රාත්‍රී කාලයට දුම් දමනා තුඹස, දහවල් කාලයට ගිනි ගන්නවා

වේලාව සවස හතරට පමණ ඇති, නොවැම්බර් වැසි කාලයේ, වැසි වළාකුළු බොහෝම ඉක්මනට, කඳු සහිත තෙත් කලාපීය පරිසරයට, අඳුර රැගෙන එනවා. ගහකොළ නිසොල්මන්ව තිබෙන්නේ, කුරුල්ලන්ගේ එකිනෙකට වෙනස් වූ කිච් බිච්ය, තොරතෝංච්යක් නැතිව ඇසෙනවා. දිනයේ අවසාන ආහාර වේලට, රසවත් පණුවෙක්, දළඹුවෙක්, සොයමින්, ගහෙන් ගහට පියාඹන කුරුල්ලන්, මේ උත්සහ ගන්නේ, දිනයේ අවසාන ප්‍රාණඝාත අකුසලයක් සිදුකොට ගෙනම රාත්‍රී නින්දට යන්න. දවස පුරාම ප්‍රාණඝාත අකුසල්ම සිදුකර ගනිමින් පණුවන් දළඹුවන් මරාගෙන කෑමෙන්, කුස පිරෙන කොට, කුරුල්ලන්ගේ කිච් බිච්යේ හඩ තව වැඩිවෙනවා. පිංවත් ඔබ ආශ්වාදය ලබන කුරුල්ලන්ගේ කිච් බිච් කියන්නේ. එම කුරුල්ලන් ලබන කාමයේ ආශ්වාදය. එම ආශ්වාදය උදෙසා, අතීත අකුසල් සංස්කාර හේතුවෙන්ම, පණුවන්, දළඹුවන්, දස දහස් ගණනක්, දිනකට මේ වනපෙතේ, මරණයට පත්වෙනවා. අකුසල් සංස්කාරයන්ගේ කුරිරු ස්වභාවය පිළිබඳව පැහැදිලි කමටහනක්, කුරුල්ලන්ගේ කිච් බිච්ය තුළ සැඟවී තිබෙනවා.

තව මොහොතකින් ඇඳිරි වැටේවි, වැසි වළාකුළු බරවෙච්ච, මළාණික අඳුරු පරිසරය, ජිවිතයට අනිත්‍ය සංඥාවන්, තව තවත් මෝදුකොට දෙනවා. අඳුර වැටුණාය කියන කාරණය නොවේ. ජිවිතයට දැනෙන්නේ. උදෑසන පෑයූ ඉර අනිත්‍යව ගියාය, කියන කාරණයි. උදෑසන දිනය පටන් ගන්නා කොට තිබු පරිසරයේ දීප්තිමත්භාවය, අඳුර විසින් ගිලගන්නා කොට, දිනය පුරාවට, පිංවත් ඔබ තුළ සකස්වුන සිතුවිලි කීදාහක් සංස්කාර විසින් ගිලගන්නට ඇතිද, ඉර ගලාගෙන යන වේගයෙන්ම සංස්කාරයන් ගලාගෙන යනවා. වරෙක ඉර විසින්ම, ලෝකය එළිය කරනවා. වරෙක ඉර විසින්ම ලෝකය අඳුරු කරනවා. පිංවත් ඔබ රැස්කරන සංස්කාරයන්ද, වරෙක ඔබව සුගතියට යොමු කරනවා. වරෙක ඔබව දුගතියට යොමුකරනවා. සතර මහා ධාතුවෙන් නිර්මාණය වූ, ඉර නැමැති රූපයද, ශරීරය නැමැති ආයතන හයෙන් නිර්මාණය වූ රූපයද, එම රූපයන් කෙරෙහි චන්දරාගයෙන් සකස්වෙන පංචඋපදානාස්කන්ධයද, පරිසරයට චමත්කාරජනක අර්ථකථනයක් ලබාදෙනවා. මෝහය දළුලනවා, දළු කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුණ පණුවන්, දළඹුවන්, දළුවල සාරය උරා බොන විට, කුරුල්ලන් එම සතුන්ව මරාගෙන කනවා. ලෝකයේ අර්ථය අවිද්‍යාවෙන් පටලවාගත හොත්, පිංවත් ඔබ තුළත්, අවිද්‍යාවේ දළු මෝදුවෙනවා. අවිද්‍යාවේ දළු අතර සුවසේ වැඩෙන, අකුසල් මූලයන්, පිංවත් ඔබේ සුගතියේ සැපය මරාදමනවා.

