නියඟයත්, ගංවතුරත්, දුස්සීලභාවයේම ඵලයන්

භික්ෂුව මේ වස් කාලයේ වැඩ සිටින ගම්මානයට නිරතුරුවම වැසි වැටෙනවා, ගමේ පින්වත් දායක මහත්මයෙක් ප්‍රකාශ කළා, රටේ සෑම ප්‍රදේශකයකටම මේ වැස්ස පවතිනවා කියලා. පසුගිය අවුරුද්දෙ වස් කාලය, මේ ගම්මානවලට දැඩි නියගයක් ඇතිවෙලා තිබෙනවා. පසුගිය වස්කාලයේ මේ ගම්මාන වලට නියං සහනාධාර පවා බෙදාදීලා. ගම්මානවල පැරණි මනුෂ්‍යයින්ටත් සිතාගන්න බැරි විදිහට දේශගුණික තත්වයන් වෙනස් වෙනවා. පරිසරයේ ක්‍රියාකාරකම් චංචල වෙලා. රටේ දේශගුණික තත්වයේ චංචලභාවය ගැන ලියනකොට මනුෂ්‍ය සමාජයේ ජීවත්වන මනුෂ්‍යයන් තුල ඇතිවෙන ඉන්ද්‍රිය අසංවරභාවය ගැන භික්ෂුවගේ මතකයට ආවා. සමාජය තුල ඇණකොටා ගැනීම්, දූෂණය කිරීම්, මිනීමරාගැනීම්, හදිසි අනතුරු බොහෝම සීඝ‍්‍රයෙන් වැඩිවෙනවා. ඒ කියන්නේ මනුෂ්‍යාගේ ඉන්ද්‍රිය අසංවරභාවය වැඩියි. ඉන්ද්‍රිය අසංවරභාවය වැඩිවෙන්නේ මනුෂ්‍යයා තුලින් සිල්පද බිඳීම් වැඩිනිසා. මනුෂ්‍යයා තුලින් සිල්පද බිඳීම් වැඩිවෙනවාය කියන්නේ සමාජය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ආර්්‍යය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථයන් දුර්වලකොටගෙ නයි ජීවත් වෙන්නේ. ඇයි මනුෂ්‍යයාගේ සම්මා වාචාවන් දුර්වල වෙන්නේ. මනුෂ්‍යයා සම්මා සංකප්පයෙන් දුර්වලයි. මනුෂ්‍යයා තුලින් සීලයට අදාල අකුසල් වැඩිවෙනකොට මනුෂ්‍යයා තුලින් අවිහිංසාව, අව්‍යාපාදය, නෙක්ඛම්ම සංකප්පයන් දුර්වල වෙනවා. මේ සියල්ලටම හේතුව සම්මා දිට්ඨියේ දුර්වලභාවයයි.

සම්මා දිට්ඨියේ දුර්වලභාවය තමයි සමාජය තුල ඇති වී තිබෙන්නාවූ ජනතාවගේ ඉන්ද්‍රිය අසංවරභාවය, ජනතාවගේ ඉන්ද්‍රිය අසංවරභාවය නිසා සමාජය තුල පින්වත් ඔබට සිතාගන්නත් බැරි සිද්ධීන් සිද්ධවෙනවා. මේව අහලා දැකලා, මනුෂ්‍යයා වික්ෂිප්ත භාවයට, චංචලභාවයට පත්වෙනවා.

මනුෂ්‍යයාගේ ඉන්ද්‍රිය අසංවරභාවය නිසාම ඇති කොටගත් රූපයත් අයිතිකොටගැනීමේ තෘෂ්ණාව නිසා බරපතල වූ පාරිසරික විනාශයන් මනුෂ්‍යා සිදුකරනවා. මේ බරපතල වූ පාරිසරික විනාශයන් හේතුවෙන්ම රටේ ස්වාභාවික, දේශගුණික ක්‍රියාකාරකම්ද වෙනස්වෙනවා. සීලයේ දුර්වලතාවයන් හේතුවෙන් මනුෂ්‍යා තුල ඉන්ද්‍රිය අසංවරභාවය ඇතිවී මනුෂ්‍ය සමාජය චංචල වෙන්නාසේ, මනුෂ්‍යයාගේ දුස්සීලභාවයේ ක්‍රියාකාරකම් හේතුවෙන්, පරිසරයට කරන විනාශයන් හේතුවෙන් රටේ දේශගුණික අසංවරභාවයන් ස්වභාවධර්මය විසින් ඇතිකොට දෙනවා. මේ සියල්ල හේතුඵල ධර්මයන්. අනාගයේ මනුෂ්‍යයා සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් දුර්වලවී, හිංසාවෙන්, ද්වේශයෙන්, ලෝභ, ද්වේශ, මෝහ යන සම්මා සංකප්පයන්ගෙන් දුර්වල වෙනකොට ජනයා සීලයෙන් පිරිහීමට පත්වෙනවා. ඒ හේතුවෙන්ම ජනතාව තුල ඉන්ද්‍රිය අසංවරභාවය වැඩිවී මිනිස් සමාජය චංචල වෙනවා වගේම දුස්සීල මනුෂ්‍යයන්ගේ තෘෂ්ණාව හේතුවෙන්ම බරපතල පාරිසරික විනාශයන් සිදු වී අනාගත ලෝකයේ දේශගුණික තත්වයන්ද ජනතාවට සිතාගන්න බැරි ආකාරයට අසංවරවෙනවා, චංචල වෙනවා. ජනතාවගේ ඉන්ද්‍රිය අසංවරභාවයට සාපේක්ෂව, දේශගුණික අසංවරභාවයන්ද හේතුඵල ධර්මයන්ගේ ඵලයක් වශයෙන් සකස්වෙනවා. ඉහත සටහනින් පින්වත් ඔබට වැටහෙනවා ඇති, රටේ ඇතිවන නියගයටත්, ගංවතුරටත් ජනතාවගේ සම්මා දිට්ඨියේ දුර්වලතාවය නිසා සකස්වෙන දුස්සීලභාවය හේතුවෙනවාය කියන කාරණය ධර්මථාවයන්ය කියලා.

