හිංසාවේ ආදීනව තවදුරටත්

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩසිටින කඳු මුඳුනේ කුටියට වැව් පිටිය හොඳට පෙනෙනවා. මේ වෙලාවේ මීහරක්‌ 75 ක පමණ රංචුවක්‌ තණ උලා කනවා. වැවේ සිටින කිඹුලා ජලයෙන් මතුවෙලා යටයන නිසා වැව් දියට බැසීමට බයෙන් වතුර එකතුවී ඇති කුඩා දිය කඩිති වල සමහර සතුන් විවේක ගන්නවා. මේ සත්තු රැළ භික්‍ෂුවට පෙනෙන්නේ මාරසේනාවක්‌ හැටියට. නමුත් මේ මීහරක්‌ රංචුවේ හිමිකරු මේ සතුන් දකින්නේ සෞභාග්‍යයේ උල්පතක්‌ හැටියට. මේ සතුන්ගෙන් කිරි දොවන්නෙ නැහැ. පැටවුනට කිරිබොන්න දෙනවා. වේගයෙන් පැටියා ලොකුවීමට. මේ අය වැඩෙන්නේ මස්‌ සඳහාමයි. මේ සතුන් රැළ නිසා කීදෙනෙක්‌ නම් අපාගතවෙනවාද? පරම්පරා කීයක්‌ අපාගත වෙන්න ඇතිද? තව පරම්පරා කීයක්‌ අපාගත කරයිද? පරිස්‌සමින් 3/4 තිරිසන් ලෝකය ඔබව සතර අපායට ඇද දමන මාරදූතයන්මයි.

ඒ වගේමයි සමාජයේදී ඔබ දැකලා ඇති සමහර පිංවත් සත්ව කරුණාව තිබෙන මනුෂ්‍යයො සිටිනවා. සතුනට හරිම ආදරෙයි. ගොනෙක්‌ කරත්තයෙ බැඳල තමයි ජීවත්වෙන්නේ. සතා කරන්නේ බර අදින එකයි. සවසට ගෙදර ගිහිල්ල සතාගේ දණහිසේ තෙල්ගාන මනුෂ්‍යයෝ ඉන්නවා. බරපටවාගෙන කන්දක්‌ නගිනවිට තමාගේ ශක්‌තිය යොදලා කරත්තේ තල්ලු කරල සහයෝගය දෙන මනුෂ්‍යයෝ ඉන්නවා. තමන් බෙදාගන්න බත්පිඟානෙන් බත් කටක්‌ සතාට දෙන මනුෂ්‍යයෝ ඉන්නවා. එවැනි අයටත් සත්ව හිංසාව අදාළයි. ඒත් ඔවුන් තුළ කරුණාව, මෛත්‍රිය සහගත ක්‍රියාකාරකම් නිසා ඒවා විපාකදීමේ ස්‌වභාවය බරපතළ නැහැ. කෙසේ වෙතත් සතුන්ගෙන් ඈත්වී ජීවත්වන එක ඔබට හුඟාක්‌ යහපත්.

මනුෂ්‍යයා අතින් පමණක්‌ නොවෙයි සත්ව හිංසාව සිදුවෙන්නේ. තිරිසන් සතා අතින් තිරිසන් සතාව හිංසාවට ලක්‌වෙනවා. ප්‍රේතයා විසින් ප්‍රේතයාව හිංසාවට ලක්‌කරනවා. යක්‍ෂයින් විසින් අමණුෂ්‍යයින්ව හිංසාවට ලක්‌කරනවා. දෙවියන් විසින්ද දෙවියන්ව මානසික හිංසාවට ලක්‌කරනවා. රාගය, ද්වේෂය, මෝහය ප්‍රහීන නොකළ සත්වයා අතින් අනෙකා හිංසාවට ලක්‌වීම අරුමයක්‌ නොවේ. අමුනුෂ්‍යයින් අතින් හිංසනය සිදුවන අවස්‌ථාවක්‌ ඔබගේ අවබෝධය සදහා මෙහි සටහන් කරනවා.

