ජීවිතයත්, ධර්මයත් එකක් බවට පත්කොට ගන්න

පින්වත් ඔබ ජීවත්වන සෑම නිමේෂයකදීම, අකුසල් මූලයන් ජීවිතයට එකතුකොට ගැනීමේ ක්‍රියාන්විතයක නිරතවෙලයි සිටින්නේ. පින්වත් ඔබ දානමය පින්කම් සිදුකළත්, සීලමය පින්කමක් සිදුකළත්, භාවනාමය පින්කමක් සිදුකළත්, පන්සලක බෝධිපූජාවක් සිදුකළත්, ලෝභ සිතක්මයි ඇතිකොට ගන්නේ. මගේ පින්කම, මගේ දානය, මගේ සීලය, මගේ සමාධිය මේ සෑම ක්‍රියාවකදීම මගේ ගොඩමයි වැඩිකොට ගන්නේ. සවසකට ප්‍රධාන විහාරස්ථානයකට ගිහින් බලන්න, බෝධීන්වහන්සේ අභියස, බෝධිපූජා තබන සෑම පින්වතෙක්ම බලාපොරොත්තුවෙන්නේ මෙලොවදී ලැබෙන සැපයන්මයි. විභාගය, රැකියාව, විවාහය, අපලය, අගහිඟකම්වලින් මිදීම, අනාගත සැපය, දරු සම්පත් පින්කම්වල නාමයෙනුත් ලෝභ සිත් නිරතුරුවම වැඩෙනවා. පින්වත් ස්වාමීන්වහන්සේ නමක්, තමන්ගේ දායක මහත්මයෙකුට කියනවා, ඔබලාට අවුරුදු ගණනාවක් ධර්මය කියලා දීලා තිබෙනවා. ඔබලා හොඳින් ජීවත්වෙන්නේ මම ධර්මය කියලා දීපු නිසා, එම නිසා ඔබලා සියලුදෙනා එකතුවෙලා මට ගුරු උපහාර පින්කමක් කරන්නය කියලා. ධර්මයේ නාමයෙන් මමත්වයේ දැඩිභාවයම මෝදුකොට ගන්නවා. අනුනටත්, ඒ ආදර්ශයම ලබාදෙනවා.

පින්වත් ඔබ ඔබේ ජීවිතයේ එදිනෙදා කටයුතු ගැන සිහිපත් කරගන්න. පින්වත් ඔබේ නිවසේ තිබෙන, කණ්නාඩි මේසය සිහියට නගාගන්න. එම කණ්නාඩිමේසය නිසා, ඔබ මොනතරම් අකුසල් මූලයන් ජීවතයට එකතුකොට ගන්නට ඇති ද? කණ්නාඩි මේසයමත තිබෙන, පවුඩර් පෙට්ටිය නිසා සුවඳ විලවුන් බෝතලය නිසා, හිස පීරන පනාව නිසා, පින්වත් ඔබ රූපය කෙරෙහි මොනතරම් ලෝභ සිත් ඇතිකොටගන්නට ඇති ද? රූපය කෙරෙහි ලෝභ සිතින්, ඔබ මුහුණේ තවරාග න්නා පවුඩර් ටික, සුවඳවිලවුන් ටික, දහදියට සේදී ගියත් රූපය කෙරෙහි ඔබ ඇතිකොටගන්නාවූ ලෝභ සිත ඔබව භවයට රැගෙන යනවා. පින්වත් ඔබ රසකරමින් අනුභව කරන ආහාරය නිසා, මොනතරම් ලෝභ සිත් ඔබ ඇතිකර ගන්නවාද? රූපය කෙරෙහි තෘෂ්ණාවෙන්, රසය, ගුණය, නිරෝගීභාවය කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ අනුභව කරන ආහාරය අවසානයේ දී නිවසේ වැසිකිලිවලේ තැන්පත් වුවත් එම ආහාරය නිසා සකස් වූ ලෝභ සිත ඔබව භවයට රැගෙන යනවා. පින්වත් ඔබ ලෝභ සිතින් අල්මාරියේ තැන්පත්කොට තිබෙන, වටිනා ඇඳුම් පැළඳුම් යම් දවසක දිරා අවපැහැගන්වී ගියද, එම ඇඳුම් පැළඳුම් නිසා සකස්කොටගත් ලෝභ සිත, ඔබව භවයට රැගෙන යනවා. අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් නොදැකීම නිසාම අනිත්‍ය වූ වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය, අනිත්‍ය වශයෙන් නොදකින නිසාම, රූපය ඇසුරින් ඔබ සකස්කොටගන්නා සෑම සිතුවිල්ලක්ම අකුසල් මූලයන් බවටයි පත්කොටගන්නේ.

