ගොනා පසු පස නඟුල එන්නා සේ

සත්ව හිංසාවට අදාළවයි මේ සටහන ලියන්නේ. වර්තමානයේ රැකියාවක්‌, ව්‍යාපාරයක්‌, මෝස්‌තරයක්‌ හැටියටත් සත්ව හිංසාව කරන විශාල පිරිසක්‌ සිටිනවා. බොහෝම ඉහළ ශ්‍රේණියේ සමහරක්‌ බල්ලන් ඇතිකරන මහත්වරුන් බැල්ලිය පැටව් ලැබුවට පස්‌සේ බලුපැටියට සතියක්‌ වෙනකොට පශු වෛද්‍ය මහතා ලඟට බලුපැටව් රැගෙනවිත් එම සතුන්ගේ වලිගය කපාදමනවා. එය කරන්නේ මෝස්‌තරයකට. කුකුළු ගොවිපොළවල්වල කුකුළු පැටව් කුඩා කාලයේදීම එම සතුන්ගේ හොට කෙටිවෙන්න කපා දමනවා. ඌරු ගොවිපොළවල්වල ඊරිය පැටව් ගැසුවම පස්‌සේ ඌරු පැටවුන්ගේ දත් ගලවා දමනවා. ඊරියගේ තනපුඩු ආසාදනය වෙන නිසා. මේවා මහාපරිමානයෙන් සිද්ධවෙන්නාවූ සත්ව හිංසාවන්. මෙතනදී හිංසාවට ලක්‌වෙන්නේ කුඩා වයසේ සතුන්. මේ තිරිසන් සතුන් කුඩා වයසේම හිංසාවට ලක්‌වෙන්නේත් එම සතුන්ගේ කර්ම විපාකයක්‌ නිසා. කෙනෙක්‌ අකුසල් විපාකයන් අත්විඳින විට තව කෙනෙක්‌ අකුසල කර්මයන්

රැස්‌කරනවා. මේක තමයි මාරයාගේ ආර්ථීක විද්‍යාව. ඉල්ලුම, සැපයුම බොහෝම සමතුලිතව සිදුවෙනවා. මෙවැනි ළදරු වයසේ සතුනට හිංසා කරන උදවිය මරණින් මතු මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් ළදරු කාලයේදීම රෝගීන් බවට පත්වෙනවා. උපතින්ම ළදරු ශරීරයේ අඟපසඟ, ඉන්ද්‍රිsයන් අඩුයි, විකෘතියි. කුසල් වගේම අකුසල්ද විපාකදීමේදී බොහෝම සාධාරණවයි ඒවා සිද්ධවෙන්නේ. මේක අසාධාරණයි කියලා ඇෆිල් (අභියාචනා) කරන්න අවශ්‍ය නැහැ. ඒ තරමට ලෝකධර්මය සාධාරණයි. හැබැයි ඔබ ධර්මය නොදන්නා නිසා හැම වෙලාවේම මෙම තීන්දු අසාධාරණ හැටියටයි දකින්නේ. දෙවියන් අප දිහා බලන්නෙ නැහැ. ධර්මයේ පිළිසරණක්‌ අපිට නැහැ කියලයි ඔබ දකින්නේ. ධර්මය කියන්නෙ කුමක්‌ද? අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ස්‌වභාවය. මේ ස්‌වභාවයට පුළුවන්ද ඔබට පිළිසරණ වෙන්න. මෙතැන නිත්‍ය වූ, සැපවූ, ආත්මවූ ස්‌වභාවයක්‌ තිබෙනවාද. ධර්මයට බැහැ ඔබට පිළිසරණ වෙන්න. ඔබ ධර්මය පිළිසරණ කොට ගන්න. කොහොමද ඔබ ධර්මය පිළිසරණ කර ගන්නේ. ධර්මයේ ස්‌වභාවය වූ අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම ස්‌වභාවය අවබෝධකොට ගැනීම උදෙසා ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයට අවතීරණ වෙන්න. මෙතැනදියි සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමේ චතුරාර්ය සත්‍ය ධර්මයම නුවනින් දකින්නේ. එහෙම නුවනින් දකින කෙනා දුකට ශාපකරන්නේ නැහැ. දෙවියන්ට දොස්‌තබන්නේ නැහැ. ධර්මයට නිගරුකරන්නේ නැහැ. දුකත්, දුකට හේතුවත්, දුකින් මිදීමත් අරමුණු කොට ගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයම සිය එකම මාර්ගය කොට ගන්නවා. දුකට එකම හේතුව අලියාවත්, බලුපැටියාවත්, රෝගී දරුවාවත් නොව තෘෂ්ණාවම බව අවබෝධකර ගන්නවා.

