භාවනාවට පෙර – 8
භාවනා කරන බොහෝ දෙනෙක් උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා.
ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්ෂ කීයක් පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරනය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට ගෙදර පිළිබඳ උපාදානය සකස්වෙනවා. පිංවත් ඔබට පුළුවන්ද එක දවසක් ගෙදර අතහැරලා පිට ප්‍රදේශයකට ගොස් ඉන්න. ඔබට පුළුවන්ද සතියක් ඔබේ ඥාතීන්ගෙන්, ගෙදරින්, ව්‍යපාරයෙන් මිදිලා වන්දනාගමනක් යන්න. භාවනා වැඩසටහනකට යන්න. උත්තරය ‘බැහැ’නම් ඔබ සිතන්න ක්ෂණිකව ඔබ මියගියහොත් කෙසේනම් ඉහත උපාදානයන් අතහැරගන්නද? කියලා. ඔතැනට තමයි, භවය සකස්කරන උපාදානය කියන්නේ.
වර්තමානයේ වයොවෘද්ධ අම්මලා තාත්තලා හුඟදෙනෙකුට බැහැ නිවසින් බැහැරව දින දෙක තුනක් ගතකරන්න. ගෙදර මතක්වෙනවා. දරුමුණුපුරන් මතක්වෙනවා. ‘මගේ තැන’ මතක්වෙනවා. එම නිසා භාවනා කිරීමට පෙර උපාදානයේ හැඩරුව හොඳින් හඳුනාගන්න. හැකිතාක් පිංකම් උදෙසා තමන් අර්ථවත් ලෙස දකින බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථයම කියන ගුරුවරුන් වෙතට යන්න. එම ස්ථාන සොයායන්න. දරුමුණුපුරන් විසින් හැකිතාක් තම දෙමාපියන්, ආච්චිලා, සීයලා නිවසින් බාහිර පිංකම් සදහා යොමුකරවන්න. ගෙදර අතහැර සතියක් දෙකක් ගතකිරීමට පුරුදුකරන්න. නමුත් පිංවත් ඔබට ඉහත කාරණා කෙරෙහි බලවත් තෘෂ්ණාවක් නැතිනම් විවේකීව නිවසේම තම භාවනා කටයුතු සිදුකරගන්න. එය වඩාත් ඔබට පහසුවේවි.
සෑම විටම ඔබගේ උපාදානය, ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ‘සම්මා වායාමෝ’ අර්ථය දිශාවට යොමුකරගන්න දක්ෂවෙන්න. පටිච්චසමුප්පාද ධර්මයේ උපාදානය ගැන මෙහි විශේෂයෙන් සඳහන් කළද අනෙකුත් සියලුම ධර්මතාවයන් එක හා සමාන වැදගත් බව සලකන්න. දුක ඇතිවීමට හේතුවත් දුක නිරුද්ධ වීමට හේතුවත් හේතුඵලධර්මයන්ට අනුව දකින්න උත්සහගන්න. මෙහෙම දකිනවිට ‘අතීතයේ මම සිටියාය. අනාගතයේ මම සිටින්නේය, වර්තමානයේ මම සිටිමි’ යන ආත්මීය කාරණය ඔබෙන් බැහැරවේවි. මෙතැනදී තමයි සක්කාය දිට්ඨිය ඔබෙන් ගැලවිලා යන්නේ. සක්කාය දිට්ඨිය ඔබ තුළින් පෝෂණය වෙන්නේ නිත්‍ය වූ ස්ථිර වූ පාලනය කළ හැකි පුද්ගලයෙක් ආත්මයක් ඉන්නවාය කියන කාරණය නිසා. මේ මුසාවාදයෙන් ඔබ මිදෙන්න ඕනේ. සතර අපායෙන් නොමිදුන පිංවතා තවම ශීලයෙන් පරිපූර්ණ නැතිය කියන්නේ ඉහත කාරණය නිසා. භාවනා කිරීමට පෙර ඇත්ත දැනගන්න. වැරැදි නිවරැදිකරගන්න.
