පින්වත් ඔබ ලෝකයෙන් හුදකලා වෙන්න. එම හුදකලාව තුල සිටිමින් ලෝකය දකින්න

මනුෂ්‍යයා තුළින් තෙරුවන් කෙරෙහි සද්ධාව සහ ශීලයේ උතුම් හරයන් ශක්තිමත් වෙනකොට මනුෂ්‍යයා තුල මනුෂ්‍යත්වයේ ඕජාව ලියලා වැඩෙනවා. මනුෂ්‍යත්වයේ ඕජාව කියන්නේ අලෝහ අද්වේශ අමෝහ ධර්මයනුයි. මේ ඕජාව මනුෂ්‍යයා තුළ වැඩෙනකොට තමා තුළින් පංචනීවරණ තුනීභාවයට පත්වී, තමාත් සාමකාමී වෙනවා සමාජයත් සාමකාමී වෙනවා. අධික තෘෂ්ණාව නිසාම මනුෂ්‍යයා මනුෂ්‍යත්වයේ ඉපදීමට අවශ්‍ය ඕජාව සැප සෙවීමට යන ගමනේදී හීනකරගන්නවා. දැන් මනුෂ්‍යයා තුළ වැඩෙන්නේ ලෝහ ද්වේශ මෝහ කියන අමනුෂ්‍ය ඕජාවක්. මේ මනුෂ්‍යත්වය පරාජයකොට යන ගමනේදී සමාජය ධර්මයේ සන්දිට්ඨික ගුණයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමිනුයි ඉදිරියට ඇදෙන්නේ. අපි ශීලයෙන් දුර්වලවෙනකොට බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ ගිහි පැවිදි උතුම් ශිලයන්ගේ අර්ථයන් දියකර හැරීමෙන් එම අර්ථයන්ට නොවටිනා වටිනාකමක් ලබාදීමේ ප්‍රවණතාවයක් සමාජය ඉදිිරියේ තිබෙනවා.

තෘෂ්ණාව නිසාම මනුෂ්‍යයා මහ පොළොවේ රස ඕජාව විනාශකොට දැමුවා සේම තෘෂ්ණාව නිසාම මනුෂ්‍යයා අසද්ධාව දුශ්ශිලභාවයත් තුළින් ධර්මයේ සන්දිට්ඨිකගුණය විනාශය කරා රැගෙන යනවා. තෘෂ්ණාවේ දාසභාවය නිසාම අවසානයේදී අපිට සංසාර බිය සකස්කරන සැබෑ ලොව්තුරා ධර්මය වෙනුවට ලෝකයා සුරතල් කරන ‘රිකන්ඩිෂන්’ ධර්මයන් ඇසෙනු ඇත. බුදුරජාණන්වහන්සේ බොහොම පැහැදිලිවම දේශනා කරනවා තථාගතයන්වහන්සේ සද්ධර්මය ලෝකයාට දේශනා කරන්නේ මනුෂ්‍යයාව සුරතල් කිරිම සඳහා නොව මනුෂ්‍යයා විශ්මයට පත් කිරිම සඳහා නොව ලාභ සත්කාර බලාපොරොත්තුවද නොව තමා මෙසේ යැයි ලෝකයාට හඳුන්වාදීමට නොව සත්වයාගේ මෙලොව පරලොව යහපත සඳහා පමණක්මය කියලා. මනුෂ්‍යයා තුළින් මනුෂ්‍ය ඕජාව හීනවෙනකොට නීච අමනුෂ්‍ය ලෝකයට අදාළ චිත්තයන් තමයි සකස්වෙන්නේ.

