මරණය ඉදිරියේ හුදකලා නොවන්න…

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පුද්ගලයෙක් තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් තෙරුවන් ගුණ සිහිකරන්නේ නම් ඔහුව ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක් මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන් සීලය තුළ ශක්තිමත් වී, එම සීලය ආවර්ජනය කරමින් ජීවත් වෙනවිට එම පින්වතාට ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක්, මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන් පූජාකොට ගන්තා වූ දානයන් ගැන සිහිපත් කරනකොට ඒ මොහොතේ එම පින්වතාට රාග සිතක්, ද්වේශ සිතක්, මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. පින්වත් ඔබේ සිතුවිලි චංචල වූ මොහොතක තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සීලය, දානය ගැන මෙනෙහි කිරීමට දක්ෂ පින්වතාගේ සිත දානය කෙරෙහි සීලය කෙරෙහි ශ්‍රද්ධාව කෙරෙහි ඍජුව පවතිනවාය කියලා බුදුරජාණන් වහන්සෙ දේශනා කරනවා.

ශ්‍රද්ධාව, සීලය, දානය කෙරෙහි සිත ඍජුව පවතින විට සිතේ ප්‍රීතිය සතුට ඇතිවෙනවා. චංචල වූ සිතේ සංසිදීම ඇතිවෙනවා. ඒ සංසිදුන සිත සමාධිගත වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සමාධිමත් වූ සිතින් දේවනානුස්සතිය වඩන්න කියලා බුදුරජාණන් වහ්සේ දේශනා කරනවා. දේවනානුස්සතිය වඩන පින්වතා විවේකීව සිතනවා තුසිතය, යාමය, නිම්මානරතිය, පරතිම්මිත වසවර්තිය, කාවතිංසය, චතුර්මහාරාජිකය කියලා සුගතියන්ට අයත් දිව්‍යතල තිබෙනවා. එම දිව්‍යතලවල ජීවත්වන දෙවියන් දිව්‍යාංගනාවන් ආශ්චර්යමත් සැපයක් අත්විඳිනවා. දීර්ඝ කාලීන ආයුෂ අත් විඳිනවා. ඒ සෑම දෙවියෙක්ම දිව්‍යාංගනාවක්ම එම දිව්‍යතලවල ඉපදුනේ ශ්‍රද්ධාව නිසාමයි. සීලය දානය නිසාමයි. ඒ දෙවියන් වගේම මමත් එම දිව්‍යතලවල ඉපදීමට අවශ්‍ය ශ්‍රද්ධාවෙන් සීලයෙන් දානයෙන් ජීවිතය පරිපූර්ණකොට ගෙන තිබෙනවා කියලා නුවණින් මෙනෙහි කරන්න.

මෙසෙ සශ්‍රීක දිව්‍යතලවල දෙවියන්ට අදාලව එම දෙවියන් අතරට යාමට අවශ්‍ය ධර්මතාවයන් වන ශ්‍රද්ධාවට සීලයට දානයට අදාල කුසල් සංස්කාරයන් තමන් ළඟ තිබෙනවාය කියලා සිහිපත් කිරීමේදී පින්වත් ඔබට රාග සිතක් ද්වේශ සිතක් මෝහ සිතක් නොව ඇතිවෙන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවිට දේවනානුස්සතිය කෙරෙහි සිත ඍජුව පවතිනවා. ඒ නිසාම සිතේ සංසිඳීම ඇතිවෙනවා. සංසිඳුන සිත සමාධිමත්භාවයට පත්වෙනවා.

දේවානානුස්සතිය හොඳින් පුහුණුවී එහි ඵලය හැටියට ඔබට ලැබුණු සමාධියේ සිතින් දැන් ඔබ මෙනෙහි කරනවා. මේ දිව්‍යතලවල දෙවියන් පවා කාමයන් නිසා, අකුසල් සිදුකොට ගන්නවා. මේ දිව්‍යතලවල දෙවියන් පවා අකුසල් සිදුකොට ගැනීමෙන් නැවත සතර අපායන්ට වැටෙනවා. මාර්ගඵලලාභී නොවන දෙවියන් කියන්නේ කාමයන්ගෙන් පිරුණු ධර්මයෙන් නිසරු මුඩුබිමක් වගේයි. ශ්‍රද්ධාව නිසා දෙවියෙක් වුනත් සීලය, දානය නිසා දෙවියෙක් වුනත් ඒ දේවත්වය පිරිහෙනවා. අනිත්‍ය වූ සංස්කාරයන්ගේ අනිත්‍ය වූ ඵලයක් දේවනානුස්සතිය කියන්නේ. මෙසේ ධර්මානුකූල විදර්ශනාවෙන් දේවනානුස්තියත් දේවනානුස්සතියට හේතුවන ශ්‍රද්ධාව, ශීලය, දානය කියන ධර්මතාවයනුත් නුවණින් දකින පින්වතා තුළ
දේවනානුස්සතියේ අනිත්‍යභාවය කෙරෙහි සිත ඍජුව පවතිනවා. එවිට ඔහුගේ සිත සංසිදෙනවා. ඔහු ඒ සංසිඳුන සිතත් අනිත්‍ය බව දකිනවා. එවිට ඔහුගේ සිත සමාධිමත්භාවයට පත්වෙනවා. එම සමාධිමත් සිතත් ඔහු අනිත්‍ය ව දකිනවා.

