වැරදි උපදේශයන්, ඔබට වැරැද්දටමයි යොමු කරවන්නේ…

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දවස, කොසොල් රජතුමා මඟුල් ඇතුපිට නැගී නගර සංචාරය කරන කොට, නිවසක සිටි රූමත් කාන්තාවක් දැකීමෙන් කාමච්ඡන්දයන් ඇතිවුනා. ඇය දුටු මොහොතේ පටන් ඇයව අයිති කොට ගැනීමේ උපක්‍රමයක් ගැනමයි රජු සිතුවේ. ඇයගේ ස්වාමිපුරුෂයා මරා දමා ඇය අයිති කොට ගැනීමට රජු උපායක් යෙදුවත් ස්වාමිපුරුෂයා මරා දැමීමේ උත්සාහයන් ව්‍යාර්ථ වී ගියා. මේ රූමත් කාන්තාව ගැන සිතීම නිසාම රජතුමාට සෑම රාත්‍රියක්ම නින්ද නොයන අයහපත් රාත්‍රියක් බවට මයි පත්වුනේ.

අදාළ කාන්තාව ගැන සිතමින්ම නින්ද නැති දීර්ඝ රාත්‍රියක් ගත කරමින් සිටියදී, එදින රාත්‍රියේදී රජතුමාට බොහෝම නපුරු වේගවත් ශබ්දයක් ඇසුනා. මේ ශබ්දයට රජතුමා ගොඩාක් බිය වුණා. රජතුමා සැකකලා මේ නපුරු ශබ්දයට රජතුමාට, රාජ්‍යයට අනතුරක්ය කියලා. හිමිදිරියේ පුරෝහිත බමුණාව කැඳවලා අදාළ බියකරු සිහිනය ගැන පුරෝහිත බමුණාට දැනුම් දුන්නා. බමුණා ප්‍රකාශකළේ රජතුමාට ඇසුණු නපුරු ශබ්දය රජතුමාටත් රාජ්‍යයටත් බරපතල අපලයක් නපුරුක් බවත්, වහාම සත්ව යාගයක් සිදුකරලා දෙවියන් සතුටු කරලා මේ අනතුරින් මිදෙන්න පුළුවන්ය කියලා. පුරෝහිත බමුණාගේ මෝඩ අවවාදය හිස මුදුනින් පිළිගත්ත රජතුමා සේවකයන්ට නියෝග කලා, යාගයට අවශ්‍ය සතුන් සහ සියළු පුදපිරිකර සූදානම් කරන්න කියලා. යාගයට අවශ්‍ය සතුන් රජ උයනේ ගාල්කරනවා දුටු, කොසොල් රජතුමාගේ මල්ලිකා බිසවගේ පෙරත්තය නිසාම, රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ගොස් තමාට රාත්‍රියේදී ඇසුන නපුරු ශබ්දය ගැන ප්‍රකාශ කලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ රජ ඔබ ඊයේ රාත්‍රියේ බියට පත්කලේ, එම නපුරු ශබ්දය ඔබේ ජිවිතයට හෝ රාජ්‍යයට හෝ අනතුරක්, නපුරක් වන ශබ්දයක් නොවේ. ලොහොකුඹු කියන නිරයෙන් ඉහළට මතුවූ නිරිසතුන් සතර දෙනෙකුගේ වචන උච්චාරණය කිරිමේ හඬයි රජතුමාට රාත්‍රියේදී ඇසී තිබෙන්නේ කියලා. රූමත් අන්සතු කාන්තාවක් කෙරෙහි කාමයෙන් ගිනි ගෙන නිදි සයනයේ නින්ද නොමැති අයහපත් රාත්‍රියක් ගත කළ කොසොල් රජතුමාට බුදුරජාණන් වහන්සේ මේ අවාසනාවන්ත නිරිසතුන් හතර දෙනා ගැන කරුණු දේශනා කලා.

