මේ ලිපිය ලියන අවස්ථාවේ භික්ෂුව වැඩසිටින්නේ රජරට ප්‍රදේශයේ ආරණ්‍යයකය. භික්ෂුව වැඩසිටින ගල් කන්දේ ඉහළ කුටියට ගල් කන්ද පාමුල පිහිටි වැව හොඳට පෙනෙනවා. ඉඩෝර කාලය නිසා වැව හුඟක් හිඳිලා. ඊයේ රාත්‍රී 8.00 පමණ මුළු කඳුවැටියම දෝංකාර දෙමින් වෙඩි හඬක් ඇසුනා. මෙය මේ ප්‍රදේශයට සාමාන්‍ය සිද්ධියක්. පිපාසයට ජලය සොයාගෙන එන වන සතුනට දඩයක්කරුවන් වෙඩි තියනවා. මුළු රාත්‍රිය පුරාම වැවේ මාළු දැල් එලලා වැව බොර කරනවා, මාළු කලබල කරලා දැලේ පැටලෙන්න. මීට සති තුනකට පමණ පෙරතුව දවසක ආරණ්‍යයේ ඈත කුටියක වැඩසිටින ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතය සදහා උදේ 8.00 දාන ශාලාවට වඩිනකොට උන්වහන්සේ වඩින කැලෑව මැද අඩි පාරේ වෙඩි වැදුණු වල් ඌරෙකු දෙදෙනෙකු විසින් හම ගහනවා, මස් කරනවාලු. ස්වාමීන් වහන්සේ මේ ස්ථානය පසුකරන කොටත් මේ දෙදෙනා නොදැක්කා වාගේ සතාව මස් කරනවාලු. හාමුදුරුවෝ නිහඬවම වැඩම කලා දාන ශාලාවට. මේ වල් ඌරා මස් කරලා සතියක් මස් කාවි. එහෙම නැතිනම් එම මස් විකුණලා වැඩිම උනොත් රුපියල් දෙතුන් දාහක් ලබාගනීවි. සතියක් කටට රහට කෑම උදෙසා. ඔබ රුපියල් දෙතුන්දාහක් හම්බ කරගැනීම උදෙසා ඔය එක කුරිරු සත්ව ඝාතනය නිසා රැස්කරගන්නා අකුසලය ඔවුනට ඊළඟ උපත සලසල දෙන්නේ නිරයේ අප්‍රමාණ දුක් දෙන තැනක. සතියක දෙකක කාලයකට නොවේ කල්ප ගනනාවකට. තිරිසන් යෝනියක උපත ලැබුවත් මනුෂ්‍යයෙක් අතින් මැරුම් කන්නම වෙනවා. මීට වසර දෙකකට විතර පෙරාතුව මේ ආරණ්‍යයේම වැඩසිටිය අවස්ථාවේ මේ අසල වෙල්යායක ඇතින්නක් වෙඩිතබා මරා දමලා තිබුණා. හේතුව කෙසෙල් වගාවක් පාළු කරන්න ආපු නිසා. ඇය බඩදරු ඇතින්නක්. වෙඩි වැදීම නිසා ඇතිවූ වේදනාවේදී ඇය කුසේ සිටි නොමේරූ අලිපැටවාද බිහි කරලා. අලි අම්මයි දරුවයි දෙන්නම මැරිලා. බලන්න සංසාරේ කරපු මොන කර්ම විපාකයක්ද? මේ සත්තු දෙන්න අත්විඳින්නේ. අපි මෙවැනි තැනකදි දකින්නේ වෙඩිතිබ්බ මනුෂ්‍යයා කරගත්ත අකුසල් විපාක පමණයි. එහෙම දකිනවානම් එතනදි අපි අසම්පූර්ණයි. මෙතන