ලෝකය ගමන් කරන්නේ මනුෂ්‍යයා තුල මෘගසංඥාව සකස්වෙන දිශාවටයි

භික්ෂුව ඉහත සටහන් කළා වර්තමානයේ හෝ අනාගතයේ නැවත මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා පහළවීමට ඉඩකඩ හේතුඵල ධර්මයන්ට අනුව නැතිය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයේ අනිත්‍යයි කියන අර්ථයෙහි පිහිටලා ඉහත කාරණය නුවණින් හේතුඵල ධර්මයන්ට අනූව මෙනෙහි කරන්න දක්ෂවෙන්න ඕනේ.

දැන් මේ පවතින්නේ ශාසනයේ අර්ථයන් ගිලිහෙමින් යන කාලය. ශාසනයේ අර්ථයන් ගිලිහි යන නිසාම මනුෂ්‍යයා ගමන් කරන්නේ අකුසලය දෙසට. ධර්මයට දායාදවීම පසෙක තබා මනුෂ්‍යයා ආමිසයම දායාද කොටගත් කාලය. ලෝකයේ මෙවැනි විකෘතීන් සකස්වෙන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා නැවත මේ ශාසනයේ පහල නොවන බව අපට දැනුම් දෙන්න. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ නමක් වෙන්න ප්‍රාර්ථනා කරගෙන පැමිණි කෙනෙක් සිටියා නම් ඒ අය දැන් පහළවී අවසන්. දැන් ලෝකය අයිති ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේලාට. මේ මොහොතේ ලෝකයේ ථෙරවාදී බුදුදහම පවතින රටක උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේනමක් වැඩසිටිනවා නම් උන්වහන්සේ කවදාකවත් තමන්ගේ එර්දිමත්භාවය ලෝකයාට සඟවාගෙන සිටින්නේ නැහැ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේලාට පමණක් සීමා වූ මහාකරුණා ගුණය ඊට දෙවැනිව පිහිටන්නේ රහතන්වහන්සේලාටයි. එම කරුණාගුණය රහතන්වහන්සේට පිහිටන්නේ තමා මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් එතෙර වුණා කියන නිදහස තුළ සිටිමින් දුකෙන් නොමිදුනාවූ සත්වයා කෙරෙහි ඇතිවෙන කරුණාවකින්මයි. ලෝහ ද්වේශ මෝහ අකුසලයන් ජිවිතය කොටගත් සත්වයා කෙරෙහි රහතන්වහන්සේගේ කරුණාව සකස්වෙන්නේ. අපි විශ්වාස කරනා රහතන්වහන්සේගේ මනෝභාවය එසේනම් වර්තමානයේ එර්දි ප්‍රාතිහාරය්‍ය සහිත උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටිනවා නම් කවදාවත් ලෝකයාගේ හිතසුව පිණිස තම එර්දි ප්‍රාතිහාරය්‍ය ශක්තිය ලෝකයාට වසංකොට ගෙන සිටින්නේ නැහැ.

මෙතනදි පිංවත් ඔබ වැරදි අර්ථයක් ගන්න එපා එර්දි ප්‍රාතිහාරය්‍ය සහිත රහතන්වහන්සේ තමන්ගේ නම, තමන් කවුද කියලා පෙන්වන්න නොවේ එර්දියෙන් වඩින්නේ. කුමන ලාභ සත්කාර හමුවේවත් උන්වහන්සේ ලෝකයාට නොඇලෙන බවට විශ්වාසය උන්වහන්සේ තුළ තිබෙනවා. එම නිසා උන්වහන්සේ එර්දියෙන් වඩින්නේ සද්ධර්මයේ සන්දිට්ඨික ගුණයේ ආශ්චර්ය්‍ය ලෝකයාට පෙන්වන්නයි. උන්වහන්සේ කොහේ හෝ කැලයකින් අහසට පැන නැගිලා ලෝකයටම ධර්මයේ සන්දිට්ඨික ගුණයේ අසිරිය දැනගන්නට එර්දියෙන් ගමන්කරලා. තවත් කැලයකට බැසලා නොපෙනි යනවා. කවුද මේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ කියලා ලෝකයාට හෙළිවෙන්නේ නැහැ. නමුත් උතුම් සම්බුද්ධ ධර්මයේ සන්දිට්ඨික ගුණය මුළු තුන්ලෝකයම දෑසින් දකිනවා. එම ආශ්චර්ය්‍යමත් දැකීම ලෝකයේම සම්බුද්ධ ධර්මයේ බැබලීමක් වේවි. එර්දියෙන් වඩින රහතන්වහන්සේ දැක බෞද්ධ ලෝකයම පිබිදේවි. මනුෂ්‍යයා තව තවත් සද්ධර්මයේ අර්ථයෙන් සන්නද්ධවේවි. උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේනමක් මේ ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවා නම් ඒ උතුම් ධර්මශක්තිය අසරණ ලෝකයාට කරුණාවෙන් ලබාදීමට මැලි වෙන්නේ නැහැ. එය රහතන්වහන්සේලාගේ කරුණා ගුණයේ ධර්මතාවයක් එයින් පැහැදිලි වන්නේ මේ මොහොතේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ නොසිටින බවයි.