සත්ව හිංසාව ගැන කථා කරන විට ගෘහ ආශ්‍රිතව ඇති දැඩිවෙන ගවයන්, බල්ලන්, බළලුන්, පක්‍ෂීන් වැනි සතුනුත් ගෘහය තුළ ජීවත්වෙන කෘමීන් වැනි සතුන් මනුෂ්‍යයන් අතින් අනන්තවත් පීඩාවට ලක්‌වෙනවා. තිරිසන් සතෙක්‌ යනු සතර අපායේ සාමාජිකයෙක්‌. ඒ කියන්නේ මාරයාගේ වසඟයේ ජීවත්වන්නෙක්‌. පිංවත් ඔබ තුළ අකුසල් මූලයන් රෝපනය කිරීමට මාරයා මෙම තිරිසන් සතුන්ව තමයි උපයෝගී කරගන්නේ. තිරිසන් සතා යනු මාරයාගේ සුරතලායි. පිංවත් ඔබව සතර අපායට බිලිබාගැනීම සඳහා මාර බිලි කටුවට අමුණන ඇම වන්නේ තිරිසන් සත්වයායි. එහෙයින් ගින්දරෙන් යම් සේද ඔබ පරිස්‌සම් වන්නේ, තිරිසන් සතුන්ගෙන් ඔබ ඊටද වඩා පරිස්‌සම් වෙන්න ඕනේ.

ගින්දරට පිච්චුනත් පිච්චිච්ච වේදනාව පමණයි. සතුනට හිංසා කළොත් සතර අපායේම දුක ඔබට උරුම වෙනවා. මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් රෝගී පුද්ගලයෙක්‌ වශයෙනුයි ඔබට ජීවත්වෙන්න ලැබෙන්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ ධර්ම මාර්ගයේ ඔබ ගමන් කළොත් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රීයෙන් පරිපූර්ණ මනුෂ්‍යයෙක්‌ බවට ඔබ පත්වුවහොත් ඔබට හැකියාව තිබෙනවා තිරිසන් සතාව උපයොගී කරගෙන කුසල් මූලයන් වැඩෙන ස්‌වභාවයට ඔබේ ජීවිතය ගෙන යන්න. ඔබේ ගෙදර දොරකඩට බල්ලෙක්‌ එනවා. දෙමාපියන් දරුවට කියනවා පුතේ ඔය බල්ලව හිරිහැර නොකර එලවලදමන්න කියලා. එතනදී ඔබ තුළ මෛත්‍රී සිතිවිල්ලකුත් ඇතිවෙලා. එහෙමත් නැතිනම් ඔබ කියනවා පුතේ ඔය බල්ලට කෑම ටිකක්‌ කන්න දීල කෑම කෑවට පස්‌සේ හිරිහැර නොකර එලවලා දමන්න කියළා. එතනදි මෛත්‍රී සිතුවිල්ලක්‌ වගේම ත්‍යාග සිතුවිල්ලකුත් ඇති වුණා. සතුන් සම්බන්ධව ක්‍රියාත්මකවීමට පෙරාතුව ඔබ ඉවසිලිමත් වෙන්න සත්ව හිංසාවට හිරිඔතප් දෙක ඇතිකරගන්න.