සමාජයේ ජනතාව තුල ඇතිවෙන ඉන්ද්‍රිය අසංවරතාවයට හේතුවත්, පරිසරයේ ඇතිවන දේශගුණික අසංවරභාවයන්ට හේතුවත් මනුෂ්‍යයාගේ දුස්සීලභාවයේම ඵලයන් වශයෙන් හඳුනාගන්න. පින්වතුන්, මෙවැනි අකාරුණික චංචල ධර්මථාවයන් ඉදිරියේ සතිය සිහිය ඇතිකොටගැනීම ගොඩාක් වැදගත් වෙනවා. පින්වත් ඔබ ඇතිකොටගන්නා සතිය සහ සිහිය විසින් ඔබව ප්‍රශ්නයට හේතුවෙන්නාවූ හේතුඵල ධර්මයන් නුවණින් විමසීමට ඔබව යොමු කරනවා. මෙය ධර්මවිජය බොජ්ජංගය වශයෙන් හඳුන්වන්න පුලුවන්. පින්වත් ඔබ ඉදිරියේ සකස්වෙන විනාශ ධර්මානුකූලව දකින්න දක්ෂවෙන තැන ඔබ තුල වීර්්‍යය සකස්වෙනවා. ධර්ම මාර්ගය තුලින්ම ප්‍රශ්නයට විසඳුම් සොයායන්න. දැන් පින්වත් ඔබ, ධර්මානුකූලව ප්‍රශ්නයට විසඳුම් නුවණින් මෙනෙහි කොට දකිනවා. ඉන්ද්‍රිය අංසවරභාවය ඇතිවූයේ දුස්සීලභාවය නිසා, දුස්සීලභාවය ඇතිවුණේ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නිසා, සම්මා සංකප්පය දුර්වලවුණේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසා, සම්මා දිට්ඨිය දුර්වලවුණේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ, ශ්‍රද්ධර්මය ශ්‍රවණයේ, නුවණින් මෙනෙහෙි කිරීමේ දුර්වලභාවය නිසාය කියලා. පින්වත් ඔබ ඉදිරියේ ඇති ව්‍යසනයට සැබෑම ධර්මයේ හේතුව මතුකොට ගන්නවා. සමාජය තුල ඉන්ද්‍රිය අසංවරභාවය ඇති කරන, පරිසරය තුල, දේශගුණික අංසවරභාවය ඇති කිරීමට සැබෑම හේතුව, සතිය සිහිය තුලින් ධර්මානුකූලව මතුකොටගන්න තැන, පින්වත් ඔබ තුල ධර්මයේ සත්‍යය ජීවිතය තුලින් අත්දැකීමේ පි‍්‍රතිය එනම් පස්සද්දිය ඇති වෙනවා. අධර්මයේ බරින් නිදහස්ව ධර්මයෙන් සැහැල්ලූවට පත් සිතින් පින්වත් ඔබ ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාවට පැමිණීමට දක්ෂවෙනවා.

පින්වත් ඔබේ ජීවිතය ඉදිරියට පැමිණෙන සමාජීය පාරිසරික ප්‍රශ්න හමුවේ චංචලභාවයට පත්නොවී විනාශය සප්ත බොජ්ජංග ධර්මයන් බවට පත්කොටගෙන ධර්මානුකූලව අකුසලය කුසලයක් බවට පත්කොට ගැනීමට මාර්ගයයි භික්ෂුව ඉහතින් සටහන් කොට තැබුවේ.

පින්වත් ඔබ දක්ෂතාවයෙන් යුතුව, ඔබ ඉදිරියට පැමිණෙන සමාජීය පාරිසරික ව්‍යසනයන්, තුලින්, ධර්මානුකූලව සප්ත බොජ්ජංග ධර්මයන් ජීවිතය තුලින් මතුකොටගෙන, එම සප්ත බොජ්ජංග ධර්මයන්ගේ අනිත්‍යභාවය දැකීම, කුසලයත් අකුසලයත් දෙකින්ම මිදී විදර්ශනා නුවණ ඇතිකොට ගැනීමට මාර්ගය වෙනවා.

පින්වත් ඔබ අදක්ෂභාවයෙන් ඔබ ඉදිරියට පැමිණෙන සමාජීය පාරිසරික ව්‍යසනයන්ට ගැටෙමින් අධර්මානුකූලව පංචනීවරණ ධර්මයන් මතුකොට ගතහොත්, පින්වත් ඔබ අකුසලය නිසා තව තව අකුසල් රැස්කොටගන්න අදක්ෂයෙක්ම වෙනවා. ඉහත කාරණා සියල්ලෙන්ම පින්වත් ඔබට තේරුම් යන්න ඕනේ, සමාජය තුල ඇතිවෙන සමාජීය පාරිසරික අසංවරභාවයන් තුලින්, පින්වත් ඔබ දක්ෂනම් භව නිරෝධයට මාර්ගය සකස්කොට ගන්න පුලුවන්ය කියන කාරණය.