ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චූලකර්ම විභංග සුත්‍රයේදී සුභ මානවකයාට බොහෝම ලස්සන ධර්මයක් දේශනාකරනවා. සුභ මානවකයා මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතීය කියලා. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන එක ප්‍රශ්නයක් තමයි භාග්‍යවතුන් වහන්ස( මේ ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයන් සමහරු දීර්ඝායුෂ ලබමින් ජීවත්වෙනවා. තවත් කෙනෙක් හීන ආයුෂ සහිතව මිය පරලොව යනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මෙහෙම වීමට හේතුව කුමක්ද කියලා. ඊට පිළිතුරු වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ සුභ මේ ලෝකයේ උපදින සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොට පවතීය කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා ‘සුභ, පෙර ජීවිතයේ යමෙක් සත්ව හිංසා අකුසලය සිදු කරා නම් ඔහු මරණින් මතු නිරයේ දුකට වැටෙනවා. යම් හෙයකින් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙක් ලෙස උපතක් ලැබුවා නම් ඔහු රෝගීභාවය ඇතිව උපත ලබනවා කියලා. ඒ වගේම පෙර ජීවිතයේදී සත්වයාට මෛත්‍රිය කරුණාව දැක්වීම හේතුවෙන් ඔහු මරණින් මතු මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් නිරෝගීභාවය ලබනවා කියලා.
එතකොට බලන්න යමෙක් මේ සමාජයේ නිරෝගීව ජීවත්වන්නත් තව කෙනෙක් රෝගීව ජීවත්වෙන්නෙත් හේතුඵල ධර්මයක් නිසා. ප්‍රධාන වන්නේ සතුනට හිංසාකිරීමත් මෛත්‍රිය කරුණාව දැක්වීමත් කියන කාරණා. වර්තමානයේ සමාජය දෙස බැලීමේදී මනුෂ්‍යයා පමණක් නොවේ ඔබ ජීවත් වන පරිසරයත් රෝගී බවට පත් වෙලා. මෙතනින් පරිසරය අපි පැත්තකින් තියලා මනුෂ්‍යයා ගැන බලමු. සමහරු රෝගී බවට පත්වෙන්නේ මව්කුසේදීම. මව්කුස පිළිසිඳගෙන මාසෙන් දෙකෙන් දරුගැබ කළලය රෝගී බවට පත්වෙනවා. මව් කුසේ සිටියදීම පෙර කළ සත්ව හිංසා කර්මයන් විපාක දෙනවා. සමහර දරුවන් ලෝකයට බිහිවන මොහොතේම නොමේරූ දරුඋපතක් හැටියටයි ලොවට බිහිවන්නේ. තවත් ළදරුවන් නොයෙක් ආබාධ ඉන්ද්‍රියන්ගේ අඩුපාඩු සහිතව ලොවට බිහිවෙනවා. මෙලොව එළිය දැකපු දවසේ පටන් මේ ළදරුවන් රෝහලේ දැඩිසත්කාර ඒකකයක නොමේරූ ළදරු ඒකකවළ, සති, මාස, අවුරුදු ගණන් දුක්විඳිනවා. රටේ ප්‍රධාන ළමා රෝහලකට එසේත් නැතිනම් ළමා වාට්ටුවකට යන්න. මොනතරම් දරුවෝ නොයෙක් වයස් සීමාවල සිතාගන්නවත් බැරි රෝගවලින් පීඩා විඳිනවාද? සමහර ළදරුවන්ට මාරාන්තික රෝග, තවත් තවත් දරුවන්ට අර්ධ මාරාන්තික රෝග. නාසයට මුඛයට බට දමලා, උදරයට බට ගහලා….. ඔබ මේවා දකිනකොට, ඔබ මේවා අත්දකිනකොට ඔබට දරන්න බැහැ මේ පොඩි දරුවන් විඳින වේදනාව. පොඩිදරුවන් විතරක් නොවේ මේ දරුවන් නිසා ඒ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් මේ හැමෝමත් දුකේ කොටස් කරුවන් වෙලා. මිනිස් ජීවිතයක උපත ලැබුවත් රෝගී