භික්‍ෂුවක්‌ උතුරුමැද පළාතේ ආරණ්‍යයක වැඩසිටින අවස්‌ථාවක රාත්‍රී දහයට පමණ සමාධියෙන් පසුවෙන විටක භික්‍ෂුවට පෙනෙනවා කුටියේ පසුපස කෙළවරේ සුදු සායක්‌ සුදු හැට්‌ටයක්‌ හැඳි ප්‍රාථමික මට්‌ටමේ දිව්‍යස්‌වභාවයක්‌. වයස අවුරුදු 45 වගේ වයස්‌ මට්‌ටමක කාන්තා ස්‌වභාවයක්‌ ඇයට තිබුණා. සමහරවිටක ඇය පරදත්තරූපජීවී ප්‍රේතයෙක්‌ වීමටද හැකියි. කොහොමහරි ඇය පින්වත් තැනත්තියක්‌. හැබයි ඇගේ සම නම් තලඑලළු පැහැයක්‌ තිබුණේ. එයින් අනුමාන කරන්න පුළුවන් ඇය ක්‍රෝධ සහිත චරිතයක්‌ බව. ඇය කුටිය කෙළවරට වෙලා බොහෝම සන්සුන් ඉරියව්වෙන් භික්‍ෂුව දෙස බලාසිටිනවා. ඇය භික්‍ෂුව දෙස බලමින් යම් ආස්‌වාදයක්‌ ලබනවා. ඔබ දැකලා ඇති තරුණ, මධ්‍යම, මහළු වයසේ උපාසක මහත්වරු ඉන්නවා දායිකාවන් ඉන්නවා ස්‌වාමීන් වහන්සේලාගේ ඉරියව් චර්යාවන් ප්‍රියකරන, කැමති කරන, ඒවා දැකලා යම් අහිංසක ආශ්වාදයක්‌ ලබන. වින්දනයක්‌ ලබන. ඇය මෙවැනි ස්‌වභාවයේ උපාදානයක්‌ සකස්‌ කරගෙන මියගිය මැදිවියේ උපාසිකාවක්‌ වෙන්න පුළුවන් ගිය ජීවිතයේදී. මේ ජීවිතයේදී ප්‍රාථමික දිව්‍ය හෝ ඉහළ ප්‍රේත ජීවිතයක්‌ ලබලා ආරණ්‍යය තුළම ජීවත්වෙමින් ස්‌වාමීන්වහන්සේලා උපාදානය කරගෙන සිටිනවා. භික්‍ෂුව වැඩසිටිය කුටිය කෙලවරට වී බලාසිටි සුදු ඇඳුම ඇදගත් මේ තැනැත්තිය බෝහෝම සංවරයි. රාගය ද්වේශය පෙනෙන්නට නැහැ ඇයගේ ස්‌වභාවයේ. මේ විදියට ඇය භික්‍ෂුව දෙස නිවිසැනසිල්ලේ බලාසිටිනවිට තවත් ප්‍රේතයෙක්‌ ඇයට බොහෝම සමීපව ඇය ඉදිරියෙන් ගමන් කළා. ඒ ප්‍රේතයා කෙට්‌ටු හීන්දෑරි ප්‍රේතයෙක්‌. මේ ප්‍රේතයා අර ප්‍රේත කාන්තාව ඉදිරියෙන් ගමන් කරනවිටම අර සුදු ඇඳුම් ඇඳගෙන භික්‍ෂුව දෙස බලා සිටි ප්‍රේතියගේ අවදානය බිඳුණා. ඇය ක්‍ෂණයෙන් ක්‍රියාත්මක වුණා. ඔබ දැකලා තිබෙනවාද නිවෙස්‌වල ස්‌වාමිපුරුෂයා අතින් බරපතළ වැරැද්දක්‌ වුණාම බිරිඳට කේන්ති යනවා. එහෙම කේන්ති ගියාහම බිරිඳ අත්දෙක මිටි මොලවලා වේගයෙන් ස්‌වාමිපුරුෂයාගේ පපු පෙදෙසට පහර දෙනවා. කාන්තාවෝ හුඟක්‌ වෙලාවට තව කෙනෙකුට ක්‍ෂණික ආවේගයකදී පහර දෙන්නෙ ඔය ඉරියව්වෙන්. මෙන්න මේ ඉරියව්වෙන්ම අර ප්‍රේතිය තමාගේ ඉදිරියෙන් ගමන් කළ තමාගේ අවධානය කැඩුව ප්‍රේතයාට පහර දුන්නා. තමන් කැමති ආශ්වාදයට බාධා කළ සැනින් කේන්තිය සකස්‌ වුණා. ඒ ආවේගයෙන්ම ප්‍රේතයාට නොසෑහෙන්න ගැහුවා. එතැනින් මේ දෙදෙනාම නොපෙනී ගියා. හැබැයි ඉතින් සුදු ඇඳුම ඇඳගෙන සිටිය ප්‍රේතියගෙන් ප්‍රේතයා නොසෑහෙන්න ගුටිකෑවා. මේ දෙදෙනාම ප්‍රේතයැයි හැඳින්වුවද පෙර ජීවිතයේ ආරණ්‍ය, පන්සල් ඇසුරේ සිටි උපාසක උපාසිකාවන්. නමුත් තමන් කළ පිංකම් වලට වඩා තමන් ප්‍රියකළ වෙනත් දේවල් කෙරෙහි චන්දරාගය සකස්‌ කරගත් නිසා ආරණ්‍යය පන්සල් ආශ්‍රිතව ජීවත්වන ඉහළ තලයේ ප්‍රේත කොටසක්‌ බවට පත්වුණා වෙන්න පුළුවන්.

