දඹරන් දෙවියා – 2
භික්ෂුවට පළමු අවස්ථාවේදී “දර්ශනය වූ සද්ධන්ත ප්‍රේත ස්වභාවයත්, දෙවැනිව දර්ශනය වූ සශ්‍රීක දිව්‍ය ස්වභාවයත් කවුරුන්ද යන්න දැන් විමසා බලමු. භික්ෂුව මේ කරුණ පහත විග්රහ කරනු ලබන්නේ අනුමානයන් වශයෙනි. එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබට භාරය. අවශ්‍යවන්නේ ලෝකයේ ස්වභාවය ගැන ඔබ යමක් ඉගෙනගැනීමය.
අලි ප්‍රහාරයට ලක් වූ ස්වාමීන්වහන්සේ එම ප්‍රහාරයට ලක්ව ඇත්තේ සවස 6 ට පමණය. ක්ෂණිකව ඇති වූ අලි ප්‍රහාරයේදී ස්වාමීන්වහන්සේ තුළ බිය, ක්‍රෝධය සහිත ගැටෙන සිතක් අවසාන චුති සිත ලෙසින් සැකසෙන්නට ඇත. අලියා මෙම සිරුර පාපන්දුවකට ගසන්නාක් මෙන් හොඬයෙන් සහ පාදවලින් ගසමින් යම් දුරක් ගෙනගොස් ඇත. උන්වහන්සේ පළමු පහරදීමේදීම ක්ෂණිකව අපවත් වී හෝ සිහි මුර්ජා වී නැත. පහරකමින් ක්‍රෝධය, බිය, වෛරය සිතෙන් අත්විඳිමින් සිට අපවත්වීම සිදුවී ඇතැයි භික්ෂුව අනුමාන කරයි. මෙලෙස දීර්ඝ වේලාවක් දුක දරමින් සිදුවන වේදනාත්මක, බියජනක අපවත්වීමකදී උන්වහන්සේට තමා වැඩූ ශීලය ගැන මෙනෙහි කිරීමට සුදුසු සිහියක් වැඩී නොමැත. මේ හේතුවෙන් ගැටුණු සිතකින් අපවත් වූ උන්වහන්සේ ඉහත ප්‍රේත ලෝකය අභිබවා ගිය සද්ධන්ත ප්‍රේතයා ලෙස උපත ලබන්නට ඇතැයි භික්ෂුව අනුමාන කරයි. සශ්‍රික දිව්‍ය ස්වභාවයක් ලබාගැනීමට තරම් කුසල් ජීවිතය තුළ රැස්කොටගෙන තිබුණද, අවසන අනපේක්ෂිත කුරිරු ප්‍රහාරය නිසා එම කුසල් යටපත් වී අකුසල් සිතක්ම සකස්වීම අරුමයක් නොවිය යුතුය. මේ අකුසල් සිතේ ස්වභාවයට ගැලපෙන ප්‍රේත ලෝකයේ උපතක් ලැබුවද, පැවිදි ජීවිතයේදී කළ කුසල් නිසා, ඒවායේ ශක්තිය නිසා ඇස් දෙකෙන් ආලෝකය විහිදෙන ස්වභාවයක් සහිත සශ්‍රික ප්‍රේත ජීවිතයක් ඇතිවිය. ප්‍රේතයාගේ ඇස්දෙකෙන් ආලෝකය විහිදෙන්නේ පෙර භික්ෂු ජීවිතයේ අනුනට දහම් දෙසීම, ප්‍රඥාව වඩවාගැනීමට උපකාර කිරීම වැනි ශක්තිමත් කුසල කර්මවල ආනිසංසයන් විපාක දීම හේතුවෙන් යැයි භික්ෂුව විශ්වාස කරයි. තමාට දුන් ශක්තිමත් පිං අනුමෝදන්වීම නිසා එම සශ්‍රීක ප්‍රේත ස්වභාවයෙන් මිදී, එම ස්වාමීන්වහන්සේ කුරිරු ලෙස අපවත්වන අවස්ථාවේදී යටපත් වී ගිය කුසල් විපාකයන්ට ගැලපෙන සශ්‍රික දිව්‍ය ස්වභාවයක් ලබන්නට ඇත.