භික්ෂූවට මුණගැසුණු එක මහත්මයෙක් ප්‍රකාශකළේ හාමුදුරුවනේ සමාජය දකිනකොට හරි බයක් ඇතිවෙනවා කියලා. මිනිමැරුම් මංකොල්ලකෑම් දුෂණ හොරමැරකම් අලෝහ අද්වේශ අමෝහ මනුෂ්‍ය ඕජාව මැරීයන සමාජයක සැබෑ කැඩපත දැන් පිංවත් ඔබට පෙනෙනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව නිසාම මහ පොළොවේ රස ඕජාව මැරීගොස් කෘතීම රසකාරකයන් තුළින් මනුෂ්‍යයා දිව පිනවනවා සේම දුශ්ශිලභාවය අසද්ධාව හේතුවෙන් මනුෂ්‍යත්වයේ ඕජාව මැරීයමින් ඇතිවන, නීරස මනුෂ්‍ය ජිවිතය තෘප්තිමත් කරගැනීමට මිනිමැරුම් දුෂණය තාක්‍ෂණය හොරමැරකම් නැමැති රසකාරකයන් ජිවිතයට එකතුකර ගන්නවා. මේ මොහොතේ පිංවත් ඔබ මේ අවදානම නුවණින් දකින්න දක්‍ෂ වෙන්න පිංවත් ඔබ ලෝකයේ හුදෙකලා වෙන්න. ඒ හුදෙකලාව තුළ සිටිමින් ලෝකය දකින්න. අවංකව ඔබට සිතෙනවා නම් ලෝකය තුළ ඔබ අමුත්තෙක්ය කියලා දුකට ඇදී යන ලෝකයාගෙන් දුරස්ව පිංවත් ඔබ ඉහත සසරබිය නුවණින් මෙනෙහිකරන්න. මේ මොහොතේ එය ඔබට කරන්න තියෙන අර්ථවත්ම භාවනාවයි. භික්ෂූව පිංවතුන්ලාට මොනම හේතුවක් නිසාවත් ආනාපනාසති භාවනාව අසුභ භාවනාව සතර සතිපට්ඨාන භාවනාව ගැන කියලා දෙන්න උත්සහ කරන්නේ නැහැ. ඉහත භාවනාවන් වැඩෙන්න නම් තමා තුළ සුදුසු පරිසරයක් සකස්වෙන්න ඕනේ. අන්න ඒ සුදුසු පරිසරය ඔබතුළ සකස්කොට දෙන්නේ සංසාරයේ බියකරුභාවය නුවණින් මෙනෙහිකිරීමෙන්මය. මේ සංසාර බිය නිසාමයි. මනුෂ්‍යයා ශීලය තුළ ශක්තිමත් වෙන්නේ, ඒ ශක්තිමත් ශීලයමයි භාවනාවකට අවශ්‍ය සංසිඳීම ඔබ තුළ සකස්කොට දෙන්නේ.

හෙට දවසේ, පිංවත් ඔබ මේ සමාජයට දරුවෙක් බිහිකළොත් ඒ දරුවා තව වසර 10 කින් මුහුණදෙන්නේ මොනතරම් බියකරු සමාජයකටද? මනුෂ්‍යයාගේ රුධිරය මනුෂ්‍යයා දකින්න කැමතිකරන මෘග සංඥාව මනුෂ්‍යයා තුළ සකස්වෙන සමාජයක්. එවැනි සමාජයකට පිංවත් ඔබ හෙට දරුවෙක් බිහිකරනවා කියන්නේ ඔබ ඔබේ ලෙයින් පළිගන්නවා කියන කාරණයයි. දුශ්ශීලභාවය නිසාම මනුෂ්‍යයා කරගත් අකුසල් විපාක දීමේදී මනුෂ්‍යයා තමා තමන්ගෙන්ම පළිගැනීමේ තැනට සමාජය පැමිණ තිබෙනවා.

