‘මම’ නැමැති කුණු ගොඩට තවත් කසල එකතුවීමට ඉඩනොදෙන්න

රූපය දෙසත්, රූපය ඇසුරුකොට සකස්‌වෙන සිත දෙසත් ඔබ සතියෙන් සිහියෙන් යුක්‌තව බලා සිටින්න. ඇසේ අනිත්‍යභාවයත්, බාහිර රූපයන්ගේ අනිත්‍යභාවයත්, රූපයත් විඥානයත් ඵස්‌සය වීමෙන් සකස්‌වෙන වේදනා, හඳුනාගැනීම්, ෙච්තනා, විඥානයන්ගේ අනිත්‍යභාවයත් දකින්න. ‘මේවා අනිත්‍යයයි නේද ‘ යන දැනීම ඔබ තුළ ඇති වෙන විට මමත්වයේ දැඩිභාවය කියන සක්‌කාය දිට්‌ඨියද ඔබගෙන් සිඳී යනු ඇත. සිල්පද ජීවිතය තුළින් ආරක්‍ෂා කරගැනීම නිසා ද ඔබ තුළ ඇති වන්නේ, ඔබ අතීතයේ කැමැති කළ මාරපාර්ශ්වික ධර්මයන්ගේ අතහැරීමකි. ශීලය තුළින් ඔබ තැන්පත්, නිහඬ චරිතයක්‌ බවට පත්වේ. ඒ නිහඬභාවය තුළ ද තිබෙන්නේ විඳීමේ සියුම්භාවයකි. මේවා ධර්මානුකූලව ගලපාගැනීමට ඔබ දක්‍ෂ වුවහොත් එය ඔබගේ භාග්‍යයකි. මන්ද, ඔබ ගන්නා වූ සෑම උත්සහයකදීම ඉහත මාරපාර්ශ්වික ධර්ම ඔබට මාරයාගේ සක්‌කාය දිට්‌ඨිය නැමැති කටුඔටුන්න පළන්දා ලෝකය තුළ අභිශේක කිරීමට උත්සහගන්නා හෙයිනි. එහෙයින් පිංවත් ඔබ මමත්වයේ දැඩිභාවය ක්‍ෂයවන ආකාරයට දන්දෙන්න. සිල් ආරක්‍ෂා කරන්න. මෛත්‍රිය වඩන්න. සද්ධර්මය ශ්‍රවණය කරන්න. ධර්ම මාර්ගයේ පෙරට යන්න.

යම් තැනකදී ඉස්‌මතුවන්නේ ‘මම’ නම් වහාම අඩියක්‌ පසුපසට තබන්න. ‘මම’ කියන දෘෂ්ටියට හැම මොහොතකම පරාජයම අත්කරදෙන්න. ඒ ඔබ පරාජය කිරීමට උත්සහගන්නේ සක්‌කාය දිට්‌ඨියයි. ඒ කියන්නේ සතර අපායේ උපතයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සතර අපායෙන් මිදීමේ මේ උතුම් මාර්ගය පිංවත් ගිහි පිංවතුන්ලා උදෙසාමයි දේශනා කරලා තිබෙන්නේ. මෙවැනි ගැඹුරු ලෝකාවබෝධයක්‌ ලබන සරල ධර්ම මාර්ගයක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන කව්රුනම් දේශනා කරන්නද? පිංවත් ගිහි පිංවතුන්ලාට ගිහි වගකීම්වල යෙදෙන ගමන් මෙම ධර්ම මාර්ගය වඩන්නට පුළුවන්. ව්‍යාපාරයක්‌ , රැකියාවක්‌, ගොවිතැනක්‌, අධ්‍යාපන කටයුත්තක්‌ කරන ගමන් සතර අපායෙන් මිදෙන ධර්මතාවයන් වඩන්න පුළුවන්. විවාහ ජීවිතයක්‌ ගතකරන ගමන්, බිරිඳ දරුවන් නඩත්තුකරන ගමන් එම වගකීම්ද නිවැරදිව ඉටුකරමින් සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් ඔබට පුහුණු කරන්න පුළුවන්. ඔබට ඒ වගේ ලෞකික ආශ්වාදයන් ලබමින්ම, ඒවා ප්‍රතික්‍ෂ්ප නොකර සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් පුහුණුකරන්න පුළුවන්. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත්වන්න පුළුවන්. මොන තරම් සුන්දර ධර්මයක්‌ ද, අවස්‌ථාවක්‌ ද ලොව්තුරා සම්මා සම්බුදුගුණයෙන් අවබෝධකරගෙන පිංවත් ඔබට ගැලපෙන, ඔබව සැනසෙන ලෙසින් මේ සා සරල කර දේශනා කර තිබෙන්නෙ. මේ සරලභාවය නිසාම අපි වැනසෙන අවස්‌ථාවන් ද තිබෙනවා. එහෙම වෙන්නේ අප මේ ධර්ම මාර්ගය තවත් සරලකර ගැනීමට යැමෙන්.

