ඉකුත් ලිපියේ සටහන් කළා මාරයා කුළුමීමකු ලෙසින් සමාධිය තුළ සිටින භික්ෂුව ඉදිරියට පැමිණි ආකාරය. මෙම සටහන් කියවා ඔබ සෙවිය යුත්තේ මේ අත්දැකීම ලද භික්ෂුව නොව, එම අත්දැකීම උරුමකර දුන් ධර්මයේ සන්දිට්ඨික ගුණයයි. ඔබ භික්ෂුව සොයන්නේ නම් ඒ ඔබ සොයන්නේ මාරයාමය. මන්ද සෙවීම යනු මාර ධර්මයකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීම රූපයේ ස්වභාවයයි. රූපය අනිත්‍යභාවයට පත්වේ නම් එහි ඔබට සෙවීමට දෙයක් නැත. ඔබ කළ යුත්තේ රූපයත් රූපය ඇසුරෙන් සකස් වෙන ‘සොයන්න’යැයි කියන සිතත් අවබෝධ කරගැනීමය. එසේ අවබෝධ කර ගැනීමේදී ඔබ ද පරාජය කරන්නේ මාරයාම ය. එම භික්ෂුවගේ භික්ෂූ ජීවිතය තුළදී මීට පෙර අවස්ථා දෙකක කලු පැහැති ගොනෙක්, රතුපැහැති ගොනෙක් වශයෙන් ද මාරයා භික්ෂුව ඉදිරියට සමාධිය තුළදී වියරු ස්වභාවයෙන් පැමිණියේය. මෙම ගොනුන්ගේ ස්වභාවය හරියට විදේශීය ගොන් පොර තරගවලදී තරගවදින ගොනුන්සේ පෘෂ්ඨිමත් ජවසම්පන්න වියරු ගතියක් විය. මේ කරුණු භික්ෂුව ඔබට සඳහන් කරන්නේ ඔබ තුළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවෙන බාධක බැඳීම්වලට එරෙහිව ඔබට වීර්ය ඇති කරගැනීමේ අරුත පැහැදිලි කරදෙන්ටය. මාරයාගේ ඉහත ස්වභාවයන් ගැන අපි පුqදුමවිය යුතු නැත. අපි පුදුම වියයුත්තේ මෙවැනි ධර්මයට එරෙහිව වියරුවෙන් මාරයාට අපි කැමැත්තෙන්ම වසඟවීම ගැනයි. මාරයාගේ වගකීම වන්නේ යමෙක් ධර්මය අවබෝධය කරා යයි ද ඔහුව එම ගමනින් ඉවත් කිරීමයි. යමෙක් ධර්මය අවබෝධකර ගනියි ද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනා කිරීමට අවස්ථාව අහිමි කිරීමයි. මේවා ජන්ම ගතිය. ඔබට මේවා වෙනස් කළ නොහැක. කළ හැක්කේ ඔබ මේ මාර්ගයෙන් වෙනස්වීමය.
ඉහත සටහනින් ඔබට වැටහෙනවා ඇති මාරයා යනු සංකල්පයක් යැයි කියන මතය මොන තරම් අවිද්‍යාවෙන් පිරුණු එකක් ද කියලා. මාරයා යනු මේ ලෝකයේ ක්‍රියාත්මක චරිතයකි. මොහු දෙවියෙකි. මොහුගේ සේනාව ද දෙවියෝ ය. මොවුන් ඔබට පියවි ඇසෙන් දැකිය නොහැකිය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණව සමාධියෙන් පරිපූර්ණව ප්‍රඥාව දෙසට ගමන් කිරීමේ දී උතුම් සමාධියෙන් පමණක් දැක ගත හැක්කකි. පරිපූර්ණ වූ සමාධියේ ඇසෙන් මාරයා සහ පිරිවර ඔබට ද මුණගැසෙනු ඇත. ඔබ අවංකව මාරයාට එරෙහිව ප්‍රඥාව අවබෝධය කරා යන්නේ නම් පමණක්..