මෙම සශ්‍රික දිව්‍ය ස්වභාවය උන්වහන්සේ ලැබුවේ වැඩූ ශීලයේ ආනිසංස නිසාමය. මේ දඹරන් දෙවියා ශීලයේ උත්කෘෂ්ඨ ප්රතිඵලයකි. මේ සටහනේ මුලදී භික්ෂුව සඳහන් කළ අයුරින්, තුන් සිවුර හැර නානකඩයක්වත් උන්වහන්සේ පරිහරණය නොකළේ තමන්ගේ උත්කෘෂ්ඨ ශීලය ධූතාංගයක් ලෙස ආරක්ෂා කර ගැනීමටය. මෙය සුන්දර දිව්‍ය ස්වභාවයක් වුවද භවයේ නවාතැන්පලක්මය. ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නකි. එහෙත් ලොව්තුරා බුදුසමිඳුන් පිරිනිවීම සිදුවී වසර 2550 ක් ඉකුත්ව ගිය මෙවැනි කාලවකවානුවක තම භික්ෂු ජීවිතය මෙවන් සශ්‍රික දිව්‍ය ස්වභාවයක් කරා මෙහෙයවීමට හැකිවීම මහා ජයග්‍රහණයකි. විජයග්‍රහණයකි. ගිහි පැවිදි සැවොම ආදර්ශයට ගතයුත්තකි. සිව්පසය රැස්කිරීම, ගොඩගසාගැනීම, අතහැරගැනීමට නොහැකිවීම හේතුවෙන් ලාභ සත්කාරවලට ගිජුවීම හේතුවෙන්, අපවත්වීමෙන් පසු භික්ෂු ප්‍රේතයන් ලෙස ජීවත්වන පිරිස් ආරණ්‍ය ආශ්‍රිතව භික්ෂුවට දර්ශනය වී ඇත. එහෙයින් ඉහත දඹරන් දෙවියා කාලයට අනුරූපීව ජයග්‍රාහී උපතකි. නමුත් ප්රශ්නය තිබෙන්නේ යම් හෙයකින් මුල් සද්දන්ත ප්‍රේත උපතින් මිදීමට නොහැකිවූවානම් සතර අපායේ දිගින් දිගටම රැඳී සිටීමට තරම් අවදානමක් සහිත තැනකට පත්වීමය. එහෙත් අනුමෝදන් කරන ලද කුසල්වල ශක්තිය නිසා සතර අපායේ උපතින් මිදින. කල්‍යාණ මිත්‍ර ඇසුරකින්, ගුරුවර ඇසුරකින් තොරව තමා තුළ පවතිනවා යැයි විශ්වාස කරන අධිඅවබෝධාත්මක තත්ත්වයන් ගැන වැරදි වැටහීම් ඇතිකරගැනීම නිසා මෙවැනි තත්ත්වයන්ට තමන් පත්වීම ස්වාභාවිකය. හුදෙකලාව මෙන්ම, පැවිදි ජීවිතයේ ලැබෙන සැපත් දුකත් ඔබ ඇලීමට, ගැටීමට හෝ උපේක්ෂාවීමට යා යුතු නැත. ඔබ දැකිය යුත්තේ ඉහත ධර්මතාවල අස්ථිරභාවයයි.
වනවාසී, එකලා, හුදෙකලා ප්‍රතිපදාවට ඔබ යොමුවීම ඔබ දැඩි ලෙස කම්පාවට පත්වන සිද්ධියක්. වියරු වැටෙන ස්වභාවයක්. රූපයට ඇති ඇලීමත්, ගැටීමත්, උපේක්ෂාවත් මාර ධර්මයේ ශබ්දකෝෂයයි. ඔබ මෙතෙක් දේවභාෂිතයක් ලෙස රැක්කේ මාර ශබ්දකෝෂයේ අර්ථයයි. වනවාසී, නිවීමේ ප්‍රතිපදාව යනු ඉහත අර්ථයේ විරුද්ධාර්ථයයි. පිංවත් ඔබ එම අර්ථයට විරුද්ධව යනවිට මාරයාගේ කිපීම සාධාරණය. එහෙත් මාරයා කිපෙන්නේ මනුෂ්‍යයා කිපෙන ආකාරයට නොවේ. උපක්‍රමශීලීවය. මාරයා වැඩිපුර සිනාසෙන්නේ වැඩිපුර කිපුන වෙලාවටය. මෙය හඳුනාගැනීමට දුෂ්කර, අතිභයානක චරිත ස්වභාවයකි. මෙහිදී ඔබ දුකද සැපද, තැනද නොතැනද, මෛත්‍රියද වෛරයද පටලවාගනී. අර්ථයන් වෙනස්ව දකියි. පිංවත් ස්වාමීන්වහන්සේ සැතපෙන කොට්ටය යටට වැඩිය ධාතූන්වහන්සේලාද, චෛත්‍ය කර්මාන්තයද, සෙලියුලර් දුරකථනයද හුදෙකලාව වැඩසිටි වනවාසී ස්වාමීන්වහන්සේට මාරයා ලබාදුන් භව තෑගිය. මෙම භවතෑගි පාර්සල් එපා නොකියා ලබාගැනීම මාර ධර්මයේ ස්වභාවයයි. එපා කීමට ඔබට සිත නොදෙන්නේ මේවා පාර්සල් කර ඇති විසිතුරු දවටනයන් නිසාමය. දවටනය නිර්මාණය කරන්නේ මාර දූවරුන්ය. තණ්හා, රතී, රඟා සුරුපී යුවතියන් තිදෙනාගේ ඇස්කොණින් ප්‍රකාශ වන කාමයේ, රූපයේ, ආශ්වාදයේ වින්දනයට ඔබ මුළාවනවා ඇත. මෙම තණ්හා, රතී, රඟා මාර දූවරුන් තිදෙනා වරෙක නිළියන් සේද, වරෙක නාටිකාංගනාවන් සේද, තවත් වරෙක රෝගියෙක්, මිනිස් දුවක් ලෙසද ඔබ ඉදිරියට එනු ඇත. මේ චරිතයන් එම දූවරුන්ගේ ලැඡ්ජා නැතිකමය. තණ්හාවට, රාගයට, රතියට ලැඡ්ජාවක් නැති බව ඔබද හොඳින්ම දන්නා කරුණකි. ඔබ රූපය අවබෝධකරගන්නා තාක් කල් මාරදූවරුන්ගේ ග්රහණයෙන් ඔබට මිදීමට නොහැකිය. යම් මොහොතක පිංවත් ඔබ රූපය අවබෝධකරගතහොත් මාර දූවරුන්ට වන්නේ ඔබ ඉදිරියෙන් පලා යැමට පමණක්මය.
