තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලින් ධර්ම මාර්ගය කෙරෙහි වීර්ය්‍ය මෝදු කොටගන්න

ඒ අයෝමය චරිතය පුරා බලනකොට කල්ප ගණනාවක් පිරූ පාරමීධර්මයන්ගේ ඵලය ප්‍රඥාව හැටියට ජිවිතයට එකතුකොටගත් ආදර්ශයමයි අපිට වැදගත් වෙන්නේ. මේ පාරමී ශක්තියේ ඵලය තුළින් තමයි මහාසීහනාද සුත්‍රයේ දේශනාකරන බුදුරජාණන්වහන්සේ ලෝකයාට සිංහනාද කරන තථාගත බලයන් සකස්වෙන්නේ.

බුදුරජාණන්වහන්සේ සතුවු උතුම් ඤාණයන් ගැන නුවණින් මෙනෙහි කරන්න. සත්වයාගේ අතීත අනාගත වර්තමාන කර්මයන් දැකීමේ ඥානය, සත්වයාගේ පෙර ජිවිතය දැකීමේ පුර්වේනිවාසානුස්සති ඥානය, සත්වයාගේ මරණින් පසු ජිවිතය දැකීමේ චුතූපපාත ඥානය, දිව්‍ය චක්ඛු ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය සත්වයාගේ සද්ධාදි ඉන්ද්‍රියයන්ගේ දියුණු නොදියුණු බව දකින ඥානය, සත්වයාගේ ආශ්‍රවයන් ක්ෂය වූ බව දැනගන්නා ඥානය, යමක ප්‍රාතිහාරය්‍ය පෑමේ ඥානය, සත්වයාගේ ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ ස්වභාවය දැනගැනීමේ ඥානය, ආස‍්‍රව නොමැති චේතෝවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කිරිමේ ඥානය කියන මේ උතුම් සම්මාසම්බුද්ධ ඥානයන්ගේ ආශ්චර්ය්‍යවත් භාවය නිරතුරුවම සිහිපත්කරන්න. ඔබ වෙනුවෙන්ම පිරූ පාරමී ශක්තියේ ඵලය හැටියට මේ උතුම් ඥානයන් දකින්න. මෙවැනි උතුම් ගුණයන්ගෙන් ඥාණයන්ගෙන් පරිපූර්ණ වූ ශාස්තෲන්වහන්සේ මහාකරුණා ගුණයේ සෙවණ ඔබේ ජිවිතයේ එකම රැකවරණය කොට ගන්න. මෙවන් අසිරිමත් කැපවීම් ඔබ වෙනුවෙන් කළ බුදුරජාණන්වහන්සේට පිංවත් ඔබේ ජිවිතය පූජාකරන්න. බුදුරජාණන්වහන්සේට මේ ජිවිතය අයිති බව සිතන්න. මේ සිතුවිල්ලක් පාසා ඔබ ඇතිකරගන්නේ ආකාරවතී සද්ධාවට අවශ්‍ය ගුණාංගයි.

ඒ පිරිසිදු සද්ධාව සකස්වුන තැනදී එහි හේතුඵල ධර්මයන් නිසාම ඔබතුළ මීළඟට වැඩෙන්නේ වීර්ය්‍යයි. කුමක් කෙරෙහිද ඔබ වීර්ය්‍ය ඇතිකරගන්නේ? බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්ම මාර්ගයේ පෙරටම විශ්වාසයෙන් යුතුව ගමන් කරන්නයි. පිංවත් ඔබ වීර්ය්‍යයෙන් පෙරට යන ගමනේදී අධි වීර්ය්‍යයෙන් බැහැර වෙනවා. හීන වීර්ය්‍යයෙනුත් බැහැර වෙනවා. ඔබ සෑම මොහොතකම මධ්‍යස්ථභාවය තුළයි පෙරට යන්නේ. මේ මධ්‍යස්ථභාවය තුළ සිටිමින් ඔහු නුවණින් මෙනෙහි කරනවා බුදුරජාණන්වහන්සේ අපිට කුමක්ද දේශනාකොට තිබෙන්නේ කියලා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ පංචඋපාදානස්කන්ධය දුකය කියන කාරණයයි. මේ දුක් සහිත පංචඋපාදානස්කන්ධය තුන් ආකාරයට මෙනෙහි කරන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. අතීත පංචුපාදානස්කන්ධය වර්තමාන පංචුපාදානස්කන්ධය අනාගත පංචුපාදානස්කන්ධය වශයෙන්.

