සීලයෙන් බැහැර වූ මනුශ්‍යයා රත් පැහැයට හුඟාක් කැමතියි

මනුෂ්‍ය සමාජයේ ජීවත්වන ශීලයෙන් බැහැර වූ මිනිස්සු රතු පැහැයට හරි කැමතිය. රුධිරය දකින්න රුධිරය විඳින්න හරි කැමතිය. මරණීය වේදනාවෙන් දඟලන සතෙකුගේ දිහා බලලා සතුටුවෙන්න හරිම කැමතියි. එම සතාගේ මරණීය අඳෝනාව අහලා මිහිරක් විඳින්න ඒ මනුෂ්‍යයින් කැමතියි. ඒ අය පදං වෙලා තියෙන්නේ අකුසලයට. කෙනෙක් බොදු ගීතයක්, ආදර ගීතයක් රසවිඳිනවා වගේ මේ අය අහිංසක තිරිසන් සතෙකුගේ මරණීය අඳෝනාව අහලා එවැනිම සතුටක් ලබනවා. ශීලයෙන් බැහැර වූ සිත ඉල්ලන කුණු රසය ඒ අය අත් විඳින්නේ බොහෝම කැමැත්තෙන්.

භික්‍ෂුවට මතකයි එක්තරා ගමක මනුෂ්‍යයෙක් සිටියා. මොහු තමයි ඒ ගමේ තිබෙන කුකුළ් ගොවිපලවල කුකුල්ලූ මරන්නේ. මේ පුද්ගලයා මරණ කුකුලන්ට හොඳ ඉල්ලූමක් වෙළඳපොලේ තිබුණා. මොකද මොහු කුකුල්ලූ මරන්නේ බෙල්ල කපලා නොවෙයි. මේ මනුෂ්‍යයා කුකුල්ලූ දහයක් පමණ පොහොර උරයකට දමලා එහි කට බඳිනවා. දැන් ඔහු එම කුකුල්ලූ සහිත පොහොර උරය පොළොවේ ගසනවා. කුකුල්ලූ මැරෙන්නේ ශරීරයේ මස් තැලිලා හොඳින් රත් පැහැ ගැන්විලා. පිහාටු ගලවලා කුකුලා හොඳින් සුද්ද කලාට පසුව කුකුලාගේ මස හොඳින් තැලූන නිසා කුකුල් මස හොඳින් රතු පැහැය ගන්නවා. රතු පැහැයෙන් යුතු මසට හොඳ ඉල්ලූමක් තිබෙනවා. ඌරෙක් මරපුවහම ඌරගේ රුධිරය අරගෙන හොඳින් රත්පැහැ වෙන්න මස්වල තවරනවා. රතු පැහැයට දුශ්ශීල මිනිසුන්ගේ හොඳ කැමැත්තක් තියෙනවා. මිනිසුන් මෙවැනි රතුපැහැයෙන් යුත් මස් වලට “නැවුම් මස්” කියලා කියනවා. ඔබට ඒ නැවුම්භාවය ලබලා දෙන්න මියගිය සතා අප්‍රමාණ වූ අමතර දුකක් විඳිනවා.

