ප්‍රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්ය්‍ය

මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්‌. එලෙස ලෝකය විනිවිද දකින්නේ විද්‍යාගාර, පර්යේෂණාගාර තුළදී නොව, පංචනීවරණයන් යටපත් වූ ඔබගේ ප්‍රභාෂ්වර සිත තුළින්මය. මස්‌ ඇසෙන් දකිනා ලෝකය මෝහයයි. ප්‍රඥාවේ ඇසින් දකිනා ලෝකය යථාර්ථයයි. ශීලයේත් සමාධියේත් ඵලයෙන් උපදින ප්‍රඥාවේ ඇස, මංමුලා වූ ලෝකයෙන් ඔබ්බට භව නිරෝධය දෙසට පාර පෙන්වන ආලෝකයයි.

භික්‍ෂුව සමාධියෙන් පසුවන විට අරමුණු නොකරම ඒ ආලෝකය ඔස්‌සේ අපූරු දර්ශනයක්‌ දර්ශනය විය. එය පිටසක්‌වල ජීවීන් පිරිසකගේ කියලයි භික්‍ෂුව අනුමාන කරන්නේ. ඒ කියන්නේ එය පිටසක්‌වල දර්ශනයක්‌. භික්‍ෂුවට දර්ශනය වන තැන බොහෝම ආලෝකවත් ස්‌ථානයක්‌. අක්‌කර දහයක පමණ භුමි ප්‍රදේශයක්‌ දර්ශනය වුණා. ගහකොළ කිසිවක්‌ පෙනෙන්නට තිබුණේ නැහැ. වැඩි උස නොවූ කෙටි ගොඩනැගිලි කිහිපයක්‌ තිබුණා. මේවා පෙට්‌ටි හැඩයටයි තිබුණේ. කෘත්‍රිම ද්‍රව්‍යවලින් තනපු බවකුයි පෙනුණේ. එම ස්‌ථානය ළමා උද්‍යානයක්‌, ළමා පාසලක්‌ වගේ තැනක්‌. කළු සහ සුදු පැහැති අඟුටුමිටි ළමයින් 25 ක්‌ පමණ එතැන සිටියා. මේ හැම දරුවෙක්‌ම උපරිම අඩි 2 ක්‌ පමණ උස ඇති. සියලුම දරුවන් දේහ ප්‍රමාණයෙන් එක වගේ. මේ දරුවන් බොහොම කඩිසර වේගවත් ඉරියව් දැක්‌වුවා. සෑම දරුවෙක්‌ම එක සමාන වර්ණවත් ඇඳුම් ඇඳගෙන සිටියා. තද දම් පැහැති කෙටි කලිසමක්‌, රතු පැහැයට හුරු රෝස පැහැති උඩුකය බැනියමක්‌. එය මහත නූලෙන් ගෙතු ඇඳුමකි. එහි කොටුවෙන් කොටුව හිදැස්‌ ඇත. බැනියමේ පසුපස ගෙතු පටි දෙකක්‌ හරහට එල්ලෙමින් තිබිණි. සියලුම අඟුටුමිටි ළමයින් එකම ස්‌වභාවයේ ඇඳුම් මෝස්‌තර දරාගෙන සිටියහ. ස්‌වීටර් මහන රෙදි වර්ගයේ වැනි රෙදිවලිනි කෙටි කලිසම නිර්මාණය වී තිබුණේ. එම ඒකාකාරී ඇඳුමත්, දරුවන් සියලුදෙනා එකම ප්‍රමාණයේ වීමත්, ඔවුන්ගේ කඩිසරභාවයත් නිසා එය අපූරු චිත්‍රයක්‌.

මෙම දරුවන් සමග එක වැඩිහිටියෙක්‌ සිටියා. ඔහු අඩි 4 ක පමණ අයෙක්‌. ඔහු ගැන එතරම් පැහැදුලි චිත්‍රයක්‌ ඇඳුණේ නැහැ. මේ ස්‌ථානයට යාබද පාරක්‌ තිබුණා. එය අඩි 30 ක පමණ පාරක්‌. එම පාරේ අලියෙක්‌ ගමන් කළා. ඒ වැඩුණු අලියාගේ උස අඩි 5ක්‌ පමණ ඇති. එම සතා හීලෑ කළ කුරු අලියෙක්‌ වගේ. මේ අලියාගේ එක කන් පෙත්තක කෙළවර වටාපතක්‌ සේ මොනර පිල් කළඹක්‌ තිබුණා. මොනරෙක්‌ පිල විහිදාගෙන සිටින ආකාරයට එම පිල විහිදිලයි අලියාගේ කනේ පෙති අගට මුහුවෙලා තිබුණේ. එය ස්‌වාභාවික පිහිටීමක්‌ හැටියටයි භික්‍ෂුව දැක්‌කේ. මේ අලියා සමග එක ප්‍රභු මහත්තයෙක්‌ ඇවිදගෙන යනවා. ඔහු සුදු ජාතිකයෙක්‌ වගෙයි. ඔහුගේ උස අඩි 4 1/2 ක්‌ විතර ඇති. ඔහු හොඳින් වැඩුණු වයස අවුරුදු 55 ක වගේ මහත්තයෙක්‌. මොහු කෝට්‌ එකක්‌, දිගු කලිසමක්‌ සහ ප්‍රභුන් පළඳින තොප්පියක්‌ පැළඳගෙන සිටියා. මොහු බොහොම තැන්පත් ප්‍රභු ලීලාවෙනුයි අලියා පසුපස ගමන් කළේ. අලියා සමග ඇත්ගොව්වෙකුත් ගමන් කළා. ඔහු කළු ජාතිකයෙක්‌ වගෙයි. ඔහුත් අඩි 4 ක්‌ පමණ උස ඇති. මොහු ගැන වෙන මතකයක්‌ නැහැ. මොවුන් සියලුදෙනාම ප්‍රමාණයෙන් මිටි මනුෂ්‍යයින්. හැබැයි මේ අය බොහොම කඩිසරයි. ඒ වගේම පෞරුෂත්වයෙන් ඉහළයි. ගහකොළ නැති කෘත්‍රිමව නිර්මාණය කළ නගරයක්‌, පරිසරයක්‌ වගෙයි එම පරිසරය භික්‍ෂුවට දර්ශනය වුණේ.