ඉහත අපවත් වූ පිංවත් ස්වාමීන්වහන්සේටද පසුකාලීනව සෙලියුලර් දුරකථනයක් පරිහරණයට ගැනීමට තරම් පරිසරයක් නිර්මාණය කළේ ඉහත මාර ධර්මයන්මය. එහෙත් උන්වහන්සේ තම ජීවිතය තුළින් ආරක්ෂාකරගත් ශීලයද තණ්හාව, මාන්නය විසින් ග්‍රහණයට ගන්නා ලද ස්වභාවයක් දක්නට තිබිණි. එහෙත් උන්වහන්සේගේ පරලොව සැපය සඳහා එම ශීලය කල්‍යාණමිත්‍රයෙක් සේ උපකාර කළේ යැයි භික්ෂුව විශ්වාස කරයි.
මේ කථා පුවත මෙහි සටහන් කළේ පිංවත් ගිහි පැවිදි ඔබට, ශීලයේ අගය, ශීලයේ සෘද්ධිමත්භාවය පැහැදිළිකර පෙන්වීමටය. ශීලය සෘද්ධියක් වන්නේ එය ඔබව ලෞකික සැපයේ ඉහළටම ඔසවාතබන බැවිනි. ඔබත් සශ්‍රික දිව්‍යතලයක දඹරන් කැටයමින් කළ සුන්දර දෙවියෙක් වීමට ජීවිතය තුළින් උතුම් ශීලයක් ආරක්ෂා කරගන්න. ආර්යකාන්ත ශීලයක් ලෙස එය ආරක්ෂාකරගන්න. සතර අපායෙන් මිදී ඔබ කැමති කාලයකදී නිවී සැනසී යන්න.
මේ කථාවේ සඳහන් එම සද්දන්ත ප්‍රේතයාට තද කළු පැහැති ශරීර වර්ණයක් ලැබී තිබුණේ කුරිරු අලි ප්‍රහාරයේදී ඇති වූ දැඩි ක්‍රෝධය නිසාම විය යුතුය. දිව්‍ය ස්වභාවයේදී එම දෙවියාට දඹරන් පැහැය ලැබුණේ යටපත්වී තිබූ ශීලයේ ආනිසංස නිසාම විය යුතුය. ක්‍රෝධයේ කළු පැහැයත්, ශීලයේ දඹරන් පැහැයත් පිංවත් ඔබට කියාදෙන පාඩම අතිවිශිෂ්ටය.
මේ කථාපුවත කියවා ඔබද ඔබ කැමති වර්ණය තෝරාගන්න. ඊට අනුරූපීව ජීවිතය ක්‍රියාත්මක කරන්න. ඔබ තුළ නිරතුරුවම රාග, ද්වේෂ, මෝහ වැඩෙන්නේ නම් ඒ තුළින් වැඩෙන්නේ ප්රේතානුස්සතියයි. ඔබ තුළින් දානය, ශීලය, මෛත්‍රිය නිරතුරුවම වැඩෙන්නේ නම් ඒ තුළින් වැඩෙන්නේ දේවානුස්සතියයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ එම ධර්මය ඉහත ස්වාමීන්වහන්සේ අපවත්වීමෙන් පසු ලැබූ ජීවිත දෙකෙන් ඉතා නිවැරදිව අත්දැකීමට ඔබට හැකිය. එහෙයින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතුව ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කර වදාළ සත්පුරුෂ ධර්මයන් ජීවිතය තුළින් වැඩීමට උත්සාහ ගන්න. වර්තමාන සමාජය තුළ පවතින දැඩි තරගකාරීත්වය, සංකීර්ණ බව නිසා අනපේක්ෂිත ආකාරයෙන් ඔබ මියගියද, ජීවිතය තුළදී ඔබ රැස්කරගත් දාන, ශීල, භාවනා වල ශක්තිය පින, කුසලය කුමන අභියෝගයක් හමුවේ වුවද ඔබට සසර පිහිටට පැමිණෙන බව, ඔබව අතහැර නොයන බව මේ සිද්ධියෙන් පැහැදිළිවනු ඇත. භව ගමන නිමාකරගන්නාතුරු ඔබට සසර පිහිටට සිටින එකම කල්‍යාණ මිතුරා තෙරුවන් සරණ විනා අන් කුමන සරණක්ද? පිහිටක්ද?