ලෝකය තෘෂ්ණාවෙන් දුශ්ශීලභාවයෙන් ඉදිරයට යන කොට ආහාරවල රසය හීනභාවයට පත් වෙනවා. අනාගතයේ මේ ලෝකයේ රසවත්ම ආහාරය බවට පත්වෙන්නේ කුරක්කන් වැනි කටුක රසයක් ඇති ආහාරයක් බව ධර්මයේ සඳහන් වෙනවා. වර්තමානයේ පිංවත් ඔබගේ දිව පිනවන රසවත්ම ආහාරය අයිස්ක්‍රීම් වටලප්පන් වගේ එදාට රසවත්ම ආහාරය වන්නේ කුරක්කන්. එදාට ඔබ අයිස්ක්‍රීම් එකක් අනුභව කළත් එහි රසය හරිම කටුකයි. මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ වැඩිවීම නිසා ආහාරයේ ඇති ප්‍රණීතභාවය රසවත්භාවය ක්‍රමානුකූලව හීනභාවයට පත්වීගෙන යනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව නිසාම සිදුකරන පාරිසරික විනාශයන් වැඩි අස්වනු සඳහා යොදන පොහොර කෘමිනාශක වස විස හේතුවෙන් මහ පොළවේ ස්වභාවික රස ඕජාව මැරී යනවා. රස ඕජාව මැරුණ මහ පොළව මත උපද්දවන සෑම ආහාරයක්ම රසයෙන් හීනභාවයට පත්වීගෙන යනවා. අනාගතයේදී මේ හේතුවෙන් පොළව මත උපද්දවන සෑම ආහාරයක්ම රස ගැන්වීමට කෘතිම රසකාරකයන් යෙදීමට ලෝකයාට සිදුවේවි. එය දැනටමත් බහුල වශයෙන් සිදුවෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී දේශනා කරනවා මේ ලෝකය දිගුකලක් ඇවෑමෙන් කිසියම් කාලයක වැනසිලා විනාශවෙලා ගිහිල්ලා ඒ වානාශවුනාවූ ලෝකය නැවත හටගන්නවා කියලා. මෙසේ හට ගන්නා වූ නැවුම් ලෝකයේ මහපොළව නිවෙන්නාවූ කිරි මත හටගන්නා වූ යොදය පරිද්දෙන් යොදයක් හට ගන්නවා. එම යොදය වර්ණවත් රසවත් සුගන්ධවත් යොදයක්. හොඳින් නිපදවනු ලැබූ ගිතෙල් වෙඬරු යම් සේද එම රස පොළව එවැනි පැහැයක් ගන්නවා කියලා. එම යොදය මී වදයක් සේ මිහිරියි. මුලින් ලොව ඇතිවන සත්වයින් මේ යොදය කුමක් විය හැකිදැයි සිතා ඇඟිල්ලෙන් යොදය දිව ගා බලනවා. ඔහු එම රසයට ප්‍රිය වෙනවා. ඔහුගේ සිතට මෙම රසය පිළිබඳ තෘෂ්ණාව බැසගන්නවා. මුල් අවස්ථාවේ ඇඟිල්ලෙන් ගෙන රසවිඳි මෙම රස පොළොව එහි රසය කෙරෙහි එම සත්වයින් ඇතිකරගත් තෘෂ්ණාව වැඩිවීම නිසාම එම යොදය සහිත රස පොළව කැබලි කඩාගෙන කෑමට පටන් ගන්නවා. මේ හේතුවෙන් රස පොළොව අතුරුදහන් වෙලා යනවා. මින් අනතුරුව බිම් පපඩම් නැමති රසවත් වර්ණවත් සුගන්ධවත් හතු විශේෂය මහ පොළොවේ පහළ වෙනවා. ගිතෙල්, වෙඬරු, යම් සේ පැහැයක් ගනීද එවැනි පැහැයක් එම හතුවල තිබුණා. එය මී වදයක් මේ රසවත් ආහාරයක්. එම හතු විශේෂයද මනුෂ්‍යයන්ගේ අධි තෘෂ්ණාව නිසාම සකස්කොටගත් ලෝභ ද්වේශ හේතුවෙන් අතුරුදැහන් වී යනවා. ඉන් අනතුරුව බදාලතාව නැමැති පළා විශේෂය මහ පොළොවේ හටගන්නවා. එයද ගිතෙල් පැහැති බොහෝම රසවත් සුගන්ධවත් ආහාරයක්. එම ආහාරයද තෘෂ්ණාවෙන් භුක්තිවඳීමට යාම නිසාම අතුරුදහන් වී යනවා. මීළඟට කුඩු නැති දහයියා නැති සුවඳවත් ඇල්සහල් විශේෂයක් මහපොළොවේ පහළ වෙනවා. මෙම ඇල්සහල් විශේෂය උදේ වරුවේ පහළ වී සවස් වරුවේ අස්වනු ලබා දෙනවා. එම සුවඳවත් ඇල්සහල් විශේෂයද තණ්හාවෙන් අයිතිකරගැනීමට යාම නිසා අතිරික්ත තොග රැස්කරගැනීමට යාම නිසාම මෙම ඇල්සහල්වල අස්වනු ලැබීමේ කාලය ක්‍රමානුකූලව දීර්ඝ වෙනවා. ලෝකය නැවත හටගැනීමේදී රස පොළොවේ ඕජාව නිසාම ස්වභාවිකව මතුවී පැමිණි මේ සියළුම ආහාර මනුෂ්‍යයාගේ තෘෂ්ණාව නිසාම අතුරුදහන්ව ගියාය කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ඉහත ධර්මයට අනුව මනුෂ්‍යයාගේ අධි තෘෂ්ණාව නිසාම වර්තමානයේ ඔබ පය ගසාගෙන සිටින මහපොළොවේ රස ඕජාව සියයට අනූවකින්ම විනාශවී ගොස් අවසන්. ඒ නිසාම මහපොළොවේ හටගන්නාවූ සෑම භෝගයක්ම ප්‍රණීතභාවයෙන් හීනවී, කටුක රසයන් බවට පත්වෙනවා. ඒ නිසාමයි කෘතිම රසකාරක ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ දිනෙන් දිනම ජනප්‍රිය වෙන්නේ. මේ සියල්ල මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ ප්‍රතිථලයන්ය. දුශ්ශීලභාවය නිසාම මනුෂ්‍යයාගේ ආයුෂ හීනභාවයට පත්වෙන්න ඕනේ. දිනෙන් දින ඉහළ යන මනුෂ්‍යය සත්ව හිංසාවන් නිසාම මනුෂ්‍යයා රෝගීභාවයන්ට පත්වෙන්න ඕනේ. මේවා හේතුඵල ධර්මයන්. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව නිසාම රස පොළොව මරාගෙන ජනප්‍රියවෙන කෘතිම රසකාරකයන් මනුෂ්‍යයා රෝගීන් බවට පත්කරවීමේ කොන්ත්‍රාත්තුව හොඳින් භාරගෙන තිබෙනවා. මේවා මනුෂ්‍යයාගේ අකුසල් විසින්ම මතුකොට දෙන ප්‍රවනතාවයන්ය.

ලෝකයේ දියුණුවට පත්වෙන කෘතිම රසකාරක නිශ්පාදන ආහාර ක්ෂේත්‍රයේ දියුණුවක් බවට ලෝකයා උදම් ඇනුවද ධර්මානුකූලව එය විමසීමේදී මනුෂ්‍යයාගේ කර්මය විපාක දීමේ මාරබලයක් බව ඔබට පෙනෙනු ඇත. මනුෂ්‍යයන්ගේ තෘෂ්ණාව නිසාම සිවුවෙන පාරිසරික විනාශයන් වැඩි අසුවනු සඳහා පොහොර කෘමිනාශක කෘතිම වස විස හේතුවෙන් මහ පොළොවේ ස්වභාවික රස ඕජාව මැරී යනවා. මනුෂ්‍යයා තුළ ලෝභ, ද්වේශ, මෝහ අකුසලයන් වැඩිවෙනකොට ඒවාට විපාක දීමට සුදුසු පරිසරයක් තමයි ඉදිරියේදි බිහිවෙන්නේ. මේ කෘතිම රසකාරකයන්ගේ භාවිතයේ අධිභාවය නිසාම රෝගීන් බවට ආයුෂ හීනභාවයට පත්වෙන මනුෂ්‍යයින් ඊට විකල්පයක් වශයෙන් සොයාගෙන යන්නේද තව තවත් අකුසල්ම රැස්වෙන ක්‍රමවේදයන්ය.

