දෙදෙනෙකුගේ රණ්ඩුවක් තුළිනුත් ධර්මයක් අසන්න…

ගම්මානයේ මේ දවස්වල නිතරම ට‍්‍රැක්ටර් වැඩකරන හඬ ඇසෙනවා. සැප්තැම්බර් මාසයේ කුඹුරු වැඩ පටන් අරගෙන. මෙවර වැසි ඉක්මන්වීම නිසා කුඹුරු වැඩත් ඉක්මන් වෙලා. ගම්වැසියන්ගේ සිතේ සතුට වැඩි නිසාදෝ මේ දිනවල ගම්මානයේ රණ්ඩුවෙන ශබ්දයත් වැඩිවෙලා. මේ රණ්ඩු ගහගන්න රණ්ඩු නොවේ. බැණ ගන්න රණ්ඩුයි. මේවා ඇසෙන කොට භික්ෂුවට සිතෙනවා මත්වතුර වීදුරුවකට මොන තරම් දුරක් අපිව රැගෙන යන්න පුලුවන්ද කියලා. මත්වතුර වීදුරුවකට පුලුවන් පින්වත් ඔබව අවීචිමහා නරකය තරම් දුරකට රැගෙන යන්න. මත්වතුර වීදුරුවක වටිනාකම රුපියල් සියයක් වුණත් එම රුපියල් සියයේ වටිනාකමට සකස්වුණ වියරුව පුලුවන් කල්ප ගණනාවක නිරයේ දුකක් ඔබට උරුම කොට දෙන්නට. මේ ගම්මානවල සමහර ගම්වැසියන්ට මත්වතුර වීදුරුවකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්කම ලැබිලා තිබෙන්නේ එම පින්වතුන් ගංවතුරකටවත්, පන්සලකට ගොඩවී නිරවුල් මනසින් උවමනාවකින් බණ පදයක් අසා දැනගෙන නැති නිසාමයි.

පසුගිය දිනක භික්ෂුව පිණ්ඩපාතයේ වඩින කොට භික්ෂුවට ඇසෙනවා කාන්තාවක් වේගයෙන් කෑසනවා. මාව මරාගෙන කාපං කියලා. අතීත අකුසල් සංස්කාරයන්ට අදාලව සකස්වුණ විඤ්ඤාණය, කෑගසන හඬ භික්ෂුවට ඇසෙන කොට, ගම්මානයේ රණ්ඩුවක් තුලිනුත් භික්ෂුවට ධර්මයක් ඇසීමේ ධර්මයක් සිතීමේ භාග්‍යය ලැබුණා. පින්වත් ඔබ ඇසට අරමුණුවන, කනට ඇසෙන, මනසට දැනෙන, සිදුවීම් තුළින් ධර්මයක් ශ්‍රවණය කිරීමට ධර්මයක් මතුකොට ගැනීමට දක්ෂ වෙන්න. මනුෂ්‍ය සමාජය, පරිසරය, කියන්නේ බණ ගෙදරක්. ලෝකය අල්ලා ගැනීමත්, ලෝකය අතහැරීමත් ගැන කුසල්, අකුසල් විපාකයන් ගැන ලස්සන, අර්ථවත්, සුමදුර ධර්ම කථාවක් සමාජයේ සිදුවීම් චර්යාවන් තුළින් නිරතුරුවම ප්‍රකාශ වෙනවා. පින්වත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව, සමාජයෙන් ඇසෙන ධර්මයන් අසන්න. එම ධර්ම දේශනා දකින්න. එම ධර්මයන් ගැන මෙනෙහි කරන්න.