දේවනානුස්සතිය විදර්ශනා නුවණින් දකින පින්වතා තුළ ස්වයංකී‍්‍රයව ශ්‍රද්ධාව සීලය දානය නැමති ධර්මතාවයන්ගේද අනිත්‍යභාවය වැඩෙනවා. ඔහු දානය ආර්්‍ය දානයක් බවටත්, ශ්‍රද්ධාව ආර්ය ශ්‍රද්ධාව බවටත්, සීලය ආර්ය සීලය බවටත්, දේවනානුස්සතිය මාර්ගඵලලාභී දේවනානුස්සතියක් බවටත් පත්කොට ගන්නවා.

ගිහි පින්වතුන්ලා ගිහි ගෙදර සිටිමින් තමන් ජීවිතයට එකතුකොට ගන්නා ශ්‍රද්ධාව, සීලය, දානය වැනි ලෞකික සැපයට අදාල ධර්මතාවයන් විදර්ශනා නුවණ මෝදුකොටදෙන භව නිරෝධය දෙසට යොමුකරගන්න උපක්‍රමශීලී මාර්ගයයි ඉහතින් භික්ෂුව සටහන් තැබුවේ. ඉහත ක්‍රමවේදය තුළ මුලු ආර්ය අෂ්ටාංගික මාර්ගයම කැටිවෙලා තිබෙනවා. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්්‍යකාන්ත සීලය, පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීම යනු ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සැබෑම අර්ථයයි. ඉහත කාරණා තුනට මුලු ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ගොනුවෙලා තිබෙනවා. පින්වත් ඔබ වචනවල අර්ථයන්ට පැටලෙන්නේ නැතිව ඉහත කාරණාවන් නිවැරදිව හඳුනාගත්තානම්, බාහිර ලෝකයේ ක්‍රියාකාරකම් පසුපස හඹානොයා ජීවිතයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් වන ආකාරයට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සීලය, දානය නැමැති ධර්මතාවයන් කළමනාකරණය කොට ගැනීමට දක්ෂ වන්න.

පින්වත් ඔබට සමාජයේ ගිහි පැවිදි පින්වතුන්ලා එක එක පාඩම් කියලා දෙනවා. තර්ක, විතර්ක, මතවාද දෘෂ්ටි චෝදනා පැසසුම් කරන්න හුඟාක් අය සිටිනවා. නමුත් පින්වත් ඔබ මැරෙන මොහොතේ ඔබට උපකාරවෙන්නේ ඔබ තනිවම සිදුකොටගත් අර්ථවත් කුසල් ධර්මයන් පමණක්මයි. සියල්ල සිතීම මොහොතකට නතර කරලා. ඉහත කාරණය සිතන්න දක්ෂනම් පින්වත් ඔබට මරණය කියන කාරණය තුළ සිත ඍජුව පවතිනවා. එවිට සිත
සංසිඳෙනවා. ඒ සංසිඳුන සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වූ සිත මරණානුස්සතිය තුළ ශක්තිමත් කොට ගැනීමට පින්වත් ඔබට අවකාශය ලැබෙනවා. පින්වත් ඔබ ඇසට පෙනෙන කනට ඇසෙන සම්මුති ලෝකය අතහැරලා තමා තුළ සකස්වෙන පංචඋපාදානස්කන්ධයන්ට ලෝකය මතුකොට ගැනීමට ඉහත ධර්මය හොඳ පිටුවහලක් වෙනවා.

වරක් බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යවතුන් වහන්ස, මම නුඹ වහන්සේට කුමක් කුටිය කොට කියන්නද? කුමක් කැදැල්ල කොට කියන්නද? කුමක් කුල ප්‍රවේණිය කොට කියන්නද? කුමක් බන්ධනය කොට කියන්නද කියලා.

එවිට බුදුරජාණන් වහනසේ දේශනා කරනවා, බමුණ, මව කුටිය කොට කියමි. බිරිඳ කැදැල්ල කොට කියමි. දරුවන් කුල ප්‍රවේණිය කොට කියමි. තෘෂ්ණාව බන්ධනය කොට කියමි කියලා. ඉහත ධර්මය ශ්‍රවණය කළ බමුණා ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්ස, මම හොඳින්ම තේරුම් ගත්තෙමි නුඹ වහන්සේට කුටියක් නැත. කැදැල්ලත් නැත. කුළ ප්‍රවේණියත් නැත. තෘෂ්ණාවත් නැත. බනධනයෙන් මිදුනා වෙන්නේය කියලා. ගිහි පින්වත් ඔබ ඔබගේ කුටියත්, කැදැල්ලත්, කුළ ප්‍රවේණියත්, බන්ධනයත් කියන වැට කඩොලු ලිහිල් කොට ගැනීම උදෙසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සීලය දානය නැමති, පින්වත් ඔබ ජීවිතයෙන් වඩන ධර්මතාවයන් විදර්ශනා නුවණ මෝදුවෙන ආකාරයට සැබෑ ලෙස ආයෝජනය කිරීමට දක්ෂ වෙන්න.