පිංවත් ඔබලා මේ සතර අපායේ චරිත හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම හොඳින් මෙම අමනුෂ්‍ය චරිත ගැන අවධානය යොමු කළොත්, හේතුඵල ධර්මයන් ගලපා බැලුවොත් පිංවත් ඔබ තුළ යම් අඩුපාඩු තියෙනවානම් ඒවා නිවැරැදි කරගන්න පුළුවන්. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ස්‌වාමීන් වහන්සේලා පන්සලේ වේවා, ආරණ්‍යය වේවා තමන්ගේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරන ධර්ම ප්‍රතිපදාව නිසාම උන්වහන්සේලා බොහෝම ප්‍රිය මනාපයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කරන ඕනෑම ගෞරවණීය ස්‌වාමීන් වහන්සේනමක්‌ව දැකීමම ප්‍රියයි. ඇවතුම් පැවතුම් සංවරයි. දෙවිවරුවගේ පැහැපත් ප්‍රභාශ්වර ස්‌වාමීන්වහන්සේලා වර්තමාන සමාජයේ වැඩසිටිනවා. එම ස්‌වභාවය කුසල් විපාකයන් නිසා ඇතිවන්නක්‌. එම නිසා පිංවත් දාකය දායිකවන් නිරතුරුවම උත්සහවන්ත වෙන්න ඕනේ එම ස්‌වාමින් වහන්සේලාගේ ශීල, සමාධි ප්‍රඥා ගුණයන්ට ගරුකරන්න කැමතිවන්න. එම ගුණයන් සිහිකරන්න. එසේ නැතිව එම පිංවත් ස්‌වාමීන්වහන්සේලාගේ රූපය කෙරෙහි, කටහඬ කෙරෙහි, ප්‍රසන්නභාවය කෙරෙහි චන්ද රාගයක්‌ ඇතිකරගතහොත් එය දුක පිණිසයි හේතුවෙන්නේ. පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ හමුවට ඔබ යායුත්තේ ධර්මයක්‌ අසා දැනගෙන සතුටුවෙන්න. පන්සලට යන්නේ දාන, ශීල, භාවනා මාර්ගයේ ගමන් කර සතුටුවෙන්න. එසේ නොමැතිව වෙනත් රූපයන්, ශබ්දයන්, ගන්ධයන්, ස්‌පර්ෂයන් කෙරෙහි චන්දරාගයක්‌ සකස්‌ කරගන්න ඔබේ සිතට ඉඩදෙන්න එපා. එහෙම උනොත් එය හරියට අසනීපයකට බෙහෙත් ගන්න රෝහලට ගිහිල්ලා තිබුණ අසනීපයට වඩා භයානක රෝගයක්‌ හදාගෙන ගෙදර පැමිණි කෙනෙක්‌ බවට පත්වෙනවා. ඉහත ප්‍රේතයත් ප්‍රේතියත් පෙර ජීවිතයේදී පන්සලට ආරණ්‍යයට ගිහිල්ල අවශ්‍ය දෙය කෙරෙහි නොව අනවශ්‍ය අවදානම් සහිත දෙය කෙරෙහි චන්දරාගය සකස්‌ කරගත් දෙදෙනෙක්‌. ඒ කැමත්ත නිසාම මේ ජීවිතයේදී භික්‍ෂුන්වහන්සේලා දෙස බලාසිටිමින් ආශ්වාදය ලබනවා. මෙම කථාව භික්‍ෂුව ඔබට මතක්‌ කළේ අමනුෂ්‍ය ලෝකයේ සත්ව හිංසනය ගැන ඔබව දැනුවත් කරන්න. ප්‍රේතලෝකයේ ජීවිතවල රාගය ද්වේශය මෝහය අධික නිසා හිංසනයත් අධික බව සිහිතබා ගත යුතුයි. ඇය සුදු ඇඳුමක්‌ ඇඳගෙන සිටියත් ඔබ සිහිකරන්න. ඉහත ප්‍රේතියගේ සිතේ සැඟවී තිබුණ ද්වේශය. ඒ ද්වේශය වේගවත් වන්නේ රාගය නිසා. මේ කරුණු දෙකම සකස්‌ වෙන්නේ මෝහය නිසාමයි. රාගයේ හා ද්වේශයේ තීව්‍ර බව තමයි ඇයගේ වේගවත් පහරදීම තුළ දර්ශණයවූයේ. නිවරැදි දෙය නිවරැදි ආකාරයට ගලපාගතහොත් අත්වන ඉරණම ගැන ඔබතුළ බියක්‌ සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අමූලිකාසද්ධාව වශයෙන් දේශණා කරන්නේ ඉහත ස්‌වභාවයයි. මේ ස්‌වභාවය වර්තමාන සමාජයේ බහුල වශයෙන් පවතින්න පුළුවන්. අනිත්‍ය සංඥා නොමැති බව නිසාමයි රූපය කෙරෙහි මෙවැනි චන්දරාගය සකස්‌ වෙන්නේ. මෙය ගිහි පැවිදි පිංවත් හැමෝම දෙවරක්‌ සිතිය යුතු ප්‍රශ්නයක්‌ බවට පත්කරගතහොත් එය යහපත පිණිසමයි හේතු වෙන්නේ. අද වැනි සංකීර්ණ සමාජයක අනිත්‍ය සංඥා වැඩෙනවා කියන එකත් දුර්ලභ දෙයක්‌. ලෝකය සකස්‌ වෙන්නේ රූපයට වටිනාකම් වැඩිකරමින්මයි. සැපයට තව නමක්‌ කියන්න කීවොත් ලෝකයාගේ පිළිතුර ”රූපයක්‌මයි”. රූපයේ නිරෝධය තුළයි සැපය තිබෙන්නේ කියලා ලැබෙන පිළිතුර දුර්ලභ දෙයක්‌.

දැන් නැවතත් මාතෘකාව සත්ව හිංසාව දෙසට හැරෙමු. සත්ව හිංසාව ගැන කථාකරන විට අකුසල් බලවත්ව සකස්‌ වෙන්නේ මනුෂ්‍යයා මනුෂ්‍යයාට කරන හිංසාවන්ට. මනුෂ්‍ය ජීවිතයක්‌ මොන අඩුපාඩුකම් යටතේ වුවද යමෙක්‌ ලබන්නේ පෙර ජීවිතයේ කරගන්නා ලද පිංකම් නිසාමය. විශේෂයෙන් අදවැනි බුද්ධෝද්පාද කාලයක බෞද්ධයෙක්‌ ලෙස ලබන මනුෂ්‍ය ජීවිතය ආශ්චර්යමත් දෙයක්‌මයි. මේ මනුෂ්‍ය ජීවිතය යමෙක්‌ ලබන්නේ අති විශාල සතර අපාය අභිබවා ගිහින්. ඔහු සතර අපායට නොවැටුනේ සතර අපායේ උපතකට අදාළව සකස්‌ වෙන ලෝභය, ද්වේශය, මෝහය යම් ප්‍රමාණයකට අවම වීම නිසාමය. ඒ නිසා මනුෂ්‍යයෙකුට හිංසා කිරීම තිරිසන් සතෙකුට හිංසා කිරීමට වඩා බලවත් අකුසලයක්‌ සිද්ධවෙනවා. මොකද ඔබ හිංසනයට ලක්‌කරන්නේ සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවාගැනීමට ශක්‌තිය තිබූ පෙර පිනැති මනුෂ්‍යයෙකුට වීමයි. සමාජයේ මොන අංශයකින් බැලුවත් මනුෂ්‍යයා මනුෂ්‍යයාට හිංසා කිරීමේ වර්ධනයක්‌මයි පෙනෙන්නේ. අවිද්‍යාව නිසා සකස්‌වෙන ‘ලෝකය සැපයි’ කියන මතය අයිති කරගැනීමට යාම නිසාමයි ඔබ අතින් මනුෂ්‍ය හිංසනය සිදුවෙන්නේ. හිංසනය කියන්නේ ආදායම් මාර්ගයක්‌. රැකියාවක්‌. උසස්‌වීමක්‌. ඉතිරියක්‌. හීනමානයක්‌. තාවකාලික ආරක්‍ෂාවක්‌. කොටින්ම ඔබේ පැවත්ම උදෙසා අන්‍යයන් හිංසනයට ලක්‌කරනවා.

