ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්ටේරියා කොළ අහුරක් ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙන් මොන තරම් සුළු ප්‍රමාණයක්ද ලෝකයාට දේශනාකර ඇත්තේ. පිංවත් ඔබට නිවීමේ මාර්ගයට පමණක් අදාළ පුංචි ධර්මයක් මේ තරම් සරළව දේශනා කරලත්, එම ධර්මය නාසා අපේ ඇත්තෝ මේ සා දෘෂ්ඨි මතවාද ශීලවෘතවල පැටලෙනවා නම් බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ ධර්මයෙන් අඩක් හෝ අපට දේශනා කළා නම් අපි සියල්ලන් මොන විනාශයක් සිදුකරගනීද? බුදුරජාණන් වහන්සේලා සතු මහාකරුණා ඥානය නිසාමයි ලෝකයාට භවනිරෝධයට අවශ්‍ය කරුණු කාරණා පමණක් දේශනා කරන්නේ. ඉකුත් (සතියේ) සටහනේ පෙර සඳහන් කළ “පව් නොකරනවා නම් පිංකරන්න අවශ්‍ය නැහැ” දෘෂ්ඨිය ගැනීම නිසා ඔහු මේ මොහොතේ සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික මනුෂ්‍ය ජීවිතයක. මොහුට මේ ජීවිතයේදී දැනීමක්වත් නැහැ මොහු පෙර ජීවිතයේදී බෞද්ධයෙක් කියලා. තමා විසින් තමාටම කරගන්නා වූ මීට වඩා විනාශයක් තිබෙනවාද? මේ සා විනාශයක් තමා තමාටම කරගන්නේ “මම” කියලා ගොඩනගාගන්නා සක්කාය දිට්ඨිය නිසා. අප්‍රමාණ දුකෙන් පිරි අප්‍රමාණ ගහනයකින් පිරි සතර අපාය අභිබවා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබීමට පෙර ජීවිතයේ අප්‍රමාණ පිංකම් කළ පිංවතුනේ… මොහොතක් විවේකීව සිතන්න. පිංවත් ඔබ ගිය ජීවිතයේදී නතර කළ තැනක් තිබෙනවා. ඒ නතර කළ තැන බොහෝම පාරිශුද්ධ තැනක්. පාරිශුද්ධයි කීවේ දානයෙන්, ශීලයෙන්, සද්ධාවෙන් පාරිශූද්ධ නිසා. දැන් ඔබ මෙනෙහි කරන්න හේතුඵල ධර්මයන්ට අනුව, පිංවත් ඔබ අනුමාන කරන්න ඔබ ගිය ජීවිතයේදී මනුෂ්‍යයෙක්ය කියලා. සිංහල බෞද්ධයෙක්මය කියලා. පිංවත් ඔබ මනසින් සිහිපත් කරන්න සුදු වත් දරාගෙන වයස අවුරුදු අසුපහක්, අනුවක් වෙනතුරු ශිල් සමාදන්ව සමාදන් වූ ශීලය ආරක්ෂාකරගත් හැටි.
පිංවත් ඔබ මෙනෙහි කරන්න මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ලබපු හැටි. දන් පුජාකළ හැටි. මේ කුසල් සංස්කාරයන් සිදුකරමින් ඔබ කුමක්ද ප්‍රර්ථනා කරන්න ඇත්තේ. මේ ධර්මද්වීපයේම උපත ලබන්න කියලයි. මේ ධර්මද්වීපයේම උපාසක උපාසිකාවක් වේවා කියන පැතුමයි. පිංවත් ඔබ දක්ෂවෙන්න, තරුණ මහලු සැවොම ඒ යටගියා වූ මතකය නැවත මතුකොටගන්න. එවිට පිංවත් ඔබට නතර කළ තැනින් නැවත පටන් ගන්න පුළුවන්. එසේ නොවුනහොත් පිංවත් ඔබලා උත්සාහගන්නේ මුල ඉඳන් නැවත අලුතින් පටන් ගන්න. තරුණයෙක් තරුණියෙක් නම් ඔහු හෝ ඇය සිතනවා වයසට යන්න ඕනේ සිල් සමාදන් වෙන්න, දන්දෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්න කියලා. එම වැරදි අදහසට ඉඩදෙන්න එපා. තරුණ කාලයේදීම සුදු වත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න. එහෙම වුණොත් පමණයි ඔබ මේ ජීවිතයේදී ප්රමාදී නොවුණා වෙන්නේ. පිංවත් ඔබ තරයේම විශ්වාස කරන්න අතීත ජීවිතයේදී ඔබ දෘෂ්ඨි මතවාදයන්ගේ ග්‍රහණයට නතු වූ බෞද්ධයෙක් නොවන බව. එසේ වුවානම් හේතුඵල ධර්මයන්ට අනුව ඔබ මිත්‍යාදෘෂ්ඨික භාවයෙන් තමයි උපත ලබන්නේ. එම නිසා පිංවත් ඔබ තුළින්ම ඔබ සහතිකයක් ලබන්න. ගිය ජීවිතයේදී ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්මය කියලා. ඔබේ පිහිට රැකගෙන පැමිණි සද්ධර්මයේ උරුමය, අසත්පුරුෂ ආශ්‍රය අකීකරුභාවය නිසා දෘෂ්ඨිමතවාදවල, අන්යශීලවෘතවල සිරකොට දමන්න එපා. එය ඔබ විසින්ම ගොඩනගා ගත් දෙය ඔබ විසින්ම විනාශ කර දැමුවා වෙනවා.
