ස්‌ථාවර සාමයක්‌ උදෙසා

සඳට යන්නට, අඟහරු ලෝකයට යන්නට ඒවා අයිතිකර ගැනීමට, සුපිරි මධ්‍යස්‌ථාන පිහිටුවාගෙන අතිනවීන රොකට්‌ නිපදවන, දියුණු යැයි සම්මත ලෝකයාට ඒවාට ගොස්‌ කංකුං මුගුණුවැන්න සිටුවීම පිණිස ගෙම්බන් වඳුරන් ඇති කිරීම පිණිස පර්යේෂණ කරන ලෝකයාට, සඳත් හිරුත් ග්‍රහලෝකත්, මේ නාමරූප ධර්මයන් තුළින් අර්ථවත්කොට පෙන්වා වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් හඳුනාගන්නද?

දියුණුවේ නාමයෙන් විනාශය සොයාගෙන යන ලෝකයක්‌, විනාශයෙන් අනතුරුව සාමය සොයාගෙන යන ලෝකයක්‌ මිනිස්‌ සිතේ සැබෑම ‘සාමය’ කෙසේ නම් හඳුනාගන්නද?

මිනිස්‌ සිතේ සැබෑම සාමය වන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ජ කුකුච්ඡ, විචිකිච්ඡා යන පංච නීවරණ යටපත්වූ, මිදුනාවූ සිතේ ඇතිවන සැබෑ ලෙසින්ම අර්ථවත් ‘ලෝක සාමය’ කෙසේ නම් හඳුනාගන්නද?

පංචනීවරණයන් බහුලවූ සිත විසින්, අනිත්‍යවූ ලෝකය ග්‍රහණය කරගැනීමට ඔබව මෙහෙයවන විට, පංචනීවරණ යටපත්වූ සිත පිංවත් ඔබව හුදෙකලාවටම, නිවීම උදෙසාම, සැබෑම සාමය දෙසටම යොමු කරයි. පිංවත් ඔබ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරගෙන, ලෝක සාමය උදෙසා, ලෝකයේ, රටේ, නගරයේ, ගමේ, නිවසේ සාමය උදෙසා ක්‍රියාකාරීවන අයෙක්‌ නම්, ඒ කිසිදු වියදමකින් තොරව ලොව්තුරා බුදුරජාණන්වහන්සේ වදාළ වටිනාකම ඉලක්‌කමෙන් කියා නිමකළ නොහැකි සාමයේ මග පිංවත් ඔබට විවෘත බව සිතන්න.

පංචනීවරණ යටපත්වූ සැබෑම සාමයේ සැපය අත්විඳින ඔබට ලෝකය දැනෙන්නේ, ලෝකය පෙනෙන්නේ සැබෑම සුන්දර තැනක්‌ ලෙසටයි. පිංවත් ඔබ ලෝකයේ සුන්දරත්වය දකින්න මොනතරම් වෙහෙස ගන්නවද? දෙස්‌ විදෙස්‌ සංචාර, විනෝද ගමන්, වන්දනා ගමන්, ලෝකයේ සුන්දරත්වය සොයාගෙන යන ගමනේදී ඔබ සංචාරකයෙක්‌ බවට පත්වෙනවා. නිකං සංචාරකයෙක්‌ නොවේ. පිංවත් ඔබ අසුන්දර සංචාරකයෙක්‌ බවට පත්වෙනවා. අසුන්දර සංචාරකයෙක්‌ කියලා සටහන් කළේ ඔබ තවමත් සුන්දරත්වය සොයන නිසයි. ඔබ යමක්‌ සොයන්නේ ඔබට එය නොලැබී ඇති නිසයි. ඔබ තවම සුන්දරත්වයෙන් තෘප්තිමත් නොවී ඇති නිසයි. නිරතුරුවම පංච නීවරණයන් වැඩෙන මාර්ග ඔස්‌සේම ලෝකයේ සුන්දරත්වය සොයා යන ‘අසුන්දර මිනිසුන්’ අපි.

අතීත භවගමනේදී ඔබත් මමත් සක්‌විති රජවෙලා, සක්‌විති රජුගේ ස්‌ත්‍රී රත්නය වෙලා ඉපදිලා, අවුරුදු 84,000ක්‌ එම සැප විඳලත්, පංචනීවරණ ධර්මයන් නිසාම, සුන්දරත්වයෙන් තෘප්තිමත් නොවූ පිරිසක්‌ අපි. සක්‌විති රජකමෙනුත් තෘප්තිමත් නොවූ අපි වර්තමානයේ රුපියල් 20ක්‌ වියදම්කොට

