ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දිනක් මහා සංඝරත්නය පිරිවරාගෙන මගධ ජනපදයේ චාරිකාවේ වඩිනවා. මගධ ජනපදයේ බොහෝම මහේශාක්‍ය ලෙස ජීවත්වෙන කූටදන්ත බ්‍රාහ්මණයා මේ දිනවල විශාල යාගයකට සූදානම් වෙමිනුයි හිටියේ. මෙම කූටදන්ත බ්‍රාහ්මණයාට අයත් උයනේ ලොකු ගවයන් 700ක්, ගොන් නාම්බන් 700ක්, තරුණ වැස්සියන් 700ක් එළුවන් 700ක් බැටළුවන් 700ක් යාගය සඳහා කණුවල ගැටගසා තිබුණා. ඒ කියන්නේ සතුන් 3500ක් යාගය සඳහා සූදානම් කොට තිබුණා. යාගය පවත්වන බ්‍රාහ්මණයන්ගේ ප්‍රභූභාවය මහේශාක්‍යභාවය අනුව යාගයට ගන්නා සතුන් ප්‍රමාණය වැඩි වෙනවා. කූටදන්ත බ්‍රාහ්මණයා කියන්නේ බොහෝම ප්‍රභූ බ්‍රාහ්මණයෙක්. ඒ නිසාමයි යාගය මෙතරම් සරුසාර ලෙස සංවිධානය කොට තිබුනේ. මේ යාගය පැවැත්වීම සඳහා සිව් දිශාවෙන් පැමිණි මිත්‍යාදෘෂ්ඨික බමුණන් 500 දෙනෙක් කූටදන්ත බ්‍රාහ්මණයාගෙන් ආගන්තුක සත්කාර ලබමින් යාගයෙන් අනතුරුව ලැබෙන පඬුරු ලාභ සත්කාර වලට ගිජුව උයනේ නැවතී සිටියා. තමන්ගේ සැපය උදෙසා, තමන්ගේ සතුට උදෙසා අහිංසක සතුන්ව අමු අමුවේ මරා දමා එම සතුන්ගේ මරණීය අඳෝනා තුළින් විමුක්තිය සාක්ෂාත්කරගැනීම මේ සැම දෙනාගේම බලාපොරොත්තුව වුනා. මිත්‍යාදෘෂ්ඨික බමුණන්ගේ පැවැත්ම උදෙසාම එදා සමාජයේ වපුරා තිබූ මෙම කුරිරු සත්ව ඝාතන යාගයන් හේතුවෙන් ලක්ෂ ගනන් සතුන් ඉතාමත් කුරිරු ආකාරයට ජීවිත පූජාකළා.
කූටදන්ත බ්‍රාහ්මණයාගේ අතීත කුසලයක් නිසාදෝ මේ කුරිරු යාගයට පෙරාතුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කළා. කූටදන්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න යන දහස් ගණනින් යන ගම්වැසියන් සමඟ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. යාගය පැවැත්වීම සඳහා පැමිණ සිටි බමුණන් 500 දෙනාම කෙළහලමින් සිටියේ අහිංසක සතුන් 3500ක් දෙනාගේ බෙලි කඩු, මන්න, පිහිය වලින් කපලා ගලායන රුධිරය දැකලා සතුටුවෙන්න. මේ බමුණන්ගේ විරෝධය මැදයි කූටදන්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව බැහැදකින්න ගියේ. එතනදි කකූටදන්ත බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි පිංවතුන්ලාට මෙලොව පරලොව වශයෙන් යහපත සලසා දෙන උතුම්ම යාගය කුමක්ද කියලා. යම් පිංවතෙක් හදවතින්ම තෙරුවණ් සරණ පිහිටුවලා මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්ථාන