සංස්කාරයන්ගේ ඵලයක් වූ දෙවියන්, කොහොමද අනුනගේ සංස්කාරයන් වෙනස් කරන්නේ?

පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන්වහන්ස, රටක් සෞභාග්‍යමත් කිරීමට දෙවියන්ට හැකි ද කියලා. රටක් සෞභාග්‍යමත් කිරීමට හෝ රටක යුධමය විනාශයන් නැවැත්වීමට දෙවියන්ට බැහැ. දෙවියා කියන්නෙත් සංස්කාරයන්ගේ ඵලයන්, සංස්කාරයන්ගේ ඵලයක්වූ දෙවියන් කොහොමද අනුනගේ සංස්කාරයන් වෙනස් කරන්නේ. රටක යුධමය පරිසරයක්, උදාවෙනවාය කියන්නේ රටේ ජනතාවගේ අකුසල් විපාකයන්ගේ ඵලයන්. ජනතාව කියනකොට පාලක පින්වතුන්ලාත් ගැනෙනවා. රටක සාමකාමී පරිසරයක් උදාවෙනවාය කියන්නේ ජනතාවගේ කුසල් සංස්කාරයන්ගේ ඵලයන් මේවා දෙවියන් කරන දේවල් හෝ දෙවියන්ට වෙනස්කළ හැකි දේවල් නොවේ.

අනාගතයේ දිව්‍යතලවල දෙවියන් අධාර්මික වුනොත් එම හේතුව නිසාම දෙවියන්ගේ අකුසල් පක්ෂය වැඩි වී එම අකුසල් විපාකයන් නිසාම දැනට තව්තිසාවේ වැඩසිටින සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත්කොට ගත්, ශක්‍ර දෙවියන් ව එම තනතුරින් චුතවී අනාගාමී බ්‍රහ්මතලයන්ට එසේත් නැතිනම් නිවන් අවබෝධය ලබා ලෝකයෙන් පිරිනිවීයන්නත් පුලුවන්. සෝවාන්ඵලයට පත් වර්තමාන ශක්‍ර දේවියන්ගේ චුතවීමෙන් හිස්වෙන, තව්තිසාවේ ශක්‍රදෙවි තනතුරට අධාර්මික, කාමයන්ට ලැදි, අකුසලයන්ට ගැලපෙන අලූත් ශක්‍ර දෙවියෙක් පත්වේවි. මේ සියල්ල සිදුවෙන්නේ සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයන්ට අනුවමය.

පින්වත් ඔබේ රටට සාමකාමී පරිසරයක් අවශ්‍යනම්, අනිවාර්යයෙන්ම රටේ ජනතාව ජාති ආගම් භේදයකින් තොරව, ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන්ගෙන් බැහැරව මම කියන දෘෂ්ඨියෙන් මිදී අපි හැටියට සිතමින් සාමූහිකව කටයුතුකළොත්, ධාර්මික ජීවිත ගතකළොත්, එම කුසල් සංස්කාරයන්ට අදාළව සාමකාමී පරිසරයක් සමාජයට උරුමවෙනවා ඇත. මේ සියල්ල සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයන්. සංස්කාරයන්ට අදාළවයි මනුෂ්‍යයාගේ ප්‍රචණ්ඩත්වයට හෝ සාමකාමීබවට අදාළ විශේෂවූ දැනීම් ”විඤ්ඤාණය” සකස්වෙන්නේ.

රටක දීර්ඝකාලීන යුධමය ගැටුම් ඇති වී විනාශයන්, මනුෂ්‍ය ඝාතන, ප්‍රචණ්ඩත්වය වැනි ක්‍රියාවන් බහුලවෙනකොට, රටේ ජනතාව මරණබිය නිසාම මමත්වයේ දැඩිභාවය සියුම්කොටගෙන ”අපි” කියන, අනුන්ගැන සිතන, පොදු මතයකට එනවා. රටට සෙත්පතා සාමූහිකව පින්කම් කරනවා, ආරක්ෂක හමුදාවන්ට සෙත්පතා පින්කම් කරනවා, ලේ බැංකු ඉදිරියේ දහස්ගණන් පෝලිම් ගැසී ලේ දන්දෙනවා, අනුන් උදෙසා බෝධිපූජා පවත්වනවා, සර්ව රාත්‍රික පිරිත් පින්කම් සිද්ධ කරනවා. ආගම් භේදයකින් තොරව ජනතාව කණ්ඩායමක් වශයෙන් මමත්වය සියුම්කොට ගනිමින් අපි කියන තැනට ඇවිත් කටයුතු කරනවා.