භික්‍ෂුවක් උතුම් සමාධියෙන් අරමුණුකොට බලනකොට තමා තමන්ගෙන්ම පළිගත් අහිංසක පිරිමි පාසල් දරුවෙක් දැක්කා. දහසය හැවිරිදි මේ පාසල් දරුවා ළමා ප්‍රේම සම්බන්ධයකට දෙමාපියන් ඥාතීන් විරෝධය පළකිරිම නිසා වස බී දිවිනසා ගන්නවා. මේ දරුවාට අකීකරුකම විනා මැරෙන්න වෙන කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ලෝහ ද්වේශ මෝහ කියන අකුසල ඕජාවන් ළමා කාලයේදීම ජිවිතය තුළ වැඩිම නිසා ජිවිතය රසවිඳින්න රසකාරකයක් ලෙස භාවිතයට ගන්නේ පළිගැනීම මරාගැනීම විනාශකිරිම. එහෙම නොකොළොත් ජිවිතයට රසයක් නැහැ. ජිවිතයේ සැබෑම අහිංසක රසයක් ඇතිකරන සද්ධාව ශීලය මැරිලා ගිහින්. තෘෂ්ණාව නිසාම මේ දරුවා ජිවිතය නැතිකරගන්නේ ලෝකයටම පාඩමක් උගන්වන්න. අපි හරිම දක්‍ෂයි අපි ඉගෙනගෙන නැතුව ලෝකයාට පාඩම් උගන්වන්න. රස ඕජාව මැරුණ පොළොවේ අපි මිහිරිඵල සොයනවා වගේ අපි මනුෂ්‍ය ඕජාව නැතිකරගත් ජිවිත තුළින් ධර්මයේ අර්ථය සොයනවා.

මේ වස බී සියදිවිනසාගත් අහිංසක දරුවා නැවත උපත සකස් කරගන්නේ බ්‍රොයිලර් කුකුලෙක් වෙලා. ජිවිතයේ වටිනාකම ධර්මය තුළින් නොදකින මේ අහිංසක දරුවා දැන් දින 45 ය වරක් ජිවිතය නැතිකරගන්නවා බ්‍රොයිලර් කුකුලෙක්ව ඉපදිලා. මේ දරුවාට සංස්කාර විසින් ලබාදුන් තෑග්ග මොන තරම් සාධාරණද? සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නැමැති මැජික්කරුවා, එක නිමේශයකින් පාසල් දරුවෙක්ව බ්‍රොයිලර් කුකුල් පැටවෙක් කරනවා. කැමැත්තෙන්ම වස බීලා මැරුණ දරුවා දැන් බෙල්ල කපාගෙන දින 45 කට වරක් මැරෙනවා. සද්ධර්මය සන්දිට්ඨිකව පවතින මේ උතුම් අවස්ථාවේ ලැබු උතුම් මනුෂ්‍යජිවිතය මෝහය නිසාම යමෙක් මරාදමන්නේ නම් ලෝක ධර්මය විසින් වේගයෙන් ඉපදිලා ඉක්මනට මැරෙන ජිවිතයක් ලබා දෙනවා. මේ මොහොතේ බෞද්ධයා කියන පාට පාට ලේබලයක් අලවලා ධර්මයේ නාමයෙන් සැපයෙන් පිරුණු ලෝකයක් ඔබට පෙන්වන ඔය විඤ්ඤාණය නැමැති මැජික්කරුවාව.