මේ ලිපිය පුරාවට සඳහන් කළා බෝධිසත්වයන් ගැන. බෝධිසත්වයන්ගේ මතකය අපි දීපංකර බුදුරජාණන්වහන්සේගේ පාද මූලය දක්වා අතීතරයට අරගෙන ගියා. ඒ ඈත අතීතයේ පටන් මේ මොහොතේ අති ගෞරවයෙන් මතකයට නැගෙන බුදුරජාණන්වහන්සේගේ රූපකාය උන්වහන්සේගේ ගුණයන් ඥාණයන් සියල්ලක්ම අතීත පංචඋපාදානස්කන්ධයන්මයි. සුමේධ තාපසයන් හැටියට මඩවගුරක නිදාගෙන දීපංකර බුදුරජාණන්වහන්සේට පාපිස්නාවක් වූ ඒ සුමේධ තාපසයන්ගේ රූපය අනිත්‍ය වී ගියා. ඒ උතුම් ක්‍රියාව තුළින් සකස්වුණා වූ වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ සියල්ලම අනිත්‍ය වී ගිය පංචඋපාදානස්කන්ධයක්මයි. සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂ ගණනාවක් පිරුවාවු දසපාරමී ධර්ම, වින්දාවූ සැප දුක්, ලැබුවාවූ අවබෝධයන් අනිත්‍යතාවයට පත්වූ පංචඋපාදානස්කන්ධයන්මයි. අතීත පාරමී ශක්තියෙන් සකස්වුනාවූ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ ඒ ආශ්චර්්‍යයමත් බුදුරජාණන්වහන්සේගේ රූපකාය අනිත්‍යභාවයට පත්වූ පංචඋපාදානස්කන්ධයන්මයි සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂ ගණනාවක් මම ඔබ වෙනුවෙන්ම පංචඋපාදානස්කන්ධය නිත්‍යභාවයෙන් වින්දාවූ බෝධිසත්වයන් වහන්සේගේත් සම්මා සම්බුද්ධ ඥානයේ ගුණයන්ගෙන් පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ප්‍රත්‍යක්ෂකොටගත් බුදුරජාණන්වහන්සේගෙත් මතකය අතීත පංචඋපාදානස්කන්ධයන් පමණක්ම නම් ඔබේ ජිවිතය මගේ ජිවිතය ගැන මොන බලාපොරොත්තු තබා ගන්නද?

මගේම කොටගත් මේ රූපය කෙරෙහි තෘෂ්ණාව හේතුවෙන්ම සකස්කොට ගත් විඳීම් මොන තරම් නම් ප්‍රෝඩාවක්ද? සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂ ගණනාවක් මුළුල්ලේ බෝධිසත්වයින් මහා සාගරයේ ජලය පරදා රුධිරය දන්දෙන කොට, මහ පොළොවේ පස් පරදා ශරීර මාංශ දන්දෙනකොට, ඇස් ගලවා ගලවා දන්දෙනකොට සකස්කොට ගත් විඳීම් හඳුනාගැනීම් චේතනාවන් විඤ්ඤාණයන් සියල්ලම අනිත්‍යයේ අර්ථයටම අයත් දේවල්. ඔබතුළ සකස්වෙන වර්තමාන පංචඋපාදානස්කන්ධය තුළින් අතීත පංචඋපාදානස්කන්ධය මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන මොහොතේම වර්තමානයත් අතීතයට ගොසින්. මෙසේ මෙනෙහි කරනකොට තමා තුළ සකස්වෙන්නේ බියක්. අනිත්‍යවූ රූපයන් නිත්‍යභාවයෙන් ගැනීමෙන් සකස්වෙන බියක්. මේ බිය ඔබතුළ තව තවත් වීර්ය්‍ය සකස්කොට දෙනවා. ධර්ම මාර්ගයේ පෙරට යන්න මේ වීර්ය්‍ය ඔබතුළ සකස්වෙන්නේ තෙරුවන් කෙරෙහි ඔබ ඇතිකරගත් ආකාරවති සද්ධාව නිසාමයි. දැන් ඔබතුළ තෙරුවන් කෙරෙහි සද්ධාව තුළින් වීර්ය්‍යත් සකස් වෙලයි තියෙන්නේ.

මීළඟට ඔබතුළ ලැජ්ඡාව බය දෙක නැතිකම සකස්වෙන්නේ අනිත්‍ය වූ රූපයන් අනිත්‍ය වූ වේදනාවන් මගේ කොට ගැනීම නිසාමයි. ඔහු මෙනෙහි කොට බලනවා කුමක් නිසාද මේ ලැජ්ඡා භය නැතිකම සකස්වෙන්නේ කියලා. රූපය කෙරෙහි තෘෂ්ණාව නිසාමයි. රූපය කෙරෙහි තෘෂ්ණාය නැති කරගැනීම උදෙසා බුදුරජාණන්වහන්සේ දේශනාකළ මාර්ගය ඔහු නුවණින් මෙනෙහි කරනවා.