මේ නිරිසතුන් හතර දෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වුන ධනවතුන් හතර දෙනෙක් ඒ කාලයේ මනුෂ්‍යයෙකුගේ ආයුෂ අවුරුදු විසිදාහක්. මේ ධනවත් තරුණයින් හතර දෙනා කල්පනා කරනවා. තමන්ගේ විශාල ධනයට මොනවාද කරන්නේ කියලා. දීර්ඝ සාකච්ඡාවකින් පසූව මේ තරුණයන් හතර දෙනාම සාමූහිකව තීරණයකට එනවා මේ විශාල ධනයෙන් කාලා බීලා විනෝද වෙලා ජීවත් වෙමුය කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ කාලයේ ජීවමානව වැඩ සිටියා. මෙම තරුණයින් හතර දෙනාට මස් ඇස හොඳින් පෙනුණාට කල්‍යාණ මිත්‍ර ඇසුර නොලැබුණ නිසාම නුවණැස අන්ධ වෙලායි තිබුණේ. තම විශාල ධනයෙන් මේ අය හොඳින් විනෝද වුණා. කාන්තාවන්, මත්වතුර, මස්මාංශ, නැටුම් ගැයුම්, ජිවිතය කොට ගත්තා. ඔවුන්ගේ මෝහ මූලික මිම්මෙන් ඔවුන් අන්ධවෙලා හිටියේ. මේ සැප වින්ද මහත්වරු හතර දෙනා මැරිලා ලොහොකුඹු කියන නිරයේ උපදින්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලොහොකුඹු නිරය යොදුන් හැටක් දිගින් පළලින් යුක්තයි කියලා. මේ ලොහොකුඹු නිරයේ ගින්දරට, ලෝධියට පිච්චෙමින් අවුරුදු පහළොස්දාහක් ගත කොට නිරයේ මතු පිටට පැමිණි මොහොතේ මේ නිිරිසතුන් හතර දෙනාගේ මුවින් නික්මුණ වේදනාත්මක වචන වල හඬයි, රජතුමාට රාත්‍රියේදී ඇසිලා රජතුමා බියට පත්වෙලා තිබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නිරිසතුන් හතර දෙනා ලොහොකුඹු නිරයෙන් වසර පහළොස්දාහකට පසුව මතුපිටට පැමිණි මොහොතේම මුවින් එක වචනයක් ප්‍රකාශකරන මොහොතේම නැවත ලොහොකුඹු නිරයේම ගිලී යනවා. තවත් වසර පහළොස්දාහකින් තමයි නැවත මතුපිටට පැමිණෙන්නේ කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනුන්ගේ සැමියන් අයිතිකරගන්න අනුන්ගේ බිරින්දෑවරුන් අයිතිකරගන්න සිහින මවන වර්තමානයේ කාටත් වගේම විනෝදයම ජිවිතය කොටගත් කාටත් ඉහත ධනවත් තරුණයන් හතරදෙනාටම වෙච්ච දෙය හොඳ පාඩමක් වෙනවා.

නගර සංචාරය කරන කොට දුටුව අන්සතු කාන්තාවක් අයිතිකොට ගන්න අයහපත් රාත්‍රියක් ගතකරමින් සිටි රජතුමා කාමයේ ආදීනවයන් ඇසීමෙන් අන්සතු ස්ත්‍රිය අයිතිකරගැනිමට තිබු කැමැත්තෙන් මිදුනා.

පිංවත් ඔබගේ කාමාස්වාදය නිසා ලබන කෙටි සැපය නිරයේ මහා ගිනිජාලාවක් වශයෙන් දකින්න. ඔබ ලබන කෙටි වින්දනය කල්ප ගණනක් දීර්ඝ වූ මරණීය අදෝනාවක් ලෙස දකින්න. කාමච්ඡන්දය නිසාම රාත්‍රිය අපිට බොහෝම දිගු වෙනවා. දීර්ඝ රාත්‍රීවල නින්ද ඈතට යන වේගයෙන්ම හිරි ඔතප් දෙකත් ඈතට යනවා. සකස්වෙන සිතුවිලි අකුසලයටමයි බරවෙන්නේ. ඒනිසාම පිංවත් ඔබ සෑම රාත්‍රීයකදීම අට්ඨික සංඥාව මෙනෙහි කරමින් නින්දට යන්න. මනසින් ශරීරයේ මස ගලවලා බිමින් තියන්න. ඔබගේ ශරීරය මසෙන් තොර ඇටසැකිල්ල සිතෙන් මවාගන්න. ඇටසැකිල්ල සිතෙන් මවාගැනීමට නොහැකි නම් රූපසටහනක, ඡායාරූපයක ඇති ඇටසැකිල්ලක් හොඳින් නිරීක්ෂණය කරන්න.එවිට ඔබට පහසු වේවි ඔබේම ඇටසැකිල්ල සිතෙන් මවාගන්න. ඔබ කැමතිම ඔබ අකැමතිම ඔබ තුල කාමච්ඡන්දයක් සකස් කරන සෑම රූපයක්ම අට්ඨික සංඥාවෙන් දකින්න. එවිට එම රාත්‍රිය කාමච්ඡන්දයන්ගෙන් තොර යහපත් රාත්‍රියක් වේවි.