අපි එහෙම කරන්නේ අපේ තිබෙන්නා වූ අධිමානය නිසාමයි. මේ ගැඹුරු ලෝකාවබෝධයන් පිළිබඳව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යමක්‌ දේශනා කර තිබෙනවා නම්, පහදා දියහැකි සරලම අර්ථයෙන් තමයි එම ධර්මය දේශනා කර තිබෙන්නේ. අපේ තිබෙන අධිමානය නිසා තෙරුවන් කෙරෙහි අශ්‍රද්ධාව නිසා ලොව්තුරා සද්ධර්මය අපේ දෘෂ්ටීන්ට අනුව තවත් සරළ කරගන්න හදනවා. මෙතැනදී ඔබත් ඔබගේ පිරිසත් සැනසීමක්‌ නෙවෙයි ලබන්නේ. මිත්‍යා දෘෂ්ටියක්‌මයි.

කෙටි කිරීමත්, දීර්ඝ කිරීමත් දෙකම අයිති මාරධර්මයන්ට. ඔබ මධ්‍යම ප්‍රතිපදාව ඔබේ මාර්ගය කරගන්න. ධර්මය සරල කරන්න අපිට බැහැ. වයසට යන ස්‌වභාවය සරල කරන්න පුළුවන්ද? ඉර, හඳ පායන එක සරල කරන්න පුළුවන්ද? සතර සතිපට්‌ඨානය, පටිච්ඡසමුප්පාදය, පංච උපාදානස්‌කන්ධය සරල කරන්න පුළුවන්ද?

මේවා ලෝක ස්‌වභාවයන්. මේ ලෝක ස්‌වභාවයන් ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥානයෙන් අවබෝධකර සරල, සුගම ආකාරයෙනුයි ඔබට දේශනා කර තිබෙන්නේ. අපට තිබෙන්නේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට මුල්තැන දීලා, මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරලා අවබෝධය ලබන එකයි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අවංකවම සතර අපායෙන් මිදෙන්න කැමති පිංවතුන්ලා, ධර්මය තුළින් ඔබට දීලා තිබෙන ප්‍රතිලාභය ගැන හොඳට හිතන්න ඕනේ. මේ සිතීම ඔබට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගැනීමට හේතුවක්‌ වෙනවා. උදාහරණයක්‌ වශයෙන් මෙහෙම සිතන්නකෝ. තරුණයෙක්‌ හෝ තරුණියක්‌ සිටිනවා, ඔහු හෝ ඇය අවංකවම ධර්ම මාර්ගයේ ගමන්කරලා, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගෙන, ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙලා, පංචඋපාදානස්‌කන්ධයේ, එහෙම නැතිනම් සිතේ අනිත්‍යභාවය දකිනවා. මේ ධර්මතාවයන් තුන සම්පූර්ණවීම නිසාම මොවුන් තුළින් සක්‌කාය දිට්‌ඨිය, විචිකිච්ජාව, සීලබ්බත පරාමාස කියන ධර්මතාවන් ප්‍රහීනය වෙලා, සතර අපායෙන් මිදෙන අයෙක්‌ බවට පත්වෙනවා. දැන් මේ තරුණයා හෝ තරුණිය සෝවාන් ඵලය, අවබෝධය ලැබූ කෙනෙක්‌. නමුත් ගිහි පිංවතෙක්‌. දැන් මොහු හිතනවා, මම විවාහයක්‌ වෙන්න ඕනේ කියලා. ඔහු විවාහවෙනවා, දරුවන් හදනවා, රැකියාවක්‌ ව්‍යාපාරයක්‌ කරනවා, දරුවන්වත් බිරිඳවත් ඔවුන් කැමතිනම් ධර්ම මාර්ගයට ගන්නවා. සෝවාන් ඵලයට පත්වූ ගිහි පිංවතා තුළ කාම, රාග, පටිඝ තිබෙනවා. නමුත් කිසිම අවස්‌ථාවක ඔහු ලොව්තුරා බුදුරාජාණන් වහන්සේගේ වචනය ඉක්‌මවා යන්නේ නැහැ. සිල්පද බිඳගන්නේ නැහැ. ඇසුරු කරන හැමදෙයක්‌ම අනිත්‍යය කියන දැක්‌ම තුළ හිඳිමින්, හැම දෙයක්‌ම ඇසුරු කරනවා. මොහු රැකෙන්නේ පංච ශීලයෙන්, ආජීව අශ්ඨමක ශීලයෙන්. එම නිසා විවාහයක්‌ වී කම්සැප විඳීම, මිල මුදල් රන් රිදී පරිහරණය කිරීම වැනි දේවල් වලින් මිදෙන්න ඔහුට අවශ්‍ය නැහැ. ඔහු ගිහියෙක්‌ විසින් සමාදන් වියයුතු පංච ශීලයෙන්, පරිපූර්ණභාවයට පත්වෙලා. බලන්න පිංවත් ඔබට මොන තරම් සංවරයකින් යුතුව, කම්සැප විඳිමින්ම, මේ සතර අපායෙන් මිදීමේ ධර්මය අත්විඳින්න පුළුවන්ද. මෙය ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහාකරුණාව නිසාම ඔබගේත් කැමැත්තටත් ලෝක සත්‍යයට අනුකූලවත් එකිනෙක ගැලපෙන ආකාරයට දේශනා කළ ධර්මයක්‌ නේද? බුදුරජාණන් වහන්සේ ගැන සිතලා නොවේ, පිංවත් ඔබ ගැන සිතලාමයි මේ ධර්මය දේශනා කරලා තිබෙන්නේ.