පෙර අකුසලයක් විපාකදීමත් අලුත් අකුසලයන් සිදුකරගැනීමත් කියන ස්වභාවයන් දෙකම තිබෙනවා. මේ දෙපාර්ශවයේම දුකට හේතුවෙන්නේ ශීලයෙන් ප්රමාදභාවයට පත්වීමයි. ඇතින්න වෙඩිතිබ්බ අසරණ මනුෂ්‍යයා ශීලයෙන් ප්‍රමාද භාවයට පත්වූ කෙනෙක්. ඒ නිසාම ඔහු තුළ කළයුත්ත නොකළයුත්ත කුමක්ද කියලා අවබෝධයක් තිබිල නැහැ. රුපියල් පන්දාහකවත් වටිනාකමක් නැති කෙසෙල් වගාවක් උදෙසා කල්ප ගණනාවක් නිරයේ දුක්විඳීමට සිදුවන කුරිරු සත්වඝාතන දෙකක් සිදුකරගත්තා. මේ සත්ව ඝාතන දෙක සිද්ධකරපු අසරණ මනුෂ්‍යයා මැරෙන මොහොතේ තමන්ගේ ලෙයින් උපන් දරුවා අමතක වෙන්න පුළුවන්. ඒත් මේ කුරිරු සත්ව ඝාතනය නම් මාරයා විසින්ම ඔහුට මතක් කරදෙනවා. ඒ තරමට අකුසල් ෙච්තනාව බලවත්.
යම් අවස්ථාවක් තිබෙනවා සත්වඝාතන අකුසලය බලවත් නොවන. පසුගිය සතියේ දවසක භික්ෂුව ආරණ්‍යයේ පහළ තිබෙන කුටි පේළියේ ආලින්දයේ තිබුණ කොස්ස අතට ගත්තා ආලින්දය අතුගාන්න. කොස්ස තිබුණ තැනින් ගන්නකොට භික්ෂුව දැක්කා කොස්ස යට දරණ ගසාගෙන සිටින සර්පයෙක්. එම සත්වයා පොළවේ සීතලත් කොහුගොඩේ රස්නයටත් මැදිව දරණ ගසාගෙන සිටියා. භික්ෂුව අසල සිටි කැපකරු මහත්මයෙකුට කථාකරලා කීවා ‘මහත්තයෝ මෙතන සර්පයෙක් සිටිනවා එයාව කැලයට විසිකරන්න’ කියළා. එම කැපකරු සර්පයාව දැකලා කියනවා ‘හාමුදුරුවනේ මේ සර්පය මේ ප්‍රදේශයේ ජීවත්වන විෂකුරු සර්ප විශේෂ වලින් එක සර්ප වර්ගයක්’ කියලා. කැපකරු භික්ෂුවට කීවා මේ සර්පයා ඉදිරියට පැනලා දෂ්ට කරනවා ඒ නිසා මෑත්ව සිටින්න කියලා. දිග ලී කෝටුවක් අරගෙන සර්පයාව කැලයට විසිකළා. කෝටුවෙන් විසි කරන හැම වතාවකම ඒ සර්පයා ඉදිරියට පනිනවා. ඒ එම සර්පයා සංසාරෙදි පුහුණු කරපු වෛරය, ක්‍රෝධය, ව්‍යාපාදය. එම ගතිය එම සතාට අම්මා තාත්තාගෙන් ආව නොවේ. එයාම සසර වඩපු දෙය. මේ සර්පයා විසි කරන ගමන් ආරක්ෂක අංශයට සම්බන්ධ මේ කැපකරු භික්ෂුවට කියනවා හාමුදුරුවනේ මීට පෙර මේ ස්ථානයට නුදුරින් මේ වර්ගයේම විෂකුරු සර්පයන් හතර දෙනෙක් සිටියා. ඒ අය මම මරාදැම්මා කියලා.