තෙරුවන් සරණ නැමැති පුණ්‍ය කෙතේ ඔබ දානය, ශීලය, මෛත්‍රියේ බීජයන් අඩු වැඩි බවකින් තොරව වපුරාගතහොත් එහි නියත සශ්‍රික අස්වැන්න ආයුශ, වර්ණ, සැපය, බලය වනු ඇත. ඉහත කරුණු පැහැදිලිකරගෙන ඔබ ප්‍රඥාව වඩවාගත යුතුය. ලොව්තරු බුදුරජාණන්වහන්සේ තෙරුවන් කෙරෙහි සද්ධාව, දානය, ශීලය, මෛත්‍රිය නිරතුරුවම ජීවිතය තුළින් වඩන්න කියලයි දේශනා කර වදාළේ, ඉහත ධර්මතාවයන් ඔබට සතර අපායෙන් මිදීම සාක්ෂාත් කරදෙන ධර්මතාවයන් නිසාය. මුලින්ම ඔබ සතර අපායෙන් මිදෙන්න. ඒ සඳහා ඉහත ධර්මයන් ඔබේ ජීවිතයේ හවුල්කරුවා කරගන්න. කොටස්කරුවෙක් කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය, ශීලය, මෛත්‍රිය ජීවිතය තුළින් වඩන විට පිංවත් ගිහි පැවිදි ඔබ විශේෂයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. මාර ධර්මයන් පිළිබඳව තණ්හාව, මාන්නය, දිට්ඨිය සෑම විටම ඔබේ මේ පිරිසිදු ක්‍රියාවන් අපවිත්‍ර කරනවා. ඒවායේ ශක්තිය හීනකරනවා.
සක්කාය දිට්ඨිය නැමැති මමත්වයේ දැඩිභාවය මාර දූවරුන් ඔබට පලන්දන කටු ඔටුන්නක්. ඔබ මහත් උජාරුවෙන් එම කටු ඔටුන්න පළඳගෙන තමාවත් තමාටම අයිති නැති, නිරතුරුවම අනිත්‍යභාවයට ලෝකයක රජකම් කරනවා. ඉහත සඳහන් කළ අලි ප්‍රහාරයෙන් අපවත් වූ පිංවත් ස්වාමීන්වහන්සේ අපවත්වීමෙන් අනතුරුව සද්ධන්ත ප්‍රේත උපතකට වැටෙන්නේ උන්වහන්සේ සතර අපායෙන් නොමිදී සිටි නිසාය. දැඩි ලෙස ශීලයක් ආරක්ෂාකරගෙන ජීවිත්වුවත් සතර අපායෙන් මිදීමේ මග හරස්කළේ තණ්හාව, මාන්නය, දිට්ඨිය නැමැති මාර සමීකරණයට උන්වහන්සේ නොදැනුවත්භාවයෙන් එකඟවී සිටි නිසාමයැයි භික්ෂුව අනුමාන කරයි. එහෙත් පිංවත් ඔබ ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ඉදිරියට ගියද, දාන ශීල භාවනා මාර්ගයේ ඉදිරියට ගියද ඔබ වෙහෙසවී ලබාගන්නා එහි ප්රතිඵලයන් කිලිටි කරන, හීන කරන, තණ්හාව මාන්නය දිට්ඨියේ සතරඅපායගාමී දුකටම අයිති පාප මිතුරන් ඔබ ඔබේ කල්‍යාණ මිතුරන් කර නොගන්න. ඔබේ ජීවිතය තුළ ඔබ ඔවුනට අවස්ථාවක් නොදෙන්න. එවැනි සිතක් මතුවූ සැනින් එම සිත ඔබේ නොවේයැයි අතහැර දමන්න. එම සිත දුකට අයිති බව සිතන්න. සතර අපායට අයිති බව සිතන්න. පාපමිතුරන්ට ඔබේ ගෘහයේ නවාතැන් නොදෙන්න.