සත්ව හිංසාව කියන දෙය පිංවත් ඔබ හිතනවාට වඩා බොහෝම සියුම් දෙයක්‌. මේ සියුම් බව මනුෂ්‍යයාට තේරුම් ගන්න බැරි නිසාමයි රෝගීභාවයෙන් තොර මනුෂ්‍යයෙක්‌ වර්තමාන ලෝකයේ සොයාගැනීමට විරල. නිරෝගී පිංවතුන්ලා සමාජයේ ඉන්නවා. ඒ අය අත්විඳින්නේ සංසාරයේ තමන්ම කරගත්ත කුසල් විපාකයන්. සත්ව හිංසාව නිසා සත්වයාට විඳින්නට සිදුවන කර්ම විපාකයන්ගේ සියුම්භාවය ඉතාමත් මැනවින් ප්‍රකට වෙන කථාවක්‌ භික්‍ෂුව දැන් ඔබගේ අවබෝධය සඳහා මෙහි සටහන් කරනවා. මේ කථාව කියවලා ඔබම තීරණය කරන්න කරන්න සත්ව හිංසාව යනු මොනතරම් සියුම්ව ඔබ අතින් සිදුවිය හැක්‌කක්‌ද ඒවායේ අකුසල විපාකයන් මොනතරම් සියුම් ගුප්ත ආකාරයට ඔබට විපාක පිණිස සකස්‌වෙනවාද කියලා. මේ කථාව කියවලා ඔබ සත්වහිංසාවන් සිදුකිරීමෙන් අත්විඳින්නට වන අකුසල් විපාකයන් හොඳින් හඳුනාගෙන ඔබද මින් මතුවට සතුන් ඇතිකරනවා නම් එම සතුනට හිංසාවක්‌ පීඩාවක්‌ ඇති නොවන ආකාරයට එය කරන්න. සතුන්ගෙන් හරිහම්බ කරගන්න. ආදායම් ලබාගන්න. සතුන්ව හොඳින් පෝෂණය කරමින්, මෛත්‍රිය කරුණාව දක්‌වමින්ම.

ධර්මයට බොහොම ලැදි මැදිවියේ විවාහක යුවලක්‌ ජීවත්වෙනවා. මේ දෙපළට දරුවන් නැහැ. ඒ නිසා බොහොම නිදහස්‌ ජීවිතයක්‌ තමයි ගතකරන්නේ. ප්‍රධාන නගරයක ව්‍යාපාරික ස්‌ථානයක්‌ පවත්වාගෙන යමින් ආදායම් ලබනවා. මේ ව්‍යාපාරික ස්‌ථානය පවත්වාගෙන යන්නේ බිරිඳ විසින්. සැමියා අත්‍යවශ්‍ය අවස්‌ථාවකදී තමයි ව්‍යාපාර කටයුතු වලට හවුල් වෙන්නේ. ඒ කියන්නේ ඇය සහජයෙන්ම ව්‍යාපාරික හැකියාව තිබෙන කාන්තාවක්‌.

නමුත් මේ පිංවත් කාන්තාවගේ ජීවිතයට බලපාන එක්‌තරා ප්‍රශ්නයක්‌ තිබෙනවා. එය ගුප්ත ස්‌වභාවයේ ප්‍රශ්නයක්‌. ඇය සමහරක්‌ අවස්‌ථාවල තැතිගත් අයුරක්‌ පෙන්වනවා. සමහර අවස්‌ථාවල ඇයගේ පසුපස අමනුෂ්‍ය බලවේගයක්‌ තිබෙන බව ඇය පවසනවා. මේ හේතුවෙන් ඇය පීඩා විඳිනවා. ව්‍යාපාරය කරන අවස්‌ථාවේ බොහෝම හොඳින් කටයුතු කරන ඇය ගෙදර පැමිණිවෙලේ පටන් කේන්ති ගන්නවා. සැමියා පන්සලකට යැමට, භික්‍ෂුවක්‌ හමුවීමට යන්න හදනවිට ඇය අකමැති වෙනවා. බියවෙනවා. බිරිඳගේ මෙම ස්‌වභාවය හොඳින් දන්න ස්‌වාමිපුරුෂයා ඇයත් සමඟ බොහෝම අවබෝධයෙනුයි කටයුතු කරන්නේ. ඇය සිතනවා තමන්ගේ මියගිය පියා ඇය කෙරෙහි ආදරයෙන් ඇය පසුපස සිටින බව. මේ හේතුව නිසාම ඇය පීඩනයට පත්වෙලා. සමහර අවස්‌ථාවල තැතිගත්, ගුප්ත ස්‌වභාවයක්‌ ඇය තුළින් දර්ශනය වෙනවා. නමුත් ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. ශිල්පද ආරක්‍ෂා කරගැනීමට උත්සහගන්නවා. පොත පත කියවීමෙන් ධර්මය ගැන හොඳ දැනීමක්‌ තිබෙනවා. මේ ගුණාංගයන් තිබුණත් ඉහත ප්‍රශ්නයෙන් ඇය පීඩා විඳිනවා. මෙම දෙපළ ඉදිරි කාලයේදී සිය ගෙවල් ව්‍යාපාර විකුණා දමා අනගාරිකව ජීවත්වීමටද බලාපොරොත්තුවෙන් පසුවනවා. මේ පසුබිමේ සිදුවීම් හොඳින් ගලපා බලනකොට බොහොම ශ්‍රද්ධාසම්පන්න යුවලක්‌ ලෙසයි මේ දෙපල පෙනෙන්නේ.

නමුත් ඇයට ස්‌ථීරව සිතාගන්න බැරි පීඩනයක්‌ ඇය තුළ තිබෙනවා. ඒ පීඩනය නිසා ඇය මානසිකව සමහර අවස්‌ථාවල දුකට පත්වෙනවා. ඇය මේ පීඩනයට පත්වෙන්නේ ඇය පසුපස අමනුෂ්‍ය බලවේගයක්‌ සිටින නිසාවත්, ඇයගේ ශරීරය තුළ අමනුෂ්‍ය බලවේගයක්‌ සිටින නිසාවත් නොවේ. ඇයගේ දුර්වල මනෝභාවය නිසයි. ඇය දක්‍ෂ නැහැ මම තෙරුවන් සරණ ගිය, ශීලයක හික්‌මෙන, නිරතුරුව දන්දෙන අයෙක්‌ හැටියට දකින්න. එම දැක්‌ම විශ්වාසයක්‌ බවට පෙරළාගන්න. මේ විශ්වාසය තුළින් ඇය ශක්‌තිමත් මනොභාවයක්‌ ගොඩනගාගත් සැනින් ඇයට හැකියාව තිබෙනවා මෙ දුර්වලතාවයෙන් අත්මිදෙන්න. ඇයට මේ නිවැරදි මනෝභාවය සකස්‌කර ගැනීමට මඟ අහුරන්නේ පෙර ජීවිතයේදී ඇය විසින් කරන ලද කර්ම විපාකයක්‌.

එක්‌තරා භික්‍ෂුවක්‌ මේ සිද්ධියට අදාළ කාන්තාවගේ පෙර ජීවිතය සමාධියෙන් අරමුණුකර බලනවා. උතුම් සමාධිය තුළදී ඇයගේ පෙර ජීවිතයත්, වර්තමාන කර්ම විපාකයට අදාළ පෙර ජීවිතයේදී කරන ලද කර්මයත් භික්‍ෂුවට දර්ශනය වෙනවා.

භික්‍ෂුවට දර්ශනය වෙන්නේ මීහරක්‌ කිහිපදෙනෙක්‌ සහ කාන්තාවක්‌. එම කාන්තාවගේ හඬ මේ විදිහට ඇසෙනවා.

‘මගේ වැඩ කරපු සල්ලි දෙන්න’

ඔතැනින් දර්ශනය නිමයි.

දැන් භික්‍ෂුව මෙම දර්ශනය ඇයගේ පෙර ජීවිතයට ගලපනවා, ඇය පෙර ජීවිතයේ කවරෙක්‌ද? ඇය කළ අකුසල් විපාකය කුමක්‌ද යන්න දැනගැනීමට. මෙන්න මේ ගැලපීම ඔබට ගොඩාක්‌ වටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් දේශනා කොටවදාළ ‘කර්මය ඔබ දායාදකොට පවතීය’ යන ධර්මය නැවත නැවත ශ්‍රද්ධාවෙන් යුතුව ආවර්ජනය කිරීමට.