මහ පොළොවේ රස ඕජාව මනුෂ්‍යයාගේ තෘෂ්ණාව විසින්ම මරා දමද්දී මනුෂ්‍යයා දිව පිනවීමට උත්සාහගන්නේ අහිංසක සතුන්ගේ මස්මාංශ වලින්ය. වර්තමානයේ ජාත්‍යන්තර ආහාර ක්ෂේත්‍රයේ වඳුරන්ගේ, හරකුන්ගේ, එළුවන්ගේ අමුරුධිරය සහ එම රුධිරයෙන් නිපදවන ආහාරවර්ග වලට විශේෂ ඉල්ලූමක් ඇතිවෙමින් පවතී. එම තිරිසන් සතා පණපිටින් සිටියදීම, එම සතාගේ ශරීරයේ අවයවයන් කපා ඉවත්කොට ‘නැවුම් මස්’ ආහාරයට ගැනීම, නැවුම් සත්ව රුධිරය ආහාරයට ගැනීම ලෝකයේ දියුණුවෙමින් පවතින ආහාර රටාවකි. තෘෂ්ණාව නිසාම මහ පොළොවේ රස ඕජාව මනුෂ්‍යයා මරා දැමුවේ යම් සේද අනාගතයේදී මසු මාංශ සඳහා තෘෂ්ණාවෙන් එම මස් මාංශ අධිකලෙස පිරිභොජනයට ගැනීමෙන් ඉල්ලූමට අනුව සැපයීමට අවශ්‍ය නිසා අනාගතයේදී මසට ගැනෙන තිරිසන් සතුන්ද ඉක්මනින් මසට සකස්කොට ගැනීම සඳහා කෘතිම බෙහෙත් වර්ග, එන්සයිම වර්ග ලබාදීම හේතුවෙන් අනාගතයේදී සත්ව මස් මාංශ වලද රසය හීන වී යනු ඇත. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව හේතුවෙන් වස විස යොදා මහ පොළොවේ රස ඕජාව මරා දැමුවා සේම මස් මාංශවලට ඇති තෘෂ්ණාව නිසාම මසට හදන සතුන්ට කෘතිම බෙහෙත් වර්ග දීමෙන් එම මස් මාංශවලද රසය මරා දැමූපසු අනාගතයේදී මනුෂ්‍යයාට ඉතිරිවන්නේ මනුෂ්‍යයාගේම ලේ බොන්නට මනීමස් කන්නට ඇතිවන ආශාවයි.

ලෝකයේ භෝජනාගාරවල බිහිවන අළුත් නැවුම් ආහාර වට්ටෝරුවල රටාව සත්වයාගේ කර්මය රැස්කිරීමේත් කර්මයන් විපාකදීමේත් කැඩපතක්මය. තිරිසන් සතා ජීවත්ව සිටියදීම පණ පිටින් සිටියදීම එම සතාගේ ශරීරයෙන් පෝෂනයෙන් රසයෙන් වැඩි කොටස් උණු උණුවේ කපා ඉවත්කොට ගැනීමේදී පණ ගැහෙන එම සතාගේ රුධිරය එකතුකොට ගැනීමේදී එම සතා විඳින වේදනාව එම සතා අතීතයේදී කළ අකුසලයන් විපාකදීමක්ය. එම සතා පීඩාවට පත්කරන දුෂ්ශීල මනුෂ්‍යයා විපාක පිණිස අළුත් අකුසලයක් රැස්කරගනී. ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වෙන මනුෂ්‍යයින් තුළින් රුධිරය දකින්න නැවුම් මස් කන්න, අමු රුධිරය බොන්න මේ ඇතිවෙමින් පවතින කැමැත්ත මනුෂ්‍යයා තුළ අනාගතයේදී මෘග සංඥාව ඇතිවීමේ අනතුරු ඇඟවීමයි. දුශ්ශීලභාවය නිසා තිරිසන් සතාගේ නැවුම් මස් කන්න, නැවුම් රුධිරය උණු උණුවේම බොන්න මනුෂ්‍යයා තුළ ඇතිවන මේ ආශාව නිසාම සත්ව ඝාතන සහ සත්ව හිංසාවන්ගේ අතිශය බියකරු අකුසල් විපාකයන් නිසාම අනාගතයේදී මනුෂ්‍යයාට මනුෂ්‍යයාගේම ලේ බොන්නට මිනීමස් කන්නට ඇති ආශාවන් සකස්කොට දෙනු ඇත. මේවා හේතුඵල ධර්මතාවයන්ය. සතුන් මරණ සතුන්ට හිංසා කරන මනුෂ්‍යයින් ඒ නිසාම අකුසල් රැස්කරගන්නා අතර සතුන් නොමරන සතුන්ට හිංසා නොකරන යහපත් මනුෂ්‍යයින් ඒවා කරන දුශ්ශීල අය කෙරෙහි ද්වේශය ව්‍යාපාදය ඇතිකරගෙන අකුසල් රැස්කරගනිති. සතුන් මරණ සතුන් නොමරණ සියළුම දෙනාම මාරයා ඉතා සියුම් ලෙස අකුසලයේ ග්‍රහණයට නතුකොට ගෙන ඇත. ඉහත පාර්ශව දෙකෙන් පිංවත් ඔබ කුමන පාර්ශවයක සිටියද ඔබ තව තවත් අවදානම කරාම යනු ඇත. ලෝකය දිනෙන් දින ගමන් කරන්නේ විකෘතිය කරාය. දුශ්ශීලභාවයේ ඵලයන් තුළින් මේ මතුවී පැමිණෙන්නේ අබුද්ධෝත්පාද කාලයක ඇරඹුම ආසන්නය කියලා හඟවන කසකරුවන්ගේ හඬ බව ඔබ හඳුනා ගත යුතුයි.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ උපත ලබන කොට පස්මහ බැලූම් බලලයි උපත ලබන්නේ. බුදුරජාණන්වහන්සේ උපත ලැබූ ‘කාලය’ නැමති අර්ථය බොහෝම වේගයෙන් විකෘතිභාවයට පත්වීගෙන යනවා. බෝධිසත්වයන් වහන්සේ එදා සුජාතා සිටුදේවියගේ කිරිපිඬු දානය වළඳලා, තම පාත්‍රය ගංගානම් ගෙඟ් පාකරලා අධිෂ්ඨානයක් ඇතිකරගන්නවා තමා සම්බුද්ධත්වයට පත් වේ නම් ‘මේ පාත්‍රය උඩුගංබලා යේවා’ කියලා. බෝධිසත්වයන් වහන්සේට එම අධිෂ්ඨානය ඉටු වන බවට බලාපොරොත්තු ඇති කරලා පාත්‍රය උඩුගං බලා ගියා. නමුත් වර්තමානයේ පිංවත් ඔබ කැළණි ගෙඟ් අඹතලේ කොහිලවත්ත ප්‍රදේශයෙන් උදය කාලයට පාත්‍රයක් පාකරලා හැරියොත්, අනිවාර්ය්‍යයෙන්ම එම පාත්‍රය උඩුගං බලාමයි යන්නේ. උදේ කාලයට මෝය කටෙන් මුහුදු ජලය ගැලීම නිසා ගංගාවේ ජලය උඩු දිශාවටයි ඇදීයන්නේ. ඉන්දියාවේ වේවා ශ්‍රී ලංකාවේ වේවා කොයි ගංගාවේත් වර්තමාන තත්වය ඔහොමයි.

මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ බලවත්භාවය නිසාම ඇතිවූ පාරිසරික විනාශයන් හේතුවෙන්ම ධර්මයේ සන්දිට්ඨික ගුණය දරාගැනීමේ රැකගැනීමේ ශක්තිය ‘කාලයේ’ විකෘතිභාවයන් සමඟ හීනභාවයට පත්වීගෙන යනවා. ධර්මයේ අර්ථයන් හීනභාවයට පත්වීමේ හැකියාව මිස, ධර්මයේ අර්ථයන් අර්ථවත් භාවයට පත්වීමේ ශක්තිය මනුෂ්‍යයා තුළින් ක්‍රමානුකූලව ගිලිහී යන බවට වර්තමාන ‘කාලය’ විසින් පිංවත් ඔබට සාධක සහිතව අනතුරු හඟවා තිබෙනවා. මේ අනතුරුදායක බව දැකීමෙන් පිංවත් ඔබගේ ජීවිතයට එකතුකර ගත හැකි උතුම්ම සම්බුදු වචනය තමයි ‘අප්‍රමාදීභාවය’ කියන වචනය. ඔය එකම වචනයේ අර්ථය තුල ඉහත අනතුර පරාජය කිරීමේ ශක්තිය ගැබ්වෙලා තියෙනවා. ධර්මයේ සන්දිට්ඨික ගුණයේ නාමයෙන් මාරයා පිංවත් ඔබට අතදිගුකොට පෙන්වන ‘පැෂන්’ එකට තෙරුවන් සරණ යාමේ, සිල් සමාදම් වීමේ, දන් දීමේ, සද්ධර්මය ශ්‍රවණය කිරීමේ, තමා තමාටම හෝ තමා අනුනට ලකුණු ලබා දීමේ මනෝභාවයන්ගෙන් මිදී පිංවත් ඔබ ඉදිරියේ ඇති අති භයානක අනතුර නුවණින් දැක අර්ථවත්ව ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරන්න අධිෂ්ඨානයක් ඇතිකරගන්න. භික්ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ ඔබතුළ සංසාර භය සකස්කොට ගැනීම සඳහා පමණක්ම බව සඳහන් කරනවා. මොකද සමහර මනුෂ්‍යයින් කැරපොත්තෙකුට තිබෙන බිය තරම්වත් බයක් සංසාරය කෙරෙහි නැහැ.

සංසාරය කෙරෙහි එවැනි බයක් නැති පිංවත් ස්වාමීන්වහන්සේ නමක් වරක් භික්ෂුවට හමුවුණා ආරණ්‍යයකදී. උන්වහන්සේ මැදිවියේ, කඩවසම්, වස් වැඩි ජ්‍යෙෂ්ඨ ස්වාමීන්වහන්සේ නමක්. උන්වහන්සේට බොහොම ගෞරවයෙන් වන්දනා කරලා තොරතුරු කථා කළා. උන්වහන්සේ ජාත්‍යන්තර සාමව්‍යාපාරවලට සම්බන්ධ සාමය උදෙසා ලෝකයේ දීර්ඝ පාගමන් වැඞ්ය ස්වාමීන්වහන්සේ නමක්. උන්වහන්සේ ප්‍රකාශ කළා මේ දවස් වල ආරණ්‍යය වලට වඞ්න්නේ එර්දියෙන් යන්න අවශ්‍ය මාර්ගය දැන ගැනීමට කියලා. භික්‍ෂුව විමසුවා ඔබ වහන්සේ ඇයි එර්දියෙන් වඩින හැටි සොයන්නේ කියලා. උන්වහන්සේ කියනවා යුරෝපීය ජාතිකයින්ට එර්දිය පෙන්වලා මවිත කරන්නයි මේ පිංවත් ස්වාමීන්වහන්සේ උත්සාහයක නියැලෙන්නේ. ඒත් මේ පිංවත් ස්වාමීන්වහන්සේ දන්නේ නැහැ ඉල්ලන්නේත් සපයන්නෙත් දෙකම කරන්නේ මාරයා බව. එර්දියෙන් යන්නේ කෙසේද යන්න සෙවීම කෙසේ වෙතත් පැවිදි උතුමන් උදෙසා ලොවිතුරා බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ උතුම්ම යාගය වන ප්‍රාතිමෝක්‍ෂ ශිලයෙන් පරිපූර්ණභාවයට පත්වී පංචනීවරණ යටපත්වූ සිල්වත් ජිවිතයක සකස්වන උතුම් සමාධිමත් සිත ප්‍රයෝජනයට ගෙන පිංවත් ඔබට අවශ්‍යනම් රූපි අරූපි ද්‍යාන සකස්කොට ගැනීමටත්, ධර්මයේ අර්ථවත්ම මාර්ගයවන ධ්‍යානයන්ගේද අනිත්‍ය මෙනෙහිකරමින් විදර්ශනා ඥානය දියුණු කරගැනීමටත් මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කොට තිබෙනවා.