කම්සැප විඳින්නත් පුළුවන්, විකාලයේ ආහාර ගන්නත් පුළුවන්, නැටුම්, ගැයුම්, වැයුම්, ශරීරය ලස්‌සන කරන්නත්, සැප පහසුකම් දෙන්නත් පුළුවන්. මේ සියල්ල අවබෝධයෙන් කරමින්, ගිහි පිංවතුන්ට ශීලයෙන් පරිපූර්ණභාවයට, ආර්යකාන්ත ශීලය තුළ පිහිටීමට මාර්ගයකුයි මෙතැනදී ඔබට බුදුසමිඳුන් දේශනා කර තිබෙන්නේ. බලන්න මෙවැනි සරල අවස්‌ථාවක්‌, ධර්මයක්‌ ඔබට මට ලබා දීලත්, සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ ගෙවී යන තුරුම අපි මේ අවස්‌ථාව ප්‍රයෝජනයට අරගෙන නැහැ. නමුත් පිංවත් ගිහි පිංවතුන් එක දෙයක්‌ මතක තබාගන්න. අතීතයේ පැවැති ශාසනවලදී, අධිමානය නිසාම ‘මම සෝවාන්’ කියන මිත්‍යාවබෝධය තුළනම් අප්‍රමාන වාරයක්‌ ඔබත් මමත් ඉඳලා තිබෙනවා. එය තේරුම්ගන්න ඔබ නිහතමානී වෙන්න. මේ ධර්මමාර්ගයේදී ඔබට මුණගැහෙන පළමු කළ්‍යාණමිත්‍රයා ඒ නිහතමානීභාවය කියන එක හොඳින් තේරුම් ගන්න. එම කල්‍යාණමිත්‍රයාව මුණගැසුනොත් පමණයි, ඔබට ලොව්තුරා ධර්මය කල්‍යාණමිත්‍රයෙක්‌ බවට පත්කරගන්න අවස්‌ථාව ලැබෙන්නේ. මේ ස්‌වභාවය ගලපාගැනීමට අදක්‍ෂවීම නිසාම, මෙතෙක්‌ අපේ කල්‍යාණමිත්‍රයා වී සිටියේ මාරයාම බව තර්කයකින් තොරව තේරුම්ගැනීම ඔබගේම ජයග්‍රහණයකි. පිංවත් ඔබ ඔබගේ අධ්‍යාපනය, රැකියාව, ව්‍යාපාරය, ඥාතීන්, ගේදොර උදෙසා ඔබ තුළ ඇති කැමැත්ත, මේ ජීවිතයේදීම සතර අපායෙන් මිදීම උදෙසාද ඔබ ඇතිකරගන්න. ඔබ ලබන මේ අවබෝධය ඔබට ඉහත සැපයන් අර්ථවත් ලෙස විඳීමේ අවස්‌ථාවද සලසාදෙනු ඇත. මේ කරුණු කියවනකොට ඔබට දැන් දැනෙනවාද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ඔබව මේ මාරග්‍රහණයෙන් ගලවා, නිවන් මාර්ගයට යොමුකරන්න මොනතරම් උවමනාවක්‌ තිබුණාද කියලා.

අම්මා, තාත්තා, බිරිඳ, දරුවා, ඥාතියා ඔබට පාර කියන්නේ භවයටමයි. භවයට පාර කියන එම ඥාතීන් ඔබෙන් දුරස්‌ නොකොට, භව නිරෝධය දෙසට පාර පෙන්වන මේ උතුම් ධර්ම මාර්ගය ඔබ ඔබේ පරම ඥාතියා කරගත්තොත් ඔබත්, ඔබේ ඥාතීනුත් මෙලොව ලබන පරම සැනසීම එය වනු ඇත.

මෙය කියවා ඔබ ඉක්‌මන් නොවන්න. කලබල නොවන්න. අවිශ්වාසයක්‌ ඇතිකර නොගන්න. ඔබ නිහඬව සිතන්න. බැහැය කියන අවිශ්වාසය බැහැර කරන්න. විශ්වාසය ඔබ කෙරෙහි නොව, පළමුවෙන්ම තෙරුවන් කෙරෙහි ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේට අංක එක දෙන්න. ඔබ හැකිතාක්‌ පසුපසට යන්න. බුදුරජාණන්වහන්සේත් ඔබත් අතර ඇති පරතරය හැකිතාක්‌ දුරස්‌කරන්න. එම දුරස්‌භාවය බුදුරජාණන්වහන්සේගේ ඥානාවබෝධයත්, ඔබගේ දැනීමේත් පරතරය බව දකින්න. ඒ දුරස්‌භාවය තුළින් ඔබ ඔබට බොහෝ ඉදිරියෙන් සිටිනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව ඇතිකරගන්න. ඔබ සම්බුදු ගුණම සිතන්න. ආශ්චර්යවත් සම්බුදු ඥානයන්ම මනසින් දකින්න. බුදුරජාණන්වහන්සේලාට පමණක්‌ සාධාරණවූ මහාකරුණා සමාපත්ති ඥානය, එයින් සැනසුණු ලෝකය ගැන සිතන්න. දැන් ඔබට දැනෙනවාද, ඔබ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල ධර්ම මාර්ගයට කොපමණ ඈතින්ද සිටින්නේ කියලා. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාල ධර්මයේ ගමන්කොට විමුක්‌තිය සාක්‍ෂාත් කරගත් සැරියුත් මහෝත්තමයන් වහන්සේ, මුගලන් මහෝත්තමයන් වහන්සේගේ ගුණයන්ට ඥානයන්ට ඔබ තව කොතෙක්‌ දුරින්ද සිටින්නේ කියලා. මුලින්ම මෙම පරතරය හොඳින් සිහිනුවනින් දැකලා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්න. මේ ශ්‍රද්ධාව ඔබතුළ ඇතිවන්නේ තෙරුවන්ගේ අයෝමය ගුණයත්, ඥාණයත්, ආශ්චර්යත් දැකලා, අහලා, ඔබගේ ජීවිතය සමග සසඳලා. පිංවත් ඔබ නිරවුල්ව ඔබත්, ධර්ම මාර්ගයත් අතර තිබෙන පරතරයේ තරම දැකලා, එම පරතරය අවම කරගැනීමට, පුරවාගැනීමට දැන් උත්සහගන්න අවශ්‍යයි. මේ පරතරය ඔබ පුරවන්නේ ශීලයෙන්, දානයෙන්, මෛත්‍රියෙන්. සතර අපයෙන් මිදීමට අවශ්‍ය ඉහත සාධක ඔබ අවංකව ජීවිතයෙන් ක්‍රියාත්මක කරනවිට, ඔබත් ධර්ම මාර්ගයත් අතර ඇති පරතරය අවම වෙනවා. ඉහත සත්පුරුෂධර්මයන් ඔබතුළින් වැඩෙනවිට ඔබව ධර්මයෙන් දුරස්‌කළ, ලෝභ, ද්වේශ, මෝහ, අකුසල මූලයන් ඔබට ක්‍රමානුකූලව අතහැරෙනවා. මේ අතහැරෙන්නේ අතීතයේ ඔබ කැමති කළ දේවල්. ඔබ මේවා ප්‍රයෝජනයට ගත්තේ ඔබේ මමත්වයේ දැඩිභාවය ශක්‌තිමත් කරගැනීමටයි. ලෝභකම ඔබ තුළ තිබුණේ වැඩි වැඩියෙන් සැප අයිතිකරගන්න රැස්‌කරගන්න. ද්වේෂය ඔබ තුළ වැඩුනේ මමත්වයට හිමි ආත්මගරුත්වය ඇති කරගන්න. මෝහය ඔබ තුළින් වැඩුනේ සැප නිත්‍යයි කියන මුලාව පෝෂණය කරන්න. මේ විෂම ධර්මයන් ඔබට අතහැරෙනවා කියන්නේ මමත්වයේ දැඩිභාවය ඔබ තුළින් සියුම් වෙනවා කියන කාරණයයි. පිංවත් ඔබ මේ ක්‍රියාන්විතයේ දිගින් දිගටම යෙදෙන්නේ අනුන් උදෙසා නොවේ. ඔබ උදෙසා. ඔබ තවම ලෝකයේ ස්‌වභාවය ඉගෙනගෙන නැති නිසා අනුන්ට ඉගැන්වීමට නොයන්න. නිදහසේ, සුවසේ, නිහඬව ඔබ සතර අපායෙන් මිදෙමි යන අරමුණ ජයගන්න. ලෝකයා අඬබෙරගසමින් ධර්මය සොයා වෙහෙසෙද්දී ඔබ නිවසේම හුදකලාව අදාළ ප්‍රතිපදාවේ යෙදෙමින් ධර්මය දකින්න. නිරතුරුවම සිත දෙස විමසිලිමත් වන්න. ”මම” දැඩිවෙන ”මම” ඉස්‌මතුවෙන සෑම අවස්‌ථාවකදීම එම කැමැත්ත ඔබ දන්දෙන්න. සතරඅපායේ බිය දකිමින්ම. ආහාර ටොන් එකක්‌ දන්දෙනවාට වඩා ‘මම දානපතියෙක්‌ය’ යන ඔබට ඇති වූ මමත්වයේ සිත දන්දීමෙන් එසේත් නැතිනම් අතහැරීමෙන් ඔබට විශාල අර්ථයක්‌ වන බව දකින්න. ”මම” කියන කුණු ගොඩට තවත් කසල එකතුවීමට ඉඩනොදෙන්න.