අවිද්‍යාපච්චයා සංඛාරා, සංඛාර නිසයි විඤ්ඤාණය සකස්වෙන්නේ. විඤ්ඤාණය හේතුවෙනුයි නාමරූම සකස්වෙන්නේ. නාමරූප හේතුවෙනුයි සලායතන සකස්වෙන්නේ. මමය කියල ඔබ ගොඩනඟාගත් පුද්ගල සංඥාව පියවරෙන් පියවර ඔතනයි තිබෙන්නේ. එම නිසා වෙඩි තැබීමට පෙර නිවැරැදි ඉලක්කය සාදාගන්න. එසේ නොවුණහොත් විරුද්ධවාදීන් වැඩිවීම පමණයි සිදුවන්නේ. එම නිසා දුක ඇතිවීමට හේතුවන ක්‍රියාවලියන් දුක්ඛ නිරෝධයට හේතුවෙන ක්‍රියාවලියන් ගැන නිරතුරුවම භාවනාවක් වශයෙන් මෙනෙහිකරන්න.
මීළඟ කාරණය පිංවත් ඔබ භාවනා කිරීමට පෙර යහපත් මනුෂ්‍යයෙක් විය යුතුයි. මේ සටහන ලියන්නේ ගිහි පිංවතුන් සඳහාය. දෙමාපියන්ට, ඥාතීන්ට ගරුකරන මනුෂ්‍යයෙක් විය යුතුයි. සංඝයා වහන්සේලාට ගරුකරන මනුෂ්‍යයෙක් විය යුතුයි. සමාජයේ යුතුකම් දන්නා, යුතුකම් ඉටුකරන මනුෂ්‍යයෙක් වන්න. මන්ද යුතුකම් යනු ඔබ ලබාගත් අයිතිවාසිකම්වලට කරන ගෙවීමයි. පිංවත් ඔබ ලෝකය අතහැරීම පිණිස භාවනා කිරීමට පෙර පහත කාරණා ඔබගේ ජීවිතය තුළින් කළ හැකිදැයි විමසාබලන්න.
ඔබ සිතන්න ඔබ කොළඹින් බස්රථයක නැගලා කතරගම යනවා කියලා. සෙනග පිරුණු බස්රථය මොරටුවේ බස්නැවතුමේ නවත්තපුවාම කුඩා දරුවෙක් වඩාගත් අම්මාකෙනෙක් එසේත් නැතිනම් ඉතා වයෝවෘද්ධ ආච්චිකෙනෙක් බසයට නගිනවා. දෙපාරක් නොසිතා ඔබගේ ගමනාන්තයට තව ඇති දුරගැන නොසිතා ඔබ කැමත්ත සකස්වෙනවාද සෙනග පිරී ඇති බසයේ ඔබගේ ආසනය ඇයට හෝ ඔහුට පරිත්‍යග කරන්න. ඔබට මෙය කරන්න බැරිනම්, ඔබට එවැනි පරාර්ථකාමී සිතක් තවම සකස් කරගන්න බැරිනම්, ඔබ කෙසේනම් ලෝකය අතහරින්නද? පාරේ දුවයන බසයක ප්‍රවේශ පත්‍රයක් මිලදීගැනීම නිසා පැය කීපයකට ලැබුණු ආසනය අතහැරීමට නොහැකිනම් භාවනාකිරීමට පෙර මෙවැනි පුංචි අතහැරීමක් ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න පුරුදුවන්න. තමා ලබන සැප පහසුව තාවකාලිකව හෝ අනුන් උදෙසා පරිත්‍යාග කිරීමට අකමැතිනම් කෙසේ මේ නාමරූම ධර්මයන් අතහැරීමට යොමුවන්නද?අවම වශයෙන් මෛත්‍රිභාවනාව අර්ථවත් කරගැනීමට යොමුවන්නද.
මෛත්‍රිභාවනාව කියන්නේ අතහැරීමක්. කුමක්ද අතහැරෙන්නේ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය. මේවා අත්හැරෙද්දී ඔබ තුළ අන්‍ය මිනිසුන් කෙරෙහි කරුණාවක් සකස්විය යුතුයි. එහෙම සකස් වුණොත් බස්රථයේ ආසනය පරිත්‍යග කිරීම බොහොම සුළුදෙයක්. එහෙම නොවෙනවානම් මෛත්‍රියේ නාමයෙන් ඔබ තුළ වැඩී ඇත්තේ සක්කාය දිට්ඨියයි.