතුන් විඳින දුක මට නම් එපා යයි සිතනවා.

තෙවනුව ඔබ තනතුරු, නායකත්වය මේ ආදී වශයෙන් රැස්‌කොටගෙන ඇති ”මගේ ගොඩ” මේවා මගේ වසඟයේ තබාගත නොහැකි දේවල් බව සිතීමට පුරුදු විය යුතුයි. අතීතයේ මේ රටේ සිටි සෑම පාලකයෙක්‌ටම, නායකයෙක්‌ටම, විධායකයෙක්‌ටම එම තනතුරු අහිමි වු ආකාරය, ජනතා ප්‍රතිචාරයන් හීනවී ගිය ආකාරය, රෝගවී දුක්‌ විඳ මියගිය ආකාරය සිහිකිරීමට පුරුදු විය යුතුය. මේවායේ අනිත්‍ය ස්‌වභාවය දැකීමට උත්සාහ කළ යුතුය. දැන් ඔබට ප්‍රශ්නයක්‌ මතුවනු ඇත ‘හාමුදුරුවෝ කියන්නේ මේවා අතහරින්නද?’ කියලා. නැත. සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් මිදීමට ඔබ කිසිවක්‌ අතහැරිය යුතු නැත. තනතුරු, බිරිඳ, දරුවන් දේපළ අතහැරිය යුතු නැත. ඔබ වෙනදාට වඩා තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් තම වගකීම් ඉටුකළ යුතුය. වෙනදාට වඩා වගකීම් යුතුකම් ඉටුකිරීමේදී ජවසම්පන්න විය යුතුය. ඔබ සමාජයේ ජීවත්වන උද්යෝගිමත්ම ජවසම්පන්නම පුද්ගලයා බවට පත්විය යුතුය. ඔබ තුළ ගොඩනැගෙන ආත්ම විශ්වාසය නිසා ඔබ ආත්මඅභිමානයකින් යුතුව කටයුතු කරනු ඇත. මෙය හුදෙක්‌ මාන්නය හෝ අහංකාරකමක්‌ නොවේ. එය ධර්ම මාර්ගය වැඩීමේදී ඇතිවන නිහතමානී ආත්ම ශක්‌තියකි. මේ නිහතමානී බව මමත්වයේ දැඩිභාවය නැමති මහා කළුගල සිදුරු වී නැගෙන සියුම් ජලධාරාවන්ය. මේ සියුම් දිය දහර මහා ජල ප්‍රවාහයක්‌ බවට ඔබට පත්කරගත හැක්‌කේ තමා, මගේ කරගෙන තිබෙන සියල්ල අනිත්‍ය බව දකිමින් ජීවත් වීමෙන්ය. දැන් ඔබට තේරෙනවා ඇති සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් මිදීමේ මාර්ගය, ඔය රටේ කරපු යුද්ධය ජයගැනීමට වඩා මොනතරම් පහසුද කියලා. මිනිස්‌සු මැරෙන්නෙ නැහැ. අංගවිකල වෙන්නේ නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අවි ආයුධ වැටුප්වලට වියදම් වෙන්නේ නැහැ. බංකර් තනන්න, වාහන පරීක්‍ෂා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෛරය ක්‍රෝධය ඇතිවෙන්නේ නැහැ. මේ සියල්ල නැතිවෙද්දී ඔබ තුළ ඇතිවෙන එක දෙයක්‌ තිබෙනවා. ඒ තමයි සතිය සහ සිහිය. සිහිබුද්ධියෙන් යුතුව ඔබ සැබෑ මග සැබෑ ජයග්‍රහණය තෝරාගන්න දක්‍ෂ වෙන්න.