සියළු සංස්කාරයෝ අනිත්‍යය, අප්‍රමාදී වෙන්න

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙරාතුව, භික්ෂූන් වහන්සේලා අමතා ප්‍රකාශ කරනවා, “මහණෙනි, පින්වත් ඔබලාට ධර්ම මාර්ගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත්, එම ගැටළු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින අවසාන මොහොතේදී, අසා දැන ගන්නය කියලා. නමුත් ස්වාමීන්වහන්සේලා නිහඬව සිටිය මිසක් කිසිදු ප්‍රශ්නයක් බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ නැහැ. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා භග්‍යවතුන්වහන්සේ වෙහෙසට පත්වෙනවාය කියලා. ඔබට, ඇති ප්‍රශ්න නොවිමසා සිටින්න එපා, ඔබට ප්‍රශ්නය විමසීමට බැරිනම් අන් භික්ෂුවක ලවා හෝ අදාල ප්‍රශ්නය දිරිපත්කරන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දෙවන වතාවටත් දැනුම් දුන්නත් කිසිදු ස්වාමීන්වහන්සේ නමක් බුදුරජාණන්වහන්සේ වෙහෙසට පත්වේවිය යන සිතුවිල්ලෙන්, ප්‍රශ්න ඉදිරිපත් කළේ නැහැ. රැස්ව සිටි ස්වාමීන්වහන්සේලාගේ නිහඬභාවය දැකලා, බුදුරජාණන්වහන්සේ තම ශ්‍රී මුඛයෙන්, අවසාන අවවාදය ලෝකයාට දේශනාකොට වදාළා. භාග්‍යවතුන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි සියළු සංස්කාරයෝ අනිත්‍යයි. සියළු සංස්කාරයෝ කියලා කියන්නේ, සත්වයා අවිද්‍යාව හේතුවෙන් සකස් කොට ගන්නා කුසල් සහ අකුසල් සංස්කාරයන්ටයි. මහණෙනි, මේ සැම කුසල් සහ අකුසල් සංස්කාරයන් විපාකදිලා අනිත්‍ය වෙනවා. කුසල් සංස්කාරයන්ගේ අග්‍රඵලය වන, ලොව්තුරා බුදුරජාණන්වහන්සේත්, අනිත්‍ය භාවයට පත්වෙන ලෝක ධර්මතාවයක්. අකුසල් සංස්කාරයන්ගේ අග්‍රඵලය වන අවීචිමහා නිරයේ නිරි සත්වයාත් අනිත්‍ය භාවයට පත්වෙන ලෝක ධර්මතාවයක්. එම නිසා පින්වත් මහණෙනි, සංස්කාරයන්ට බැදෙන්න එපා. සංස්කාරයන් නිත්‍ය වශයෙන් දකින්න එපා. සංස්කාරයන් වර්ණනා කරන්න එපා. හිස ගිනිගත්තෙක් එම ගිනි නිවා දැමීමට යම් වෙහෙසක් ගන්නේ ද, ඊට වැඩි වෙහෙසක් ගනිමින් භව ගින්දර නිවාගන්න කියලයි අවසාන වශයෙන් බුදුරජාණන්වහන්සේ ලෝකයාට අවවාද කරන්නේ. බුදුරජාණන්වහනසේ ලෝකයාට දේශනාකොට වදාළ අවසාන අවවාදය තුල ගැබ්වෙලා තිබෙන, පරම සත්‍යය අර්ථය වෙන්නේ, සියළු සංස්කාරයෝ අනිත්‍ය නිසා අප්‍රමාදී වෙන්න කියන කාරණයයි. කුමක් කෙරෙහිද පින්වත් ඔබ අප්‍රමාදීභාවයට පත්විය යුත්තේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙරෙහියි, ඔබ අප්‍රමාදීභාවයට පත්විය යුත්තේ. බුදුරජාණන්වහන්සේ තම අවසාන අවවාදයෙන් ලෝකයාට දේශනා කරන්නේ නැහැ, මහණෙනි සියළු සංස්කාරයෝ අනිත්‍යයි. එම නිසා ශාසනය ආරක්ෂාකොට ගන්න සටන් කරන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ අප්‍රමාදීභාවය කියන අර්ථයෙන් බැහැරවෙලා, ශාසනය ආරක්ෂා කිරීම උදෙසා පින්වත් ඔබ සටන් කරන්න ගියොත්, ඒ සටන් කිරීම තුලින් නැවත රැස්වෙන්නේ, අනිත්‍ය වූ සංස්කාරයක්ම පමණයි. අතීතයේ සාරාසංඛ කල්ප ලක්ෂ ගණනාවක්, බුදුරජාණන්වහන්සේලා ලක්ෂ ගණනක්, සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් මුණගැසිලත්, ඒ සැම බුදුරජාණන්වහන්සේ නමක්ම, පින්වත් ඔබට අප්‍රමාදීවෙන්න කියන, අර්ථය දේශනා කරද්දී, අපි තෝරාගෙන ඇත්තේ, ශාසනය ආරක්ෂා කිරීමට සටන් කිරීමයි. බුදුරජාණන්වහන්සේලාගේ අනුශාසනාවන් ඇසුවේ නැහැ. බුදුරජාණන්වහන්සේලා ඉක්මවාගියා, සම්බුදු අවවාදයන් ඉක්මවාගියා, ඒ අතීත සංසාරික පුරුදු වර්තමානයෙත්, පටිච්චසමුප්පන්නව අපි තුල හොල්මන් කරනවා. අතීත සම්මා සම්බුද්ධ ශාසනයක්, එක දවසකින් හෝ වැඩිපුර ආරක්ෂාවුනා නම්, එම ශාසනය ආරක්ෂා වුනේ සටන් කරලා, යුද්ධකරලා, උපවාසකරලා නොවේ. මනුෂ්‍ය ජීවිතවලට සම්මා දිට්ඨියේ අර්ථයන් එකතුකොට ගැනීම තුලින්මයි. ආර්ය අෂ්ඨාංගික මාර්ග යේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීම තුලින්මයි. පින්වත් ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වලකොටගන්නා මොහොතක් පාසා සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන්කිරීමේ උපකාරක ධර්මයන්ට දායකවෙනවා.