ඉහත සටහන අර්ථවත් වෙන්න පහත සටහන ඔබට උපකාරවේවි.
මේ රටේ ජීවත්වන ප්‍රභු කාන්තාවක් සිටිනවා. ඇය ධනයෙන් බලයෙන් අනූනයි. ඇය මහේශාඛ්‍ය කාන්තාවක්. භික්ෂුවක් උතුම් සමාධියෙන් අරමුණුකර බලනවා ඇයගේ පෙර ජීවිතය ගැන. එවිට භික්ෂුවට දර්ශනය වෙන්නේ ඇය ගිය ජීවිතයේදී මනුෂ්‍ය ලෝකයේම කාන්තාවක් බවයි. භික්ෂුවට ඇයව දර්ශනය වී ඇත්තේ ඇය ගිය ජීවිතයේදී මහලු වයසේදී ද, තරුණ වයසේදී ද සුදු වත් දරාගත් කාන්තාවක් බවයි. ඒ කියන්නේ ඇය තරුණියක්ව සිටි අවධියේ පටන් මියයන තුරාවට ශීලයම ජීවිතය කරගත් කාන්තාවක් බවයි. දැන් පිංවත් ඔබ හේතුඵල ධර්මයන්ට අනුව ඇයගේ මේ ජීවිතය දකින්න. මේ ජීවිතයේදී ඇයට මහේශාඛ්‍ය භාවය ලැබුණේ අන් කවුරුත් දුන් නිසා නොව පෙර ජීවිතයේ ශීලයේ ආනිසංස ධර්මයන් නිසාමයි. දෙවියෙක්, බ්‍රහ්මයෙක් එසේත් නැතිනම් ඇයගේ ස්වාමිපුරුෂයා ඇයට දුන් මහේශාඛ්‍ය භාවයක් නොවේ. ඇයම කර්මය කර්මඵල විශ්වාසයෙන් ආරක්ෂා කළා වූ ශිලයේ බලයයි. ගිය ජීවිතයේදී ඇය විසින්ම රැස්කළ කුසල් සංස්කාර සුවසේ මේ ජීවිතයේ අත්විඳින මහේශාඛ්‍ය ඇය මේ ජීවිතයේ හරි අඩක් පමණ මේ දක්වා පැමිණියද ගිය ජීවිතයේ නතර කළ තැනින් මේ දක්වා තම ජීවිතය පටන්ගත් බවක් දකින්නට නැත. ඇයගේ මහේශාඛ්‍ය භාවය නිසාම ගිය ජීවිතයේදී ශීලයේ ආනුභාවයෙන් ලැබූ කුසල් සංස්කාර විඳිනවා පමණක්මය. ගිය ජීවිතයේදී දිවි පරදුවට තබා රැකි ශීලය නෙක්කම්මය උදෙසා නොව භවයේ සැප උදෙසා ෙච්තනා සකස්කර ගෙන එහි ඵලයක් මේ ජීවිතයේදී ලැබ ප්‍රමාදීභාවයට පත්ව භවයේ අනතුරුදායක බව ඇය දැන් අත්විඳින්නීය. කුසල් සංස්කාරයන්ගේ අනතුරුදායක බව ඇය දැන් අත්විඳින්නීය.