ලොතරැයියක්‌ මිලදීගෙන ලෝකයේ සුන්දරත්වය දකින්න සිහින මවනවා. තෘෂ්ණාවේ දිග පළල වන කාමච්ඡන්දයෙන් විසිරුණාවූ සිත ලෝකය තුළ අයාලේ යන්නට ඔබට බොහොම කෙටි, අධිවේගී කාපට්‌ මාර්ග පෙන්වනවා. සතර අපාය නැමැති බිහිසුණු අනතුරු මුව අයා බලා සිටියදී ඔබ මේ අධිවේගී මාර්ගයේ ථීනමිද්ධයෙන් අඩ නින්දට වැටුණු දෑසින් ගමන් කරනවා. බියක්‌ දැනෙන්නේ නැහැ. සිත විසිරිලා කාමච්ඡන්දයෙන් අයිතිකරගැනීමේ දිශාවටමයි අවධානය යොමුවෙලා තිබෙන්නේ. මගතොට මුණගැසෙන සෑම රතු එළියකදීම ඔබට මොහොතක්‌ නැවතී යන්න සිත සකස්‌ වෙන්නේ නැහැ. ඒ කෙටි විරාමයේදීත් සිත ව්‍යාපාදයෙන් නළියනවා. මේ යන ගමනේදී ඔබට මග නොමග කියාදෙන සත්පුරුෂයෙක්‌ මුණගැසෙන්න පුළුවන්. ඒ සත්පුරුෂයා දෙසත් ඔබ විචිකිච්ඡාවෙන් බලන්නේ ඔබ තුළ මහා යුද්ධයක්‌, හඳුනානොගත් යුද්ධයක්‌ විසින් නොමග මග බවට පත්කර කියාදෙන දරුණු සතුරන් පස්‌දෙනෙක්‌ ඔබ ඔබේ සැබෑම මිතුරන් කරගෙන කෙසේ නම් ඔබ සාමයේ සැබෑ අරමුණු ජයග්‍රහණය කරගන්නද? සැබෑම සාමයට එරෙහිවූ පංචනීවරණ නැමැති සතුරන් පස්‌දෙනා ඔබ ඔබේ මිතුරන් කරගෙන කෙසේනම් ඔබ සැබෑම සාමය අත්විඳින්නද?

පිංවතුනි, ලෝකය සැබෑම සුන්දරයි. මේ ඇස සැබෑවටම සුන්දරයි. තෘෂ්ණාවෙන් තොරව මේ ඇස දෙස බලද්දී මේ ඇසෙන් දකින රූපය සැබෑම සුන්දරයි. තෘෂ්ණාවෙන් තොරව රූපය දෙස බලද්දී මේ කණ සැබෑම සුන්දරයි. මේ කණ දෙස තෘෂ්ණාවෙන් තොරව බලද්දී මේ කණින් ඇසෙන ශබ්ද හරිම සුන්දරයි. මේ ශබ්ද තෘෂ්ණාවෙන් තොරව අසද්දී කොටින්ම මේ රූපය සුන්දරයි. තෘෂ්ණාවෙන් තොරව රූපය දකිද්දී තෘෂ්ණාවෙන් තොරව දකින රූපය කමටහනක්‌මයි. ලෝකයේ යථාර්ථය දැකීමට හේතුවූ මෙවලමක්‌මයි. මේ ඇස කමටහනකට විෂය වූ රූපයක්‌මයි මේ ඇස, ඇසෙන් දුටු රූපය. මේ ඇස නිසාමයි ලෝකය දැක්‌කේ. මේ කණ නිසාමයි ලෝකය ඇසුනේ. මේ නාසය, දිව, මනස, කය නිසාමයි ලෝකය දැනුණේ. ලෝකය දකින, ලෝකය ඇසුණ, ලෝකය දැනුණ නිසාමයි ලෝකයෙන් මිදෙන දිශාවට අපව යොමුවුනේ. ලෝකයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ස්‌වභාවමයම අවබෝධකොට ගැනීමට හැකි වුණොත් එම අවබෝධය කරා යැමට උපකාරීවූ මෙවලම් කෙසේනම් අසුන්දරයි කියන්නද?

සතර මහා ධාතුවෙන් සැදුණු, නිරතුරුවම වෙනස්‌ වන, අසුන්දර වූ රූපය අවබෝධයේ සැබෑම සුන්දරත්වය දෙසට යොමුකරගන්න. තෘෂ්ණාවෙන් තොරව රූපය දකින්න. එවිට රූපය සැබෑම සුන්දරයි. තෘෂ්ණාවෙන් තොරව ඔබ රූපය දැක්‌කොත් රූපය කෙරෙහි ඇලීමක්‌, ගැටීමක්‌, උපේක්‍ෂාවක්‌ ඔබ තුළ ඇති නොවේවී. රූපය, රූපයේ ස්‌වභාවයෙන්ම වන අනිත්‍ය ස්‌වභාවයෙන්ම පවතීවි. ඒ අනිත්‍ය ස්‌වභාවය නැවත නැවත දකිමින් ලෝකයේ ඇත්ත දකිනා, තෘෂ්ණාවේ බර බිම තැබූ සැබෑ සුන්දර මිනිසෙක්‌ වෙන්න. ඒ සුන්දර මිනිසුන්ට දැන් ලෝකය දුකක්‌ නොව, දුක අවබෝධ කරගැනීමට විෂයවූ කමටහනකි. මෙවලමකි.