ඇස නැමති කුණු බඳුන ඉපදීම නිසා සකස්‌වුණාවූ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නැමති කුණුකන්දරාව වගේම අනෙකුත් ආයතන පහෙන් ඉපදෙන කුණුද උපකාරී වූයේ මමත්වයේ දැඩිභාවය ඔබ තුළ තීව්ර කිරීම සඳහාමය. සලායතනත් කුණුත් එකතුව ඔබට පැළ මාරයාගේ කටු ඔටුන්න වන සක්‌කායදිට්‌ඨිය සියුම්වන ස්‌වභාවයට නිරතුරුවම කටයුතු කරමින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිංවත් ගිහිපිංවතුන් උදෙසාම දේශණා කර වදාල සතර අපායෙන් මිදීමේ ධර්ම ප්‍රතිපදාව පිංවත් ඔබගේ ජීවිත තුළින් ක්‍රියාත්මක කර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න. මේ ශාසන පරිහානිsයක්‌ ගැන ඉඟි ඇසෙන කාලයක උතුම් මනුෂ්‍යයෙක්‌ව මේ ධර්මද්වීපයේ ඔබ උපත ලැබුවේද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබේ යුතුකම ඉටුකිරීමට, මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ ලැබෙන අවසාන අවස්‌ථාව ලබාගනිමින්ය. එම උතුම් අවස්‌ථාව ඔබ මගහැරියා යනු සැපය ඔබෙන් මගහැරුනාය යන්න ඔබ තේරුම් ගත යුතුය. හෙමින් උදාවෙන අතිදීර්ඝ අබුද්ධෝත්පාද කාලය මිනිසුන්ගේ කාලයක්‌ නොව ධර්මයෙන් තොර මිනිස්‌ තිරිසනුන්ගේ කාලයක්‌ වනු ඒකාන්තය. එදාට මිනිසාද තිරිසන් සතාද ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට නොව එකම ආකාරයටය. මේ කටුක අභියෝගයෙන් ඔබට මිදිය හැකිවන්නේ නායකයෙක්‌, පාලකයෙක්‌, කෝටිපතියෙක්‌, උගතෙක්‌ ලෙස මියයාමෙන් නොව සතර අපායෙන් මිදුනු මනුෂ්‍යයෙක්‌ ලෙස මියයාමෙන් බව ඔබ නිහතමානීව සිතිය යුතුව ඇත.