කැපකරු මහත්මයෙක් ප්‍රකාශ කළා, අසවල් තැන පිහිටි කුඩා නිවසේ වයෝවෘධ රෝගී අම්මා කෙනෙකුයි, පුතෙකුයි සිටිනවා කියලා. පුතා මත්වතුර බොනවා, ආදායමට ඇති කුඹුර උගස්කරලා. එම දරුවා මත්වීම හේතුවෙන් අම්මාට පීඩාකරනවාය කියලා. භික්ෂුව එම කුඩා නිවසට වැඩියේ, එම අම්මා තුළින් ධර්මයක් දකින්න, අසන්න ඇති කැමැත්ත නිසාමයි. ඒ අම්මා තුළින් භික්ෂුව සංස්කාරයන්ගේ අමිහිර විපාකයන් පිළිබඳව වටිනා ධර්මයක් දැක්කා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පිළිබඳව වටිනා ධර්මයක් දැක්කා. නමුත් භික්ෂුවට හොඳටම විශ්වාසයි ඒ අම්මා භික්ෂුවගේ පැමිණීම තුළින් ලැබුවේ ආශ්වාදයන් පමණක්මය කියලා. ආශ්වාදයේ සතුට විසින් ධර්මය, අධර්මයක් බවට පත්කොට දෙනවා. රෝගී, නිරෝගී පුද්ගලයෙක්ගෙන්, දුප්පත් පොහොසත් පුද්ගලයෙක්ගෙන්, උගත් නූගත් පුද්ගලයෙක්ගෙන්, මහේශාඛ්‍ය, අල්පේශාඛ්‍ය පුද්ගලයෙක්ගෙන් නිරතුරුවම අපි දකින්නේ ධර්මානු ශාසනාවයි. සෑම සත්වයෙක්ම ධර්මයක් කියන ලෝකයක් මේක. ලෝකය යනු පංචඋපාදානස්කන්ධය. මෙහිදී සත්වයා තුළත් ක්‍රියාත්මකවන පංචඋපාදානස්කන්ධය තුළින් නිරතුරුවම සද්ධර්මයන් ලෝකයට විවෘත වෙනවා. සෑම සත්වයෙක්ම නිහඬව කියන ධර්මය දකින්න,
අසන්න, සිතන්න, අදක්ෂ සමාජයක් මේක. ඇසට, කනට, මනසට දැනෙන ධර්මය නොඅසන අපි ස්වභාවධර්මයෙන් බැහැරව ගිහිල්ලා හොඳ ධර්ම දේශනාවක් කරන ස්වාමීන් වහන්සේලාව සොය සොයා යනවා. පතපොතේ ධර්මය සොයනවා.

පින්වත් ඔබ ඔබේ ජීවිතයට, ඔබේ අසල්වැසියාගේ ජීවිතයට එබි බලන්න. සතර සතිපට්ඨාන ධර්මයම එම ජීවිතවල ගැබ්වෙලා තිබෙනවා. මීට පෙර සටහනේ සඳහන් කරන ලද රාජාලි පැටවාගේ ගොදුර බවට පත් වී මියගිය වවුල් පැටවා, භික්ෂුවට පටිච්චසමුප්පාද ධර්මයේ අර්ථය ගැන වටිනා ධර්මයක් කියාල දුන්නා. වවුල් පැටවාට, අතීත ප්‍රාණඝාත අකුසලයක් විපාක දෙනකොට, රාජාලි පැටවා අලුතින් ප්‍රාණඝාත අකුසලයක් රැස්කොට ගත්තා. සංස්කාරයන්ගේ වංචාකාර ස්වභාවය ගැන වටිනා ධර්මයක් කියලා දුන්නා. සත්ව සමාජය තුලින්, පරිසරය සතර මහාධාතුව තුලින් හේතුඵල ධර්මයක් නුවණින් මතුකොට ගැනීමට දක්ෂ පින්වතා තුළ ධම්මානුපස්නාවට අදාල ධර්මතාවයන් නිරතුරුව ම වැඩෙනවා. ඒ නිසාම සතිය සිහිය
ශක්තිමත් වෙනවා. එවිට අනවශ්‍ය අකුසල් විතර්ක කරා යාමේ අවධානම ඔබෙන් මගහැරෙනවා. අකුසල් මූලයන් වැඩීම නිසාම වේගවත්භාවය, වියරුභාවයට පත්වෙන සමාජයකින් පින්වත් ඔබට සිදුවිය හැකි අධර්මයේ අනතුරුවලින් මිදීමට ඉහත උපක්‍රමය හොඳ උපකාරක ධර්මයක් වෙනවා. සද්ධර්මය ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ශ්‍රවණය කරනවා වගේම තමා තුලින්, අනුන් තුළින්, පරිසරය තුළින් බණ අහන්න පින්වත් ඔබ දක්ෂ වෙන්න. නිරතුරුවම සමාජයෙන්, පරිසරයෙන්, ඔබ දකින, ‘අසන’ සිතන ධර්මය නුවණින් මෙනෙහි කොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ පින්වත් ඔබ ශක්තිමත් වෙන්න. ධර්මය කියලා කියන්නේ ස්වභාව ධර්මයට, යථාර්තයට, සත්‍යයට මේ සියල්ලම ඔබේ ඇස් ඉදිරිපිට තිබෙනවා. පින්වත් ඔබේ සතිය, සිහිය දුර්වල නිසා ධර්මය අධර්මය හැටියටමයි ජීවිතයට එකතුකොට ගන්නේ. ධර්මය අධර්මය කොටගත් තැනදී නිරතුරුවම ඔබට ධර්මයක් කියාදෙන සමාජය, පරිසරය පින්වත් ඔබ කරදරයක් හිසරදයක් කොටයි දකින්නේ.

