සීලය අර්ථවත් වීමටනම්, ඊට ඉහළින් ප්‍රඥාව තිබිය යුතුමයි

පින්වත් ඔබ කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුලින් ඇතිකොට ගන්නා වූ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අයත්වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ග අංගයවන සම්මාදිට්ඨියට. අනුවණභාවයට එරෙහිව, නුවණැතිභාවයට ගොඩවෙන මුල් පියවර සම්මා දිට්ඨියයි. භවයේ සැපය උදෙසා වගේම භවගමනේ නිරෝධය උදෙසා, සම්මා දිට්ඨියේ ඇති වැදගත්භාවය නිසාම අති ප්‍රබල අනුවණ ලෝකයෙන් මිදී නුවණැති ලෝකයට ගොඩවන්නට උපකාරවන නිසාම, සම්මා දිට්ඨියත්, සම්මා දිට්ඨිය හේතුවෙන් සකස්වෙන සම්මා සංකප්ප කියන ධර්මථාවයන් බුදුරජාණන්වහනසේ පණවන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රඥාවට අදාළ අංගයන් දෙක හැටියට. සමහර පින්වතුන්ලා ප්‍රශ්න කරනවා, ප්‍රඥාවට අදාළ අංගයන් දෙකක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මුලට එන්නේ කොහොමද කියලා. බුදුරජාණන්වහන්සේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දේශනා කොට ඇති ධර්මමාර්ගයේ ප්‍රඥාවට අදාළ අංග දෙක වන සම්මා දිට්ඨියත්, සම්මා සංකප්පයනුත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මුලට පැමිණීම ගැනයි මේ ප්‍රශ්නය සමහර පින්වතුන් නගන්නේ. මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න නම් පින්වත් ඔබ සම්මා දිට්ඨියට පත්වෙන්නට අවශ්‍යයි. මේ ප්‍රශ්නය පින්වත් ඔබ නිවැරදිව තේරුම් ගන්නෙත් ඔබ සම්මා දිට්ඨියට පත් වූ කෙනෙක් නම් පමණක්මයි. සීලයත් ආර්ය සීලයත්, සමාධියත් ආර්ය සමාධියත්, ප්‍රඥාවත් ආර්ය ප්‍රඥාවත් කියන අර්ථයන්, පින්වත් ඔබ නිවැරදිව තේරුම් බේරුම් කොටගත් තැනදී, ඔබට ඔය ප්‍රශ්නය විසඳාගන්න පුලුවන්.

පෙර සටහනේ, භික්ෂුව සඳහන් කළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පොත ප්‍රතික්ෂේප කළ පින්වත් මහත්මයා, සිල්පද පහ හොඳින් ආරක්ෂා කොටගන්නා පින්වතෙක්. ඒ කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලයට අයත් අංග තුන ආරක්ෂා කොටගෙන ජීවත්වන පින්වතෙක්. සීලයෙන් එම පින්වතා පරිපූර්ණ වුවත් ඔහු තුල සම්මා සංකප්පයන් වැඩිලා නැහැ. එම පින්වතා ධර්මරත්නය කෙරෙහි කිසිඳු ගෞරවයකින් තොරව ධර්ම පුස්තකය ප්‍රතික්ෂේප කරන්නේ, සංඝරත්නය කෙරෙහි කිසිඳු ගෞරවයකින් තොරව සද්ධර්මය විකෘති කරනවාය කියලා සංඝරත්නයට චෝදනා කරන්නේ, තමන්ට එම ධර්ම පුස්තකය පූජාකළ තම හොඳම හිතවතාගේ සිත රිදෙයි කියලාවත් නොසිතා එම පොත දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ. තම බිරිඳ එම ධර්ම පුස්තකය කියවනවාටත් ඔහු අකමැති වෙන්නේ ඔහු සීලයෙන් පරිපූර්ණ වූවත් සම්මා සංකප්පයන්ගෙන් දුර්වල නිසාමයි. ඔහුගේ සීලය සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ නිසාමයි. සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවීමට හේතුවන්නේ ඔහු සම්මා දිට්ඨියෙන් දුර්වල වීමයි.