උතුම් පැවිදි ජිවිතයක් කියන්නේ දුර්ලභ දෙයක්. භික්‍ෂුව දන්න බොහෝම පින්වන්ත මහත්මයෙක් සිටියා. මොහු වයස 70 පමණ විශ්‍රාමික රජයේ නිලධාරියෙක්. ඒ මහත්මයා පැවිදීවීමට අවස්ථා කිපයකදීම උත්සහ කළද අවසාන මොහොතේ පැවිදිවීම මගහැර ගියා. කෙසේ හෝ අවසානයේ මේ මහත්මයා පැවිදි වෙනවා. නමුත් මාස 3 යි. පැවිදි ජිවිතයේ සිටියේ. විදේශගතව සිටි දරුවා සහ බිරිඳ පැමිණ මෙම ස්වාමීන්වහන්සේව නිවසට කැඳවා උපැවිදි කරනවා. ඔහුත් කැමැත්තෙන්මයි උපැවිදි වෙන්නේ. මෙතරම් වයසට ගිහිල්ලත් විශ්‍රාමික නිදහස් ජිවිතයක් ගතකරලත් උතුම් චිවරයක් දරන්න පින තිබුණේ නැහැ. සංසාරයේ අප විසින් උතුම් පැවිද්ද ලබලා, කළාවූ වැරදි වල විපාකයන්මයි අපි මේ දකින්නේ. ඉහත කාරණයන් තුළින් පිංවත් ස්වාමීන්වහන්සේලා තමා පිළිබඳව තමාම ගෞරවයක් ඇතිකරගන්න ඕනේ. මේ මොහොතේ උතුම් අරිහත් ධජය දරන්නට තමන් විසින්ම සංසාරයේ මොන තරම් කුසල් ධර්මයන් කරන්න ඇතිද කියලා. අප විසින්ම අතීතයේ රැස්කරගත්තාවූ කුසල් ධර්මයන්, වර්තමානයේ අපි අකුසල් සඳහා ප්‍රයෝජනයට ගතහොත් ඉන් ඇතිවෙන්නාවූ ඵලය සංස්කාරයන්ගේ බියකරුභාවය පිළිබඳ අපට පාඩමක් උගන්වන කමටහනක්මය. මේ උතුම් මනුෂ්‍යජිවිතය ලබලා උතුම් පැවිදි ජිවිතයක් ලබලා යම් පිංවතෙක් ශීලයෙන් දුර්වලවෙනකොට භික්ෂුව එය දකින්නේ සංස්කාරයන්ගේම බියකරු අනිත්‍ය ස්වභාවය ලෙසයි. සංස්කාර විසින්ම අපව, ඉහළට ඔසවලා තබලා සංස්කාර විසින්ම අපව ප්‍රපාතයට ඇද දමනවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ ඵලය සුගතිය සහ දුගතිය අතර සත්වයා දෝලනය කිරිමයි.