බෞද්ධ පිංවතුන්ගේ ‘ජනප්‍රිය පැනය’

මස් මාංශ අනුභවය – 1

වර්තමාන සමාජය තුළ බෞද්ධ ජනතාවට ගැටලුවක් තියෙනවා. ඒ තමයි මාංශ, නිර්මාංශ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය දැඩි දෘෂ්ඨියකට ගෙන සමහර පිංවතුන් තම මතයට විරුද්ධ කාණ්ඩයට එරෙහිව හැසිරෙනවා. කොහොම වුණත් සත්ව හිංසාවත්, සත්ව ඝාතනයත් නැවතිලා මස් අනුභවය නිසා සෑදෙන සමහරක් රෝගවලිනුත් තොරවෙලා, සමාජයේ මෛත්‍රී කරුණාව නිරෝගීභාවය පිරී ඉතිරී ගියොත් එය මොන තරම් සුන්දර දෙයක්ද?

එවැනි පරිසරයකදී ඔබට වටලප්පමක්,කේක් කැබැල්ලක්, කට්ලට් එකක් අනුභව කරන්න පුළුවන් බියෙන් සැකෙන් තොරව. ඒ වගේම රටේ සිටින හරක්, එළුවෝ, ඌරෝ, කුකුලෝ ගහණය වැඩිවෙලා ඒ හේතුවෙන් හටගත් රෝග කාරක වසංගතයන් මිනිස් ප්‍රජාව විනාශකොට දමන්නත් පුළුවන්. මෙවැනි සමාජයක් සිහිනයක් මිස යථාර්ථයක්නම් වෙන්න බෑ.

ලෝකය ගොඩනැගිලා තිබෙන්නේ හේතු ධර්මතාවයන් අනුව. ඒ නිසා පැවැත්ම සකස්වෙන්නේ මෝහමූලික ලෝකය තව තවත් පුළුල් වෙන දිශාවටමය. අවිද්‍යාව තුළම උපන් අධ්‍යාපනය තම සුවච කීකරු ගෝලයන් හැඩගස්වන්නේද අවිද්‍යා ගුරුකුලයේ ස්ථීර පැවැත්ම උදෙසාය. මෙතැනදි තිරිසන් සත්ත්වයාද, මනුෂ්‍යයාද යන්න ප්‍රශ්නයක් නොවේ. වැදගත් වන්නේ තම ගුරුකුලයේ පැවැත්මයි. සංවර්ධනයයි. අවිද්‍යා ගුරුකුලයේ ඉලක්කය, අරමුණ යනු උපදින හැම මනුෂ්‍යයෙකුම මරණින් මතු මිථ්‍යාදෘෂඨික මනුෂ්‍යයෙක්, ප්‍රේතයෙක් තිරිසන් සතෙක් නිරිසතෙක් අසුරයෙක් කිරීමය. මෙතෙක් ඔවුන්ගේ ප්‍රගති වාර්තාව, ඉලක්ක ඉක්මවා අනපේක්ෂිත ප්‍රගතියක් වාර්තාකොට ඇත.

සැබෑ ධර්ම මාර්ගය කොන්වී යන අනාගතයේදී අවිද්‍යා ගුරුකුලයේ සැලසුම්කරුවන්, ලෝකය සැලසුම් කරන්නේ මනුෂ්‍යයාත්, තිරිසන් සතාත් සත්වයින් දෙදෙනෙක් වශයෙන් සිතා නොව, එක සත්වයෙක් වශයෙන් සලකමින්ය. බුද්ධෝපත්ති කාලයක ලබන මනුෂ්‍යයත් ජීවිතයත්, තිරිසන් සත්වයාත් අතර වෙනස ඔවුන් නොහඳුනයි. එහෙයින් අනාගත ලෝකයේ උපදින මනුෂ්‍යයා තිරිසන් සතා සේම, තම අම්මා, තාත්තා, පුතා, දුව නොහඳුනන පිරිසක් වනු ඇත. කර්මය, කර්මඵල හඳුනන්නේ නැති පිරිසක් වනු ඇත. ධර්මය අධර්මය නොහඳුනන පිරිසක් වනු ඇත. ඔවුන් හඳුනනු ඇත්තේ තිරිසන් සත්වයා සේම කාමය, ආහාර සහ ආරක්ෂාව පමණක්ම වනු ඇත. මේ බිහිවන ලෝකයා අවිද්‍යා ගුරු කුලයේ ඉලක්කගත ලෝකයයි. ඔවුන් එම ලෝකයට ‘නිදහස් ලෝකය’ යන නම්බුනාමයද පටබඳිනු ඇත.

එවිට ඔබ සීමා මායිම් නැති ‘නිදහස් ලෝකයේ’ නිදහසේ ජීවත්වන මිනිසුන්ය. සිරිත් විරිත්, චාරිත්‍ර අවශ්‍ය නැත. ඒවායින් නිදහස්ය. අවිද්‍යා ගුරුකුලයේ මේ ඊනියා නිදහස යනු ඔබව සතර අපායට වේගයෙන් පියමංකරවන නිදහසයි. දුක ත්‍රිව කරවන මාර්ගයේ නිදහසයි. අනාගත ලෝකයේ කවදාහරි දිනක සිදුවන කල්ප විනාශයන්, ලෝක විනාශයන් හා ඊට පෙර සිදුවන අතුරු විනාශයන් සඳහා මනුෂ්‍යයා විකෘතියක් විය යුතුය. විකෘතිය යනු ගුණධර්ම පිරිහී ගිය, එකිනෙකා ඇනකොටාගන්නා පිරිසක් විය යුතුය. තන්හා, මාන, දිට්ඨියෙන් පිරී ගිය පිරිසක් විය යුතුය. රාග, ද්වේෂ, මෝහයෙන් පිරීගිය පිරිසක් විය යුතුය. අවිද්‍යා ගුරුකුලය මේ ගොඩනගමින් පවතින්නේ එම සමාජ පසුබිමයි. අවිද්‍යා ගුරුකුලය යනු මෝහයෙන් බරිත ‘ලෝකය සැපය’ ‘ලෝකය නිත්‍යය’ යන මුලාවෙන් ඇතිවන මනුෂ්‍ය සිතමය. ඒ සිත නිසා අපි සැවොම මේ ගුරුකුලයේ ඒජන්තවරුය. සාමාජිකයෝය. එහෙයින් සද්ධර්මය පවතින වර්තමානය ඔබ කළ යුත්තේ අනාගතයේදී බිහිවන විෂම, දුක පිරි ලෝකයෙන් ඉක්මනින්ම නිදහස් වීමය. මේ මොහොතේ ඔබට විවරව ඇති ඒ නිදහස්වීම අහුරන එක් මාර්ගයකි මේ මාංශ නිර්මාංශ ප්‍රශ්නය.