මෙම සිද්ධියෙදී වසවර්ති දිව්‍යපුත්‍රයා කුළුහරක් වේශයක් මවාගෙන තම ආධිපත්‍යය රැකගැනීමට පෙන්වීමට පැමිණෙන්නේය. වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන්නේ කාමය තුළ ඇලීගැලී ඉන්න දෙවියෙක්. ඔහුට හිරිඔතප් කියන දෙයක් නැහැ. ඔය දේම නේද සමහර මනුෂ්‍යයන් කරන්නේ. බොහෝම සුපිරි පංතියේ මනුෂ්‍යයෝ තම බලය, සැපය, ආධිපත්‍ය රැකගැනීම සඳහා මොන මොන වේශයන් මවාගන්නවාද? මිනීමැරීමට, වංචාකාරී ක්‍රියාවන් කිරීමට පැවිදි වේශයන් ගත් අය අතීතයේ නොසිටිය ද, වර්තමානයේ නැති ද? අහිංසක තරුණියන් මුලා කරගැනීමට ධර්මය නොදන්නාකම නිසාම මොන මොන ආකාරයේ වේශයන් මවාගන්නා අය සමාජයේ සිටිනවාද? කාමයන්ගෙන් අන්ධ වුණ තැනදී දෙවියෝ මනුෂ්‍යයෝ කියලා වෙනසක් නැහැ. මේ ආකාරයට හේතුඵල ධර්මයන්ට අනුව මේ ධර්මය ගලපාගන්න උත්සහගන්න. එසේ නොවුනහොත් නොයෙක් මතවාදයන් ඇති වේවි. එය ඔබට දුක පිණිසම තමයි හේතුවෙන්නේ. පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගන්න. කුමක් නිසාද? මේ වියරු ලෝක ස්වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදාකර දුන්නාට.
භවයකරා දිවෙන කාලසටහන් ඔබ හකුලාදමන්න. භවය අයිති මාරයාට. එහෙයින් ලැබුණු ජීවිතයෙන් ධර්ම මාර්ගයේ උපරිම දුරක් යන්න. මහාකරුණා සමාපත්ති ගුණයෙන් යුතුව පිරිනිවී යන මොහොත දක්වාම ලෝකයාට දුකෙන් මිදෙන මාර්ගයම මහාකරුණාවෙන් යුතුව දේශනා කර වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, වචනයෙන් කිව නොහැකි, අකුරකින් ලිවිය නොහැකි මහාසයුර වැනි අපිරිමිත ගුණ කදම්බයත්, පංචකාමයටම ලොල්වූ නීච මාරයාගේ ගුණමකුභාවයත්, පිංවත් ඔබව දුකටම හෙළීම සඳහා මාරයාගේ පවිටු ක්‍රියාවනුත් සතියෙන් සිහියෙන් යුතුව දකින්න. එවිට ඔබට දැනේවි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන ගුණකන්දක් ද, මොන ගුණ සයුරක් ද කියලා. ඔබ දක්ෂනම් මෙම අර්ථවත් අවබෝධයම ප්‍රමාණවත්, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ සතර අපායෙන් මිදීමට අවශ්‍ය එක සුදුසුකමක්. මාරයාගේ පවිටුභාවය ගැන හිතලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න.
භික්ෂුව මේ සටහන ද්වේෂය සහ මාරයා ගැන සඳහන් කිරීමටයි සටහන් කළේ. මාරයා ගැන ඉහත සඳහන් කළා. ද්වේෂය ගැන මේ කරුණු පිංවත් ඔබට සඳහන් කළේ බස්රථයක වඩින විට මහත්මයෙක් සඳහන් කළ අදහසක් නිසා. භික්ෂුව කතරගම ප්‍රදේශයට වඩින්න කොළඹ ප්‍රධාන බස්නැවතුමෙන් කතරගම බසයට ගොඩවුණා. රත්මලාන ප්‍රදේශයේදී සුදු සරමක් හා සුදු කමිසයක් ඇඳගත්ත මැදිවියේ මහත්මයෙක් බසයට නැග බසයේ ඉතිරිවී තිබූ එකම ආසනය වූ භික්ෂුව අසලම ආසනයේ වාඩිවුණා. මේ මහත්මයා භික්ෂුව ළඟ වාඩි වුණ වේලාවේ පටන්ම පාපුවරුව දෙස බලාගෙනමයි