භික්ෂුව දන්න තරමින් මොහු සත්ව ඝාතන කරන කෙනෙක් නොවේ. ඒ නිසා භික්ෂුව ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ එම සර්පයන් මැරුවේ කියලා. එවිට ඔහු කියනවා මෙහි වැඩසිටින ස්වාමීන් වහන්සේලාට, ගිහි පිංවතුන්ට දෂ්ට කරයි කියලා. ඒ අයට නරකක් නපුරක් කරයි කියලයි මම ඒ සර්පයින්ව මැරුවේ කියලා. මේ සර්පයින්ව මැරුව කෙනා මේ ආරණ්‍යයේ ජීවත්වන අයෙක් නොවේ. මොහු අතින් සත්වඝාතනයක් සිද්ධවෙනවා, සිල්පද බිඳෙනවා ක්‍රෝධය, වෛරය, ව්‍යාපාද සිතක් සකස් වෙනවා. ඒ සිත සකස්වී අනිත්‍යභාවයට පත්වෙනකොටම හෝ ඊට පෙරාතුව මෛත්‍රී සහගත සිතකුත් සකස්වෙනවා. ‘අනේ ස්වාමීන් වහන්සේලාට දෂ්ටකරයි, උන්වහන්සේලා අපවත්වෙයි, රෝගීවෙයි, ගිහිපිංවතුන්ලාට දෂ්ටකරයි’…..
බලන්න අර අකුසල් සත්වඝාතන සිතත් සමඟම මොහු තුළ බලවත් මෛත්‍රී සහගත සිතකුත් සකස්වුණා. මෙන්න මෙවැනි අවස්ථාවක අර සත්වඝාතන අකුසලයේ විපාකය හීනවෙන්න පුළුවන්. දැන් අපි නැවතත් ඉකුත් සතියේ පළවූ කථාවේ මුලට යමු. එහි මෙම පහළොස් හැවිරිදි දරුවා පෙර ජීවිතයේදී ප්‍රභූ පවුලේ අතවැසියෙක් ලෙස කැත්ත, පිහිය, උදැල්ලේ වැඩකරමින් සිටින විට කැත්තෙන් ගසා මරාදමන්නේ අහිංසක ස්වභාවයේ සතෙක්. ඔහුට ඕනතරම් අවස්ථාව තිබෙන්න ඇති එම සතාව මඟහැර යන්න. එහෙම නැතිනම් කෝටුවකින් අරගෙන විසිකරන්න. එහෙත ඔහු තුළ සකස්වූ සත්වඝාතන ෙච්තනාවේ බලවත්භාවය නිසා ඔහු මහා අකුසලයක් සිදුකරගත්තා. මරණයට පත්වෙන සතා ලොකු සතෙක් වුවද කුඩා සතෙක් වුවද මරණීය ෙච්තනාව බලවත් නම් අකුසලය විපාකදීමේ ශක්තිය වැඩිවෙනවා. ඒ නිසාමයි පෙරභවයේ අහිංසක සර්පයා කැත්තෙන් කෑලි කපා මරාදැමීමේ අකුසල් විපාකය හැටියට මේ ජීවිතයේදී එම දරුවා බස්රථයක ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී, ශරීරය බිඳී, අකාලයේ මිය යන්නට සිදුවන්නේ. පෙර භවයේදී සර්පයෙක් මරාදැමීමේ අකුසලය මේ තරම් භයානක ලෙස විපාක දේනම් ඔබ මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. මොකද සමාජයේ සමහර පිංවතුන්ගේ මතයක් තිබෙනවා කුහුඹුවෙක්, මදුරුවෙක් වගේ සතෙක් මැරුණහම, එම සතුනට වේදනා දුන්නම එම ක්‍රියාවන් තමන්ට විපාකදීම පිණිස සකස් වෙන්නෙ නැහැය කියලා.