පෙර ජීවිතයේදී ඇය මනුෂ්‍ය කන්තාවක්‌. ඇයගේ ආදායම් මාර්ගය වූයේ මීහරකුන්ව කුඹුරු වැඩ සඳහා කුළියට දීම. ඒ කුඹුරු වැඩට යෙදවූ මීහරකුන්ගේ ගාස්‌තුව තමයි කුඹුරු හිමිකරුගෙන් ඉල්ලන්නේ. දැන් මෙම සිද්ධිය පැති කිහිපයකින් බලමු.

පළමු කරුණ පෙර ජීවිතයේදී ද ඇය ව්‍යාපාරික කාන්තාවක්‌. පෙර ජීවිතය කියන්නේ මීට අවුරුදු 50 කට පෙරාතුව. අඩසියවසකට පෙරාතුව වර්තමානය වගේ විවිධ ව්‍යාපාර තිබුණේ නැහැ. වර්තමාන සමාජයේ තිබෙන සංකීර්ණභාවය තිබුණේ නැහැ. ප්‍රධාන ව්‍යාපාරය, ආදයම් මාර්ගය තමයි කෘෂිකර්මය. එය අතීතයේ ගෞරවණීය ව්‍යාපාරයක්‌. පෙර ජීවිතයෙදී මෙම කාන්තාව මීහරකුන්ව කෘෂිකර්ම කටයුතු වලට දීමෙන් ආදයම ලැබුවා. මේ ජීවිතයේදීත් ඇයට පෙර සංසාරික පුරුද්ද නිසාම නවීන තාක්‍ෂණික ආම්පන්න විකිණීමේ ව්‍යාපාරයක්‌ තනියම කරගෙන යැමට ශක්‌තිය ලැබුණා. සමාජයේදී ඔබ දැකලා ඇති සමහර කාන්තාවෝ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේදී ඉතාමත් දක්‍ෂ ආකාරයට කටයුතු කරනවා. මේවා පිංවතුනි සංසාරික පුරුදු. එවැනි පුරුදු නැති අය කඩේකට ගිහින් බඩුවක්‌ ගන්නෙත් බොහොම ලැඡ්ජාවෙන්. ඔබලාගේ ජීවන ක්‍රියාකාරකම් සමග මේවා ඔබවිසින්ම ගලපාගන්න ඕනා.

දෙවැනි කාරණය තමයි ඇය පෙර ජීවිතයේදී කළ ව්‍යාපාරය නිසා ඇතිකරගත් අකුසලයේ ස්‌වභාවය. ඇය මීහරකුන්ව කුඹුරු වැඩට යොදවා ආදායම ලබාගත්තත් ඇය සත්ත්ව ඝාතනයට නම් යොමුවෙලා නැහැ. ඒක අතීතයේ මනුෂ්‍යයා තුළ තිබූ සත්ව කරුණාව. වර්තමානයේ මීහරකුන්ව කුඹුරු වැඩට යොදාගන්නවා ඉතාම අඩුයි. නමුත් මෙයට වසර 50කට පෙර සමාජයේ කෘෂිකර්මයේ ප්‍රධානම බලවේගය තමයි මීහරකා. කුඹුර, පස පෙරලන මොහොතේ පටන් අස්‌වැන්න කමතේ පාගන මොහොත දක්‌වාම මීහරකා තමයි ගොවිතැනට උදව්වෙන්නේ. මෙම සතුනගෙන් මිනිස්‌සු වැඩ ගන්නේ හුඟක්‌ම අකාරුණික විදිහට. උදේ ඉඳලා සවස්‌වෙනකම් නගුලක මීහරක්‌ දෙදෙනෙක්‌ බැඳලා ගන්න වැඩ ප්‍රමාණය කොපමණක්‌ද? හරියට යන්ත්‍රයක්‌ වගේ. ගොවි මහත්තයා ආහාර ගන්න වෙලාවට පමණයි මීහරකාට නිදහසක්‌ ලැබෙන්නේ. ඒත් නගුලෙන් එම සතාව ලිහන්නේ නැහැ. නගුල කරේ තියාගෙනම මීහරකා විවේක ගන්නවා. මහ පොළොවේ පස පෙරළාගෙන, කඩාබිඳදමාගෙන යන්න මොන තරම් ජවයකින් මීහරකා විසින් නගුල අදින්න ඕනේද? පොඩ්ඩ බැරිවුණොත් වැදෙන කෝටු පහර, එහි ශබ්දය භික්‍ෂුවට මේ සටහන ලියන මොහොතේත් දැනෙනවා. ‘අනේ මට සනීප නැහැ. මගේ දණිස්‌ රිදෙනවා. මගේ හිස කකියනවා. දැන් අවුරශ්මිය වැඩියි. මට බඩගිනියි. පිපාසයි…….’ මී හරකට පුළුවන් ද මොනතරම් වුවමනා වුණත් මේවා කියන්න. දවස පුරාවට තම ශරීර ශක්‌තියෙන් නගුල ඇදලා පොළොවේ පස පෙරළලා සවස්‌ වරුවේ ඕවිටේ තණකොල ටික කාලා නිදාගන්නවා. හෙට උදයේ නැවතත් සුපුරුදු රාජකාරියමයි…