බුදුරජාණන්වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන දඹදිව සමාජයේ විමුක්තිය අරමුණුකොට ගන්න මිත්‍යා දෘෂ්ඨීන් 62 ක් තිබුණාය කියලා බුදුරජාණන්වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදි දේශනා කරනවා. මේ සෑම දෘෂ්ඨියක්ම මනුෂ්‍යයා තුල මමත්වයේ කුණු හැව වන, සක්කායදිට්ඨිය පෝෂණය කරන අධර්මයන්, බුදුරජාණන්වහන්සේ හතලිස් පස්වසරක් උතුම් සද්ධර්මය දේශනා කළ ද, බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වා මෙම දෘෂ්ඨීන් තව තව වැඩිවුණා මිස අඩුවක් නම් වුනේ නැහැ. ධර්මයේ නාමයෙන් අප්‍රමාදී නොවී, ප්‍රමාදයට පත්වෙන මනුෂ්‍යයෝ, ලෝකයේ ඉතිරිකොට තබා බුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා ලෝකයෙන් මිදී යනවා. උතුම් සම්බුදු වදනට අකීකරුවන සත්වයෝ නැවත නැවත දුකටම යනවා. ශාඛ්‍ය වංශයේ රජකිරුලේ උරුමය දරාගෙන පැමිණි, අභියෝගයන්ගෙන් තොරව එම ශාඛ්‍ය රජකිරුල හිමිකොට ගැනීමට සියළු අවස්ථාවන් තිබුණ නන්ද කුමරුන්ට, රාහුල කුමරුන්ට, ඥාති උරුමය ලෙස, පිය උරුමය ලෙස, උතුම් පැවිදි උපසම්පදාව ලබාදෙන්නේ, රාහුල ඔබට ලෝකය හදන්න බැහැ. ලෝකය යන ලෝකයකට ගියාදෙන්, පින්වත් රාහුල, ඔබ ලෝකයෙන් මිදී යන්න කියලයි. පින්වත් ඔබට මෙය සටහන් කරන භික්ෂුව ධර්මාවවාදයක් දෙනවා ”ලෝකයට යන ලෝකයකට යන්න දෙන්න, පින්වත් ඔබ ලෝකයෙන් මිදීයන්න.” අතීතයේ බුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා, ලෝකයාට ලබාදුන් පරම ආදර්ශය එයම නේද? මෙය සටහන් තබන භික්ෂුව දෑස් දෙක පියාගෙන මොහොතක් මෙනෙහිකරනවා, අතීතයේ පටිච්චසමුප්පන්නව මට මුණගැසුන බුදුරජාණන්වහන්සේලා ලෝකයට ලබාදුන් එම පරම ආදර්ශයට පිටුපෑම නිසා ලෝකය හදන්නට ගොස් මම ලෝකයේ බන්ධනාගාරගතවීම නිසා, කොයිතරම් නම් දුක් කන්දරාවක් විඳින්නට ඇතිද කියලා. සම්මාසම්බුද්ධ ශාසන භාරකරත්වය දැරූ, බුදුරජාණන්වහන්සේලා ලක්ෂ ගණනක් පිරිනිවීයද්දීත්, උතුම් සද්ධර්මය දේශනාකොට වදාළ මහරහතන්වහන්සේලා කෝටි ගණනක් පිරිනිවීයත්දිත් ඒ උතුම් පරම ආදර්ශයට පිටුපා යමින් අපි තවමත් අප්‍රමාදීනොවී සටන් කරනවා. අප්‍රමාදීභාවය තුල තිබෙන සැපයත්, ප්‍රමාදීභාවය තුල තිබෙන දුකත්, යෝනිසෝ මනසිකාරයෙන් දකින පින්වතා, සැපත්, දුකත්, දෙකෙන්ම මිදීමේ මාවතට අවතීර්ණ වෙනවා.