අකමැති දේවල් දකින්න ලැබෙන්නේ අපේ අකුසල් නිසාමයි…

වර්තමාන සමාජයේ පිංවත් ඔබට අසන්නට දකින්නට ලැබෙන්නේ, ඔබ කැමති කරන දේවල් නොවේ. එයත් අපේ කර්ම විපාකයක්. කර්මයත්, කර්මඵලයත් කියන කාරණය අවබෝධයෙන් දකිනතාක්කල් පිංවත් ඔබට මේ පරස්පර හඳුනාගන්න බැහැ. අපි එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් යහපත් හෙටක බලාපොරොත්තුයි ඇති කරගන්නේ. නමුත් හැමදාම උදාවෙන දවස ඊයේට වඩා බියකරු දවසක්. මේ විකෘතිභාවය මනුෂ්‍යයා තුල ඇතිවන්නේ කාමච්ඡන්දයන් නිසාමයි. සිතේ ඇතිවෙන කාම සිතුවිල්ලකට නිදැල්ලේ යන්න ඉඩහැරියම ඉතාමත් නිරිලැජ්ජිත අවසානයකටයි ඔබ පත්වෙන්නේ. මෙහි ඵලය තමයි වර්තමාන සමාජය තුල ඔබ දකින්නේ. එම නිසා යහපත් හෙටක් ගැන බලාපොරොත්තු පසෙක තබා උදාවෙන හෙට ගැන කළකිරිම් ඇති කොට ගන්න.

පිංවත් ඔබ මෙහෙම සිතන්න. කාමාතුර මනුෂ්‍යයෙක් සිටිනවා. මේ මනුෂ්‍යයා කාමයෙන් අන්ධවෙලා, ළදැරියක් දුෂණය කොට මරා දමනවා. මේ කාමාතුර මනුෂ්‍යයා යම් දවසක මිය යන මොහොතේ ඔහු කළ අතිභයානක අකුසලය සිහිපත් වී නිරයන්ට වැටිලා දීර්ඝකාලයක් අප්‍රමාණ දුක් විඳලා යම් දවසක මනුෂ්‍ය ජිවිතයක් ලැබුවොත් ස්ත්‍රී ලිංගිකවයි උපදින්නේ. ඇයි කුඩා වයසේදීම තවත් කාමාතුරයෙකුගේ හිංසාවට ලක්වෙලා මිය යනවා. මෙතන තිබෙන්නේ නිවැරදි කළ හැකි දෙයක් නොවේ. අවබෝධ කළයුතු දෙයක්. අතීත සංස්කාරයන්ගේ ඵලයයි. සමාජයේ ඇති වෙමින් පවතින කාමරැල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමය කියන්නේ ගිනි අඟුරු වළක්ය කියලා, ගිනි පෙනෙල්ලක්ය කියලා. තියුණු මුවහත ඇති සැතක්ය කියලා. කාම සිතුවිල්ලක මොන තරම් රුදුරු බවක්, බියකරු බවක්, සැඟවිලා තිබෙනවාද. ප්‍රේත ලෝකයේ මහා නිරිලැජ්ජිත ප්‍රේතයෝ, ප්‍රේතියෝ සිටිනවා පිංවත් ඔබ දැක ඇති සමාජයේ සිටිනවා. විකෘති කාම මානසික තත්ත්වයන් තිබෙන මනුෂ්‍යයින්. බස් රථයේදී, දුම්රියේදී, සිනමාශාලාවේදී, මුහුදු