පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක් සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක් ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව් කරන අයයි පිංකළ යුත්තේ කියලා. මතුපිටින් මේ අදහස් බැලුවහම එකිනෙකට බොහෝම හොඳින් ගැලපෙනවා. නමුත් මෙවැනි දෘෂ්ඨි තුළ සැගවී ඇති සතුරා තමයි මිත්‍යාදෘෂ්ඨිය. පිංවත් ඔබේ ජීවිතය දෙස හොඳින් හැරී බලන්න. යහපත් අම්මා, තාත්තලාට දාව බෞද්ධ පරිසරයක ඉපදිලා ඔබට හතරුකම් කරන දෘෂ්ඨීන් වලට යටවීම තුළින් මේ මනුෂ්‍ය ජීවිතයට ඔබ මොනතරම් සතුරු කමක්ද සිදුකර ගන්නේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සංස්කාරයෝ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන්නාවූ කාය, වචී, මනෝ සංස්කාර. කයින්, වචනයෙන්, මනසින් සිදුවෙන්නාවු කුසල් සහ අකුසල්. ඒ කියන්නේ පිංවතුන් සිදුකළා වුද සිදුකරගන්නාවූද සියළුම කුසල් සහ අකුසල් සංස්කාර විපාකදී අවසන් වන බවයි. අති බහුතරයක් මිත්‍යදෘෂ්ඨික මිනිසුන් ජීවත්වන ලොවක පිංවත් ඔබට මේ අර්ථවත් බෞද්ධයෙක් ලෙස ජීවිතයක් ලැබුණේ කුසල් සංස්කාරයන් නිසා. ඇස් අන්ධ, කන් බිහිරි, දිව ගොළු, අංග විකල මිනිසුන්ගෙන් ගහන ලොවක අංග සම්පූර්ණ මනුෂ්‍ය ශරීරයක් ලැබුණේ කුසල් සංස්කාරයන් නිසා. විරූපී මිනිසුන් ජීවත් වන ලොවක පිංවත් ඔබට අනුන්ගේ සිත් වසඟ කරන රූපයක් ලැබුණේ, රෝගී මිනිසුන් බහුල ලෝකයක පිංවත් ඔබට නිරෝගී ජීවිතයක් ලැබුණේ අතීත කුසල් සංස්කාර නිසා. පිංවත් ඔබට යහපත් සමාජ තත්වයක්, යහපත් දෙමාපියන්, ඥාතීන්, බිරිදක්, සැමියෙක්, දරුවෙක් ලැබුණේ අතීත කුසල් සංස්කාර නිසා. පිංවත් ඔබ මගේ කොටගෙන සතුටු වෙන සියල්ල ඔබට අතීතයේ රැස්කළාවූ සංස්කාරයන්ගේ ප්රතිඵලයි. මේ ඇස ඔබට ලැබුණේ කුසල් සංස්කාරයක් නිසා. දැන් ක්‍රමක්‍රමයෙන් ඔය ඇස ගෙවී යනවා. මේ මුළු ශරීරයේම ස්වභාවය එයයි. මේ අංගසම්පූර්ණ ශරීරය ඔබට ලැබුනේ කුසල් සංස්කාරයන් නිසා. සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයයි. එම නිසා ගිහි පිංවත් ඔබ නැවත නැවත රැස්කළ යුතුයි. පිංවත් ඔබට යහපත් බිරිඳක් ලැබිලා තිබෙනවා. ඇය ඔබට බොහෝම කීකරුයි. දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙනවා. මේ බිරිඳ ඔබට ලැබුණේ කුසල් සංස්කාරයක් නිසා. හොඳයි ඔබට නිරතුරුවම පීඩාදෙන වධක භාර්යාවක් ලැබුණේනම් බිරිඳගෙන් ලැබෙන සතුට තිබෙනවාද? නැහැ. එහෙනම් ඔබට රණ්ඩුවෙන්න, පොලීසි යන්න, දික්කසාද වෙන්න… ප්‍රශ්ණ ගොඩක් මුණගැසෙනවා. එය අකුසල් සංස්කාර නිසා සිදුවන්නක්. මේ දුක සහ සැප දෙකටම හේතුව අතීත කුසල් සහ අකුසල් සංස්කාරයන්මයි. එසේ නැතිව හඳහනේ වරදවත්, කපු මහතාගේ වරදවත් නොවේ. ඔබම අතීතයේ රැස්කළාවූ කුසල් අකුසල් වල ප්රතිඵලයි.