කරලා පංචසීලය සමාදන් වෙලා ජීවත් වෙනවානම්, එය තමයි මේ ලෝකයේ ඔබගේ විමුක්තිය උදෙසා ඇති ලොකුම යාගය කියලා. මේ උතුම් යාගය යම් ගිහි පිංවතෙක් සිදුකළොත් සතුන් මැරෙන්නේ නැහැ. සතුන්ට හිංසාවක් වෙන්නේ නැහැ. සතුන්ට හිංසාකිරීම නිසා අපාගත වන මිනිසුන් ඇති වෙන්නේ නැහැ. මෙවැනි කුරිරු ආදර්ශයන් සමාජයේ වටිනාකම් බවට පත්වෙන්නේ නෑ කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා කූටදන්ත බ්‍රාහ්මණයා උතුම් තෙරුවණ් සරණ පිහිටියා. ශීලයේ වටිනාකම හොඳින් හඳුනාගත්තා. ඒ මොහොතේම කුරිරු යාගයට සූදානම් කර තිබූ සතුන් 3500 දෙනාම නිදහස් කොට හැරියා. තෙරුවණ් සරණ නිසාම රැස්වීමට තිබූ මහා අකුසල් කන්දක් වැළලී ගියා. යාගය සිදුකිරීමට පැමිණ සිටි බමුණන් 500 දෙනා බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරමින් විසිරී ගියා. අහිංසක සතුන් 3500 දෙනෙකුලේ මරණීය අඳෝනාවන්ගෙන් එම සතුන්ගේ උණුසුම් රුධිරයෙන් සහ කූටදන්ත බ්‍රාහ්මණයාගේ පඬුරු වලින් තෘප්තිමත් වීමට බලාපොරොත්තුව සිටි බමුණන් 500 දෙනා මේ මොහොතේ භවයේ කොතැනක සිටීද යන්න හේතුඵල ධර්මයන්ට අනුව පිංවත් ඔබ සිතා බලන්න ඕනේ. වර්තමානයේ යාගයන් සඳහා බෙල්ල කැපෙන එළුවෙක්, කුකුළෙක් වෙලා මෙම බමුණන් ඉන්න පුළුවන්. කවුරුන් හෝ යාගයක් සිදුකරන්නේ තමන්ගේ පැවැත්ම ආරක්ෂාව සහ විමුක්තිය උදෙසාමයි.
යාගයක් කියන්නේ තිරිසන් සතුන් බිලිදීම පමණක්ම වෙන්නේ නෑ. මනුෂ්‍යයන් බිලිදීමද යාගයක් වෙනවා. මනුෂ්‍යයෝ බිලිදෙන යාගයන් ලෝකයේ හැමදාමත් පැවතුනා. ඒවාට අපි යාගය කියලා නොවේ කියන්නේ යුද්ධය කියලා. යාගයේ නාමයෙන් කෙරුණත් යුද්ධයේ නාමයෙන් කෙරුණත් මේවායින් සතර අපායේ උපතකට ඔටුණු පළඳවන විමුක්තියක් විනා එකම සිතුවිල්ලක සැපයක් උදෙසා ඔටුණු පළඳවන විමුක්තියක්නම් මේවායින් ලැබෙන්නේ නැහැ. අපිට මතක ඇති කාලයේ අපේ රටේත් 1971, 1983, 1989 මෙවැනි යාගයන් කිහිපයක් පැවතියා. උතුරේ ප්රශ්නය නමින් දශක ගණනාවක් දිගු වූ යාගයක් පැවතියා. මෙම යාගයන් හීදි මිනිසුන් දස දහස් ගණනක් මිය ගියා. මරා දැමුණා. ලේ පැහැයට කැමති ශීලයෙන් පිරිහුණු මිනිසුන් මෙවැනි යාගයන් තුළින් බලාපොරොත්තු වූයේ විමුක්තියයි. තෙරුවණ් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් තොරව පිංවත් ඔබ බලාපොරොත්තු වන විමුක්තිය හුදු මායාවක්ම බව ඉහත සෑම යාගයකදීම හොඳින්ම ඔප්පු වුණා.