දරුවන් නිසා අපා දුක්විඳින දෙමාපියන් මොනතරම් සමාජයේ සිටිනවාද? මේ දුක ඔබට අහම්බෙන් ලැබුණ දෙයක් නම් නොවේ. අපලයක් නිසා, දේවකෝපයක් නිසා, රටේ වෛද්‍ය අංශයේ දුර්වලතාවක් නිසා ලැබුණු දේවල් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා කර්මය සත්වයා දායාද කොටගෙන පවතීය කියග. රෝගී දරුවන් නිසා එම දෙමාපියන්ද විඳින්නේ දුකක් නම් එයත් දෙමාපියන්ගේ සංසාරික කර්මයක දායාදයක්මය. මෙය දෙමාපියන්ට අහම්බෙන් ලැබුණ වගකීමක් දුකක් නොවේ. පෙර ජීවිතයේදී සත්ව හිංසාව අකුසලය කරගත් මනුෂ්‍යයෙක් මරණයෙන් මතු නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ නම් ඔහුට සුදුසු මව්කුස ලෙස තෝරාගන්නේ ද ඊට අදාළ අකුසල් සිදුකරගෙන ඇති මවකගේ මව්කුසක්මයි. මේවා කාටවත් වෙනස් කළ නොහැකි ලෝක ධර්මයන්. දරුවා නිසා අම්මා තාත්තා දුක් විඳිනවාත්, අම්මා තාත්තා නිසා දරුවා දුක් විඳිනවාත් නොවේ. තම තමන් කරගත් අකුසල් නිසා තමන් හවුලේ එම අකුසල් විපාක අත්විඳනවා පමණි.
ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබේ ගෙදර දොරකඩට බල්ලෙක් එනවා. ගෙදර අම්මයි තාත්තයි කියනවා පුතේ ඔය බල්ලට ගහල එලවන්න කියලා. පුතා හොඳ ගලක් හෝ පොලු කැබැල්ලක් අරගෙන බල්ලට ගහනවා. අර අහිංසක බල්ලා කකුල ඔසවා ගෙන ලේ පෙරාගෙන දුවනවා. දැන් බලන්න මේ සත්ව හිංසාවට කී දෙනෙක් හවුල්වුණාද? බල්ලාට ගැහුවෙ දරුවා තමයි. නමුත් ගහන්න අණ කළේ දෙමාපියන්. අකුසලය වැඩි දරුවට. මරණින් මතු මෙන්න මෙවැනි අකුසල් තිබෙන දරුවන් එවැනිම අකුසල් සහිත දෙමාපියන්ගේ මව් කුසවල ඉපදිලා දරුවා රෝගීභාවයට පත්වෙලා දෙමාපියන්ගේ අකුසලය විපාක දීමට අවස්ථාව සලස්වනවා. දැන් මේ තුන්දෙනාම විඳින්නේ තමන් කරගත් කර්මයක විපාකයක්මයි. භික්ෂුවට සමහර අවස්ථාවල ඇහිල තිබෙනවා රෝගී දරුවන් ඉන්න අම්මලා කියනවා ‘මගේ කරුමෙටයි මේ දරුවා ලැබුණේ’ කියලා. අන්න එවැනි අම්මලාගේ අදහස සර්වසාධාරණයි.
අවිද්‍යාසහගත ලෝකය හැඩගැසිලා තිබෙන්නේ සත්වයා දුක දෙසටම තල්ලුකර දමන ස්වභාවයටයි. ඔබ විසින්ම කරගන්නා ලද අකුසලයන් විපාක දෙන විට ලෝකයේ ස්වභාවය සකස් වී තිබෙන්නේ ඒ විපාකයේ අමිහිරි වේදනාව නිසා සත්වයා තව තවත් අකුසල කර ගන්න දිශාවටම මෙහෙය වීමටයි. ඔබ මෙතනදි පරිස්සම් වෙන්න ඕනේ. එසේ නොවුණොත් තව තව අකුසල කර්මයන් ඔබත් අනුනුත් දායාද කර ගැනීමයි සිද්ධවෙන්නේ. ඔබ අතින් උපස්ථානය ලබන රෝගී වැඩිහිටියෙක්, දරුවෙක් සිටිනවා නම් ඒ අයගේ ක්‍රියාකාරකම් නිසා නිරතුරුවම ඔබට ද්වේෂය, පළිගැනීම, පිළිකුල, නොසලකාහැරීම වැනි ෙච්තනාවන් සකස් වෙන්න පුළුවන්. එය ස්වභාවයක්. මෙවැනි අවස්ථාවකදී ඔබ දක්ෂවෙන්න ඕනේ ලොව්තුරා ධර්මය ජීවිතයට ගලපා ගන්න. ද්වේෂය ඔබ ඔබේ කර ගත්තොත් ඔබ ඔබේ කර ගන්නේ මහා ගිනි ගොඩක්මයි. ඒ ඔබ විසින්ම අවුලුවාගත් ගිනිගොඩෙන්ම ඔබට සසර අප්‍රමාණ කාලයක් පිච්චෙන්නට සිදුවේවි.