ඔබට සැප ලබාදෙන කුසල් සංස්කාරයන් මෙන්ම දුක ලබාදෙන අකුසල් සංස්කාරයන්ද විපාක දී අවසන් වෙනවා. ඔබ මේ ජීවිතයේදී සැප ලබනවාය කියන්නේ ඔබම රැස්කරපු දෙය ගෙවෙනවාය කියන කාරණයයි. එම සැප ලබන්න ලබන්න ඒවා (කුසල් සංස්කාරයන්) ක්ෂයවී යනවා. ක්ෂය වන දෙය ඔබ නැවත නැවත රැස්කළ යුතුයි. එසේ නැතිවුවහොත් නැවත ලබන ජීවිතයේදී ඔබ හීන, දීන භාවයට පත්වෙනවා. එබැවින් “අපි පව් කරන්නේ නැති නිසා පිං කරන්න අවශ්‍ය නැහැ” ය කියන මුසාවාදය, මිත්‍යාදෘෂ්ඨිය ගැන පිංවත් ඔබ පරෙස්සම් වන්න. නැවත නැවත පිංකම් සිදුකරමින් ගෙවී යන කුසල් සංස්කාරයන් තව තව වඩවා ගන්න. පිංවත් ඔබ අත්විඳින්නා වූ අකුසල් සංස්කාරයන්ගේ විපාකයන්ද, දුකද නැවත නැවත පිංකම් සිදුකරමින් රැස්කරන්නාවූ කුසල් සංස්කාරයන්ගේ ශක්තියෙන් යටපත් කර නැගී සිටින්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මොහොතේ පිංවත් ඔබගේ දෑසින් කඳුලක් ගලනවා නම්, ඒ ඔබ පෙර ජීවිතයේදී අනුන්ගේ ජීවිතයකට කඳුලක් දුන් නිසාමයි කියලා. ඔබ මේ මොහොතේදී සතුටින් සිනාසෙන්නේ නම් ඒ පෙර ජීවිතයේදී ඔබ අනුන්ට සතුටක් දුන් නිසාමයි කියලා. එසේ නම් පිංවත් ඔබගේ සිනහවටත් කඳුලටත් හේතුව ඔබගේ අතීත සංස්කාරයෙන්ගේ ඵලයයි. මෙසේ විවේකීව, හේතුඵල ධර්මයන්ට අනුව ජීවිතය දකින්න. මේ දැකීම ඔබට අත්‍යවශ්‍යයි, ධර්මය කෙරෙහි අචල සද්ධාව සකස්කර ගන්න. මේ ධර්මතාවයන් ගැන විශ්වාසයක් නැති මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබූවත් මිත්‍යදෘෂ්ඨික භාවයට පත්වෙනවා. ඊට අමතරව කර්මය කර්මඵල ගැන විශ්වාසයක් නැති නිසා, දානය කෙරෙහි ඇති උදාසීනභාවය නිසා දුප්පත්වෙලයි උපත ලබන්නේ. මෙහෙම උපතක් සකස්කරගත් මනුෂ්‍යයෙක් ගැනයි පහත සටහන.