ඉහත අඟුටුමිටි ළමා පිරිස ඉහත ස්‌ථානයේ රැඳී සිටියදී තවත් ළමා අඟුටුමිටි පිරිසක්‌ උද්‍යානයට ඇතුළුවීම සඳහා වාහනයකින් බසිමින් සිටියේය. එම වාහනය නවතා තිබුණේ උද්‍යානයට යාව තිබූ අලියා ගමන් කළ මාර්ගයේය. එම මාර්ගය ගුවන් පථයක්‌, අධිවේගී මාර්ගයක්‌ සේ තැනූ ඉතාමත් පිරිසිදු, මැදුණු කෘත්‍රිම මාර්ගයකි. එම අඟුටුමිටි ළමා පිරිස පැමිණි වාහනයේ හැඩය අමුතුය. එහි රෝද පෙනෙන්ට තිබුණේ නැත.

භික්‍ෂුව ඉහතින් සමාධිය තුළදී දකින්නේ පිටසක්‌වල ජීවීන් පිරිසක්‌ බව භික්‍ෂුවට හොඳටම පැහැදුළියි. ලොව්තුරා බුදුජාණන්වහන්සේ දේශනාකොට වදාළ අප්‍රමාණ ලෝක ධාතුන්ගෙන් එකක ජීවත්වන මනුෂ්‍යයින් පිරිසක්‌. එය විනාඩියක්‌ වැනි කෙටි කලකදී දර්ශනය වී මැකීගොස්‌ අවසන් වෙයි. මේ කෙටි කාල පරාසය තුළ භික්‍ෂුව අත්දුටු දර්ශනයයි මෙහි සටහන් තැබුවේ. මෙම කාරණය කෙනකුගේ හාස්‍යයට විවේචනයට ලක්‌වීමටත් පුළුවන්. ප්‍රතිචාරය කුමක්‌වුවද එය භික්‍ෂුවට අදාළවන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී උතුම් සමාධිය තුළින් යමක්‌ දැක්‌කද එය භික්‍ෂුව සටහන් තබන්නේ පිංවත් ඔබට උතුම් සද්ධර්මයේ අසිරිය ගැන නැවැත නැවත සිතන්නයි. එසේ නැතිව පිටසක්‌වල ගැන පර්යේෂණ කරන්නට නොවේ. ලෝකයේ දේවත්වයෙන් සලකන තාක්‍ෂණය විසින් නොදැක්‌කාවූ ලෝකය, ප්‍රඥාවේ ඇසින් අත්දකින ලොව්තුරා ධර්මයේ ආශ්චර්යය ගැන කියන්නයි. භික්‍ෂුවට අවශ්‍ය සද්ධර්මය කෙරෙහි ඔබගේ විශ්වාසය එක දශමයකින් හෝ වැඩි කරන්න පමණයි.

ලෝකය බොහොම අනතුරුදායකයි. මොකද ඔබ සීමාව ඉක්‌මවා පිටසක්‌වල ලෝකයන් කෙරෙහි උපාදානය සකස්‌කොට ගතහොත් , පිංවත් ඔබව ධර්මයක්‌ නොමැති මිථ්‍යාදෘෂ්ඨික පිටසක්‌වලක අඟුටුමිට්‌ටෙක්‌ වෙලා, අඟුටුමිටි තිරිසන් සතෙක්‌ වෙලා ඉපදීමේ අවධානම තිබෙනවා. ලෝකය තාක්‍ෂණයට විද්‍යාවට ලොල්වෙන්න, ලොල්වෙන්න පිටසක්‌වල ජීවීන්ගේ ගහනය වැඩි වෙන්න පුළුවන්. දැනුම හරහා ලෝකය තුළින් ඔබ කොතැනින් එතෙරවීමට ගියත් දුකමයි. මිථ්‍යාදෘෂ්ඨිකභාවයමයි උරුමය වන්නේ. සද්ධර්මය තුළින් ඔබ ලෝකයෙන් එතෙරට යන්න. තබන පියවරක්‌ පාසා සැපයමයි අයිතිවෙන්නේ. මෙලොව ඇති ශ්‍රේෂ්ඨතම බලය, ශීල සමාධි ප්‍රඥා බලයයි. එම බලයට ඕනෑම මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ අයත්ය. ඒ ශේ්‍රෂ්ඨ බලයට අභියෝග කළොත් ඔහු අභියෝග කරන්නේ ඔහුටමය. මන්ද, බලවත් අකුසලයන් ඔහු එන පෙරමග බලා සිටිනා බැවිනි.