සමාජයෙන් යම් යම් අවස්ථාවලදී ඇසෙන්න ලැබෙනවා. අහවල් තැන හාමුදුරු කෙනෙක් සිටියා. අතුරුදහන්වුනාය කියලා පිංවතුන්ලා බොහෝම පැහැදිලිව දැනගන්න ඕනේ රහතන්වහන්සේලා කියන්නේ, මනුෂ්‍යයාව ප්‍රශ්නාර්ථ තුළට ගොනුකරමින් විශ්මයට පත්කරන කෙනෙක් නොවන බව. රහතන්වහන්සේ කියන්නේ විවෘත චරිතයක්. එම විවෘත චරිතය ලෝකයාව විශ්මයට පත්නොකරන උතුමෙක් බව බුද්ධිමත්ව තේරුම්ගන්න ඕනේ. යමෙක් විශ්මයට පත් කරන්නේ නම් ඔහු කෙලෙස් සහිත පුද්ගලයෙක්මය. රහතන්වහන්සේ යනු ලෝකයා විශ්මයට පත්කරන කෙනෙක් නොව ලෝකයාට සත්‍යාවබෝධය උදෙසාම නිර්ව්‍යාජව කටයුතු කරන උතුමෙකි.

උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා වර්තමානයේ පහළ නොවීමට හේතු දෙකක් දැක්විය හැකිය. පළවෙනි කාරණය තමයි එවැනි අධික ප්‍රාර්ථනා සහිත කුසල් ශක්තියෙන් වැඩි උතුමන් ගෞතම සම්මාසම්බුද්ධ ශාසනය තුළ පහළවී අවසන්. දෙවනි කාරණය තමයි එර්දියෙන් වඩින රහතන්වහන්සේනමක් දැකීමට වර්තමාන ලෝකයා තුළ කුසල් ශක්තිය නැහැ. නැවත එවැනි ආශ්චර්ය්‍යමත් දර්ශනයක් දැකලා අර්ථවත් ශාසනික පිබිදීමක් ඇතිවීමට අනිත්‍යයි කියන අර්ථය තුළ සිදුවෙන්න අවස්ථාවක් නැහැ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයට අනූව ලෝකය දැන් ගමන් කරන්නේ මනුෂ්‍යයාට පරමායුෂ අවුරුදු 10 ක් වන මනුෂ්‍යයා තුළ දුශ්ශීලභාවය නිසාම මෘගසංඥාව සකස්වෙන දිශාවටය. දුශ්ශිලභාවය බොහෝම හොඳින් මාර්ගය සුද්ද පවිත්‍ර කරනවා ගමනාන්තයට ඉක්මනින් ලඟාවීමට. කුණුවෙන නරක්වෙන සිව්පසය ගොඩගසාගෙන දිරායන යකඩගොඩවල් මගේ කොටගෙන ගරාවැටෙන කොන්ක්‍රීට් ගොඩවල් සිහින මාළිගාකොටගෙන අපි යන මේ ඉදිරි ගමන තුළ සද්ධර්මයේ අර්ථයන් ශක්තිමත් වෙන එවැනි උතුම් දසුන් අපිට නැවත මුණගැසෙන්නේ නැහැ. අසන්න දකින්න ලැබෙන්නේ ධර්මයේ අර්ථයන් හීන වන මැජික් දර්ශනයන්මයි.