මොහු මධ්‍යම පංතික ජීවිතයක් ගතකළ මහත්මයෙක්. විවාහවෙලා දරු මුණුබුරන් සිටියා. මොහු කවදාවත් සිල් සමාදන්වුණේ නැහැ. දන් දෙන්න ගියේ නැහැ. මොහුගේ දර්ශණය වුනේ “මම වැරදි කරන්නේ නැහැ. එම නිසා මට පිං කිරීමට අවශ්‍යතාවයක් නැහැ” කියන එකයි. මේ කෙනා මනුෂ්‍යයන්ට උපකාර කළා. ඒත් කර්මය කර්මඵල ගැන විශ්වාසයෙන් නොවෙයි. එම නිසා ඔහු කළ යහපත් දේවල් හුදු ඒ මොහොතේ සතුට ලැබූ ක්‍රියාවන් පමණක් වුණා. මේ මනුෂ්‍යයා අවුරුදු 65 ක් පමණ ජීවත්වී මියයනවා. මොහුගේ මරණින් පසුව භික්ෂුවක් උතුම් සමාධියෙන් අරමුණුකර බලනවා මොහු කිනම් තැනක නැවත උපත සකස්කරගත්තාද කියලා. එවිට භික්ෂුවට දර්ශනය වන්නේ දුප්පත් පැල්පතක උපත ලබා සිටින කළු පැහැති දරුවෙක්. පෙනුමෙන් භික්ෂුව අනුමාන කළේ ඒ ද්‍රවිඩ දරුවෙක් බවයි. ඒ කියන්නේ මේ මනුෂ්‍යයා තමන් අකීකරුභාවයෙන් ගත් දෘෂ්ඨිය නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකරගත් බවයි. දැන් මොහු මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වී අවසන්. මේ විනාශයෙන් මොහු කවදා ගොඩ එන්නද? එය දැන් සිහිනයක් පමණයි. මේ සා අර්ථවත් වටිනා දහමක හිමිකරුවෙක්ව ඉපදිලා, තම තමන්ට ඕනෑ ආකාරයට ධර්මය ගලපාගැනීමට යාම නිසා මොහු සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකර ගත්තා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනාකර වදාළ ධර්මය පිංවත් ඔබ විසින් ඔබේ දෘෂ්ඨීන්ට අනුව අර්ථ දක්වන්න යන්න එපා. එහෙම වුණොත් එහි විපාකය ඔබට ශාසනය අහිමිවී මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වීමයි.
පිංවත් ඔබට පෙනෙනවා ශාසනයේ අර්ථයන් බෙහොම වේගයෙන් අතුරුදන් වෙමින් යන ස්වභාවය. ධර්මයේ සන්දිට්ඨික ගුණය ගැන වර්තමානයේ බොහොම අඩුවෙනුයි කථා කරන්නේ. ධර්මයේ අර්ථය වන චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන “දුක” වෙනුවට “සැප” කියන කාරණය දකින්න කැමැති ප්‍රවණතාවක් සමාජය තුළ තිබෙනවා. මේ ප්‍රවණතාවය වැඩිවෙන්න වැඩිවෙන්න අපි මොකක්ද ලෝකය තුළ දකින්නේ? ඒ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවීම. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව දෘෂ්ඨීන්, මතවාද කරපින්නාගත් බෞද්ධයන්ගේ වැඩිවීම. මේවා කම්පාවිය යුතු දේවල් නොවේ. හේතුඵල ධර්මයන්මය. ධර්මයේ සැබෑ අර්ථයට පිටුපාන සම්බුද්ධ දේශනාවන් වැරදි ආකාරයට අර්ථ දක්වන කිසිම ගිහි පැවිදි පිංවතකුට මේ ජීවිතයෙන් පසු ශාසනයේ රැකවරණය උරුමවෙන්නේ නැහැ. මිත්‍යදෘෂ්ඨිකභාවයේ අඳුර රැඳි භව ගින්දරයි උරුම වෙන්නේ. පිංවත් ඔබ ධර්මයේ අර්ථයෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් යුත් බෞද්ධයන් අඩුවෙනවා. සමහර පිංවතුන් බොහෝම වේදනාවෙන් කථා කරනවා සිංහල බෞද්ධ අම්මලා දරුවන් උපරිම දරුවන් දෙදෙනයි හදන්නේ. මුස්ලිම් ද්‍රවිඩ අම්මලා දරුවන් ගොඩක් හදනවා කියලා. මේ හේතුවෙන් බෞද්ධයන් අඩුවීගෙන යනවා කියලා. පිංවත් ඔබ කලබල වෙන්න එපා. මේවා හේතුඵල ධර්මයන්. ඔය සෑම ද්‍රවිඩ, මුස්ලිම් අම්මා කෙනෙකුගේම කුසේ උපදින්නේ, මේ උතුම් සද්ධර්මයේ අර්ථයන්ට පිටුපෑ දෘෂ්ඨි, මතවදා නිසා ශාසනය අහිමිකරගත් බෞද්ධයන්මයි. ඉහත කරුණු කාරණා පිංවත් ඔබ ධර්මානුකූලව නොසිතා, දෘෂ්ඨිගතව සිතන්නට ගියොත්, ඒ හේතුවෙන් ද්වේෂය සකස්කර ගතහොත් පිංවත් ඔබටද මීළඟ උරුමය එවැනි මව්කුසක් වීමට පුළුවන්.