ඉහත සදහන් කළේ දරුවන්ගේ රෝගීභාවය ගැනයි. තරුණ වැඩිහිටියන්ගේ රෝගීභාවය ගැන දකිනකොට මහා රෝහලකට, කුඩා රෝහලකට ඔබ ගොඩ වැදුණොත් ලක්ෂගණනක් ජනතාව රෝගීන්. නිරෝගීභාවය ගොඩක් අඩුයි. වයසට නොගැළපෙන රෝග, මාරාන්තික රෝග, අන්‍යයන්ගේ පිළිකුලට භාජනය වන රෝග, අනුනට ප්‍රකාශ කිරීමට නොහැකි රෝග….. සංසාරයේ සත්ව හිංසාවට අදාළව ඒවා විපාක දීමට සුදුසු ආකාරයට ලෙඩ රෝග හැදෙනවා. හැබයි පාරිසරික හේතූන් නිසාත්, සෘතු බලපෑම් නිසාත් රෝගීන් ස්වභාවයන් ඇතිවෙනවා. ඒත් එම රෝග දීර්ඝකාලීන නිදන්ගත රෝග බවට පත්වෙන ස්වභාවය අඩු බවද ඔබ වටහාගත යුතුව ඇත. අකුසල කර්මයන් විපාකදෙන රෝගීන්ගේ ස්වභාවය පැහැදිලිව හඳුනාගන්න පුළුවන්. ඔබ සිතෙන් මවාගන්නකෝ රෝහලේ ඇඳේ නිරතුරුවම අඳෝනා තබන රෝගියෙක්. නාසයට, මුඛයට, උදරයට බට ඇතුළත් කර වේදනාව විඳින රෝගියෙක්. දෑත් දෙපා ඇඳ හතර කොණේ බැඳ දමා ඇති රෝගියෙක්, අසිහියෙන් දිනගණන් දුක්විඳන රෝගියෙක්, ජලය ආහාර රස බැලීමට වාසනාව නොමැති රෝගියෙක්. අත පය වාරු නැති අංගවිකල අංශභාග රෝගියෙක්. භික්ෂුවට නම් මෙවැනි රෝගීන් දකිනකොට සද්ධර්මය කෙරෙහිමයි ගෞරවය ඇතිවෙන්නේ. මොනතරම් පැහැදිලිව ලෝක ස්වභාවය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙනවාද. ඔබ සත්වයින්ට සංසාරයේදී දුක් දුන්නා. හිංසා කළා. ඒ දුකමයි, හිංසාවමයි ඔබ ඔය අත්විඳින්නේ.
වර්තමානයේ මනුෂ්‍යයා මොනතරම් නම් සත්ව හිංසාව සිදුකරනවාද? සමහරු සත්ව හිංසාව සිද්ධකරන්නේ මෝස්තරයක් හැටියට. තවත් සමහරු සත්ව හිංසාව සිදුකරන්නේ ව්‍යපාරයක් හැටියට. සමහරු විනෝදයටත් සත්ව හිංසාවේ යෙදෙනවා.