මෙය සටහන් තබන වේලාව රාත්‍රී හතට පමණ ඇති. හුදකලා කුටිය අවට රාත්‍රී රැහැයියන්ගේ හඬ වේගවත්ව ඇසෙනවා. ලෝකයම මැකී ගොසින්, අනිත්‍ය වූ කායසංස්කාර පමණයි, අරමුණු වෙන්නේ. උතුම් ධර්ම මාර්ගයේ යහපත් රාත්‍රීයක පෙරනිමිතියි මේ අත්දකින්නේ. මේ යහපත් රාත්‍රිය මේ ලෝකයේ කොච්චරනම් මනුෂ්‍යයෝ අයහපත් රාත්‍රියක් බවට පත්කොට ගනීවිද, අනාගතයේ නිරයන්හි නිරිසතුන්ගේ ගහණය කොච්චර නම් ඉහළයාවිද. මනුෂ්‍යයාගේ නුවණැස අන්ධවෙන කොට මස් වලට තිබෙන වටිනාකම වැඩිවෙනවා. තෘෂ්ණාව විසින් මසට හැඩතල නිර්මාණය කොට දෙනවා. ලස්සන රටා රිද්මයන් ඇති කොට දෙනවා. මේ සියල්ලම සිතුවිල්ලක්ය කියන කාරණය දකින්නේ නැහැ. මස් වලට ලොබ බඳින මිනිස්සු නිරයට වැටුනම ලෝදියෙන්, ගින්දරෙන් මසම පිච්චෙමින් මරණීය වේදනාවක් ලබනවා. මස සතර මහා ධාතුව වශයෙන් දකින්න. එවිට පිංවත් ඔබ මසෙන් හැදුන රූපයෙන් නිදහස්වීමේ දිශාවට ගමන්කරාවි.

ඉහත සිද්ධියේදී කොසොල් රජතුමා කාමගින්නෙන් දැවෙමින් සිටි අයහපත් රාත්‍රීයේදී ඇසුණ නපුරු බියකරු ශබ්දය නිසා බියට පත්වෙලා උදේ පාන්දරම පුරෝහිත බමුණා කැඳවලා ප්‍රශ්නය ගැන උපදෙස් ගැනීමේ දී, පුරෝහිත බමුණා ප්‍රකාශ කළේ රාත්‍රියේ ඇසුන නපුරු ශබ්දය රජතුමාට රාජ්‍යයට අනතුරක්, අපලයක් කියන කාරණය, අනතුරෙන් මිදෙන්න මහා සත්ව ඝාතන යාගයක් කරන්න කියලයි, යෝජනා කළේ.