දැන් අඳුර, වැටෙන්න හුඟාක් කිට්ටුයි. දිනය පුරාවට මුළු ආසියාවම, ආලෝකමත් කරපු, ඉර එළිය අනිත්‍ය වී යනවා. උපැස් යුවළ පැළදගෙන මේ සටහන ලියන, භික්ෂුවගේ දෑස් දෙකත් දැන කෙවෙනවා. එකම මොහොතක මුළු ආසියාවම ආලෝකමත් කරපු, ඉර අනිත්‍ය වී ගියා නම්, මේ පුංචි ඇස් දෙක ගැන මොන බලාපොරොත්තු තබා ගන්නද, රූපය, රූපයේ ස්වභාවය වන, ජාති ජරා, ව්‍යාධි, මරණ, ස්වභාවයෙන්ම තිබුණාදෙන්. අවබෝධය තුළින්ම ඉරත්, ඇසත් දකින්න ඔබ දක්ෂවෙන්න ඕනේ. ආලේකයත්, පෙනීමත් දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ.

රාත්‍රිය ගැන කථාකරන කොට, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට, අර්ථදැක්වූ සුත්‍රයක් මතකයට එනවා. එය වම්මික සූත්‍රය, සම්‍යක්දෘෂ්ඨික දෙවියෙක් තමයි, රාත්‍රී කාලයේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ මුණගැසීමට පැමිණිලා, මේ සුත්‍රයට නිධාන වෙච්ච කාරණය තමයි පවසන්නේ, මෙම දෙවියා විමසනවා, කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගෙන්, හිමියනි තුඹසක් තිබෙනවා. එම තුඹස, රාත්‍රී කාලයට දුම් දමනවා. දහවල් කාලයට මේ තුඹස ගිනි ගන්නවා. මේ තුඹස කියන්නේ කුමක්ද, මේ තුඹස රාත්‍රී කාලයට දුම් දමනවා. දහවල් කාලයට ගිනිගන්නවා කියන්නේ කුමක්ද කියලා, කුමාරකාශ්‍යප රහතන් වහන්සේ, මෙම ප්‍රශ්නය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමාරකාශ්‍යප, මේ තුඹස තමයි සතර මහා ධාතුයෙන් සැදුන, ආහාර නිසා පෝෂණය වන, මේ ශරීරය කියලා. මේ මනුෂ්‍යයා රාත්‍රී කාලයට දුම් දමනවා. පිංවත් ඔබ දිනය නිමාකරලා, නිදි පැදුරට වැටුනට පස්සේ, නින්ද පැමිණෙන තුරාවට, පසුදවසේ කළ යුතු ගොඩාක් දේවල් සැලසුම් කරනවා. රැකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය, පවුල, සමාජ සේවය, විනෝදය, හෙට දවසේ මේවා, විඳින හැටි අයිති කොට ගන්නා හැටි, මනසින් චිත්‍ර මවාගන්නවා, විතර්ක ගොඩනගා ගන්නවා. රාත්‍රී කාලයම ජිවිතය නැමැති තුඹස දුම්දැමීම නිසාම, හුඟදෙනෙකුට වර්තමානයේ නින්ද කියන කාරණය ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.

මේ හේතුව නිසාම වර්තමානයේ මනුෂ්‍යයා, බෙහෙත් පෙත්තකින් නින්ද ලබාගැනීමේ, උත්සාහයට පැමිණ තිබෙනවා. වර්තමානයේ පිරිටන් පෙත්තක් ෆාමසියකින් ලබාගන්නත්, වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය වෙනවා. ඒ තරමට නින්ද නොයාම මනුෂ්‍යයාට ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නය විසඳා ගන්න, මනුෂ්‍යයා උත්සහගන්නේ, බෙහෙත්පෙති ගිල දමමින්, එසේත් නැතිනම් මත්ද්‍රව්‍ය ගිලදමමින් තව තවත් අතුරු ආබාධ කරා ජිවිතය යොමුකරවමින්.