වෙරළේදී, කාන්තාවන් දිය නාන තැන්වලදී මෙවැනි විකෘති මනුෂ්‍යයින් ඔබ දැකලා ඇති. මේ අය නිසා ඔබ අප්‍රමාණ පීඩාවට පත්වෙලා ඇති. මේ පුද්ගලයින්ගේ විකෘති කාම මනෝභාවයන් නිසාම මෙම අය මරණයෙන් පසුව උපත ලබන්නේ සිල්වත් භාවයෙන් තොර කාන්තාවන්ගේ කිහිලි වල, ඉකිලිවල ආශ්‍රිත ශරීර අවයව වල. එම ශරීර අංග තෘෂ්ණාවෙන් උපාදානයකොටගෙන ජීවත් වෙනවා. විකෘති කාම ප්‍රේතියන්, බස් රථයක් ඇතුළේ සිටිනවා භික්ෂුවක් සමාධිය තුලදී දැක තිබෙනවා. පෙර මනුෂ්‍යය ජිවිතයේදී තිබු කුණු ආශාවන් ප්‍රේත ජිවිතයේදී වඩාත් හොඳින් සිද්ධ කරනවා. කාමයේ වරදවා හැසිරෙන පිරිමියෙක් නැවත මනුෂ්‍ය ජිවිතයක් ලැබුවොත් ඔහු නපුංසකයෙක්මයි. ස්ත්‍රී ලිංගිකවයි උපත ලබන්නේ. ලිංග පෙරලියක් කිරිමට තරම් භයානක භාවයක් කාමයේ වරදවා හැසීරීම තුල සැඟවී තිබෙනවා. සංස්කාරයන් සමඟ අපිට හැංගිමුත්තන් කරන්න බැහැ. මැරෙන මොහොතේ බලවත්ම අකුසලය මතුකොට දෙනවා ඊළඟ ප්‍රතිසන්ධියට. සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය නොදන්නා, පිංවතුන් වැරදිකරුවන්ට දඩුවම් දෙන්න කියලා අධිකරණයට යනවා. විත්තිකරුවා වැරදිකරුවා වුනොත් ජම්පරයක් පැළඳගෙන සිරදඩුවමක් විඳිවී. පිංවත් ඔබ වැරැද්දට දඩුවම හැටියට දකින්නේ මොන තරම් සරළ දෙයක් ද සරළ දඩුවමටත් විරෝධය පළ කරන්න, සිරකරුවන්ගේ, සැකකරුවන්ගේ, මානුෂික අයිතීන් උදෙසා පෙනි සිටින සංවිධාන කොතෙක් තිබේද. මේ මොහොතේ භික්ෂුවට සිනාවක් ඇතිවුණා. මනුෂ්‍යයා මොනතරම් මුලාවකද ඉන්නේ කියලා. අකුසල් සංස්කාර විසින් සත්වයාට මොන තරම් නම් බියකරු විෂම විපාකයන් සතර අපායේදී විදීමට සලස්වනවාද කියලා. මේ මානුෂික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් දන්නවා නම් මේ උතුම් කර්මය, කර්මඵලයන් ගැන දේශනා කොට වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් ‘අමානුෂිකය’ කියන චෝදනාව එල්ල කරාවි.

සිරකරුවන් ගැන කතා කරන විට නිතැතින්ම නීති ක්ෂේත්‍රය තමයි මතකයට එන්නේ. වර්තමාන නීති ක්ෂේත්‍රය කියන්නේ හොඳින් මුදල් ගැවසෙන තැනක්. බුදුරජාණන් වහන්සේ මුදල් කියලා කියන්නේ සර්පයාට. ඒ කියන්නේ නීති ක්ෂේත්‍රය කියන්නේ හොඳින් සර්පයින් ගැවසෙන තැනක්. ඒ නිසාම එම ක්ෂේත්‍රයේ සෑම දෙනාම බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. මෙවැනි සර්පයින් දෂ්ඨ කොට මිය ගොස් ප්‍රේත ලෝකයේ බරපතල වැඩ සහිත සිර දඩුවමක් විඳින ප්‍රේතයෙක් ගැන බුදුරජාණන් වහන්සේ ලක්ඛණ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. මේ ප්‍රේතයා ඇවිදින්නේ කළගෙඩියක් වන් තම අන්ඩකෝෂය කරේ තබා ගෙන. මේ ප්‍රේතයා ඉඳ ගන්නේ තමාගේ කළගෙඞ්යක් වන් තම අන්ඩකෝෂය මත. ඒ නිසාම ඉඳගන්නා මොහොතක් පාසා වේදනාවට පත්වෙනවා. දකුණු පැත්තේ කරට මෙම අන්ඩකෝෂය ගනිද්දි එහි බරට මෙම ප්‍රේතයා දකුණට ඇලවෙනවා. වම් කරට කළගෙඞ්යක් වන් අන්ඩකෝෂය ගනිද්දී වම් පැත්තට ඇලවෙනවා. අතීතයේ කල අකුසල් හේතුවෙන් තමා තුලින්ම තමා දුකට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රේතයා පෙර ජිවිතයේ රජගහ නුවර සිටි නීතියට සම්බන්ධ මහත්මයෙක්ය කියලා. අධිකරණයේ පාරිශුද්ධත්වය සංකේතවත් කරනීතරාදියේv, සමබර නොවන ආකාරයට තීන්දු කිරුව නිසා තමාගේම කළගෙඞ්යක් වන් අන්ඩකෝෂයම විපාකය පිණිස සකස් වෙලා. අන්ඩකෝෂය වම් කරට ගනිද්දි වම් පැත්තට බර වෙනවා. අන්ඩකෝෂය දකුණු පැත්තට ගනිද්දි දකුණු පැත්තට බර වෙනවා. ලාභ සත්කාර හේතුවෙන්ම පැමිණිල්ලටත්, විත්තියටත් බර දීමා නිසාමයි. මේ ප්‍රේතයා තම කළගෙඩියක් වන් අන්ඩකෝෂයෙන්ම එම දුක විඳින්නේ. මෙහි වඩාත්ම දරුණු කාරණය වන්නේ මොහු අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ දුක් විඳලා තමයි මේ ප්‍රේත ජිවිතය ලබා තිබෙන්නේ. මුදල් නැමැති සර්පයින් වැඩිපුර ගැවසෙන ස්ථාන අපි බොහෝම පරිස්සමින් පරිහරණය කරන්න ඕනේ. එසේ නොවුන හොත් අසාධාරණව හම්බ කරපු සල්ලි වල බරටම ඔබට මතු ජිවිතයේදී කළගෙඞ්යක් වන් අන්ඩකෝෂයක් ලැබෙන්නට පුළුවන්. එම නිසාම මුදල් වැඩිපුර ගැවසෙන තැන්වල පිංවතුන් සිතන්න දක්ෂ වෙන්න ඕනේ තමන් සාක්කුවට දමා ගන්නේ සර්පයින් බව.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවදුත සුත්‍රයේදී නිරයේ ඉපදුනු කෙනාට යමපල්ලෝ යකඩ පොළවක බාවනවා, එහෙම බාවලා පිහියා වලින් සහිනවා, නැවත ඔළුවෙන් සිටවලා පිහියෙන් සහිනවා, ගිනියම් වූ යකඩ පොළොවේ ඇවිද්දනවා, බෙලිගෙඞ් තරමට බුබුළු දමන ලොහොකුඹු නිරයේ ඔබනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසූචි නිරයේ සිටින තියුණු තුඩු ඇති පණුවන් ඔහුගේ සිවිය සිදුරු කරනවා. සිවිය සිඳ මස් සිදුරු කරනවා, මස් සිදුරු කොට නහර සිදුරු කරනවා, නහර සිදුරු කොට ඇට සිදුරු කරනවා. ඒ නිසා මොහු තියුණු දුකකට පත් වෙනවා කියලා. නිරයේ සත්වයාට යමපල්ලන් ගින්දරත්, ලෝදියත් සමඟින් ලබා දෙන දුක මේ මානව හිමිකම් සංවිධාන වල මහත්වරුන් දන්නවා නම් කුමකින් කුමක් වේවිද, සුළු පටු මෝහයකද ලෝකයා වෙලී සිටින්නේ.