ඒ වගේමයි රටක යුධමය ගැටුම් හේතුවෙන්, මරණබිය නිසාම රටේ සිදුවන දරුණු වියරු ප්‍රචණ්ඩත්වය නිසාම, දේපල විනාශයන් නිසාම, ළමා, තරුණ, මහලු භේදයකින් තොරව සිදුවන හිංසනයන් නිසාම සමාජයේ ජීවත්වන මනුෂ්‍යයින් තුල අනිත්‍ය සංඥාවන් වැඩෙනවා. සිතා ගන්න බැරි මනුෂ්‍ය ඝාතන සිද්ධවෙන කොට, සිතාගන්න බැරි දේපල විනාශයන් සිද්ධවෙනකොට, මරණබිය නිසාම මනුෂ්‍යයා තුල අනිත්‍ය සංඥාවන් මතු වී එනවා. ජනතාව තුල අමෝහයට අදාළ ධර්මයන් වැඩෙනවා. අනිත්‍ය සංඥාවන් වැඩීම තුල සකස්වෙන අමෝහය නිසා මමය, මගේය කියලා මමත්වයේ දැඩිභාවයෙන් ගන්නා වූ ලෝභ සිත් සියුම් වෙනවා. ඒ නිසාම ද්වේශය හීනවෙනවා. මේ සියල්ල අවබෝධාත්මකව වෙන දේවල් නොවේ, සමාජය තුල ක්‍රියාත්මකවෙන මරණ බිය නිසාම ඇතිවෙන ප්‍රතික්‍රියාවන්. නමුත් බහුතරයක් මනුෂ්‍යයින් තුල අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන් වැඩෙනවා. යුධමය තත්වයන් නිසා හෝ මරණබිය නිසා හෝ මනුෂ්‍යයා තුල අනිත්‍ය සංඥාවන් වැඩෙනවා කියන්නේ, වර්තමානයට අදාළව ශක්තිමත් කුසලයක්. යුධමය හේතූන් නිසා සකස්වෙන විනාශකාරීත්වයේ ඵලයන් හැටියට, බහුතරයක් ජනතාවගේ සිත් තුල කුසල් පක්ෂය ශක්තිමත් වෙනකොට එම කුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයේ හේතුඵල ධර්මයන් නිසාම, එම යුධමය පරිසරයන්, ගැටුම්කාරී පරිසරයන් අවසන්කොට දැමීමට සුදුසු ශක්තිමත් නායකයින් පහළ වෙනවා. රටක අර්බුදකාරී යුධමය තත්වයන් තාවකාලිකව හෝ විසඳා ගැනීමට සුදුසු නායකයින් රටක පහළ වෙන්නේ, ජනතාව තුල වැඩෙන, කුසල් සංස්කාරයන්ගේ හේතුඵල ධර්මථාවයන් නිසාමයි.

නමුත් දීර්ඝ, අමිහිරි, කටුක, අර්බුදකාරී යුධමය තත්වයන් අවසන් වී සාමකාමී තත්වයත්, පරිසරයත්, සමාජය තුල උදාවුනාට පස්සේ රටේ ඇතිවෙන නිදහස් සාමකාමී පරිසරය නිසා, සමාජයේ මරණබිය, ප්‍රචණ්ඩත්වයේ බිය, පහවයනවා. ජනතාව තුල මරණබිය පහව ගිය විට ජනතාව නැවතත්, ”අපි” කියන පොදු කණ්ඩායම් හැඟීමෙන් මිදී ”මම” කියන මමත්වයේ දැඩිභාවය වර්ධනය කොටගන්නවා. මරණ බිය පහවී ගිය, සාමකාමී වාතාවරණය යටතේ මනුෂ්‍යයා දැන්, රටට ජනතාවට සෙත්පතා පොදුවේ පින්කම් කරන්නේ නැහැ, ආරක්ෂක හමුදාවන්ට සෙත්පතා පින්කම් සිදුකරන්නේ නැහැ, අනුන් උදෙසා බෝධීන් වහන්සේලා අභියස රැස්වෙමින් බෝධිපූජා පවත්වන්නේ නැහැ. ලේ දන්දෙන්න පරිත්‍යාගශීලීත්වයෙන් දහස්ගණන් පෝලිම් ගැසෙන්නේ නැහැ. අපි කියන පොදු අර්ථයෙන් බැහැර වෙලා, මම, මගේ පවුල කියන අර්ථයන් ශක්තිමක්කොට ගන්නවා. සෑම පින්වතෙක්ම අනුන් ගැන නොසිතා, නොසොයා, තමාගේම ගොඩ ශක්තිමත් කිරීමේ ව්‍යායාමයක යෙදෙනවා. මනුෂ්‍යයා තුල මමත්වයේ දැඩිභාවය වර්ධනය වෙනවා කියන්නේ, ලෝභීබව වැඩිවෙනවා. ලෝභය නිසාම ද්වේශය වර්ධනය වෙනවා. මරණබිය පහවී ගොස් සමාජය සාමකාමී වෙනකොට ජනයාට මරණබිය, මළකඳන්, ප්‍රචණ්ඩත්වය අත්නොවිඳින නිසා ජනතාව තුල අනිත්‍ය සංඥාවන් දශමයකින්වත් වැඩෙන්නේ නැහැ. වැඩිහිටියන් මුදල් පසුපස හඹායනවා, දරුවන් අධ්‍යාපන ඉලක්කයන් පසුපස හඹායනවා, මුදල් තිබෙන මනුෂ්‍යයින් කාමයන් පසුපස හඹායනවා, මුදල් නැති මනුෂ්‍යයන් අහිංසකයින් ගොදුරුකොට ගැනීමට හඹායනවා, තරුණ පින්වතුන් මෝස්තර පසුපස හඹායනවා. කිසිම මනුෂ්‍යයෙක් තුල අනිත්‍ය සංඥාවන් වැඩෙන්නේ නැහැ. බහුතරයක් ජනතාව නිත්‍ය සංඥාවන් පසුපස යමින් කාමයන්ම වඩමින් සුවසේ ජීවත්වෙනවා. මේ ජනතාව තුල වැඩෙන නිත්‍ය සංඥාවන් නිසා නැවත යුධමය තත්වයන් ගැන ජනතාව සිහිනයක්වත් දකින්නේ නැහැ. සාමකාමී පරිසරයක් තුල මනුෂ්‍යයාගේ ලෝභ, ද්වේශ, මෝහ අකුසලයන් බුර බුරා මෝදු වී එම අකුසලයන්ගේ හේතුඵල ධර්මයන් හැටියට, අනාගතයේ නැවත සමාජ අර්බුදයක් ඇති වී, ජනතාවට නැවත මරණබිය ප්‍රචණ්ඩත්වය හරහා අකුසල් විපාකයන් ලබාදෙනවා. රටේ ජනතාවගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සකස්වෙන, කුසල්, අකුසල් සංස්කාරයන්ගේ ඵලයන් හැටියට, තට්ටුමාරු ක්‍රමයට ලෝකයට, රටට යහපත සහ අයහපත, යුද්ධය සහ සාමය උදාකොට දෙනවා. මෙම ක්‍රියාන්විතය ලෝකය හටගත් දා පටන් පැමිණෙන ධර්මථාවයක් වෙනවා.