වර්තමානයේ උපත ලබන මනුෂ්‍යයාගේ අකුසල් ස්‌වභාවය වැඩි නිසාමදෝ හිංසා කිරීමත් හිංසාවට ලක්‌වීමත් ජීවිතයේ කොටසක්‌ බවට පත්වෙලා. මෙතනදී හිංසනය ලෙස ගැනෙන්නේ පහරදීම තුවාල සිදුකිරීම වැනි කායික හිංසනයන් පමණක්‌ නොවේ. මානසිකව හිංසාවට පත්කිරීමත් ඔබට බලවත් අකුසල් පිණිස හේතුවෙනවා. රටේ පොදු ප්‍රවාහන සේවය උදාහරණයට ගන්න. එක දිනකට කොන්දොස්‌තර මහතා රියදුරු මහතා අතින් මොනතරම් මනුෂ්‍ය හිංසාවක්‌ සිදුවෙනවාද? අධිකව මගීන් පැටවීම නිසා, අධික වේගය, හීන වේගය, මගීන්ට බැනවැදීම්…. ඇයි මෙහෙම වෙන්නේ? වැඩිපුර ආදායම් ලබන්න. හවසට පිංවත් බස්‌ මුදලාලිව සතුටුකරන්න. තමනුත් වැඩිපුර කීයක්‌ හරි තමාගේ පැවත්ම, දරුපැටවුනගේ පැවත්ම සඳහා ගෙදර අරගෙන යන්න. තමාගේ සතුට උදෙසා අනුන්ව පීඩනයට ලක්‌කරනවා. මේවා එකිනෙකට බැඳිල තිබෙන්නේ මාර බන්ධනයෙන්. බස්‌ හිමිකරුට ඔබ ආදායම දුන්නොත් තමයි ඔබගේ රැකියාව ආරක්‍ෂා වෙන්නේ. හැම ක්‍ෂේත්‍රයකම ස්‌වභාවය ඔහොමයි. හිරගෙදරක්‌, පාසලක්‌, විශ්වවිද්‍යාලයක්‌, රෝහලක්‌, ආරක්‍ෂක අංශ, පරිපාලන අංශ, ගෘහසේවකයින්…මේ හැම තැනකම ඉහත ස්‌වභාවය තියෙනවා. මේවා නිවරැදි කරන්න, අවම කරන්න පුළුවන් දේවල් නොවේ. මේවායේ වර්ධනයක්‌මයි දිනෙන් දින සිද්ධවෙන්නේ. මෙතැනදි පිංවත් ඔබ දකින්න ඕනේ, අයෙක්‌ අකුසල් කර්ම විපාකයක්‌ ගෙවන විට තව කෙනෙක්‌ අකුසල් කර්ම සකස්‌ කරගන්න ආකාරය. වර්තමානයේ හිංසනයට ලක්‌වෙන්නේ පෙර ජීවිත වලදී අන්‍යයන්ව හිංසනයට ලක්‌කළ පිරිස්‌මයි. එම නිසා ඔබ මේවා නිවරැදි කරන්න යන්න එපා. ඒවා නිශ්ඵල දේවල්. හිංසාව ගැන සඳහන් මේ සති කිහිපයේ පළවූ සටහන් මාලාවේ මුලදි සඳහන් කළා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුභමානවකයාට දේශණා කරනවා සුභ යමෙක්‌ මේ මනුෂ්‍ය ජීවිතයේදී රෝගීව ඉපදේනම්, නිරතුරුව රෝගවලට ගොදුරු වෙමින් ජීවත්වෙයිනම් ඊට හේතුව පෙර ජීවිතයේදී සත්ව හිංසාව සිදු කිරීමය කියලා. බලන්න වර්තමානයේ මනුෂ්‍යයෝ හැමෝම රෝගීන්. රෝහල් රෝගීන්ගෙන් පිරිල, වසංගත රෝග පැතිරෙනවා. මේ අපි දකින්නේ අප පෙර ජීවිතවලදී කරන ලද සත්ව හිංසාවේ ඵලයත් හේතුවත් තමයි . මනුෂ්‍යයා අතින් සත්ව හිංසාව වැඩිවෙන්න වැඩිවෙන්න අනාගත ලෝකයේ රෝග සහ රෝගීන් තව තව බහුල වෙනවා. මේවා ලෝක ධර්මයන්. වලක්‌වන්න බැහැ. දක්‍ෂයාට තිබෙන්නේ අවබෝධය තුළින් ලෝකයෙන් මිදීමට උත්සහ කිරීමයි.