උදේනි රජතුමාගේ මාගන්දියා බිසව ද්වේෂය නිසාම උදේනි රජුගේම සාමාවති බිසව ඇතුළු පරිවාර කාන්තාවන් පන්සියයක් දෙනාව සාමාවති බිසවගේ මාළිඟාවට ගිනි තබා මරා දැම්මා. මාගන්දියා බිසවගේ ද්වේශ සිතුවිල්ලට තෙරුවන් සරණ පිහිටිය පන්සියයක් කාන්තාවන් අඟුරු බවට පත් වුණා. ඒ අඟුරු තුළින් මාගන්දියා බිසවගේ ද්වේශ ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ඊයේ රාත්‍රියේ උදේනි රජුගේ සාමාවති බිසව ඇතුළු කාන්තාවන් පන්සියයක්දෙනා මාළිඟාව ගිනිගෙන මිය ගියාය කියලා. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මතක් කරනවා සාමාවතිය ඇතුළු මිය ගිය සෑම කාන්තාවක්ම තෙරුවන් සරණ පිහිටිය නිසාම සුගතියේ උපත ලැබුවේ කියලා. කාන්තාවන් පන්සියක දෙනාගෙන් සමහරු අනාගාමී ඵලයට පත් වී සකෘදාගාමි ඵලයන්ට පත්වී, සෝවාන් ඵලයන්ටද පත්වී දිව්‍යතලවලම උපත ලැබුවාය කියලා. ද්වේෂයෙන් මුලාවට පත්වෙච්ච මාගන්දියා බිසව දැක්කේ පිච්චි මිය ගිය සාමාවතිය ඇතුළු කාන්තාවන් පන්සියයක් දෙනාගේ අඟුරු ගොඩාක්. මාගන්දියා බිසවගේ ද්වේෂ සිතුවිල්ල ක්‍රියාත්මක කිරිම තුළින් පන්සියයක් තෙරුවන් සරණ පිහිටිය සාමාවතිය ඇතුළු කුල කතුන් සුගතියට මාර්ගය සකස් කොට ගත්තා. මාගන්දියා බිසවට අත්වූයේ ද්වේශයයි. එම ද්වේෂයට හසුවී පිච්චි මිය ගිය බිසෝවරුනට සුගතිය හිමිවුණා. අවසානයේදී මාගන්දියා බිසවටත් අකුසල් සංස්කාර විසින් බොහොම සාධාරණ විපාකයක් සලස්වලා දෙනවා.

එක්තරා භික්ෂුවක් උතුම් සමාධියේ අරමුණු කොට බලනවා මාගන්දියා බිසව මේ මොහොතේ සිටින්නේ කොතනද කියලා. භික්ෂුවට දර්ශනය වෙන්නේ පිච්චි අගුරු වෙච්ච මුහුණක්. පිංවත් ඔබ ඔබේ හිස ප්‍රමාණයේ අඟුරු කැබැල්ලක් අරගෙන එම අඟුරු කැබැල්ලේ මනුෂ්‍යය මුහුණක් කැටයම් කරන්න. හිසකෙස් නැති තට්ට හිසක් සහිත අඟුරු කැබැල්ලක් වැනි පිච්චි ගිය මුහුණක් සහිත නිරයේ දුක් විඳින වර්තමාන මාගන්දිය බිසව භික්ෂුවට අරමුණු වෙනවා. එම නිරිසතාගේ මුහුණ බොහෝම තියුණු වේදනාවකින් පෙළෙන පිච්චිගිය අඟුරු කැබැල්ලක්මයි. මනුෂ්‍යයෙක් පණ පිටින් ගිනි ගන්නා විට ඔබ මෙනෙහි කරන්න එම පිච්චෙන මනුෂ්‍යයාගේ මුහුණේ ඇති වේදනාත්මක ඉරියව්. අන්න ඒ ඉරියව්වේ ස්වභාවයෙන් වේදනාත්මක මුහුණක් මෙම නිරිසතාට තිබෙන්නේ. පේනවා නේද මාගන්ධියා බිසවගේ ද්වේෂ සිත මාගන්දියාට ලබලා දුන්න දඩුවම.