හුඟදෙනෙක් මේ දේවල් කරන්නේ විපාකය ගැන අනවබෝධය නිසා. භික්ෂුව දිනක් ආරණ්‍යයක වැඩ සිටින විට කුටිය ඉදිsරියෙන් ළමයින් කීපදෙනෙක් කැළය දෙසට යනවා දැක්කා. මේ අය පොලිතීන් බෑග් එකක යමක් දමාගෙනයි එම ප්‍රදේශයට ගියේ. භික්ෂුවට දැනුණේ නැහැ බෑගයේ මොනවද තිබුණේ කියලා. පසුවදා භික්ෂුව එම දරුවන් ගිය මාර්ගයේ වඩින විට සාමාන්‍ය කලුගලක් ළඟ ගොළුබෙල්ලන් විස්සක් පමණ කලුගලේ ගහල මරල. අර ෂොපින් බෑගයේ දමාගෙන ගිහින් තිබෙන්නේ ගස්වල එල්ලිලා හිටපු ගොළුබෙල්ලෝ. ඒ ගොළුබෙල්ලන්ගෙ කටුව ගලේ වැදිල කුඩුවෙනව දැකලා ඒ දරුවන් සතුටුවෙනවා. මෙතන සත්ව හිංසාවකින් එහාට ගියපු සත්ව ඝාතනයකුයි සිද්ධවෙන්නේ. කුරුල්ලන්ට ගල්වලින් ගහනවා. මාළුන්ට ගල්වලින් ගහල තුවාල කරනවා. සමනළයන්ගෙ පියාපත් කඩනවා. මෙහෙම දරුවො සමාජයේ ඕනතරම් සිටිනවා. වියළි කලාපයේ ප්‍රදේශවල සත්ව හිංසාව ගොඩක් වැඩියි. ගොවිතැන් විනාශ කරන්න එන අලින්ට හේන රකින අට්ටාලය මත සිට එම සතුන්ගේ ඇඟට ලෝදිය වගේ උණුවතුර හලනවා. ගෝනි ගිනිතියලා අලින්ගේ පිට මතට දමනවා. අට්ටාලය මත සිට ලොකු යකඩ ඇණ ලෑලි මත ගහලා අලි එන මංකඩවල තියනවා කකුල්වල ඇනෙන්න. මේවා විපාක දීලා අහවරකරන්න පුළුවන් අකුසල් කර්ම නොවේ. මෙවැනි බරපතළ සත්ව හිංසා අකුසල් කිරීමට පෙරාතුව ඔබ මේවා ධර්මානුකූලව ගළපාගන්න දක්ෂවෙන්න ඕන.
ඔබ මෙහෙම හිතන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි මහත්මයෙක් තම කුඹුර අස්වද්දනවා. ඔහු කවදාකවත් අස්වනු රැකගැනීම උදෙසා පැල් රකින්නේ නැහැ. තෙල්, බෙහෙත්, පොහොර, යොදලා බොහෝම විවේකීව ඉන්නේ. වතුර හැරවීම වැනි කටයුතු පමණයි කළ යුත්තේ. නමුත් වියළි කලාපයේ ගොවි මහත්මයෙක් බීජ වැපුරුව දවසේ පටන් අස්වැන්න නෙළාගන්නා දවස දක්වාම නිදිවරාගෙන වැස්සෙ පින්නෙ දුක්ඳින්න ඕනේ අස්වැන්න රැකගන්න. එළිවෙනතුරු නින්දක් නැහැ අස්වැන්න ගන්නා පුරාවටම. හොඳින් ඔබ දකින්න. ගම්පහ ගොවි මහත්මයත් වියළි කලාපයේ ගොවිමහත්මයත් කරන්නේ එකම ගොවිතැන. නමුත් දෙදෙනාට විඳීමට සිද්ධවෙන්නාවූ දුකේ ස්වභාවය එකිනෙකට වෙනස්. මෙය කර්ම විපාකයක් නිසා සිදුවෙන්නක්. වියළි කලාපයේ පිංවත් ගොවි මහතාට තමන්ගේ අස්වැන්න රැකගැනීමට ජීවිතය පරදුවට තබා වෙහෙසවීමට සිදුවී ඇත්තේ ඔහු පෙර ජීවිතවලදී අනුනගේ අස්වැන්න විනාශ කිරීමේ අකුසලය සිද්ධකරන්න ඇති නිසා. මනුෂ්‍යයෙක් හැටියට හෝ එහි කර්ම විපාකය තමයි ඔහු මේ ජීවිතයේදී අත්විඳින්නේ. දුෂ්කර පළාතක ඉපදුණේ, දුෂ්කර ජීවිතයක් ලැබුණේ…. මේ පෙර කර්ම විපාක. මේ ස්වභාවය හඳුනාගන්න කෙනා කවදාකවත් අතීතයේ කළා වූ අකුසල කර්මයන් නැවත කරන්න පෙළඹෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අනුව ගළපමින් ඔබ ජීවිතය විග්රහ කර ගන්න දක්ෂවෙන්න. පිංවත් ඔබ මේ ජීවිතයේදී දුෂ්කර වියළි කලාපයේ ගොවි මහතෙක් වශයෙන් ජීවත්වුවද පෙර ජීවිතවලදී ඔබත් අලියෙක්, හරකෙක්, වල් ඌරෙක්, පක්ෂියෙක්, වැනි සතෙක් වෙලා අනන්තවත් අනුනගේ අස්වැන්න විනාශ කරන්න ඇති. සසර ඔබ කරපු ඒ අකුසල් විපාකයන් ඔබම වර්තමානයේදී අත්විඳිනවා. මේවා ඔබ ධර්මානුකූලව ගලපා නොගත්තොත් ඔබ තව තව අකුසල්මයි සිද්ධකරගන්නේ. එම නිසා සත්ව හිංසාවන්ට යන්නෙ නැතුව උපක්රමශීලීව වන සතුන්ගෙන් ඔබේ වගාවන් ආරක්ෂා කර ගන්න.