නමුත් පිංවත් ඔබ තවමත් කුසල් පූරණයකොට තිබෙනවා ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් වෙන්න. තව බොහෝම කෙටි කාලයකදී ලෝකයෙන් එම ශක්තියත් අතුරුදහන් යාවි. එම නිසා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ අප්‍රමාදවීම කියන වචනයේ සැබෑම අර්ථයේ වටිනාකම වර්තමානයේ ජීවත්වන ගිහිපැවිදි පිංවත් ඔබටමයි, බුදුරජාණන්වහන්සේ දේශනාකොට ඇත්තේ. උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේනමක් වීමට දැන් පිංවත් ඔබ ප්‍රමාදයි. අප්‍රමාදීව ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් වෙන්න වීර්ය්‍ය වඩන්න.

හේතුඵල ධර්මයන්ට අනූව ගලපලයි භික්ෂුව ඉහත සටහන තැබුවේ. කැමති පිංවතෙකුට එම අදහස පිළිගන්නත් පුළුවන් කැමති පිංවතෙකුට නොපිළිගන්නත් පුළුවන්. ඉහත කාරණය යම් පිංවතෙක් පිළිගත්තාය කියන්නේ එම පිංවතා වහවහා අප්‍රමාදීභාවයට පත්වී ධර්මයේ සන්දිට්ඨික ගුණයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි. එය මේ මොහොතේ අප ඉදිරියේ ඇති අනතුර නිවැරදිව හඳුනාගැනීමක් වෙනවා. යම් පිංවතෙක් ඉහත කාරණය පිළිගැනීමෙන් තොරව අනාගතයේදී රහතන්වහන්සේලා එර්දියෙන් අහසින් වඩිනවා දැකීමට පෙරුම්පුරමින් සිටියොත්, එම පිංවතාට අනාගතයේ පහළවෙන කාසාවකණ්ටකයන්ගේ ලෝකයේ වල්මත්වීමටයි සිදුවන්නේ.

ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ පංචඋපදානස්කන්ධයේ අනිත්‍යභාවය පිළිබඳව අවබෝධය ලබමින් චතුරාය්‍යසත්‍යය අවබෝධකොටගන්නා උතුමෙක් උන්වහන්සේටත් ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වලට සමවැදීමේ හැකියාව තිබෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා ධ්‍යාන සැපයට වඩා අනිත්‍යසංඥාව තුළම ජීවත්වීමට කැමති බවක් පෙනෙනවා. ඉහත සතරවන ධ්‍යානතලයන් ඉක්මවාගොස් ආකාසානඤ්චායතනයට පමණක් සමවැදීමට හැකියාව ඇති ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් ගැන මේ සටහන තබන හික්ෂුව හොඳින් දන්නවා. එම කරුණ බොහෝම විශ්වාසයෙන් මෙහි සටහන් තබන්නේ.

ඉහත කාරණාවන් තුළින් පෙනෙනවා ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේලා තුළත් හැකියාවන් අතින් වෙනස්කම් තිබෙනවා කියලා. එම කාරණය ගැන පැහැදිළි වැටහීමක් පිංවත් ඔබට අංගුත්තර නිකායේ ප්‍රඥාවිමුක්ත සුත්‍රය ඇසුරෙන් ලබාගැනීමට පුළුවන්. ඕනෑම පුද්ගලයෙකුට වුවද තම කුසල් ශක්තිය මත සතරවන ධ්‍යානය දක්වා සමවැදීමට හැකිනම් ඔහුට චුතුපපාත ඥානය, පූර්වේනිවාසානුස්සති ඥානය, දිව්‍ය චක්ඛු ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය තමන්ගේ දක්ෂතාවය මත සකස්කොට ගැනීමට හැකිබව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එසේ නම් ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේලා අතරද ඉහත ඥානයන් සකස්කොටගත් උතුමන් සිටින්නට පුළුවන්. නමුත් සෑම ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමකටම එම දක්ෂභාවය නොමැති බව සුසීම සුත්‍රයේදී සහ කීටාගිරි සූත්‍රයේදී බොහෝම පැහැදිළිව දේශනා කරනවා.