මීහරක්‌ හිමියා ආදායම ලබනවා.

අපි හිතනවා මේක ධාර්මික රැකියාවක්‌ කියලා. ඔබම හිතන්න, මනුෂ්‍යයෝ දෙදෙනෙක්‌ නගුලක බැඳලා කුඹුරට දැම්මොත් පස පෙරළන්න එම දෙදෙනා විඳින්නා වූ මානසික, කායික හිංසනය ගණනය කළ හැකිද? මේ අනුසාරයෙන් මී හරකා අත්විඳින්නා වූ හිංසනය ඔබම තීරණය කරන්න. මෙන්න මේ සත්ව හිංසාව නිසා මීහරකා ගෙල මත තබා බැඳි නගුල මී හරකා පසුපසින් ගමන් කරන්නේ මොනතරමක්‌ ද එම සතාව කායිකව, මානසිකව හිංසාවට ලක්‌කළේ කොපමණක්‌ ද ඒ තරමටම එම හරක්‌ අයිතිකාර කාන්තාවට ආදායම ලැබුණි. ඇය එම සත්ව හිංසනයෙන් ඉපයෙන ආදායමෙන් සතුටු වූවාය. එහි කර්ම විපාකය හැටියට කාන්තාවක්‌ ලෙසට උපත ලැබූ මෙම ජීවිතයේදී ඇය අමනුෂ්‍යයෙක්‌ යැයි සිතා සිටින මානසිකත්වය ඇය පසුපස පැමිණෙමින් ඇයට අකුසල් විපාක විඳීමට සලස්‌වනවා. බලන්න ලෝක ධර්මය මොනතරම් සාධාරණද කියලා. මීහරකාගේ ගෙලේ බැඳි නගුල එම සතා පසුපස පැමිණෙමින් එම සතුන්ව කායික, මානසික හිංසාවට ලක්‌කළේ යම්සේද, එහි කර්ම විපාකය හැටියට මේ මනුෂ්‍ය ජීවිතයේදී අදාළ කාන්තාවට තමා විසින්ම මනසින් අරමුණු කරගත්තා වූ අමනුෂ්‍ය හැඟීමක්‌ ඇය පසුපස පැමිණෙමින් ඇයව කායිකව, මානසිකව පීඩාවට පත්කරනවා. දැන් ඔබට තේරෙනවා ඇති සත්ව හිංසාව කියන අකුසලය මොන තරම් සියුම් ආකාරයෙන් ඔබ අතින් සිදුවිය හැකිද කියලා. ඒ වගේම එම සත්ව හිංසාවන්ගේ අකුසල් ස්‌වභාවය එම හිංසනයේ ස්‌වභාවයට අනුරූපී ආකාරයටමයි විපාක දීමට සලස්‌වන්නේ කියලා.