රටේ ජීවත්වෙන බොහෝම ප්‍රභූ බෞද්ධ මහත්මයෙක් සිටිනවා. ඒ මහත්මයා තමන්ගේ අතවැසි පිරිසට මෙහෙම කියනවා. ‘ඔය පොත් වල තිබුණාට අතීතයේ රහතන්වහන්සේලා එර්දියෙන් වැඞ්යාය කියලා ඕවා බොරු. මිනිස්සු කොහොමද උඞ්න් යන්නේ කියලා?’ මේ ප්‍රභූ මහත්තයා බොහොම විශ්වාසයකින් ප්‍රකාශ කරනවා. මේ සටහනේම ඉහත සඳහන් කළ පිංවත් ස්වාමීන්වහන්සේ යුරෝපීය ජාතිකයන් මවිතයට පත්කිරිමට එර්දිය සොයනවා. මේ පිංවත් ප්‍රභූ මහත්මයා එර්දි ප්‍රාතිහාර්්‍යය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පංචනීවරණ තීව්‍ර භාවයට පත්වෙච්ච මනුෂ්‍යයින්ගේ සිතේ කයේ ගොරෝසුභාවය මනුෂ්‍යයා මොනතරම් මිත්‍යාදෘෂ්ටියකට කොටුකරනවාද? එවැනි කාමච්ඡන්දයන්ගෙන් ගොරහැඞ්වෙච්ච මනුෂ්‍යයෝ කෙසේනම් පංචනීවරණ යටපත් වූ කයේ සිතේ සැහැල්ලූව අත්දකින්නද? විඤ්ඤාණය නැමැති සාහසික හිස් මැජික්කරුවා ඇති දෙය නැතිකොට පෙන්වනවා. නැතිදෙය ඇතිකොය පෙන්වනවා. තෘෂ්ණාවේ නූල් පන්දුව දිග් වෙන්න දිග් වෙන්න මේ මැජික්කරුවා අළුත් අළුත් මැජික් පෙන්වනවා. ඒ කියන්නේ මතවාද දෘෂ්ටි වපුරනවා.

මේ සටහන් තබන භික්ෂූවටත් පිංවත් ඔබටත් එර්දිප්‍රාතිහාර්ය දක්වන්න නොහැකි බව ඇත්ත. අපට නොහැකිය කියලා අතීතයේ එම ශක්තීන් ගොඩනගාගත් උතුමන්ට අගෞරව කිරිම මිත්‍යාදෘෂ්ටියම වැළඳගැනීමක් වෙනවා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තථාගත තෙමේ කයත් සිතෙහි නගාද සිතත් කයෙහි නගාද සුඛසංඥාත් ලඝුසංඥාත් කයෙහි බහාතබත්ද එකල්හී කය නිතැතින්ම පොළොවෙන් අහසට නගී කියලා. නන්වැදෑරුම් ඉදු පෙළහර දක්වයි කියලා. උතුම් සමාධියේ ආශ්චර්යවත් ප්‍රාතිහාර්්‍යයන් බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනාකොට තිබීයදී පංචනීවරණයන්ගෙන් කයත්, සිතත් ටොන් ගණනින් බරකරගත් මනුෂ්‍යයින් ඒ කාමච්ඡන්දයන්ගේ බරට කෙසේ නම් උඩට එසවෙන්නද? මේ පංචනීවරණයන්ගේ බර නිසා මනුෂ්‍යයා සතර අපාය නැමැති පහළටමයි ඇදිලා යන්නේ. වයස් භේදයකින් තොරව, කාමච්ඡන්දයන්ගේ බර ජිවිතවලට පිරවෙනවා.

භික්ෂුව හමුවීමට පැමිණි පිංවත් මහත්මයෙක් මීට මාස හයකට පෙර ප්‍රකාශ කළා, තමාගේ ඥාති පුතා බොහෝම කීකරුයි හොඳින් පින් දහම් කටයුතු කරනවා අධ්‍යාපන කටයුතු කරනවා කියලා. නමුත් ගිය සතියේ දවසක එම මහත්මයා ඇවිත් කියනවා ‘හාමුදුරුවනේ මගේ ඥාති පුතා දැන් හරිම අකීකරුයි. අධ්‍යාපන, ධර්ම කටයුතුවලට හරිම උදාසීනයි. පැය ගණන් කාමරයේ දොර වසාගෙන අන්තර්ජාලය බලනවා කියලා.’ මෙවැනි කාරණයකදී භික්ෂුවක් හැටියට දෙන්න පිළිතුරක් නැහැ. දුක් දෙය සැපයක් කොට ගතහොත් අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් ගතහොත් අසුභ දෙය සුභ වශයෙන් ගතහොත් අනාත්ම දෙය ආත්මීය වශයෙන් ගතහොත් බලාපොරොත්තු කඩවීම මිස අන් දෙයක් ඉතිරි නොවන බව බුදුරජාණන්වහන්සේ දේශනා කොට තිබෙනවා.