පිංවත් ඔබ රෝගීභාවයන්ගෙන් තොර නිරෝගී ජීවිතයක්‌ ගතකරන අයෙක්‌ නම්, සංසාරික පුරුද්ද නිසාම ඔබ මේ ජීවිතයේදීත් සත්ව හිංසාවට අකමැති කෙනෙක්‌. ඔබ මනුෂ්‍යයෙකු තබා තිරිසන් සතෙකුටවත් හිංසා කිරීමට නොපෙළඹෙන කෙනෙක්‌. එහෙම අය ඕනේ තරම් සමාජයේ සිටිනවා. ජාති ආගම් බේදයකින් තොරව නිරෝගීභාවය නිසාම ඔබ ඒ ලබන කායික මානසික තෘප්තිය හේතු ඵලධර්මයන් සමග හොඳින් ගලපලා එම උතුම් ගුණයන් තව තව ශක්‌තිමත් කරගෙන අනුනට හිංසා නොකර ශීලයෙන් පරිපූර්ණ පිංවත් මනුෂ්‍යයෙක්‌ වන්න ඔබත් නිරතුරුවම උත්සහවන්ත වන්න. ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙත්ම ඉහත ලෝකස්‌වභාවයන් හඳුනාගත හැකි සමාධියක්‌ ඔබ තුළ ඇති වේවි. ඔබ කලබල විය යුතු නැහැ එම තැනට එන්නට. මන්ද ශීලයෙන් ඔබ පරිපූර්ණ වෙත්දී ඉන්ද්‍රිය සංවරය ඉබේම ඇතිවෙන නිසා ලෝකයාට නොදැනීම ඔබ ලෝකය ගැන සිතන්නට පටන් ගනිවී. ඔබ හිතනකොට ප්‍රවේසම් වෙන්න ඕනේ සමාජයේ පවතින දෘෂ්ඨියට යට නොවී මේවා ගැන හිතන්නට. මේ වගේ ප්‍රශ්ණයක්‌ තමයි සත්ව කරුණාවේ නාමයෙන් සමාජයේ තිබෙන මාංශ නිර්මාංශ ප්‍රශ්ණය. මේ ප්‍රශ්ණයේදී හේතුඵල ධර්මයන් නිවරැදිව ගලපා නොගත් පිංවතුන් තිරිසන් සතුනට කරුණාව දක්‌වමින් මනුෂ්‍යයා කෙරෙහි ව්‍යපාදය සකස්‌කර ගන්නවා. පිංවත් දායක පිරිස්‌ විසින් සංඝයා උදෙසා කැප ආකාරයට දානයට මාංශයක්‌ පූජා කළත් එය ප්‍රත්‍යවේක්‍ෂ කොට වළඳන ස්‌වාමීන් වහන්සේලාවත් සමහර පිංවතුන්ලා විවේචනයන් එල්ල කරනවා අපිට ඇහෙනවා. එම නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාළ ධර්මයන්ට පටහැනි ආකාරයේ ක්‍රියාවන්ට පෙලඹෙන්න එපා. එහෙම උනොත් ඔබ ධර්මයේ නාමයෙන් අධර්මය ක්‍රියාත්මක කරන කෙනෙක්‌ වෙන්න පුළුවන්. මෙය හරිම අභාග්‍යයක්‌. මේ පුංචි ජීවිත කාලයේදී ඔබ අප හැමෝම හිතන්න ඕනේ අපි දන්න දේ හුඟාක්‌ අඩුබව. එවිට අපිට පුළුවන් ලෝකයේ සියල්ල අවබෝධයෙන් අභිබවාගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය නිහතමානීව නිවරැදිව ජීවිතයට ගලපා ගන්න. එහෙමනම් ඔබ තනිතනිවම සත්ව හිංසාවෙන් වැලකෙන්න. එවිට එහි ඵලය වන නිරෝගීබව අත්විඳින්නේ ඔබමය. ලෝකයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යයේ ස්‌වභාවය වේගයයි. මේ වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන ලෝකය ඔබ අවබෝධකර ගැනීමට නම් ඔබ වේගයෙන් තොර විය යුතුයි. ඔබද වේගවත් වුවහොත් ලෝකය ඔබට සංකීර්ණ වෙයි. ඔබ මෙහෙම හිතන්නකෝ… වේගයෙන් ක්‍රියාත්මකවන යන්ත්‍රයක්‌ ක්‍රියාත්මකවන ස්‌වභාවය ඔබට නිරීක්‍ෂණය කිරීමට අවශ්‍යනම් ඔබ නිසෝලමනේ එම යන්ත්‍රය දෙස බලාසිටිය යුතුය. එවිට ඔබට දැනගන්නට පුළුවන් යන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරය. එහි තිබෙන දෝෂ. නමුත් ඔබ කලබල වුණොත් ඔබට එම කටයුත්ත කරගන්න පුළුවන් වෙන්නෙ නැහැ. සමහරවිට ඔබගේ කලබලකාරී ස්‌වභාවය නිසා ඔබට අනතුරක්‌ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ලෝකය නැමති නාමරූප දෙක දෙස, මේවා අනිත්‍යභාවයට පත්වෙන වේගය දෙස, ඔබද විවේකීව බලාසිටින්න. ඔබ ඔබ දෙස බලා සිටිය ස්‌වභාවයෙන්ම අන්‍යයන් දෙසත් බලන්න. සතා සිව්පාවා දෙසත් බලන්න. සතරමහාධාතුවෙන් සැදුන රූපයත්, රූපය ඇසුරු කොට සකස්‌ වෙන නාමධර්මයනුත් දකින්න. ඔබට වෙනසක්‌ පෙනෙනවාද? ඔබය අනුන්ය, තිරිසන් සතාය කියලා තිබෙනවා පුංචි වෙනසක්‌. එම වෙනස තමයි ෙච්තනාව හේතුවෙන් සකස්‌ වුණ විඤ්ඤාණයේ වෙනස. ඔබ තුළ සකස්‌වෙන එක සිතක්‌ ධර්මානුකූලව ගලපාගැනීමට අදක්‍ෂවීම නිසාමයි මේ වෙනස සකස්‌ වෙන්නේ. මෙන්න මේ පුංචි වෙනස තමයි සුගතිය, දුගතිය කියලා සත්වයාව වර්ග කරන්නේ. මේ වෙනස සකස්‌ වෙන්න හේතුවුනේ ශිල්වත්භාවයත්, දුස්‌ශීලභාවයත් නිසාමය. මේ ධර්මතාවය නුවනින් තේරුම්ගෙන ශිල්පද ආරක්‍ෂා කරගන්න. සතර අපායෙන් මිදුන පිංවතෙක්‌ බවට ඔබ පත්වීමට නම් ඒ අවශ්‍ය ධර්මතාවයන් සපුරාගන්න.

නිරෝගීබව අත්‍යඅවශ්‍ය දෙයක්‌. රෝගීවූවොත් කොහොමද මේ ජීවිතේදීවත් ශිල්පද ආරක්‍ෂා කර ගන්නේ. ඒ නිසා පිංවත් ඔබ අනුන් ගැන නොසිතා තමතමන් සතර අපායේ දුක දකිමින් සතර අපායෙන් මිදීම අරමුණු කරමින්, එතෙක්‌ නිරෝගී ජීවිතයක්‌ ලබමින් සැනසීම පිණිස සත්ව හිංසාවෙන් වලකින්න. සශ්‍රික සෞභාග්‍යවත් නිරෝගී මිනිසෙකු, දෙවියෙකු ලබන කායික මානසික සැපය අනිත්‍ය වූවද එම සැපය ශිල්පදයක්‌ තුළ සැඟවී තිබූ දෙයක්‌ බව සිහිකරමින් ශීලයෙන් පරිපූර්ණ වෙන්න. දුස්‌ශීලභාවය තුළ සැඟවුන දුගතියේ අඳුරු දුක විනිවිද ශීලයේ අලෝකය ලබන්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න.