මේ වන විට ඔහු තුළ සම්මා දිට්ඨිය වැඞ්ලයි තිබෙන්නේ. ඒ සම්මා දිට්ඨිය වැඩිමේ ඵලය හේතුවෙන්ම ඔහු දකිනවා සම්මා සතිය ඇතිකරගැනීමට නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ශීලයට අයත් අංගයන් හොඳින් වැඩෙන්න අත්‍යවශ්‍යයි කියලා. ඔහු ශීලයටම ජිවිතය තුළින් මුල් තැන දෙනවා. ශීලයත් ජිවිතයත් ඔහු දෙකක් හැටියට නොවේ දකින්නේ. ශීලයමයි ඔහු ජිවිතය හැටියට දකින්නේ. ඔහු ශීලයෙන් ශක්තිමත් වෙනකොට ඔහු තුළ අව්‍යපාද අවිහිංසා නෙක්ඛම්ම සංකල්පයන් ශක්තිමත්ව වැඩෙනවා. මෙන්න මේ තැනට පිංවත් ඔබව ගේන්න තමයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ඔබට මේ ජිවිතයේදීම චතුරාය්‍යසත්‍යය ධර්මය අවබෝධකර ගැනීමට නම් සද්ධාව වීර්ය්‍ය හිරිඔතප් කියන කාරණා තුනමයි අත්‍යවශ්‍ය වෙන්නේ කියලා දේශනාකරන්නේ.

ශීලයෙන් ඔබ පරිපූර්ණ වෙච්ච තැනමයි ඔබතුළ සමාධිමත් සිතක් සකස්වෙන්නේ ඒ සමාධිමත් සිතමයි. පිංවත් ඔබට පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මතුකොට පෙන්වා දෙන්නේ. බොහෝම සුවසේ මංමුලා නොවී පිංවත් ඔබ තුළින්ම ධර්මාවබෝධයට යන මාර්ගය බුදුරජාණන්වහන්සේ නැමති කල්‍යාණමිත්‍රයා ඔබට පැහැදිලිකොටදී තිබෙනවා.

අප සැමවිටම ධර්මයේ හැඩරුව අප තුළම තබාගෙන සමාජය තුළ ධර්මය සොයනවා. අපේ ඥාතීන් ගුරුවරුන් නිරතුරුවම අපට උගන්වන්නේ පංචඋපාදානස්කන්ධය විඳින්න මිළකරන්න විකුණන්න. නමුත් බුදුරජාණන්වහන්සේ නැමති ගුරුවරයා නිරතුරුවම අපට සද්ධාව නැමැති විෂය උගන්වන්නේ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොට ගැනීමටයි.

පිංවත් ඔබතුළ නිවීමේ මාර්ගයට අවතීර්ණ වීමට වීර්ය්‍යක් සකස් නොවෙනවා නම් ඔබ වහා කළයුත්තේ තෙරුවන් කෙරෙහි සද්ධාව ශක්තිමත් කොට ගැනීමයි. තෙරුවන් කෙරෙහි සද්ධාවේ දුර්වලභාවය නිසාමයි පිංවත් ඔබ තුළ වීර්ය්‍ය සහ ශීලය කියන කාරණාවන් දුර්වල වෙන්නේ. එම නිසා සියල්ලටම පෙරාතුව තෙරුවන් කෙරෙහි සද්ධාවටම මුල්තැන දෙන්න. බුදුරජාණන්වහන්සේ ධර්මරත්නය සංඝරත්නය පිළිබඳ අචල විශ්වාසය ඔබ තුළින්ම මතුවෙන මොහොතේ ඊට සාපේක්ෂව ඔබතුළ වීර්ය්‍යමයි සකස්වෙන්නේ. එම වීර්ය්‍ය තුළ පිංවත් ඔබ ශීලයේ ශක්තියමයි ජිවිතයට එකතුකොට ගන්නේ. මේ කාරණා තුන පිංවත් ඔබව ශක්තිමත් ආකාරයට ආර්්‍යඅෂ්ටාංගික මාර්ගය තුළට ස්ථානගත කරනවා.

බුදුරජාණන්වහන්සේ අප සැමට කල්‍යාණ මිත්‍රභාවයෙන් යුතුව දේශනා කොට වදාළ සද්ධා වීර්ය්‍ය හිරිඔතප් කියන කාරණාවන් නිවීමේ මාර්ගයේ ප්‍රමුඛතාවයන් හැටියට අප ජිවිතයට එකතු කරනොගත්තොත් දුක නැමති සහකාරිය සමග අපට භවයේ තව ගොඩාක් දුරක් යන්නම සිදුවේවි. අනාගත යාග භූමිවල අපි නොවිඳිනා දුක්විඳිවි. එම නිසා සද්ධාව වීර්ය්‍ය හිරිඔතප් කියන ධර්මතාවයන් තුළින්ම බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ සැබෑම ධර්ම යාගය ඔබේ ජිවිතය එකතුකොටගන්න.