දිනක් බුදුරජාණන්වහන්සේ පූර්වාරාමයේ වැඩසිටිනවිට විශාඛා උපාසිකාව බොහොම තෙහෙට්ටුවෙන් දහවල් කාලයේ බුදුරජාණන්වහන්සේ බැහැදකින්න පැමිණියා. බුදුරජාණන්වහන්සේ විශාඛාවගෙන් විමසනවා මේ මහ දවල් කොහේ සිටද පැමිණියේ කියලා. විශාඛා උපාසිකාව කියනවා, පසේනදී කොසොල් රජතුමා මුණගැසෙන්න ගියා, මට රාජකාරි කටයුත්තක් තිබෙනවා. රජතුමාට කියලා කරවා ගන්න. ඒත් එම රාජකාරි කටයුත්ත රජතුමා මට අවශ්‍ය ආකාරයට කරලා දෙන්නේ නැහැ. අදත් මම මේ රස්තියාදු වෙලා සිටුමැදුරට යනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ‘විශාඛාව අපි කැමති දෙය කැමති ආකාරයට සිද්ධවෙන්නේ නැහැ. අපි කැමති දෙය අපි කැමති ආකාරයටම සිදුවේය කියලා බලාපොරොත්තු වුනොත් දුකක්මයි සකස්වෙන්නේ’ කියලා. බුදුරජාණන්වහන්සේ විශාඛාවට දේශනාකළේ නැහැ. ‘ඔබ ගිහින් රජතුමාට කියන්න ඔබයි ශාසනයේ අග්‍රදායිකාව එම නිසා මේ රාජකාරිකටයුත්ත කරලා දෙන්න කියලා. බුදුරජාණන්වහන්සේ මතක්කළාය’ කියලා. සම්මාසම්බුද්ධ මුවින් වචනයක් පිටවුණොත් අර්ථයක් දේශනා වුනොත් එය අනිත්‍ය සංඥාවක් මතුවෙන ප්‍රඥාව වැඩෙන දිශාවටයි ඒ වචනය දේශනා කළේ.

එම නිසා ශ්‍රාවකයින් වශයෙන් පිංවත් ඔබත් සමාජය තුළ වේගයෙන් පැතිරීයන තෙරුවන් කෙරෙහි අසද්ධාව සහ දුශ්ශීලභාවයේ අනිටුඵලයන් පිංවත් ඔබට පීඩා කරන කොට ඒවා තුළින් ප්‍රඥාව වැඩෙන දුකෙන් මිදීමට පාර පෙන්වන අනිත්‍ය සංඥාවක්මයි වැඩිමට දක්‍ෂවෙන්න ඕනේ. එසේ නොවුනහොත් අනුන් නිසා තමන් අකුසල් රැස්කර ගන්නවා. වැරදි කරන කෙනාගේ වැරැද්ද නිවැරදි කිරිමට උත්සහගන්න ගමන්ම වැරැද්දෙන් පිරුණු ලෝකයෙන් මිදෙන දිශාවට සිතුවිලි සකස්කර ගන්න. සිල්වත් වීමට උත්සහ ගන්න. දුසිල්වතුන් නිසා දුසිල්වත් වීමේ මාරවෑයම ඔබ නුවණින් මෙනෙහි කරන්න. අපට හැමෝම සතුටු කරන්න බැහැ. යහපත් දේවල් කරලා ලබන සතුට පිනයි, පින ගැන නොදන්න මිනිස්සු සතුටෙන් බැහැරවෙලා දුකට යනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව ශීලය දානය නිසාමයි පින නැමැති උල්පත සකස්වෙන්නේ. ඉහත කාරණා තුනෙන් බැහැරවෙන පිංවතා ජිවිතය තෘප්තිමත් කිරීමට කුණු රසයන්මයි සොයන්නේ. ශීලයෙන් දුර්වල වෙන මනුෂ්‍යයින් සොයන කුණු රසය බෝහෝම ලාභයට ලබාදෙන ක්‍රමවේදයෙන් ඕනෑතරම් සමාජය තුළ තිබෙනවා. දුශ්ශීලභාවයේ ඵලයන් නිසාම නව ක්‍රමවේදයන් ඇතිවෙනවා. මේ ක්‍රමවේදයන් තුළින් ඔබ ජිවිතය තෘප්තිමත්භාවයට පත්කරගැනීමට ගියහොත් එහි අනිටුවිපාකයන් හැටියට මීළඟ ජිවිතයේදී සැබෑම කුණු රසය රසකරමින් තළුමරමින් භුක්තිවිඳීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