වර්තමානයේද රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසාම අයහපත් රාත්‍රීන් නිදි නොලබා ගත කරන මනුෂ්‍යයින්ට නොයෙක් ආකාරයේ නපුරු ශබ්ද අඩනින්දේදී ඇසෙන්න පුළුවන්. එවැනි ශබ්ද ඇසිලා සමහරු බියට පත්වෙන්න පුළුවන්, සිහිනයෙන් කෑගසන්න, උගුර කට වේලිලා වතුර සොයන්න පුළුවන්, නිදි ඇඳෙන් වැටෙන්න පුළුවන්, මෙවැනි තත්ත්වයන් ඇතිවෙන කොට බියට පත්වෙලා වර්තමාන සමාජය හුඟාක් දුරට යාගහෝම, පුදපූජා, යන්ත්‍රමන්ත්‍ර තමයි සිදුකරන්නේ. මේ ක්‍රියාවනුත් හරියට මිත්‍යාදෘෂ්ටික පුරෝහිත බමුණා කොසොල් රජතුමාට දුන්න වැරදි උපදේශය වගේමයි. අකුසලය නිසාම තව තවත් අකුසලයට යොමු වෙනවා. ඔබටත් නින්ද නොයන අයහපත් රාත්‍රීන් වලදී මෙවැනි වේදනාත්මක නපුරු හඩක් ඇසුනහොත් ඔබත් තේරුම් ගන්න, මොකක් හෝ කුසල් ශක්තියක් නිසාම ඔබට අනතුරු හැඟවීමක් තමයි ලැබුණේ කියලා. අකුසලයෙන් කුසලය දෙසට යොමුවෙන්න කියන අනතුරු හැඟවීම, සමහර විට එම හඬක් නිරයෙන් ඇසෙන හඬක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් විෂම ප්‍රේතයෙක්ගෙන්, අමනුෂ්‍යයෙකුගෙන්, නැගෙන වේදනාත්මක හඬක් වෙන්නත් පුළුවන්.

වරක් භික්ෂුවක් වන ගත ආරණ්‍යයක වැඩ සිටින කොට, සවස තුනට පමණ උතුම් සමාධියෙන් පසුවෙන කොට ඉතාමත් බියකරු වේදනාත්මක ලතෝනියක් ඇසුණා. එය හරිම වේගවත්, අශුභ, අමිහිරි, මූසල ලතෝනියක්. එම භික්ෂුවට උතුම් සමාධිය තුළින් පෙනෙනවා. විශාල ගසක ඇති දෙබලක්, දෙබලක් කියන්නේ ගසේ ඉහළ හතර පැත්තට අතු බෙදී ගිය තැනක්. මෙම දෙබලේ ලොකු කලගෙඩියක් තරම් කලූ මස් කුට්ටියක් භික්ෂුවට දර්ශනය වුනේ. අත,පය නැති කළු මස් කුට්ටියක් ඇය විෂම නපුරු බියකුරු ප්‍රේතියක්. එම මස් කුට්ටියක් ආකාරයට ඉපිද සිටින නපුරු ප්‍රේතිය තමයි ඉහත නපුරු වේදනාත්මක හඬ නගන්නේ. එම හඬ කොච්චර වේගවත්ද කියනවානම් එම ප්‍රේතිය ද්වේශයෙන් පුපුරනවා වගෙයි. සමහර විට එම ප්‍රේතිය භික්ෂුව තම සීමාවේ සිටිනවාට විරෝධය දක්වනවා විය හැකිය. මෙවැනි විෂම ප්‍රේතියන් සිල්වතුන්ට අකැමතිය. සිල්වතුන් දකින කොට ඒ අයව පිච්චෙනවා වගේ ශීලයට කුසලයට ඇති විරෝධය නිසා වෛරයෙන් පුපුරනවා.

මෙවැනි බියකරු ශබ්ද සතර අපායේම සත්වයින්ගේ මුවින් නික්මෙන අකුසලයන්ගේ දෝංකාරයන්ය. ඔබට එම ශබ්ද ඇසෙන්නේ හේතුවක් බව නිසාම බව සිතන්න. ජිවිතය තුලින් කුසල් ධර්මයන් ශක්තිමත් කොට ගන්න. නින්ද නොඑන දීර්ඝ රාත්‍රී වල සිතට නැගෙන කාම සිතුවිලි, ද්වේශ සිතුවිලි ඉහත සත්වයින්ගේ විෂම ජිවිත ගැන සිතමින් යටපත් කොට ගන්න. එවිට පිංවත් ඔබට එම රාත්‍රිය යහපත් රාත්‍රියක් වේවි. එම යහපත් රාත්‍රීයේදී විවේක මනසින් සිතන්න. ගස් දෙබලක් මත ජීවත් වෙන, අතපය නොමැති, කළු මස් කුට්ටියක් වැනි විෂම ප්‍රේතිය. එවැනි විෂම උපතකට ඇදදැමුවේ කාමය, ද්වේෂය කියන කාරණය බව.