එර්දි ප්‍රාතිහාරය්‍ය කියන කාරණය බෞද්ධයෙකුටම පමණක් සිමාවූවක් නොවේ. තෙරුවන් සරණ නොගිය හිමාලයේ සිටින සෘෂිවරයෙකුට මේ මොහොතේදී එර්දිමත්භාවය තිබෙන්නට පුළුවන්. තෙරුවන් පහළවීමට පෙරාතුවත් රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස්කොට ගත් ආලාරකාළාම, උද්දකරාමපුත්‍ර වැනි ගුරුවරුන් සිටියා. ඒ ගුරුවරුන්ගේ ශිෂ්‍යයින් දහස්ගණනින් හිටියා. ශීලය සහ සමාධිය කියන කාරණා දෙක බුදුරජාණන්වහන්සේ පහළ වීමට පෙරාතුව දඹදිව සමාජයේ ක්‍රියාත්මකව තිබුණා. තෙරුවන් සරණ නොගිය පිංවතුන්ලා ශීලය සහ සමාධිය සරණකොට ගෙන සකස්කොට ගන්නා රූපාචර සහ අරූපාචර ධ්‍යාන සහ එර්දි ප්‍රාතිහාරය්‍ය පෑමේ ශක්තිය ලෞකික ආශ්වාදයේ විඳීමක් හැටියටයි ගැනෙන්නේ. එර්දියෙන් යැමේ හැකියාව ඒ අයට තිබුණත් තෙරුවන් කෙරෙහි සද්ධාව නොමැති නිසාම සතර අපායෙන්වත් එම පිංවතුන් මිදිලා නැහැ. තෙරුවන් කෙරෙහි සද්ධාව ඇතිකරගත් පිංවතුන්මයි විඳීමේ ආශ්වාදයේ අනිත්‍යභාවය නුවණින් දකින්න දක්ෂවෙන්නේ.

එමනිසා, උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේගේ විදර්ශනා ඥානය විනිවිද ගිය උතුම් එර්දි ප්‍රාතිහාරය්‍ය පෑමේ ශක්තියත්, තෙරුවන් සරණ නොගිය පිංවතුන් ශීලය සහ සමාධිය තුළින් සකස්කොට ගත් ලෞකික රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන ශක්තියක් සකස්කොට ගන්නා, එර්දියෙන් යැමේ හැකියාවත් අතර ඇති පරතරය පිංවත් ඔබ නුවණින් හඳුනාගන්න ඕනේ. එම නිසා වර්තමානයේදීද තෙරුවන් සරණ නොගිය රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස්කොටගත් එර්දියෙන් යාමේ හැකියාව ඇති පිංවතුන් සමාජයේ සිටින්නට පුළුවන්. නමුත් ඒ අය ප්‍රඥාව නොමැති නිසාම විඳීමේ ආශ්වාදයෙන් මත්වුණ කෙළෙස් සහිත පිංවතුන්. සමාධි ශක්තිය නිසාම පංචනීවරණයන් යටපත් වී තිබෙනවා පමණමයි. සමාධිය තුළින් පිංචනීවරණ යටපත් කොටගෙන සිටිම නිසාම, විඳීමේ ආශ්වාදය නිත්‍යභාවයෙන් ගැනීමටත් සමාධි සැපයට ඇලීමත් හේතුවෙන් ලෝකයාට තම එර්දි ශක්තිය පෙන්වීමට යනවාට වඩා අරූපාචර ධ්‍යාන සැපයේ ආශ්වාදය විඳීමමයි ඔහු එකම සැපයකොට දකින්නේ.

ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙන් උපරිම ඵලය නෙලාගත් පුද්ගලයාය කියන්නේ චතුරාය්‍යසත්‍ය අවබෝධකළ උත්තමයාටයි. ආරය්‍යඅෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරිමෙන් අපි එම ඵලයටයි ලඟාවෙන්නේ. පිංවත් ඔබ ආරය්‍යඅශ්ටාංගික මාර්ගයේ ගමන්කොට සද්ධානුසාරී ධම්මානුසාරී, සෝවන්ඵලය, සකෘදාගාමීඵලය අනාගාමිඵලය කියන එම මාර්ගයන් අවබෝධයන් ස්පර්ශ කරමිනුයි ගමනාන්තය වන ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ කියන අවබෝධයට පත්වෙන්නේ. එම නිසා අපි හිතන්න ඕනේ අපට මේ ගමනට යන්ට වීර්ය්‍ය වගේම ඉවසීමත් තිබෙන්න ඕනේය කියලා. වීර්ය්‍ය තිබෙන කෙනාට ඉවසීම නොමැතිනම් ඔහු මේ ධර්මමාර්ගය තුළදී මමත්වයේ දැඩිභාවයමයි සකස්කොට ගන්නේ. ඉවසීම තිබෙන පිංවතාට වීර්ය්‍ය නොමැති නම් ඔහු මේ මේ ධර්ම මාර්ගයේදී පංචනීවරණයන්මයි තීව්‍ර කොට ගන්නේ. එම නිසාම මෙම ගමන සිහිනුවණින් තොරව ගියහොත් අනතුරුදායක ගමනක් වෙනවා. එම නිසාම ඔබ මේ ධර්ම මාර්ගයේ ගමන කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින්මයි ඉදිරියට යන්න ඕනේ.