අනාගත ලෝකයේ, ඖෂධ, රෝහල් සේවාවන් මේ හේතූන් නිසාම ලාභදායි ව්‍යාපාරයන් වෙනවා. මෙම ව්‍යාපාරයන්ගෙන්, සේවාවන්ගෙන් තොරව ජීවත් වීමට මනුෂ්‍යයාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. රෝගීන් නිසාම අතිරික්ත ධනය මේවාට ගලාගෙන එනවා. එම ක්ෂේත්‍රයන්හි, සේවයන් සලසන පිංවතුන් ද, එම අතිරික්ත ධනය නිසාම, අකුසල මූලයන්ට කොටුවෙනවා. මාරයා ලෝකය ලස්සනට නිර්මාණය කරනවා. එක පැත්තකින් ධර්මයෙන් ඈතට යන, මනුෂ්‍යයින්, රෝගීන් බවට පත්වෙන කොට, නිරෝගීභාවය උදෙසා බෙහෙත් කරන ආයතන, අතිරික්ත ධනය තුලින් අකුසලයට යොමුකරනවා.

භික්ෂුවට මතකයි මීට වසර විසිපහකට පමණ පෙර, භික්ෂුවගේ ගම් පළාතේ සුදුසුකම්ලත් බටහිර දොස්තර මහත්මයෙක් සිටියා. එම දොස්තර මහත්මයා, රෝගියා පරීක්‍ෂා කරලා අවශ්‍ය බෙහෙත් ලබාදීලා, අයකලේ රුපියල් විස්සයි. එතුමාම ලංගම බසයෙන් ඔසුසලට ගිහිල්ලා, සතියකට වතාවක් අවශ්‍ය ඖෂධ අරගෙන එනවා. අවුරුදු විසිපහක කාලයක් තුළ, අපි වර්තමානයේ සිටින අවිවේකී, දිගු පෝලිම් සහිත, මිල අධික, වෛද්‍ය සේවාවක් කියන තැනට පැමිණ තිබෙනවා. සුපිරි පන්තියේ රෝහල්, ඉහළ ශ්‍රේණියේ වෛද්‍ය පහසුකම්, දියුණු කරන ලද ඖෂධ සහ සේවාවන් තුලින්, වර්තමානයේ අපි දකින්නේ මනුෂ්‍යාගේ අකුසල් මූලයන්ගේ දියුණුභාවයයි. දුස්ශීලභාවයන් නිසාම ලෝහ, ද්වේශ, මෝහ, ධර්මතාවයන් නිසාම, මනුෂ්‍යාගේ උපත සහ මරණය, අතර කාලපරාසය හීනවෙනකොට, එම අඩු කාලපරාසය පිරවෙන්නේ රෝගාබාධවලින්. මේ හේතුවෙන් ඉහත ක්ෂේත්‍රය තව තව ජනප්‍රිය වෙනවා. එම ජනප්‍රියභාවය පිංවත් ඔබව අකුසල මූලයන් දෙසටමයි යොමු කරන්නේ.

එම නිසා පිංවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. මාරයා ලෝකය සැලසුම් කරනා දිශාවට නොව, සද්ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවට ගමන් කරන්න. ධර්මානුකූලව ජිවිතය ගලපාගැනීමට අදක්ෂ අය, ඕනෑම දිශාවකට ගිය දෙන්, පිංවත් ඔබ ගලා එන මුදල් හමුවේ දුක සැප පටලවාගන්න එපා. ආශ්වාදයන් හමුවේ ආදීනවයත් තිබෙනවාමයි. එය ධර්මථාවයකි. එම නිසා තමාගේ සීමාව කුමක්ද කොතනද යන්න ධර්මානුකූලව ගලපාගන්න දක්ෂ වෙන්න ඕනේ.