අතීත දුශ්ශීලභාවය නිසා තිරිසන් ලෝකයට වැටී සැබෑම දුශ්ශීලභාවයේ ඵලය වන කුණු රසය භුක්තිවිඳින පිරිසක් භික්ෂුවට හමුවුණා. භික්ෂුව ගමක පිණ්ඩපාතයේ වඞ්නකොට පාරට මීටර් 25 ක් පමණ ඈතින් ලොකු හරකෙක් මැරිලා සිටියා. දෙවන දවසේ පිණ්ඩපාතයේ වඩිනකොට මෙම මියගිය හරකා බෙරයක් වගේ ඉදිමි තිබුණා. තුන්වැනි දිනයේ පිණ්ඩපාතයේ වඞ්නවිට, බල්ලන් වටකරගෙන මැරුණ සතාගේ මස් කඩාගෙන කමින් සිටියා. කොහොමත් සතියක් යන්න ලැබුණේ නැහැ. බල්ලන් නරියන් කබරගොයින් විසින් මේ හරක් මලකුණ සම්පූර්ණයෙන්ම කාලා ඉවර කළා. මේ දවස් ටිකේ බල්ලන්ට මඟුල් ගෙදරක් වගේ. මඟුල් ගෙදර මනාලිය තමයි මැරිච්ච හරක් කුණ. ඒ අය බෝහෝම ප්‍රබෝධයෙන් කුණු මස් රසවිඳලා සතුටු වුණා. උදේ පාන්දරම එතැනට පැමිණෙන සුදු කොක්කු හරක් කුණට වැදුන පණුවෝ සහ නිලමැස්සන් සම්පූර්ණයෙන්ම කාලා ඉවර කළා. සතියක් යන කොට එම මළකුණ තිබු ස්ථානය මැස්සෙක්වත් නැති තරමට සුද්දවෙලා තිබුණා. බලන්න තිරිසන් ලෝකයේ මළකුණකට ඇති වටිනාකම.

පිංවත් ඔබ මනුෂ්‍ය ජිවිතයේදී තාක්‍ෂණය තුළින් කුණු කාම රසයන් සොයා ගොස් දුශ්ශිලභාවයට පත්වුවහොත් එහි හේතුඵල ධර්මයන් වශයෙන් ලබන ජිවිතයේදී තිරිසන් ලෝකයේ ඉපිද බොහෝම කැමැත්තෙන් මළකුණු රසවිඳීමට අවස්ථාව ලැෙබිවි. පිංවත් ඔබ තාක්‍ෂණික මෙවලම් ඉදිරියේ වාඩිවෙලා යම්සේද ඇසට මනසට කාම රසය ලබා දෙන්නේ එසේමයි තිරිසන් සතුන් මළකුණට වහවැටිලා මලකුණ ලඟ පැලපදියම්වෙලා මළකුණ රස විඳින්නේ. මේ මළකුණ කන තිරිසන් සතුන් දිහා බලනකොට සංසාර බිය පිලිබඳ මොනතරම් ගැඹුරු කමටහනක් එහි තිබෙනවාද? එම මළකුණ වටකරගෙන කන සතුන් දකිනකොට භික්‍ෂුවට මතකයට එන්නේ අරක්කු බෝතලයක් හරක්මස් කටගැස්මක් මේසයක් මත තබා එය පාවිච්චිකරන මිනිසුන් පිරිසක්මයි. අරක්කු වෙනුවට කුණලේ රසයත් කටගැස්ම වෙනුවට කුණු මසත්, හේතුඵල ධර්මයන්ට අනූව සංස්කර විසින් ලබාදීලා තිබෙනවා.