පසුගිය සතියේ කොණ්ඩ කුරුලු අම්මා විසින් කෑම කවමින් සිටි කොණ්ඩ කුරුලු පැටව් දෙදෙනා දැන් තනිවම කෘමීන්, මීමැස්සන් අල්ලාගෙන කන්න හුරුවෙලා. කුටිය ඉදිරිපිට ගස්වල පිපිලා තිබෙන මල්වලට වහවැටී සිටින මී මැස්සන් සහ වෙනත් පියාඹන කෘමි සතුන් පසුපස ඉගිලයමින් එම කෘමින් ගිලදමනවා. පුංචි කොණ්ඩ කුරුලු පැටව් දෙදෙනා තමන් ලබන මේ අලුත් ආහාර සොයා ගැනීමේ අත්දැකීම තුළින් හරිම ආශ්වාදයක් ලබන්නේ. එයා එකපාරටම මී මැස්සෝ ගිල දමන්නේ නැහැ. පුංචි කමට හුරතලයට මී මැස්සා සමග පුංචි සෙල්ලමකුත් කරලයි මී මැස්සව ගිල දමන්නේ. ගොදුරු ඉදිරියේ කොණ්ඩ කුරුලු පැටවා හරිම වේගවත්. කොණ්ඩ කුරුලු පැටවාගේ වේගවත්භාවය කියන්නේ පංචඋපාදානස්කන්ධය
කෙරෙහි කුරුලු පැටවාගේ ඇති තෘෂ්ණාවේ වේගවත්භාවයයි. තෘෂ්ණාව වැඩිවෙනකොට උපාදානය වැඩිවෙනවා. උපාදානය වැඩිවෙන කොට නැවත නැවත භවය සකස්වීමට අවශ්‍ය හේතුසාධක ලියලනවා. භවය ලියලනකොට ජාති, ජරා, ව්‍යාධි, මරණ ශෝක, පරිදේව දුක්වල හිමිකරුවෙක්ම වෙනවා. කොණ්ඩ කුරුලු පැටවාගේ දඟකාර ගොදුරු ගිලීම තුළ පටිච්චසමුප්පාද ධර්මයත්, පංචඋපාදානස්කන්ධ ධර්මයන් ගැන අර්ථවත් ධර්මයක්
සමාජයට විද්‍යාමාන වෙනවා. තිරිසන් සතෙකුගේ ක්‍රියාකාරීත්වය තුළිනුත් පින්වත් ඔබ ධර්මයක් මතුකොටගැනීමට දක්ෂවෙන්න. එවිටයි පින්වත් ඔබට ස්වභාව ධර්මය තුලින් ශී‍්‍ර සද්ධර්මයේ අර්ථය මතුකොටගන්න හැකියාව ලැබෙන්නේ.