ඉහත යුද්ධය නැමති යාගයකදී, යාග භූමියකදී ජීවිතය පූජා කළ සටන්කරුවකුගේ නැවත උපතක් භික්ෂුව තම උතුම් සමාධියේදී අරමුණු කොට බලනවා. භික්ෂුවට අරමුණු වෙන්නේ දැවැන්ත සර්පයෙකුගේ කොටසක්. එම සර්පයා භූත සර්පයෙක්. මෙම සර්පයාගේ ශරීරයේ ප්‍රමාණය හොඳින් වැඩුනු කෙසෙල් කඳක ප්‍රමාණයට සමානයි. මෙම සර්පයා මහ පොළවට බද්ධ වෙලා ගිලිලයි සිටින්නේ. මහ පොළොවෙන් ඉහළම මෙම සර්පයාගේ කඳ කොටස අඩි තුනක් පමණ මතුවී තිබෙනවා. සර්පයාගේ ශරීරයේ අග කොටස මහ පොළවට ගිලිලයි තිබෙන්නේ. මේ සර්පයාට තිබෙන්නේ කොටි මූණක්. ඒ කියන්නේ කොටියෙකුගේ මූණක් සර්ප ඇඟක් සහිත මහ පොළවට ගිලූණු සත්වයෙක්. මේ අරුම පුදුම භූත සත්වයා පොළවට බද්ධ වෙලයි සිටින්නේ. එයාට එහා මෙහා යන්න බැහැ. තම භූමිය කෙරෙහි දැඩි තෘෂ්ණාවෙන් මහ පොළවේ අයිතිය උදෙසා මහ පොළව මගේ යැයි උපාදානය කොට ගෙන විනාශකාරී යාගයක් කිරීමේදී රැස්කරගත් බලවත් අකුසල් හේතුවෙන් සහ මියයන මොහොතේ භූමිය කෙරෙහි ඇතිකරගත් උපාදානය හේතුවෙන් ඔහු තෘෂ්ණාවෙන් බැඳුණු භූමිය තුළටම ගල් වූ භූත සත්වයෙක් ලෙස උපත ලබා තිබෙනවා. දැන් ඔහු පොළවට බද්ධවෙලා පොළොව මගේ කොටගෙන වෛරයෙන් ජීවත් වෙනවා. ඔන්න විමුක්තියේ නාමයෙන් ඔහු ලැබූ උතුම් විමුක්තියේ තරම. දුශ්ශීල භාවය තුළින් විමුක්තිය සොයා යන ජාති ආගම් භේදයකින් තොරව කාටවුවද ඉහත කාරණය හොඳ පාඩමක් වෙනවා.
සතුන් බිලිදීමෙන් කරන යාගයකදී වුවද යුද්ධයේ නාමයෙන් කරන යාගයකදී වුවද මේවාට කැමති මේවාට ප්‍රිය මනුෂ්‍යයන් සේම අමනුෂ්‍යයන්ද සිටිනවා. මෙම යාගයන් මෙහෙයවන මනුෂ්‍යයන්ගේ ජීවිත දුශ්ශීලභාවය නිසාම අමනුශ්‍යයන්ගේ ග්‍රහණයට නතුවෙලයි බොහෝ විට තිබෙන්නේ. මේ අයට නිරතුරුව ලේ පැහැයට කැමති ලේ රසයට කැමති අමනුෂ්‍යය කොටස් උපකාර කරනවා. තව තවත් විනාශකාරී තතත්වයන්ට ගොස් තව තවත් අකුසල් රැස්කොට සතර අපායේ තම පිරිවර ජනතාවෙගේ ජනගහණය, වැඩිකරගැනීමට මෙවැනි විෂම අමනුෂ්‍යය කොටස් තමා වටා නිරතුරුව සිටියදී එම මිනිසුන්ට ඵස්සය හේතුවෙන් සකස් වෙන සෑම සිතක්ම අකුසල් වැඩෙන දිශාවටමයි සකස්වෙන්නේ. කූමදන්ත බ්‍රාහ්මණයාගේ යාගයට පැමිණ හිස් අතින් හැරී ගිය බමුණන් 500 දෙනාත් ඉහත අර්ථයන්ට අයත් අයමයි. තෙරුවන් සරණ යාමෙන් සිල්වත් වීමෙන් තොරව කරන කුමන කටයුත්තකදී වුවද ඒවායෙන් සතුටු වන්නේ අකුසලයට කැමති මිත්‍යාදෘෂ්ඨික බලවේගයන් පමණක්ම බව හොඳින් මතක තබා ගන්න. එවැනි මිත්‍යාදෘෂ්ඨික බලවේගයන්ගේ ආශිර්වාදය ඔබ බලාපොරොත්තු වන්නේ නම්, තව තවත් අකුසල් රැස්කරගැනීමේ දිශාවට එම ආශිර්වාදයන් ක්‍රියාත්මක වේවි.
භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙන කොට, එම භික්ෂුවට රෞද්‍ර ප්‍රේතයෙක් දර්ශනය වෙනවා. මෙම ප්‍රේතයා වයස අවුරුදු 25 ක් පමණ තරුණයකුගේ ස්වරූපයෙන් යුක්ත අයෙක්. කොට කළිසමක් පමණක් ඇඳ සිටි මෙම ප්‍රේතයාගේ ශරීරය නිරාවරණවයි තිබුණේ. මේ ප්‍රේතයා යුද්ධයකදී මැරුම්කාපු සන්නද්ධ තරුණයෙක්. මේ ප්‍රේතයා තම ශරීරය පුරාම හිසේ සිට දෙපතුල දක්වාම රුධිරය තවරගෙනයි සිටියේ. මේ ප්‍රේත තරුණයා රුධිරයට, රුධිරයේ පැහැයට, රුධිරයේ සුවඳට බොහෝ කැමැත්තක් දක්වනවා. එය ඔහුගේ පෙර ජීවිතයේදී යුද්ධයේදී ඇතිකරගත් වෛරය නිසාම ඇතිකරගත් ප්රතිඵලයයි ඔහු තුලින් මේ දිස්වන්නේ. භික්ෂුවට මේ ප්‍රේතයා දර්ශනය වන විට ඔහු සිටියේ හරක් මස් කඩයක් අසල. එම හරක් මස් කඩයේ එල්ලා තිබූ රතු පැහැති මස් ගාත් වල තැවරී තිබෙන රුධිරය මෙම ප්‍රේතයාගේ අතේ තවරාගෙන තම ශරීරය පුරාම තවරා ගන්නවා. රුධිරය දැකීමට රුධිරය තවරාගැනීමට දැඩි ආශාවක් මෙම ප්‍රේතයාට තිබෙනවා. මොහු මස් කඩ අසල ගැවසෙමින් සතුන් මරණ යාග පොලවල ඇවිදිමින් මිනිසුන් මරණ යාග පොළවල ඇවිදිමින් සතුන්ගේ ගලා යන රුධිරයෙන් තම අකුසලයේ විපාකය සංසිඳවාගන්නවා.
ඉහත කාරණයෙන් පිංවත් ඔබට හොඳින් වැටහෙනවා ඇති සතුන් මරණ, සතුන් හිංසාකරන, මිනිසුන් මරණ, යාගවලදී ඒවාට ප්‍රිය කරණ ඒවාට ආශිර්වාද කරන ඒවා නිසා සැනසෙන විකෘති අමනුශ්‍යයින්ගේ සැබෑම ස්වභාවය. මනුශ්‍යයාගේ දුශ්ශීලභාවය වැඩිවෙන්න වැඩිවෙන්න ලෝකයේ යාගයන්, ඒ කියන්නේ ඝාතනයන් වැඩි වෙනවා. දුශ්ශීලභාවය තුළින් පෙර ජීවිතයේදී මේ පිංවත් තරුණයා සොයා ගිය විමුක්තිය රුධිර පිපාසිත ප්‍රේත ජීවිතයකට පදනම සකස් කොට දී තිබෙනවා. වර්තමානයේදී ජාති ආගම් භේදයකින් තොරව කිනම් තරාතිරමක කෙනෙක් වුවද දුශ්ශීලභාවයෙන් යුතුව සිදුකරන යාගයන් නිසා ඉහත ආකාරයේ දුක කැකෑරෙන භවයේ උපත් මරණින් මතු සකස් වීම අනිවාර්්‍යය වනු ඇත. ලෝකය, මේ අවිහිංසාව සාමය ගැන කතා කරමින් ගාට ගාටා ඉදිරියට යන්නේ මනුෂ්‍යයා තුල මෘග සංඥාව සකස්වෙන පරිසරයක් කරාය. එදාට මේ මුළු ලෝකයම එකම යාග භූමියක් වනු ඇත. මනුෂ්‍යයා දුශ්ශීලභාවයෙන් තව තවත් ශක්තිමත් වෙන්නේ මේ අනාගත යාග භූමියේ කෲරත්වය තව තවත් තීව්ර කරගැනීම සඳහාය. ඉක්මන් කරගැනීම සඳහාය.