සිටියේ. මුහුණ ඉදිරිපසට කරගෙන සිටියේම නැහැ. භික්ෂුවට මුහුණ හංගාගෙන වගේ අහකබලාගෙනම සිටියා. බස්රථය තේ පානය සඳහා අතරමග නතර කළා. මගීන් බසයෙන් බැස්සට පස්සේ මේ අහක බලාගෙන සිටි මහත්මයා භික්ෂුවගෙන් අහනවා හාමුදුරුවනේ ගිලන්පස එකක් ගෙනත් දෙන්නද කියලා. ඔහු කතා කරන විටම ඔහුගේ මුවින් අරක්කු ගඳ හොඳින් වහනය වුණා. ඒ වෙලාවේ තමයි භික්ෂුව දැනගත්තේ මෙතෙක් වෙලා මේ මනුෂ්‍යයා අහකබලාගෙන සිටියේ ඇයි ද කියලා. අරක්කු ගඳ භික්ෂුවට දැනෙයි කියලා තමයි මොහු මුහුණ සඟවාගෙන මෙතෙක් ඉඳලා තිබෙන්නේ. භික්ෂුව කීවා ‘ගිලන්පස අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයෝ’ කියලා. නමුත් මේ මහත්මයා බස්රථයෙන් බැහැලා ගිහිල්ලා සිසිල්බීම බෝතලයක් ගෙනත් පූජා කළා. භික්ෂුව පිංදීල එය වැළඳුවා. තේ පානය අවසන් කරලා නැවතත් බසය ගමන් ආරම්භ කළා. ඒත් මේ මහත්මයා අහක බලාගෙන සිටියේ. එකවරම මොහු භික්ෂුව දෙසට හැරී බොහෝම ගෞරවයෙන් ‘මම ටිකක් බීලා නිසයි මේ විදියට ඔබ වහන්සේට පිටුපාල වාඩිවෙලා ඉන්නේ’ කියලා බොහෝම බැගෑපත්ව කීවා. ඒ වෙලාවේ භික්ෂුව විමසුවා මොකද මේ උදේ පාන්දරම අරක්කු බීල කියලා. එවිට මේ මහත්මයා ‘හාමුදුරුවනේ මම මාතර ප්‍රදේශයේ පදිංචි අයෙක්. මගේ රැකියාව කට්ටඬිකම්, ගුරුකම් කරන එක. මම රත්මලානට ඊයේ පැමිණියා කෙනෙකුට වැඩක් කරලා දෙන්න. දැන් වැඩේ ඉවරවෙලා ගෙදර යන ගමන්. හාමුදුරුවනේ මම පුරුද්දක් වශයෙන් වැඩක් භාරගන්නකොටම මගේ ගණුදෙනුකරුට මම කියනවා වැඩේ ඉවර වුණාම මට බොන්න අරක්කු අවශ්‍යයි කියලා. ඒ නිසා ගුරුකම් වැඩේ ඉවර වුණ ගමන් ගාස්තුවත් අරක්කුත් දෙකම ලැබෙනවා’ කීවා. භික්ෂුව මොහුගෙන් ඇහුවා ‘මහත්තයෝ ඔය ගුරුකම්වලින් ප්‍රතිඵලයක් තිබෙනවද?’ කියලා. මොහු බොහෝම උජාරුවෙන් ඔහුගේ දක්ෂකම් ප්‍රකාශ කළා. ‘හාමුදුරුවනේ මට අවශ්‍යනම් මනුෂ්‍යයෙක්ව ජීවිතක්ෂයට පත්කරන්න අවශ්‍ය ගුරුකම් මා ළඟ තිබෙනවා. ඒවා මම කරලත් තිබෙනවා කීවා. ඒ වෙලාවේ භික්ෂුව ඔහුට කීවා ‘මහත්තයෝ ඔය රැකියාව මහා පව්කාර වැඩක්නේ’ කියලා. ඒ අවස්ථාවේ මේ මනුෂ්‍යයා කියනවා හාමුදුරුවනේ මම ගුරුකම් කරලා මනුෂ්‍යයෙක් නැති කරන්නේ තවත් මනුෂ්‍යයෙකුට කරන උපකාරයක් වශයෙන්ය කියලා. බලන්න මේ මනුෂ්‍යයා අදහස් කරන්නේ මනුෂ්‍යයෙක් විනාශකර දමන්නේ තවත් මනුෂ්‍යයෙකුට උපකාරයක් වශයෙන්ය කියලා. මොහු මේ ගැන උදම් අනනවා. බලන්න මේ මනුෂ්‍යයා මනුෂ්‍ය ඝාතනයක් සිද්ධකරන්න තරම් ද්වේෂයක් සිත තුළ සකස්කරගෙන, එම ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාවක් හැටියටත් දකිනවා. මොහු කට්ටඬි ක්‍රියාවන් හරහා මනුෂ්‍යයෙක්ව විනාශ කරන්නේ, දුකට පත්කරන්නේ, පිළිගන්නේ රැකියාවක් වශයෙන්, ආත්ම තෘප්තියක් ලබාගැනීමක් වශයෙන්. මේ කටයුත්තේදී මොහු