භික්ෂුව ඈත ගමක කුටියක වැඩ සිටියා. එම ගමේ එළවළු වගාවෙන් ජීවත්වන පිංවතුන් සිටියේ. භික්ෂුව එම ගමේ ගෙපිළිවෙලින් පිණ්ඩපාතයේ වැඞ්යා. එක නිවසකට වැඩමකොට සිටියදී එම නිවසේ පිංවත් මවක් පීරිසියක තබාගත් කිරිබත් කැබලි දෙකක් භික්ෂුවට පූජා කිිරිමට රැගෙන පැමිණියා. ඇය එක කිරිබත් කැබැල්ලක් පූජාකළ පසු භික්ෂුව ‘ප්‍රමාණවත් මෑණයෝ කියලා’ අත වැසුවා. ඒ වෙලාවේ මේ මෑණියන් කියනවා ‘යක්‍ෂයාට වෙන්කරපු දෙය අපි නැවත ගන්නේ නැහැ කියලා.’ එහෙම කියන කොටම භික්ෂුව දැනගත්තා ඇය අන්‍ය ආගමික මවක්ය කියලා. ඒ වේලාවේ භික්ෂුව බොහෝම කැමැත්තෙන් දෙවැනි කිරිබත් කැබැල්ලත් පිළිගත්තා. එම මව දරණ ආගමික වටිනාකම තුළ ඇය භික්ෂුව දැක්කේ යක්‍ෂයා හැටියට. යක්‍ෂයාටයි ඇය කිරිබත් කෑලි දෙන වෙන් කළේ. ඒකයි යක්‍ෂයාට වෙන් කල දෙය නැවත ගන්නේ නැහැ කිව්වේ. ඒ වෙලාවේ භික්‍සුව පාත්තරයේ පියන වහලා ඇයට පිං දෙන්න. ‘අභිවාදන සීලිස්ස’ කියන වචන දෙක පිටකෙරුවා පමණයි එම මව කීවා ‘අපිට පින් එපාය’ කියලා. භික්‍ෂුව ඒ වෙලාවේ ඇයට කිව්වා ‘දෙවියන්ගේ පිහිටයි’ කියලා. එහෙම කියන කොට ඇය සතුටුවුනා. සිනාසුනා. භික්ෂුවට අවශ්‍ය වුණේ කෙසේ හෝ එම මෑණියන්ව සතුටු කරන්න. භික්ෂුව ඒ දෙය කළා. භික්ෂුව දෙවි පිහිටයි කිව්වා කියලා භික්ෂුවගේ භික්‍ෂුත්වයට කිසිම හානියක් වුණේ නැහැ. ඇය භික්ෂුව කෙරෙහි වෛරයක් කේන්තියක් සකස්කොට ගත්තානම් භික්ෂුව දන්නවා ඇයට ඉන් අත්වන අකුසලයේ තරම. ඒ නිසාමයි භික්ෂුව ඇයට උපකාරවූයේ ඇයව සතුටුකොට පිටත් වූයේ ඇයව සතුටු කොට පිටත් වූයේ. උතුම් සිල්වත්භාවය ඔබට අවදානමෙන් මුදවනවා. නමුත් ඉන්පසුව භික්ෂුව ඇයගේ නිවසට වැඩියේ නැහැ. අන්‍ය ආගමික පිංවතුන්ලා ගොඩාක් කැමැත්තෙන් භික්ෂුවට පිණ්ඩපාතය පූජා කරලා තිබෙනවා වෙනත් ගම්මානවලදී.