ලෝකය ලෝකයේ ස්වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ධර්මයේ ස්වභාවයට එන්න. ඔබ තෙරුවන් සරණ ගිය උපාසක, උපාසිකාවක් වෙන්න. කර්මය කර්මඵල විශ්වාසයෙන් ජීවිතය දකින්න. එවිට ඔබට පුළුවන් සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි සෑම මව්කුසක්ම දුක බව දකින්න. ලෝකය අනතුරුදායකයි. බොහෝම පරෙස්සමෙන් පරිහරණය කරන්න. ලෝකය යනු පංචඋපාදානස්කන්ධයම බව දකින්න. මේ මොහොතේ ජාතිය සිංහල, ආගම බුද්ධාගම සහිත උප්පැන්න සහතික හිමි ඔබ එහි අර්ථයන් නොගැලපෙන ආකාරයට දෘෂ්ඨිගත වුවහොත් ඔබ මියගොස් හරියටම මාස 9 කට පසු ජාතිය ආගම හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි යැයි සඳහන් උප්පැන්න සහතිකයක හිමිකරුවෙක් වීමට ඔබට හැකිය. මේ සියල්ල සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයන්ය. කොතැනකවත් වරදක් නොමැත. ඔබට වැරදුණිද ධර්මයට වරදින්නේ නැත. ධර්මයට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් භේදයක් නොමැත. සංස්කාරයන්ගේ ස්වභාවය මත තීන්දුව ලබාදීම ධර්මයේ අර්ථයයි. එහෙත් මේ උතුම් මොහොතේ පිංවත් බෞද්ධ ඔබට අන් සියල්ලන්ටම වඩා ආශ්චර්යමත් භාග්‍යයක් ඇත. ඒ සම්මා සම්බුද්ධ ඥාණයෙන් තුන් ලෝකය අවබෝධකොට වදාල උතුම් ශාස්තෘන්වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ උරුමය ලැබීමයි.
මුළු ලෝකයම එක ගොඩකට දමා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට විත් ලෝකය දකින්න.
ලෝකය විසින් දකින ලෝකය හුඟාක් සංකීර්ණයි. එම ලෝකය තුළ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්…. පිං, පව්, හොඳ, නරක, සාමය, යුද්ධය….. මේ සියල්ලම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය මීට වඩා හුඟාක් සරළයි. චතුරාර්ය සත්‍ය ධර්මය ගත්තත්, පටිච්ජසමුප්පාද ධර්මය ගත්තත් අවිද්‍යාව විසින් සංකීර්ණභාවයට පත්කර ඇති ලෝකය බොහෝම සරළ තැනකට ගෙනෙනවා. තෘෂ්ණාව කියන එකම කාරණය නිසා ලෝකය අල්ලාගන්නා ස්වභාවයත්, තෘෂ්ණාව කියන එකම කාරණය ප්‍රහානය කිරීමෙන් ලෝකයෙන් මිදෙන ස්වභාවයත් බොහෝම අර්ථවත්ව දේශනා කර තිබෙනවා. පිංවත් ඔබ තෘෂ්ණාව කියන කාරණයෙන් මුළු ලෝකයටම බැඳී සිටියත්, එම ලෝකය කියන සංකීර්ණ කාරණය බුදුරජාණන් වහන්සේ ඔබ තුළින්ම සකස්වෙන රූප, වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ කියනා කරුණු පහ තුළට ගේනවා. මුළු ලෝකයේම ක්‍රියාකාරීත්වය පංචඋපාදානස්කන්ධය තුළට ගේනවා.