පමණක් නොවේ, මොහුගේ සේවාදායකයාද ඉහත ක්‍රියාවන් සිදුකරන්නේ පළිගැනීමක් වශයෙන්, තමාගේ ආත්ම තෘප්තිය සඳහා. එතකොට බලන්න ඉහත ගුරුකම් වැඩ සිදුකරන අප්‍රමාණ පිරිස් සහ ඔවුනගේ සේවාදායකයන් ධර්මානුකූලව කුසල්, අකුසල් ද්වේෂය සහ මෛත්‍රිය ගලපා ගැනීමට නොහැකිවීම නිසා මොනතරම් අකුසල් මේ ජීවිත තුළින් සිදුකරගන්නවාද? අන්‍යයන්ගේ ජීවිතවලට ද අකුසල් අයිතිකර දෙනවා ද? ද්වේශයත් මෛත්‍රියත් හඳුනාගැනීමට නොදන්නා මිනිසුන් කුසල් අකුසල් කෙසේනම් හදුනාගන්න ද? නමුත් මේ ගැන හිතන විට භික්ෂුවට දැනෙන්නේ අනේ මොනතරම් පහසුවෙන් මේ දෙක හඳුනාගන්න පුළුවන්ද කියලා. මේ බස් රථයේ භික්ෂුව ළඟ අසුන්ගෙන පැමිණි අදාළ මහත්මයා තුළ සංඝයා කෙරෙහි ගෞරවයක් තිබෙනවා. ඒ නිසාමයි අරක්කු ගඳ හාමුදුරුවන්ට දැනෙයි කියලා මුහුණ වම් පැත්තට හරවාගෙන සිටියේ ගිලන්පසක් අවශ්‍ය ද කියලා විමසුවා. හාමුදුරුවෝ අවශ්‍ය නැහැයි කියත්දිත් ඔහු සිසිල් බීම බෝතලයක් බොහෝම ගෞරවයෙන් පුජා කළා. පිංදෙනවිට දෑත් එක්කර සාදු කිව්වා. බලන්නකෝ කොච්චරනම් තෙරුවන් කෙරෙහි ගෞරවයක්ද ඔහු තුළ තිබුණේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මොහු තුළින් අනුනට විනාශය අත්කොට දෙන නිසා එම පව්වලින් ගැලවෙන්න සංඝයාට ගෞරවය දක්වනවාය කියලා.
ඉහත කරුණු සියල්ල කැටි කොට ගනිද්දී පිංවත් ඔබට මෙහෙම චරිතයක් පෙනෙනවා. රැකියාවක් වශයෙන් ගුරුකම්, කට්ටඬිකම් කරනවා. ඒවා කිරීමේදී සේවාදායකයාට ඇති මෛත්‍රිය නිසා ඔහුගේ විරුද්ධවාදියාව විනාශ කරනවා. රෝගිS කරනවා. මරණීය දුකට පත්කරනවා. එවැනි චේතනා සකස් කර ගන්නවා. එමචේතනාම සේවාදායකයා තුළත් ඇති කරනවා. දෙවැනුව, එම පුද්ගලයාම, තමන්ගේ මෛත්‍රියට ලක්වූ සේවාදායකයා අතින්ම අරක්කු ඉල්ලාගෙන පානය කරනවා. තෙවැනුව එම පුද්ගලයාම බස් රථයේදී හාමුදුරුවන්ට අරක්කු ගඳ දැනෙයි කියලා, හාමුදුරුවන්ට අපහසුවක් දැනෙයි කියලා මුහුණ සඟවාගෙන සිටිනවා. ගිලන්පස අවශ්‍යද කියලා බොහොම ගෞරවයෙන් විමසනවා. අවශ්‍ය නැතැයි කියද්දිත් බොහොම ගෞරවයෙන් ගිලන්පස පූජා කරනවා. පිං දෙනකොට දෑත් එක්කර සාදුකාර දී අනුමෝදන් වෙනවා. මොහුම සුදු සරමක්, සුදු කමිසයක් පැළඳ උපාසක ලීලාවෙන් ජීවත්වෙනවා. දැන් බලන්න මෙම චරිතය තුළ සකස්වුණා වූ සිත් මොන තරම් විවිධද. එකිනෙකට පරස්පරද, මේ පරස්පරතාව සකස් වෙන්නේ අවිද්‍යාව නිසාමයි. රූප විඳීමට ඇති තෘෂ්ණාව නිසාම, හොඳ නරක තේරුණත් මොහු හොඳ නරක සොයන්නේ අඳුරේ. ඒ නිසා මොහු හොඳ කියලා නරක අතට ගන්නා අතරම නරක කියලා අතට ගන්නා හොඳ ද නරක ගොඩටම දමාගන්නවා. ඒ නිසා අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන්නා වූ සිතට ද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මාරයා කියලා දේශනා කරනවා.