ඔබට නැවතත් මතක් කරනවා, ලෝකව පවතින්නේ ඔබව නිරතුරුවම අකුසලය දෙසට යොමුකරන ස්වභාවයක. ඔබේ දක්ෂභාවය නිසා පමණක්මයි කුසලය දෙසට ගමන් කළ හැකිවෙන්නේ. සමහරවිට මෙම සටහන කියවනකොට ඔබට හිතෙන්න පුළුවන් අලියෙක් කොහොමද මනුෂ්‍යයෙක් වෙන්නේ කියලා. එයත් කුසලභාවයේ ප්‍රතිඵලයක්. මේ ඒ ගැන උදාහරණයක්..
මේ රටේ ජීවත් වන ප්‍රභූ පෙළේ ව්‍යාපාරික මහත්මයෙක් ඉන්නවා ඔහු බොහෝම නිහතමානී, චාම්, ධාර්මික ජීවිතයක් ගත කරන මහත්මයෙක්. එක්තරා භික්ෂුවක් මේ පිංවත් මහත්මයාගේ පෙර ජීවිතය උතුම් සමාධිකයකදි අරමුණු කර බලද්දී අරමුණු වෙන්නේ අලියෙක්. ඒ කියන්නේ මේ මහත්මයා පෙර ජීවිතයේදී අලියෙක්. හැබැයි වල් අලියකුගේ ස්වභාවයක් නොවේ පෙනෙන්නේ, හිලෑ අලියෙක්ගේ ස්වභාවය. සිද්ධස්ථාන, රජමහාවිහාර, දේවාල ආශ්‍රිතව සහ පුද්ගලිකව අලි ඇතිකරන වැදගත් මහත්වරුන්ගේ භාරයේ ජීවත් වන, ආගමික පෙරහැරවලට නිරතුරුවම සම්බන්ධ වන ආගමික පරිසරයක හැදෙන අලි ඇතුන් මරණින් මතු වැදගත් ශීලාචාර බෞද්ධ පවුල්වල මනුෂ්‍යයින් වශයෙන් ඉපදීමේ ඉඩකඩ හුඟාක් වැඩියි. එහෙම අය මනුෂ්‍ය ජීවිතයක් ලැබුවහම ධර්මයට හුඟාක් ලැදියි. ලෝකයට හරි කීකරුයි. විනය ගරුකයි. තමන් මොනතරම් මහේශෘඛ්ය කෙනෙක් වුවත් ඔහු හිතන්නේ හුඟාක් නිහතමානීව. මේ ගති ලක්ෂණ තමා සිටි පෙර හිලෑ අලි ජීවිත චර්යාවට හුඟාක් කිට්ටුයි. දැන් ඔබත් වර්තමානයේ විඳින්නට සිදුව ඇති ජීවිතය ගැන ඔබේ අතීත භව චර්යාවන්ට අනුව ගළපාගන්න. ඉහත කථාව අනුසාරයෙන් වියළි කලාපයේ ගොවි මහතා හිතන්න පෙර භවයක මා හැසිරුණු ආකාරය නිසාමයි මට මෙවැනි දේ වෙන්නේ කියලා. මගේ අස්වැන්න භවබෝග සතුන් විනාශ කරන්න එන්නේ මමත් පෙර ජීවිතවලදී තිරිසන් සතෙක් වෙලා මනුෂ්‍යයින්ගේ භවබෝග විනාශකරපු නිසාමයි කියලා. එවිට ඔබට හරිම පහසුයි සසර කරපු අකුසල් විපාක ලබන ගමන් අලුතින් අකුසල් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න?