පින්වත් ඔබ මේ පිනවීමට උත්සාහ දරණ ඇස, කන, නාසය, දිව, ශරීරය මනස කියන්නේ කුමක්ද? බුදුරජාණන්වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේදී ආයතන හය සළායතන වශයෙනුයි හඳුන්වන්නේ. සළායතන ඉපදුනේ නාමරූප ධර්මයන් හේතුවෙන්, නාමරූප ධර්මයන් සකස්වුණේ විඤ්ඤාණය හේතුවෙන්, විඤ්ඤාණය සකස්වුනේ සංස්කාර හේතුවෙන්, සංස්කාර සකස්වුණේ අවිද්‍යාව හේතුවෙන්, අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම, දැන් පින්වත් ඔබ නුවණින් මෙනෙහිකොට බලන්න, ඔබේ ඔය ඇස කියන්නේ, කන කියන්නේ නොදන්නාභාවය නිසා ඉපදුන දෙයක්, අසත්පුරුෂ ආශ්‍රය නිසා, පංචනීවරණ ධර්මයන් නිසා ඉපදුන දෙයක්. නොදන්නාභාවය ඇසේ ඉපදීමට හේතුවුණා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන ව්‍යාධි ධර්මයන් ඇස ඉපදීමට හේතුවුණා. මේක පවුකාර ඇසක්, පවින් උපන් ඇසක්, කාමච්ඡන්දයට අයිති ඇසක් නිදිමතට අයිති ඇසක් විසිරෙන සිතට හේතු බීජයන් සකස්කොට දෙන ඇසක්, සැකයට හේතු බීජයන් සකස්කොට දෙන ඇසක්, පින්වත් ඔබ ඇස ඉහත ආකාරයට කමටහනක් කොටගෙන ඇස නිසා, රූපය නිසා අකුසල් මූලයන් ඇතිකොටගන්න එපා.

පටිච්චසමුප්පන්නව ඉපදුන අතීත ඇස නිසා අතීත රූපයන් නිසා පින්වත් ඔබ ලක්ෂ වාරයක් හිස්ගැසුම් කන්නට ඇති. ලක්ෂ වාරයක් එල්ලූම්ගස් යන්නට ඇති. ලක්ෂ වාරයක් යුධ කෝලහාලවලට මැදිවී මැරුම් කන්නට ඇති. නොදන්නාභාවය නිසාම, උපන් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස දුකක්, දුකට හේතුවක්, එම නිසාම පින්වත් ඔබ ඇසෙන් රූපයක් දැකලා එම රූපයට ඇලෙන්න ගැටෙන්න එපා. කනෙන් ශබ්දයක් අසලා එම ශබ්දයට ඇලෙන්න ගැටෙන්න එපා. පින්වත් ඔබ මුලසිට උපේක්ෂාව තුලට ජීවිතය ගන්න. දෙවැනිව රූපයක් ඇසුරෙන් සැප වේදනාවක් දැනෙනකොට අනිත්‍ය කියලා දකින්න.

දුක්වේදනාවත් දැනෙනකොට අනිත්‍යයි කියලා දකින්න. පින්වත් ගිහි පින්වතුන්ලා ධර්මයට බියෙන් ජීවිතයෙන් පලායන්න එපා. විඳීම්වල අනිත්‍යභාවය දකිමින් ජීවිතය බුක්තිවිඳින්න. එවිට ජීවිතයත් ධර්මයත් දෙකම එකක් වෙනවා. එසේ නොවුන තැනදී ජීවිතයත් අධර්මයත් එකක් බවටයි පත්වෙන්නේ. ජීවිතයත්, ධර්මයත් එකක් බවට පත්කරගත්ත පින්වතෙක් භික්ෂුවව මුණගැසුණා. ඔහු ඈත ගමක ජීවත්වෙන වෙදමහත්මයෙක්. තමන් කරන වෙදකමට මුදල් අයකරන්නේ නැහැ. රෝගියා කැමැත්තෙන් දුන්නොත් මුදලක් ගන්නවා. මෙය සටහන් තබන භික්ෂුවගේ සුවවීම ප්‍රමාදවෙමින් පැවැති ඇඟිල්ලක ආබාධයකට ඒ වෙදමහත්මයා කළ ප්‍රතිකාරයෙන් ඇඟිල්ල සුවපත්වුණා. අද උදේ, කුටියේ කැපකරු මහත්මයා, වෙද මහත්මයා ලබාදුන් බෙහෙත් පත්තුව ඇඟිල්ලේ බඳිනකොට භික්ෂුව එම මහත්මයාගෙන් විමසුවා, කුමකින්ද ඔය බෙහෙත් පත්තුව හැදුවේ කියලා. එවිට කැපකරු කියනවා, උඳු, ගම්බිත්තර සහ මී පැණි එකතුකරලයි පත්තුව හැදුවේ කියලා. භික්ෂුව එතකොටයි දැනගන්නේ සිංහල වෙදකමට ගම් බිත්තරත් ගන්නවාය කියලා. බෙහෙත් පත්තුව ඇඟිල්ලට බඳිනකොට භික්ෂුවට සිතුනා, මේ වෙදමහත්මයා නිර්මාංශ පින්වතෙකුට ගම් බිත්තර පත්තුව බැන්දානම් කුමකින් කුමක් සිදුවේවිද කියලා. ගම්බිත්තර බෙහෙත් පත්තුව තුලත් කුකුළෙක් බිත්තරයක් දැකලා හරිම ජංජාලයක් වෙනවා.