පිංවත් ඔබ වැරැද්දට දඩුවම හැටියට දකින මනුෂ්‍යලෝකයේ සිරදඩුවම, මරණ දඩුවම, කස පහර වගේද මෝහයෙන් මිදී අකුසල් සංස්කාරයන්ගේ බියකරු රුදුරු බවම දකින්න. වැරදි කරන ලෝකයා වැරදි කරපුදෙන්, ඔබ දඩුවම් දෙන්න යන්න එපා. පොලිසිය, උසාවිය ගානේ ඔබ රස්තියාදු වෙන්න යන්න එපා. අනුන් කරපු වරදක් නිසා ඔබ පොලිසිය උසාවිය ගානේ ඔබ රස්තියාදු වෙනවා කියන්නේ ඔබ ඔබට දඩුවම් කරගන්නවාය කියන කාරණයයි. එය වැරදිකරුවා කෙරෙහි ඔබ තුල ඇති කරගන්නා ද්වේෂයේ දිට්ඨධම්මවේදනීය අකුසල් විපාකයයි. පිංවත් ඔබ අකුසලය දැක කුසලයෙන් ශක්තිමත් වෙන්න. ඔබ තව තව නිවැරදි වෙන්න. මාගන්දියා බිසවගේ සිතේ ඇවිළුනු ගින්නෙන් පන්සියයක් සාමාවතිය ඇතුළු බිසෝවරු පණපිටින් ගිනිගනිද්දීත්, එම වේදනාව දරාගනිමින් සියළු සත්වයෝ සුවපත් වෙත්වා කියලා සිතක් සකස් කොට ගන්්න දක්ෂ වෙච්ච ඒ සුවපත් වේවායි කියලා සකස් කොට ගත් සිතත් අනිත්‍යයි කියා දකින්න දක්ෂ වෙච්ච සාමාවතිය ඇතුළු තෙරුවන් සරණ පිහිටිය කුල කතුන් පන්සියය දෙනාගේ සිතේ ඇතිවුණ සිතුවිල්ලත් ඔබ ඔබේ සිතේ ඇති කරගන්න. නීතිය කෙරෙහි නොවේ ධර්මය කෙරෙහි විශ්වාසය තබන්න. රජවරු පනවන නීතියටත් අනිවාර්යෙන් ගරු කරන්න. වැරදි කරන අයට දඩුවම් කරන්න ගිහිල්ලා ඔබ ද්වේෂය සකස් කොට ගන්න එපා. මාරයා ලෝකය පටවලා තිබෙන්නේ. පිංවත් ඔබ පැටලෙන්න එපා. සාමාවතිය ඇතුළු බිසෝවරු පණපිටින් ගිනිගනිද්දීත් මාරයා පටලවපු පැටලිල්ලේ පැටළුනේ නැහැ. පංචඋපාදානස්කන්ධය නැමැති මාරයා රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් විඳීම නැමැති පඹගාලේ සාමාවතිය ඇතුළු බිසෝවරු පටලවන්න උත්සහ ගත්තද විදර්ශනා නුවණින් විඳිමේ අනිත්‍යභාවය දැකීමට එම බිසෝවරු දක්ෂ වුනා. නමුත් තෙරුවන් සරණ පිහිටිය සාමාවති බිසවට තිබු දක්ෂභාවය, සාමාවති බිසවට මහත් සේ ඇලූම් කල උදේනි රජුට තිබුණේ නැහැ. සාමාවතිය ඇතුළු කුලකතුන් මරා දැමීම දරාගැනීමට නොහැකි වූ උදේනි රජතුමා මාගන්දියා බිසව ඇතුළු ඇයගේ සියළුම ඥාතී පිරිස අමු අමුවේම පිදුරු දමා ගිනිතබා රාජ දඩුවම් දුන්නා. සුගතියේ මාර්ගඵල ලාභී දිව්‍යාංගනාවන් ලෙස