ආර්ථික විද්‍යාව තුලින්, ආයුෂ, වර්ණය, සැපය, බලය සොයන පින්වතුන්

භික්ෂුව වැඩ සිටින කුටියට යාබදව තිබෙන වරිච්චි බිත්තයේ අගල් තුනක් පමණ කුඩා කිරිවවුල් පැටවෙක් එල්ලිලා සිටියා. වවුල් පැටවාගේ දඟකාරකමට බිත්තිය උඩ තිබෙන විවරයෙන් පිටතට පැමිණිලා. භික්ෂුව ඉහත සටහන් ලියමින් සිටින කොට වවුල් පැටවා කුසගින්නෙන් දෝ කුඩා පියාපත් සොළවමින බිත්තියේ එල්ලී සිටියා. භික්ෂුවට හිතාගන්නවත් නොහැකි වේගයකින් එකවරම පැමිණි, අලු පැහැති රාජාලි පැටවෙක් මේ වවුල් පැටවාව ඩැහැගෙන ගියා. වවුලෙක් වෙලා ඉපදිලාත් සතියක්වත් වයස ගතවෙන්න පෙරාතුව තවත් සතෙකුට ගොදුරු වුණා.

තමන් ඩැහැගෙන යාමට පැමිණි රාජාලි පැටවාගේ පියාපත් හඬ වවුල් පැටවාට ඇසෙත්දී වවුල් පැටවා සිතුවේ තම වවුල් මව තමන්ට කිරිදෙන්න පැමිණියාය කියලා. කුසගින්න නිවාගන්න මව්කිරි කෙරෙහි තෘෂ්ණාව ඇතිවෙත්දී, තම වවුල් අම්මා වෙනුවට තමන්ගේ මරණය පැමිණීම මොනතරම් අකුසල් විපාකයක්ද?

සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තමයි මේ වවුල් පැටවාට මහ දවල්, බිත්තියේ ආරක්ෂක විවරයෙන් එළියට එන්න දැනීම සකස්කොට දෙන්නේ. පුංචි වවුල් පැටවා වේදනාත්මක මරණයකින් අනතුරුව පටිච්චසමුප්පන්නව වර්තමානයේ කොහේ හෝ ප්‍රතිසන්ධිය ලබන්නට ඇති. දෑස් දෙක පියාගෙන භික්ෂුව මොහොතක් මෙනෙහි කළා. අතීත සංසාරයේ මෙවැනි කුරුලු පැටවුන් වෙලා කොතෙක් නම් මමත් අන්‍ය සතෙකුට ගොදුරුවෙලා මරණීය වේදනාවෙන්ම මිය යන්නට ඇතිද කියලා. අනෙක් සතුන්ව ගොදුරු කොටගෙන ප්‍රාණඝාත අකුසල් නිධි රැස්කොටගන්න ඇති
ද කියලා.

අතීත සංසාරයේ පට්ච්චසමුප්පන්නව ඉපදිලා මගේ අම්මා තාත්තා වෙලා දස දහස් වාරයක් මාව මරණයෙන් බේරාගෙන ඇති වවුල් පැටවා මේ මොහොතේ මාගේ දෑස ඉදිරිපිටදීම කුරිරු බියකරු මරණයක උරුමය ලැබුවා. නිමා නොවන භව ගමනක ජාති, ජරා, ව්‍යාධි, මරණ තුළ උරුමය ලොව්තුරා ධර්මයේ කැඩපතක් සේ අපේ දෑස් ඉදිරිපිටම ක්‍රියාත්මක වෙනවා.

භික්ෂුව මේ ගම්මානයේ මාස දෙකහමාරක් පමණ වැඩ සිටියා. ගම්මානයේ නිවාස හැටක් පමණ තිබෙනවා. ගමේ හැමෝම උද්යෝගයෙන් පිණ්ඩපාත දානය බෙදුවත්, ගමේ නිවාස පහක්පමණ තවම භික්ෂුවට පිණ්ඩපාතය බෙදලා නැහැ. එම නිවෙස් ඉදිරිපිට වැඩ සිටියට පින්වතුන් කවුරුවත් එළියට එන්නේ නැහැ. එම පින්වතුන්ලා දානයේ අර්ථය හඳුනන්නේ නැහැ. මනුෂ්‍යයා ලබන ආයුෂ, වර්ණය, සැපය, බලය ආර්ථික විද්‍යාව තුළින් ලැබෙනවාය
කියලයි එම පින්වතුන් විශ්වාස කරන්නේ. එම පින්වතුන් සිතන්නේ දන් පූජාකළොත් තමන් තව තව දුප්පත්වෙයි කියලා. ලෝභ සිතින් දන් නොදෙන පින්වතා අනාගතයේදී කැමැත්තෙන්ම අල්ප ආයුෂ, අල්ප සම්පත් අල්ප නිරෝගීභාවය උරුමකොට ගන්නවා. කොච්චරනම් ඇසට පෙනෙන කනට ඇහෙන ආදර්ශයන් තිබියදී උවමනාවෙන් දුක කරා යන ගමනක්ද? රාජාලි පැටවාගේ පියාපත් හඬට තම වවුල් අම්මා යැයි රැවටී මව්කිරි බී කුසගිනි නිවාගැනීමට සූදානම් වූ වවුල් පැටවා, ආහාර කෙරෙහි තෘෂ්ණාවෙන්ම රාජාලියාට ගොදුරු වෙන්නේ අතීත භවයන්හි දානයේ සීලයේ දුර්වලතාවයන්
නිසාමයි.