වියළි කලාපයේ ප්‍රදේශවල විශාල රංචු වශයෙන් ගවයන් සිටිනවා. මේ ගවයන්ගේ අයිතිය තහවුරු කිරීම සඳහා හරක් හිමිකරුගේ නම හංවඩුගසා තිබෙනවා. ගවයාගේ බෙල්ල ළඟින් පටන්ගෙන වලිගය ළඟට යනකම්ම පුච්චලා, ලොකු අකුරු කොටලා. මේවා කරන මනුෂ්‍යයන්ට දැනෙන්නේවත් නැහැ, තමාගේ මෙම ක්‍රියාවෙන් එම සතා අත්විඳින වේදනාව. මෙවැනි අකුසල් සිදුකරන අය අහම්බෙන් හෝ මනුෂ්‍ය ජීවිතයක් නැවත ලැබුවොත් වතුර කේතලය පෙරළිලා, ගෑස් ටැංකිය පුපුරලා, බෝම්බයකට පිළිස්සිලා මුළු ශරීරයම පිච්චිච්ච ස්වභාවයට පත්වෙනවා. ඒ දුකෙන්ම මැරිලා නිරයන්ට වැටෙනවා. සමහරු තමා විසින්ම තමාගේ ශරීරයට ගිනි තබාගෙන මියයන්නේ මෙවැනි සත්ව හිංසාවන් නිසා.
පිංවත් ඔබට, ඔබ නිසා, ඔබ අතින් සත්ව ඝාතනයක්, සත්ව හිංසාවක් සිදුවේ යැයි අනුමාන කරනවා නම් ඒ ස්ථානය, අවස්ථාව මගහැර යන්න. සතා මදුරුවෙක් වුවත් කමක් නැහැ. ඔබ සවස අඳුර වැටීගෙන එනකොට එහි පහළියේ වාඩිවෙලා සිටිනවා. එවැනි තැනකදී ඔබට මදුරුවෝ දෂ්ටකරන නිසා මදුරුවෝ මරන්න සිද්ධවෙනවා නම් ඔබ මදුරු දඟරයක් පත්තුකර ගන්න. මදුරු දැලක් භාවිතයට ගන්න. එවැනි දෙයක් කරන්න බැරිනම් එම ස්ථානය මඟහැර යන්න. මදුරුවාට පහරදීමෙන් ඔබ ලබන තාවකාලික ආශ්වාදයේ, දීර්ඝ කාලීන කටුක ආදීනවයක් තිබෙන බව දකින්න. ඔබට පීඩා කරන ලොකු කුඩා කුමන වර්ගයේ සතෙක් හමුවුවද එම සතා මාරයා බව දැනගන්න. රූපය යම් තැනකද එතැන මාරයා ඇත කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එම සතා නිසා ඔබට කල්ප ගණනක දුකක් සතර අපායේ විඳින්න සිදුවෙන්න පුළුවන්. මාරයාගෙන් මිදෙන්න, බේරෙන්න නේද ඔබ මේ හැම පිංකමක්ම කරන්නේ. එම නිසා තිරිසන් සත්ත්ව වේශයෙන් ඔබ ඉදිරියට එන මාර උගුලෙන් ඔබ බේරෙන්න. එම මාර උගුල ඔබ මගහැර යන්න. එවිට ඔබ මගහැර යන්නේ දුකයි. දුක මගහැර යැමට දක්ෂ කෙනාමයි කවදාහරි දුක අවබෝධ කරගන්නේ. මේ සඳහා ඔබට ජවය ශක්තිය ලබාදෙන්නේ ශීලයයි. එහෙයින් ජීවිතය පරදුවට තබා සිල්පද ආරක්ෂා කරගන්න. ශීලය උදෙසා පරදුවට තබන ඔබේ ජීවිතයත් අනිත්‍යයට අයිති දෙයක්, දුකට අයිති දෙයක්. අනිත්‍යයට, දුකට අයිති ඔබේ ජීවිතය පරදුවට තබා ඔබ ආරක්ෂා කරගන්නා ශීලය අයිති දුකින් මිදීමේ මාර්ගයට. ඒ කියන්නේ සතර අපායෙන් මිදීමේ ඒකායන මාර්ගයට.