ඉහත කාරණා තුලින්, පින්වත් ඔබට වැටහෙනවා ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සීලයට අදාළ අංග තුනට ඉහළින්, ප්‍රඥාවට අදාළව සම්මා සංකප්පයන් සහ සම්මා දිට්ඨිය බුදුරජාණන්වහන්සේ පනවන්නේ නිවැරදි සම්බුද්ධ දේශනාවන්ට අදාළව, ධර්ම මාර්ගය හඳුනාගැනීමට ධර්ම මාර්ගය ජීවිතයට එකතුකොට ගැනීමට, ප්‍රඥාව කියන අර්ථය තිබිය යුතුම නිසාමය. ප්‍රඥාවට අදාළ අංග දෙකවන සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ සීලය දෘෂ්ඨිගත සීලයක් වශයෙනුයි පින්වතුන් තුල වැඩෙන්නේ. නමුත් මෙතනදී ප්‍රඥාව කියන්නේ, විදර්ශනා නුවණින් පෝෂණය වූ ආර්ය ප්‍රඥාව නොවේ. කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුලින්, සද්ධර්ම ශ්‍රවණය තුලින්, නුවණින් මෙනෙහි කිරීම තුලින් සකස්කොට ගන්නා ලෞකික ප්‍රඥාවයි. ලෞකික ප්‍රඥාව කියන කාරණය පින්වත් ඔබ වචන කෙරෙහි පැටලෙන්නේ නැතිව, කරුණාවෙන් මෙසේ තේරුම් ගන්න උත්සාහ ගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කොටගත් පින්වතෙක් සිටිනවා, නමුත් ඔහු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිලා නැහැ. මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති පින්වතා තුල සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ අර්ථයන් වැඩිලා තිබෙන්නේ. ඒ කියන්නේ ලෞකික ප්‍රඥාවට අදාළ ධර්මයන් වැඩිලා තිබෙන්නේ. නමුත් මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති පින්වතා, අසත්පුරුෂ ආශ්‍රයට වැටිලා පිරිහිලා යනවා. මොකද වුණේ මෙතනදී? ඔහු තුල වැඩී තිබූ ලෞකික ප්‍රඥාව පිරිහුනා. වෙනස්වෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවයි. නොවෙනස්වන ප්‍රඥාව ආර්ය ප්‍රඥාවයි. නමුත් මේ ලෞකික ප්‍රඥාව, පින්වත් ඔබට මේ දෘෂ්ඨි මතවාදවලින් ඔද්දල්වූ පංචඋපාදානස්කන්ධ ලෝකය තුල නිවැරදි ධර්ම මාර්ගය, පින්වත් ඔබට විවෘතකොට දෙනවා. ඉහතින් භික්ෂුව සටහන් කළ ලෞකික ප්‍රඥාව අසත්පුරුෂ ආශ්‍රය, පංචනීවරණ ධර්මයන් නිසා පිරිහීමට පත්වෙනවා. නමුත් පින්වත් ඔබ නිවැරදි කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබමින්, සද්ධර්මය නුවණින් මෙනෙහිකිරීමට ඇති දක්ෂභාවය තුලින්, මේ ලෞකික ප්‍රඥාව, පින්වත් ඔබව ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල පරිපූර්ණ භාවයට පත්කරනවා. සම්මා දිට්ඨිය තුලින් ලෞකික ප්‍රඥාව මෝදුකොටගෙන, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කොටගෙන සම්මා සතිය, සම්මා සමාධිය, පරිපූර්ණ පින්වතා තුල ආර්ය ප්‍රඥාව මෝදුවෙනවා. මේ ආර්ය ප්‍රඥාව කියන්නේ විදර්ශනා නුවණ මුසු වූ නොවෙනස්වන ප්‍රඥාවයි. ඔහු ලෞකික ප්‍රඥාව තුලින් මෝදුකොටගත් ආර්ය ප්‍රඥාවෙන් සමස්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගයම, විදර්ශනා නුවණින් දකිමින් අවබෝධ ඥාණයන් සකස්කොට ගන්නවා. ඉහත කාරණා තුලින් පින්වත් ඔබ තේරුම්ගන්න ඕනේ, ලෞකික ප්‍රඥාවේ ඵලයයි ආර්ය ප්‍රඥාව කියන කාරණය. කල්‍යාණමිත්‍ර ආශ්‍රය ඔස්සේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුල්වීමේ දොරටුව, ලෞකික ප්‍රඥාවේ අර්ථයෙන් පෝෂණය වන අතර ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණකොටගත් පින්වතා, අවබෝධ ඥාණයන්ගෙන් පරිපූර්ණ නොවෙනස්වන ආර්ය ප්‍රඥාවේ උරුමය ලබාගන්නවා. සටහනේ ඉහතින් සටහන් කළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පොත ප්‍රතික්ෂේප කළ පින්වතා තම බිරිඳගේ උපක්‍රමශීලීභාවය හමුවේ, බිරිඳ හඬනගා කියවූ ධර්ම කරුණු නුවණින් විමසා, ලෞකික ප්‍රඥාව මෝදුකොටගත්තා. නමුත් මේ ලෞකික ප්‍රඥාව පිරිහෙනවා. පසුගිය සතියේ පොත් පනහක් ගෙන්වා ගන්න එම පින්වතා නැවතත් එම පොත ද්වේශයෙන් විවේචනය කොට ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පින්වතුන්ලා අවතීර්ණ කරන ලෞකික ප්‍රඥාවේ ස්වභාවයන්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කිරීමෙන් ලබන, ආර්ය ප්‍රඥාවන් යනු අර්ථයන් දෙකක් බව පින්වත් ඔබට ඉහත සටහනින් වැටහී යනු ඇත.