එතකොට අපි කාවද කල්‍යාණමිත්‍රයා කොට ගන්නේ. මෙය සටහන් තබන භික්ෂුව කල්‍යාණමිත්‍රයා කොටගන්නේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේවයි. පිංවතුන්ලාට දැන් හිතෙන්න පුළුවන් ලොවුතුරා බුදුරජාණන්වහන්සේ දැන් පිරිනිවන්පාලා නේද කියලා. ඒ නිසාමයි සද්ධර්මය පිරිහියමින් පවතින මෙවැනි කාලයකදී ඇතිවන මෙවැනි හිඩැස් බුදුරජාණන්වහන්සේ නුවණින් දැකලා පිරිනිවන්පෑමට පෙරාතුව දේශනාකරන්නේ බුදුරජාණන්වහන්සේගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක ශාස්තෘන්වහන්සේ හැටියට දකින්න කියලා. ඒ කියන්නේ ශාස්තෘන්වහන්සේ තවමත් ජීවමානව සිටිනවා. පිංවත් ඔබගේ කුසල් ශක්තිය නිසාම ඔබට ජීවමානව සිටින ධර්ම විනය දෙක කල්‍යාණමිත්‍රයා කරගැනීමට පුළුවන්.

මෙන්න මේ සැබෑම කල්‍යාණමිත්‍රය ඔබට ලබාදෙන මුල්ම ගුරුඋපදේශකය තමයි පිංවත් ඔබ මේ ජිවිතය තුලදීම චතුරාර්්‍ය සත්‍යය අවබෝධකරගැනීමට නම් ඔබට අවශ්‍ය වන්නේ කාරණා තුනක් පමණක් බවයි. බලන්නකෝ, මේ මාර්ගය දිග්විජය කොට වදාළ සැබෑම කල්‍යාණමිත්‍රයානන්වහන්සේ අපව මංමුලා කරන්නේ නැතුව අපිව බියට පත්කරන්නේ නැතුව අපිව පටලවන්නේ නැතුව බොහෝම සරළව දේශනාකරනවා මේ ජිවිතය තුළදීම චතුරාර්්‍යය අවබෝධ කරගැනීමට පිංවත් ඔබට අවශ්‍ය සද්ධාව වීර්ය්‍ය හිරිඔතප් කියන කාරණා තුනය කියලා. බලන්නකෝ මුළු ආරය්‍යඅශ්ටාංගික මාර්ගයම ඉහත කාරණා තුන තුළින් ලොවුතුරු බුදුරජාණන්වහන්සේ අපට පෙන්වනවා.

දැන් මේ උතුම් ගුරු උපදේශයක් නිසා විවේචනයකින් තොරව පිළිගන්න ඕනේ. පිංවත් ඔබ මේ උතුම් සම්බුදු වදන සැකයෙන් තොරව පිළිගැනීමට සුදානම් නම් ඒ සුදානම තුළම ඔබ තුළ සකස්වෙන්නේ බුදුරජාණන්වහන්සේ කෙරෙහි සද්ධාවයි. තෙරුවන් කෙරෙහි සද්ධාවකින් තොරව යමෙක් සම්මා දිට්ඨියක් සකස්වෙනවා යැයි සිතනවා නම් එය මුලාවක්මයි. තෙරුවන් කෙරෙහි සද්ධාවකින් තොරව ඕනෑම පිංවතෙක් තුළ සකස්වෙන සතිය, මිච්ඡා සතියක්ම වෙනවා. මේවා තුළින් නිවීමේ මාර්ගයට අනතුරක් වූ සක්කායදිට්ඨියමයි සකස්වෙන්නේ. තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. සද්ධාව කියන ධනයෙන්මයි ඔබට නිවීමේ මාර්ගයේ දොරටුව විවෘතකොටගත හැකිවෙන්නේ.