අතිසුන්දර වුවද අතිකටුක වුවද විවිධත්වයෙන් ගහන තිරිසන් ලෝකය දෙස බලන්න. දිය ගොඩ දෙකෙහිම ජීවත්වෙන එම තිරිසන් ලෝකය යනු පෙර ජීවිතයේදී ශිල්පද බිඳගත්තවුන්ගේ ලෝකයයි. සිල්පද ගරු නොකළ අයගේ ලෝකය වන තිරිසන් ලෝකයේ සුන්දරත්වය, විසිතුරුභාවය යනු පෙර බවයන්හිදී දන්දීමේ කුසල විපාකයයි. එහි කටුකභාවය යනු බිඳගත් සිල්පද වල අධිභාවයයි. විවිධත්වය යනු අකුසල් ෙච්තනාවන්ගේ සංකීර්ණ භාවයයි.
බලන්න. ජීවිතය කියන්නේ, තිරිසන් සත්ත්ව ජීවිතයක් කියන්නේ මොනතරම් මංමුලාවක්ද, ඇස් බැන්දුමක්ද කියලා. තියුණු අකුසල් විපාකයක් විසිතුරු දවටනයක ඔතලා තිබෙනවා වගේ එයත් හරියට ඔබේ ප්‍රාණඝාතයට අනුබල දෙන, සිල්පද බිඳගැනීමට අනුබල දෙන සිත වගේමයි. සිල්පද බිඳගැනීම තුළ සැපයක් ලබනවා. ඒ සැපය නමැති විසිතුරු දවටනය ඔතා ඇති අකුසල් විපාකය ඔබ දකින්නේ නැහැ. ඒ තරමටම දවටනය විසිතුරුයි.
පිංවත් ඔබ ශීලයට ගරුනොකරන සිතක්, ප්‍රාණ ඝාතයට, සත්ව හිංසාවට අනුබල දෙන සිතක් සකස් වෙනකොටම දකින්න සිතක් කියන්නේ දුකක්ය කියලා, දුකක් කියන්නේ සිතක්ය කියලා. එවිට එම සිත අනිත්‍යවෙලා යාවී. එසේ නොවුණහොත් එම කමටහනම නිවීසැනසිල්ලේ නැවත නැවත මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට ඔබේ සිතේ සමාධිමත් බවක් හටගනීවී. ඒ ශීලයේ ආනිසංශයයි. ලෝකය දුක බව දකින ඇසයි. මේ සමාධිමත් සිත ඔබට සකස්වුණේ පැය ගණනාවක් එරමිනියා ගොතාගෙන භාවනා කරලා නොවෙයි. සිත දෙස බලාගෙන හිඳීමෙනුයි. සකස්වන ප්‍රාණඝාතයට අනුබල දෙන සිත, දුක පිණිස හේතුවෙන බව දැකලයි. ඒ දුකට උරුම සිත ඔබ වෙතින් අතහැරෙනකොට, ඒ සිත නැවත නැවත දුක බව මෙනෙහි කරන විට ශක්තිමත් වන ශීලය නිසාම සමාධිය සකස් වුණා. පිංවත් ඔබ සමාධිය සොයාගෙන යන්න අවශ්‍ය නැහැ. උතුම් ශීලයෙන් ඔබ පරිපූර්ණ වෙන්න. අවංක බවට පත්වෙන්න. ඒ පරිපූර්ණ බව තුළම සමාධිය පිහිටනවා.
භික්ෂුව මෙහි සටහන් කරන තරම් එය ඉක්මන් නොවන්න පුළුවන්. නමුත් ඔබ තුළ සංසාරික දුකින් අත්මිදෙන්න අවංකවම උවමානව, වීර්යය තිබෙනවා නම් ඔබට එය පහසු දෙයක් වේවි.