පිංවත් ඔබ ඉහත ගුරුකම් මහත්මයාගේ ක්‍රියාකාරකම් තුළ දැක්කේ එකිනෙකට පරස්පර ක්‍රියාවන්නේ…. ඒ කිසිවක අර්ථයක් නැහැ. සියල්ල මුලාව තුළමයි තිබෙන්නේ. මේ මාර ක්‍රියාකාරකම් මොහුට නිරයට හැර වෙන කොහෙට නම් පාර පෙන්වන්නද? දුකට පාර පෙන්වන සිතට ද ‘මාරයා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද මේ නිසාමය. එසේනම් දුකට පාර පෙන්වන සිත සකස්වීමට හේතු වූයේ රූපයක්මය. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් හේතුවෙන් දුකට පාර පෙන්වන සිත සකස්වන නිසා රූපයද මාරයා යැයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළහ. මේවා සංකල්ප නොව, ඇසට පෙනෙන්නා වූ, සත්වයා නිරතුරුවම අත්විඳින්නා වූ ලෝක ස්වභාවයන්ය. පැහැදිළිව ලෙහෙසියෙන් කුසල් යනු මොනවා ද, අකුසල් යනු මොනවා ද, ද්වේෂය මෛත්‍රියේ වෙනස යනු කුමක් ද යන්න හඳුනාගැනීමට මෙතරම් සද්ධර්මය ඇසෙන රටේ අවකාශ තිබුණ ද ඔබව පරස්පර මතවාදයන් තුළ කොටුකර තබන්නේ මාරයාගේ ග්‍රහණය තුළ සකස්වෙන සිත නිසාමය. මෙහිදී සිත යනු ඵසේස, වේදනා, සංඥා, සංස්කාර, විඥාන වශයෙන් ඔබ දැනගත යුතුය. මේ පස්දෙනාම මාරයාගේ ග්‍රහණයට නතුව ක්‍රියාත්මක වනුයේ ඔබ රූපයේ යථා ස්වභාවය හඳුනානොගන්නා නිසාමය. රූපය අවබෝධකර ගත්තා යනු මාරයා අවබෝධයෙන් හඳුනාගත්තා යනුය. මෙතැනදී රූපයත් සිතත් මාරයාගේ අවබෝධයෙන් හෙළිකරගැනීමට පිංවත් ඔබට හැකිය. මේ තැනට පැමිණීමට පෙරාතුව පිංවත් ඔබ මේ උතුම් ධර්මය අවබෝධයෙන් දේශනාකර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්රද්ධාවට පැමිණිය යුතුය. ධර්ම රත්නය සංඝරත්නය කෙරෙහි අචල ශ්රද්ධාවට පැමිණිය යුතුය. මාරපාර්ශ්වික ධර්මයන් අවබෝධයෙන් හඳුනාගැනීම සඳහා තෙරුවන්ගේ මාර්ගෝපදේශකත්වය හැර අන්කුමන සරණක් ද පිහිටක් ද යන විශ්වාසය තුළින් සතර අපායෙන් ඔබව මිදීම වලක්වන තෙරුවන් කෙරෙහි ඇති විචිකිච්චාවත්, අන්‍ය ශීලවෘතයන් කෙරෙහි ඇති විශ්වාසය කියන මාර බැඳීම් අවබෝධයෙන් මුළිනුපුටා ගැනීමට ඔබ දක්ෂ විය යුතුය.