පින්වත් ඔබ මේ සටහන කියවා ඔබේ හෘද සාක්ෂියට තට්ටු කොට අසන්න, රටේ යුධමය ගැටුම් උග්‍රව පැවැති අවධියේ, ඔබ තුල වැඩුණු, අනිත්‍ය සංඥාවන් දැන් ඔබ තුල වැඩෙනවාද කියලා. එදා ”අපි” කියන අරමුණෙන් පින්කම් කරපු අපි, අද ”අපි” කියන අරමුණෙන් පින්කම් සිදුකරනවාද කියලා. මරණ බිය පහව ගිය සමාජයක මෝදුවෙන මමත්වයේ දැඩිභාවය, අකුසල් කඳු නැවත නැවත මෝදු කොට දෙනවා.

පින්වත් ඔබ දක්ෂවෙන්න යුද්ධයත්, සාමයත් යන දෙකම මාරයාට අයත් ධර්මථාවයන් දෙකක් බව හඳුනාගන්න. යුද්ධයත්, සාමයත්, දෙකම හටගන්නේ මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධ මාරයා තුලින්මයි. පින්වත් ඔබ සාමය ඉදිරියේ සතුටින්, බලාපොරොත්තු සහගතව ජීවත්වුනත් පින්වත් ඔබ නුවණින් තේරුම්ගත යුතුයි සාමය තුලදියි, මාරයා යුද්ධයකට අවශ්‍ය සාධක සකස්කොට ගන්නේ. යුද්ධයකට අවශ්‍ය සාධක තමයි විනාශකාරීත්වයේ ප්‍රචණ්ඩත්වයේ මූල බීජය තමයි, ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්. යුද්ධය වගේම උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය නොවූ සාමය තුලත් භයානක අනතුරුදායකභාවයක් සැඟවී තිබෙනවා. එම නිසා පින්වත් ඔබ යන්නන් වාලේ, අත්වැල් අල්ලාගෙන, විනාශයකරා නොගොස් තනි තනිව හෝ උතුම් සද්ධර්මයේ අර්ථයන් ජීවිතය තුලට ගොනුකොට ගැනීමට දක්ෂවෙන්න. සාමයට රැවටෙන්නා යුද්ධයට කොටුවෙනවාය කියන කාරණය ධර්මථාවයක්. පින්වත් ඔබ සමාජය තුල ඇති වී තිබෙන්නා වූ සාමයට නොරැවටී මේ මොහොතේ ඔබේ සිතේ ඇවිලෙන මමත්වයේ ලෝභ, ද්වේශ, මෝහ යුධගිනිදැල් අවම කොටගන්න දක්ෂ වෙන්න. මම කියන මමත්වයේ දැඩිභාවයෙන් මිදී අපි කියන සහෝදරත්වයෙන්, කුසල් මූලයන් ශක්තිමත්කොට ගන්න දක්ෂ වෙන්න.