පිංවත් ඔබ සෑමවිටම රූපය විවෘතව දකින්න. ටිකක්‌ නොවේ, භාගයට නෙමෙයි, විවෘතවම රූපයේ රසය, හැඩය, වර්ණය, ස්‌පර්ශය විඳින්න. අසිහියෙන් නොවේ, සිහිමුලාවෙන් නොවේ. රූපයේ ආශ්වාදය තුළින්ම ගිහි පිංවතුන්ලා රූපයේ ආදීනවය ප්‍රකට කරගන්න. පිංවත් ඔබ රූපය ඉදිරියේ උපක්‍රමශීලී වන්න. යම් රූපයක්‌ විවෘතව, විනිවිද, විදර්ශනාවෙන් නොදකින නිසාමයි එම රූපය කෙරෙහි නැවත, නැවත කෙළෙස්‌ සකස්‌ වෙන්නේ. මොනම රූපයක්‌වත් බාගෙට දකින්න එපා. එය විවෘතව අත්විඳලා එම රූපයේ නිසරු බව, විඳීමේ නිසරු බව අවබෝධ කරගන්න. නිසරු රූපය කෙරෙහි, විඳීම කෙරෙහි ඔබ ඇතිකර ගන්නා තෘෂ්ණාවේ නිසරු බව වටහාගන්න.

තෘෂ්ණාවෙන් ගිනිගත් ඇස ප්‍රඥාවේ සිසිල්ධියෙන් නිවීයනකොට ඇස නිසා සකස්‌වෙන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ගිනි නිවී යන විට, ඇස ඔබට තවත් රූපයක්‌ පමණක්‌ම වනු ඇති. ඇස ඇත. තෘෂ්ණාව නැත. තෘෂ්ණාවේ ගිනි නිවුන ඇස තවත් බාහිර රූපයන් නිසා කෙසේ ගිනිගන්නද? මිනිස්‌ සිතක සැබෑම සාමය, ලෝක සාමය ඇත්තේ මෙතැනය.

මේ ගින්න නොනිමෙන තාක්‌කල් සාමය යනු යුද්ධයට පෙර ඇතිවන නිහඬතාවයක්‌ පමණක්‌ වනු ඇත.

පිංවත් ඔබගේම රූපය තුළින් ධර්මය මතුකොට ගැනීමට හැකියාව තිබියදී ඔබ ඒ හැකියාව, තෘෂ්ණාව විසින් වසාදමලා, සතර සතිපට්‌ඨාන ධර්මය පොත්වලින් සොයනවා. පොත් විවෘත කිරීමට පෙරාතුව ඔබේම ශරීරය ඔබට විවෘතකර ගන්න. ඔබේ ජීවිතය සරලභාවයට පත්කර ගන්න. ඔබ විසින් ගොඩනගා ගන්නා කෘත්‍රිමභාවය තුළ බරත්, ජීවිතයේ සරලභාවය තුළ සැහැල්ලුවත් මුළින්ම අත්දකින්න. කෘතිමභාවයේ බර යනු කෙළෙස්‌වල බරම බව දකින්න. සරලභාවයේ සැහැල්ලුව යනු නික්‌ලේශී බවම බව දකින්න. කෙළෙස්‌ යනු අකුසල්මය. කෘත්‍රීමභාවයේ බරත්, කෙළෙස්‌වල බරත් දෙකටම මැදිවී ධර්මයෙන් බැහැරව යන මාර්ගයෙන් බැහැරව යන මාර්ගය ඔබේ ජීවිතයෙන් වසා දමන්න.

අපි මේ යන ගමනේදී ලෝකය තුළදී තරගකාරීව නැගීසිටීමට, කැපී පෙනීමට සිතුවිලි සමග මහා යුද්ධයක්‌ නේද නිරතුරුවම කරන්නේ. කුසල් අකුසල් මනසිකාරවලින් සන්නද්ධව යුද භූමිය තුළ ඔබ සටන්වදිනවා නේද? නිත්‍ය වූ ජයක්‌, පරාජයක්‌ නැති ස්‌ථිර වූ දුකක්‌ පමණක්‌ ඇති රූපය අයිතිකොට ගැනීමේ යුද්ධය සැබෑම සාමයක්‌ ඇතිකරගැනීමේ මාර්ගයට ඔබත් එන්න. මේ සැබෑ සාමයට එන ඔබට මුළු ලෝකයම අනතුරට ලක්‌වුවද ඔබ තුළ ඇති සාමයට අනතුරක්‌ නොවනු ඇත. මුළු ලෝකයම විනාශවුවත් ඔබට නොසැලෙන සාමයක්‌ ලබාදුන්නේ ඇමරිකාවවත්, රුසියාවවත්, චීනයවත් නොව ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ලෝකය, ලෝකයා බොහෝම අවදානම් ගමනකයි යන්නේ. ඒ නිසා අනුන්ගේ දෑත් අත්හැර බුදුරජාණන්වහන්සේ සරණ කරගෙන පිංවත් ඔබ තුළ සැබෑ සාමය ඇතිකරගන්න. ඔබ කාමච්ඡන්දයන් දලුලන මිථ්‍යා සමාධියෙන් බැහැරව, සම්මා සමාධියටම පැමිණෙන්න.