උපත ලැබූ සාමාවතිය ඇතුළු කුලකතුන් නිසා අනුවණ උදේනි රජතුමා මාරයාගේ පඹගාලේ පැටලී මහ අකුසල් කන්දරාවක් සිදුකර ගත්තා. මාරයා ඔබව පටලාවි, පිංවත් ඔබ පැටලෙන්න එපා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කොට භාග්‍යවතුන්වහන්සේට ලැබෙන කීර්ති ප්‍රශංස, ගරු බුහුමන්, නොඉවසූ අන්‍ය තීර්තකයන් සුන්දරී නැමැති පිරිවැජිය පොළඹවාගෙන ඇය ජේතවනාරාමයට නිතර පිටත් කොට ජේතවනාරාමය තුලදීම ඇය අභිරහස් ලෙස මරා දමා ජේතවනාරාමයේ දිය අඟලක වල දමනවා. අනතුරුව සුන්දරී පිරිවැජිය අතුරුදහන් වූ බවට කට කථා පතුරුවා ඇයගේ මළ සිරුර පිරිවැජියන්ම ගොඩ ගෙන ඇඳක හොවා සැවැත් නුවර විථියක් වීථියක් ගානේ ප්‍රදර්ශනය කරමින් බුදුරජාණන් වහන්සේටත්, සංඝයාවහන්සේලාටත් සුන්දරී පිරිවැජිය මරා දැමූ බවට චෝදනාකළා. භික්ෂු සංඝයා අල්ජ්ජිය, දුශ්ශීලයි, පාපස්වභාවයන් ඇත්තෝයි, මුසාවාදීහුයි ආදි වශයෙන් පරිභව කළා. ස්වාමීන් වහන්සේලාට මෙම පිරිවැජියන්ගෙන් හිරිහැර චෝදනා හේතුවෙන් පිණ්ඩපාතයේ වැඩීමට පවා අපහසු වුණා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහනසේලාට දේශනා කලේ මේ ශබ්දය බොහෝ කල් පවතින්නේ නැහැ සතියක්ම මෙය පවතින්නේය. සතිය ඇවෑමෙන් මේ ඝෝෂාව අතුරුදන් වෙන්නේය කියලා. ඒ බැවින් ඔබලා යම් මනුෂ්‍යයෙක්, භික්ෂූන් දැක අසභ්‍ය වචනයෙන් චෝදනා කරන්නේ නම් ඔබලා නිහඩව ඉන්න එපා, මේ ආකාරයෙන් පිළිතුරු දිය යුතුයි කියලා. බොරු කියන තැනැත්තා නිරයට පැමිණේ. යමක් කොට නොකලාමයි කියා නම් ඔහුද නිරයට පැමිණේ. පහත්කම් ඇති ඒ මිනිස්සු පරලොවේදී සම දුක් විපාක විඳියි, කියලා ශබ්ද නඟලා ප්‍රකාශ කරන්න කියලා ස්වාමීන් වහන්සේලාට අවවාද කලා. ස්වාමීන් වහන්සේලා එම අවවාදය ක්‍රියාත්මක කලා. සතියක් ඇවෑමෙන් එම අසත්පුරුෂ ඝෝෂාව අතුරුදහන් ගියා. කෙනෙක්ගේ පංචඋපාදානස්කන්ධය තෘෂ්ණාවෙන් ඇවිලෙන කොට පිංවත් ඔබ නිහඩ වෙන්න. ඔබේ නිහඩ ජිවිතයට ගිනි ඇවිලෙන්නේ නැහැ. පිංවත් ඔබ කලබල වුනොත් වේගවත් වුනොත් අනිවාර්යෙන්ම මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරව එක් අන්තයකටයි වැටෙන්නේ.