දැන් අපි නැවතත් කථාවේ මුලට යමු. ඉකුත් කොටසේ කථාකළ රිය අනතුරින් මියගිය 15 හැවිරිදි දරුවා මියයැමෙන් අනතුරුව ලැබූ ජීවිතය තමයි ළමා ස්වභාවයේ දිව්‍ය ජීවිතය. එම ළමා දිව්‍ය ජීවිතයෙන් රුව, ස්වභාවය එම ලිපියේ මුලදී සටහන් කළා. මෙම දිව්‍ය ස්වභාවය මනුෂ්‍ය ලෝකයේම යම් යම් දේවල් උපාදානය කර ලබන දිව්‍ය ස්වභාවයක්. 15 හැවිරිදි දරුවෙක් මෙවැනි අකාරුණික ආකාරයට මියයනකොට ඔහුට බලවත් අකුසල් ෙච්තනාවක් සකස්වෙන්නේ නැහැ. පහත උදාහරණයෙන් ඔබට එය වටහාගන්න පහසුවේවි.
වැඩිහිටි අයෙකුට තවත් වැඩිහිටි අයෙක් පහර දෙනවා. පහරදීමත් සමඟම පහරකෑමට ලක්වෙන්නා තුළ ක්‍රෝධය, වෛරය, ද්වේශය, පළිගැනීම…. මෙවැනි අකුසල් සිත් රාශියක් සකස්වෙනවා. එහෙත් පොඩි ළමයෙකුට පහරක් ගැසුවහොත් එම දරුවා රිදෙනවා කියලා බයේ කෑගසාවි, හඬන්න පටන්ගනීවී. එතැනදී දරුවාට බොහොම අසරණ අහිංසක ෙච්තනාවක් සකස්වෙන්නේ. මේ රිය අනතුරින් මියයන දරුවාට අවසන් චුතිසිත ලෙස සකස්වෙන්න ඇත්තේ බොහොම අහිංසක මධ්‍යස්ථ සිතක්. ඒ නිසාම ඔහුට එම ළමා දිව්‍ය ස්වභාවය ලැබෙන්නට ඇති. ඔහු එම දිව්‍ය ස්වභාවය තුළ සිටිමින්ම තමා පෙර ජීවිතයේදී කැමති කළ දෙමාපියන්, නිවස, අධ්‍යාපනය ලද පාසල, ඥාති මිත්රයින් තම දිව්‍ය සිතින් ස්පර්ශකරමින් සතුටුවෙනවා ඇති. ආශ්වාදය ලබනවා ඇති. දෙමාපියන් කරන පිංකම් දෙස බලා සතුටුවෙනවා ඇති. ඔහු ස්වභාවයන් සමඟ ගැටෙනවාත් ඇති. කෙසේ වුවද, මේ හදිසි රිය අනතුරින් මියගිය දරුවා වාසනාවන්ත දරුවෙක්. මොකද මේ මොහොතේ සතර අපායට වැටෙන්නේ නැතිව මෙවැනි දිව්‍ය ස්වභාවයක් ලබාගැනීම භාග්‍යයක්. හැබැයි, වර්ණනා කළයුතු භාග්‍යයක් නම් නොවෙයි.
මේ සටහන මෙතැනින් නවත්වනවා. ජීවිත තුනක කථාවක් මෙතැන තිබෙනවා. මේ ජීවිත තුනක කථාව ඔබ ඔබේ ජීවිතයේ යහපත් උදෙසා ගලපාගන්න.
මල්, ගස්වල තිබලා වැඩක් නැහැ. ඒ මල් නෙලලා බුදු සමිඳුට පූජා කරන්න. මල් පූජා කළාය කියලා එහි සැබෑ අර්ථය සිද්ධවෙන්නේ නැහැ. ඒ මල් පරවෙන බව සිතලා, දැකලා එය අනිත්‍ය බව ඔබේ ජීවිතයටත් ගලපාගන්න. ඉහත සටහනද ඔබ කියවලා එය ඔබේ ජීවිතයට ගලපාගෙන එම කුසලය ‘බබා දෙවියන්ටත්’ අනුමෝදන් කරන්න.