සැබැවින්ම මේ ප්‍රශ්නය සුන්දරය. ශීලය පැත්තෙන්, කැපී පෙනීමෙන් ඉහළය. ඉලක්කගත පිරිසේ ආකර්ශනය ප්‍රබලය. එහෙත් කනගාටුවෙන් වුවද කිව යුත්තේ ඔබ අල්ලාගෙන සිටිනුයේ සම්මා සම්බුද්ධ දේශනාවට පටහැනි අන්තයක් බවය. ආමගන්ධ යනු මස් මාළු වල පිළී ගඳ නොව, තම කෙළෙස්වල ගඳ බව ආමගන්ධ සූත්‍රයේදී ලොව්තුරා බුදු රජාණේ වහන්සේ පැහැදිළිව දේශනා කර ඇත. ඔබ තවමත් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක් නොපිළිගන්නේ නම්, ඊට විරුද්ධ අර්ථයන් සපයන්නේ නම්, තවමත් ඔබ තෙරුවන් සරණ නොගිය අයෙකි.

භික්ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩසිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුටියකයි. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් හරක් ගාල් ඇත. එක් රංචුවක හරකුන් සියය දෙසීය සිටිනවා. මේ හරක් වැව් පිටිවල, වෙල් ලියැදිවල රංචු වශයෙන් හැසිරෙනකොට, එක රංචුවට වැතිරී ගිමන්හරිනකොට, මේ පාරේ එහා මෙහා යන දේශීය, විදේශීය සංචාරකයන් ඒ දර්ශනය දැකලා හරි තෘප්තියක් ලබනවා. ආශ්වාදයක් ලබනවා. වාහන නවතාගෙන බලා සිටිනවා. නමුත් ඔබ මේ දැකලා තෘප්තිමත් වන ආශ්වාදය ලබන දර්ශනය යටින්, ඔබට නොපෙනෙන ඛේදවාචකයක් තිබෙනවා. ඔය හරක් රංචුවල වයසට ගිය එළදෙනුන් සහ සාමාන්‍ය තරුණ වයස ඉක්මවූ පිරිමි සතුන් නැහැ. රංචුවේ බෝවීම උදෙසා පිරිමි සතුන් දෙතුන්දෙනෙක් විතරයි සිටින්නේ. ඔය හරක් රංචුවල ඔබ දකින්නේ තරුණ, මධ්‍යම වයසේ පසුවන එළදෙනුන් සහ පැටවුන් පමණයි. වැඩිහිටි, පැටවුන් නොලබන එළදෙනුන් සහ පිරිමි සතුන් මසට විකුණනවා. හැබැයි සමහර කෙනෙක් එහෙම නොකරනවාත් වෙන්න පුළුවන්.

බලන්න ඔබ ආශ්වාදය ලබන දර්ශනය යට මොනතරම් දුක්ඛිත කථාවක් සැඟවිලා තිබෙනවාද කියලා. ඔබ ඔය දැකලා ආශ්වාදය ලබන හැම සතෙක්ම වගේ අනාගතයේ දවසක මසට විකිණෙනවා. මෙන්න මේ සිද්ධියට සමානයි ඔය මස් මාංශ ප්‍රශ්නයත්. බාහිරින් මේ ප්‍රශ්නය හොඳ ඉල්ලුමක් ඇති, ආකර්ශනීය, ජනප්‍රිය මාතෘකාවක් වුවද මේ මස් මාංශ ප්‍රශ්නය තුළ ඔබට නොපෙනෙන අති භයානක ඛේදවාචකයක් සැඟවී පවතිනවා. ඒ ඛේදවාචකය තමයි සතර අපායෙන් ඔබ නිදහස ලබන තීරණාත්මක ධර්මතාවය වන සක්කාය දිට්ටිය, මමත්වයේ දැඩිභාවය, මේ මස් මාංශ ප්‍රශ්නය නිසා ක්ෂය වීමේ පැත්තට නොගොස් වර්ධනය වීමේ ස්වභාවයට පත්වීමයි. ‘මම නිර්මාංශයි’ ‘අනෙක් අය දුසිල්වත්’ ‘මගේ කුස සුසානභූමියක් නොවේ’ මේ ආදී දෘශ්ඨීන් නිසා තන්හාවත්, මාන්නයත් තමා කෙරෙහි නිරතුරුවම වර්ධනය කරගන්නවා. මේවා තුළින් වැඩෙන්නේ මමත්වයේ දැඩිභාවයමයි. ඔබ නිහතමානීව හොඳින් සිතන්න. ඔබට තේරුම්ගන්න බැරිවෙන්නේ නැහැ. ඔබ දක්ෂයි.