නැවතත් සටහන් කරමි සංස්කාරයෝ අනතුරුදායකයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මඟ නොමඟ නිවැරදිව හඳුනාගන්න. හේතුඵල ධර්මයන් නොදකිමින් පිංවත් ඔබ කුසල් සංස්කාරයන් පරිහරණය කළොත් එම කුසල් සංස්කාරයන්ම ඔබව සතර අපායට වැටීමටත් පාර පෙන්නාවි. ඉහත කාරණය නුවණින් මෙනෙහි කර පිංවත් ඔබ ඔබේ පිංවත් ජීවිතයේ ධනය, බලය, රූපය හේතුඵල ධර්මයන්ට අනුව ගලපා බලන්න. ඒවා සකස්වීමට බලපෑ හේතූන් ධර්මානුකූලව හඳුනාගන්න. ගිය ජීවිතයේ පිංවත් ඔබ නතර කළ තැනින් මේ ජීවිතය පටන් ගන්න. ගිය ජීවිතයේ පිංවත් ඔබ නතර කළේ සුදුවත් දරාගෙනමයි. එසේ නම් මේ ජීවිතයේදී තරුණ වියේදීවත් පිංවත් ඔබ සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න. ඔබට මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබාදීමට උපකාරී වු ධර්මයට ගරුකරන්න. පිංවත් ඔබ හිතන්නේ ඔබේ පරම්පරාවෙන්, දෙමාපියන්ගෙන්, දේපල නිසා, අධ්‍යාපනය නිසා, ලබාගත් නිලතල නිසයි මේ සශ්‍රික භාවය ලැබුණේ කියලා. ඔය සමහරු කියන්නේ කවුරුත් නිසා නොවෙයි මමයි දහදුක් විඳගෙන අධ්‍යාපනය හදාරල මේ තැනට පැමිණියේ කියලා. පිංවත් ඔබ දුක්විඳල තමයි ඔය තැනට ආවේ. එය සම්පූර්ණ සත්‍යයක්. නමුත් මේ සියල්ලටම ඔබට, මට නොපෙනෙන ධර්මතාවයක් තිබෙනවා. හේතුඵල ධර්මයක්. ඒ පෙර ජීවිතයේදී ඔබ විසින් සකස්කොටගත් කුසල් සංස්කාරයන්ගේ ශක්තියයි. එම නිසා පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි කෘතගුණ දක්වන්න. ශීලය, දානය කෙරෙහි කෘතගුණ දක්වන්න. කෘතවේදී මනුෂ්‍යයෙක් වෙන්න. මිථ්යදෘෂ්ඨියට, දුෂ්ශීලභාවයට, මසුරු බවට ඔබේ ජීවිතය තුළින් ඉඩකඩ සලසා ඔබේ ජීවිතයට ඔබ ද්‍රෝහිවෙන්න එපා. ගුණමකු වෙන්න එපා. ධර්ම මාර්ගය අර්ථවත්ව වඩමින් අතීතයේ ඔබ රැස්කළාවු කුසල් සංස්කාරයන්ගේ උපරිම ඵලය නෙලාගත් ඥානවන්ත උත්තමයෙක් වෙන්න. මේ භව ගමනේ සතර අපායන්හි කවදාකවත් අතරමං නොවන්න. මෙන්න මේ උතුම් අරමුණ උදෙසාමයි මේ ජීවිතය පිංවතුන්ලාට ලැබුණේ. එම නිසා අතීත මතකය මතක් කරගෙන ප්රමාදී නොවී අප්රමාදී වෙන්න. කුසල් අකුසල් සියලුම සංස්කාරයෝ අනිත්‍ය බවම සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේදීම නිවන් අවබෝධයෙන් සැනසීම සඳහා, සතර අපායෙන් මිදීම සඳහා පිංවත් ඔබ කාරණා හතරකින් සම්පූර්ණ විය යුතුය කියලා. එම කාරණා හතර තමයි සද්ධාව, වීර්යය, හිරි ඔතප් කියන්නේ. හිරි ඔතප් කියන්නේ ශීලය. පිංවත් ඔබ ලැඡ්ජා බය දෙක සකස්කොට ගන්න ඕනේ. නැවත තිරිසන්, ප්‍රේත, අසුර, නිරයට නොවැටෙන්න. මෙතනදී තමයි ඔබ තුළ අයෝමය වීර්යය සකස්කරගත යුත්තේ. එසේ නොමැතිව පිංවත් ඔබ කාමච්ඡන්දයට යටවී ‘මට පාරමී මදි’, එසේත් නොමැතිනම් ‘ලෝභ, ද්වේශ, මෝහ අඩු වූ ත්‍රිහේතුක ප්රතිසංධියක් ලබා ගන්න තව ගොඩාක් සසර යන්න තිබෙනවා’ මෙවැනි කථා සද්ධාව වීර්යය මඳබවේ ප්‍රතිඵලයක් මිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අර්ථ දැක්වීම නම් නොවේ. නමුත් බුද්ධකාලීන සමහර සිදුවීම් තිබෙනවා පෙර අදහස් සනාථ කර දක්වන්න. මෙහිදී අප නිහතමානීව දකින්න ඕනේ අප තුළ සද්ධාව, වීර්යය, හිරි ඔතප් හීන නිසාමයි ඉහත නිදහසට කාරණා සොයන්නේ කියලා. අප විසින් නිදහස උදෙසා පෙළගස්වන ඉහත කාරණා අපේ කෙලෙස්වල දිග පළල මිස ධර්මයේ සන්දිඨික ගුණයේ වරදක් නම් නොවේ. හිස ගිනිගත්තෙක් එම ගින්න නිවන්න වෙහෙස ගන්නේ යම්සේද මේ භවගින්නෙන් මිදීමට එපමණටම වෙහෙස ගන්න යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, භවයේ තව දුරටත් සැරිසැරීම අනතුරුදායක බව කියාදීමටය. එම සිතුවිල්ල තුළ ඇති දුක් ගින්දර කෙරෙහි බිය ඇති කරගන්න. ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකොට ගන්න. ඔබ තුළ නැති වීර්යය එවිට ඇති වේවි සිත නැමති මාරධර්මය විනිවිද දැකීමට.