සෑම තරාතිරමකම පාලකයන් වෙත කරුණාවෙනි

බ්‍රොයිලර් කුකුළන් සිය දවස්‌ හතළිස්‌ පහක ජීවිත කාලය තුළ කුඩා කූඩුවකට කොටුවී සිට නිසි වයස්‌ වැඩුණු පසු හිස ගසාදැමීමට ලක්‌වීමේදී අදාළ සත්වයන් කර්ම විපාක දෙකක්‌ ගෙවනවා. එකක්‌ ප්‍රාණඝාත අකුසලය. ඒ හේතුවෙන් හිස ගැසුම් කනවා. අනික්‌ අකුසලය තමන්ගේ දියුණුව උදෙසා අනුන්ගේ ජීවිතය සීමාකිරීමයි. එහි විපාක හැටියට තිරිසන් ලෝකයේ ඉපදුණද, සෙසු තිරිසන් සතුන්ට මෙන් ඇවිදීමේ නිදහසක්‌ නැතිව, කුඩා පෙට්‌ටියක, කුඩා කූඩුවක ජීවිතය ගෙවනවා මැරම් කන තුරුම…

මෙන්න මේ දෙවැනි ස්‌වභාවය ගැන ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. බෞද්ධ ජනතාව සත්ව ඝාතනය කරනවා හුඟාක්‌ අඩුයි. නමුත් මෙහි දෙවැනිව සඳහන් කළ අනුන්ගේ නිදහස සීමාකිරීමේ අකුසලය නම් බෞද්ධ ජනතාව අතින් බොහෝවිට සිද්ධ වෙනවා. බොහොම ධනවත්, ගොඩක්‌ පින්දහම් කරන අයගෙනුත්, සාමාන්‍ය අයගෙනුත් ව්‍යාපාර, වැවිලි, කර්මාන්තශාලා හිමියන් අතිනුත් මේ අකුසලය සිදුවීමට හුඟාක්‌ ඉඩකඩ තිබෙනවා. එච්චර අවශ්‍ය නැහැ, තම ගෙදර සේවය කරන මෙහෙකාර දරුවා නිසා ඔබට මේ අකුසලය සිදුවෙන්න පුළුවන්. නිදහස සීමා කිරීම, වැටුප් අඩුවෙන් දීම, සීමාවකින් තොරව වැඩ ගැනීම මොනම ආකාරයට හෝ සූරාකෑම බොහොම භයානක දෙයක්‌. ලෝකය දියුණුවෙන තරමටම මෙම අකුසලය දෝරේගලා යමින් මිනිසා අතින් සිදුවෙනවා. මේ අකුසලය නිසා එහි විපාකයක්‌ හැටියට සත්වයාගේ නිදහස සීමා වෙනවා. කූඩු ජීවිතයකට සත්වයා යොමුවෙනවා. ගමේ, නගරයේ අඩියෙන් අඩිය ගෙවල් තැනීම නිසා මිනිසාගේ නිදහස සීමාවෙලා. එදා මනුෂ්‍යයාට තිබුණ ඇවිදීමේ, සෙල්ලම් කිරීමේ නිදහස අද ගෙදරදොරේ නැහැ. පෙට්‌ටියේ කුකුළා වගේ අපිත් කොටුවෙලා, කූඩුවෙලා. ලොකු ගෙදරක්‌ හදාගන්නවා. ලොකු තාප්පයක්‌, ලොකු ගේට්‌ටුවක්‌ දමාගන්නවා. ගේ ඇතුළේ මැද මිදුලක්‌ හදා ගන්නවා. ඕක තමයි වර්තමානයේ මිදුල, එළිමහන. අපේ මියගිය ආච්චිලා, සීයලා, ඔය වර්තමානයේ නිවසේ මැද මිදුල දැක්‌කොත් සිනාසේවි. මොකද ඒ සා විශාල ගෙමිදුල් ඒ කාලවල ගෙදරකට තිබුණා. වර්තමාන ලෝකය සකස්‌වෙන්නෙ සත්වයාගේ කර්ම විපාක ගෙවීමට සුදුසු ස්‌වභාවයෙන්මයි.

වර්තමානයේ බොහොම ගරු ගාම්භීර, නම්බුකාර නිවාස සංකල්පය තමයි තට්‌ටු විසිපහේ තිහේ තට්‌ටු නිවාස ක්‍රමය. මේ දැවැන්ත නිවාස සංකීර්ණ අහස උසට විරාජමානව වැජඹෙන්නේ හරිම සාඩම්භරයෙන්. එහෙත් අප මේ දකින්නේ අවිදාවේ බියකරු සතුරාවමයි. මේ සතුරා අහස උසට නැගී සිට ලෝකයාට කියන්නේ, ‘ඔබත් මෙතැනට, මේ උසට එන්න’ කියා. ඔබත් ඔබේ තනි තට්‌ටුව තට්‌ටු දෙකට උස්‌කරගන්න කියලා. අවිද්‍යාවේ ගඩොලින්, ඔබේ ලෝකය විශාල කරගන්න, උස්‌කරගන්න කියා. අවිද්‍යාවේ මාරයා ඔබට දෙන පණිවුඩයට ලෝකයාගේ ප්‍රතිචාරය පැහැදිලියි. දැන් හැමෝගේම ආශාව, තරගය කොන්ක්‍රීට්‌ වනාන්තර ඉදිකර ඒවා මගේ කරගැනීමයි.

මේ අතිදැවැන්ත නිවාස සංකීර්ණවල ජීවත්වන පිංවත් මහත්වරු අධිසුඛෝපභෝගී ජීවිත ගතකරන, බොහොම ධනවත් අයයි. පෙර සංසාරයේ කරපු මහා කුසල් විපාකයක්‌ නිසාමයි මෙවැනි විශාල නිවාස වල සුඛෝපභෝගී ජීවිත ලැබෙන්නේ. ඒ ගැන තර්කයක්‌ නැහැ. නමුත් මේ කුසල් විපාකය යටින් සියුම් අකුසල් විපාකයක්‌ ක්‍රියාත්මක වෙනවා. අර පෙට්‌ටිය තුළ වැඩෙන බ්‍රොයිලර් කුකුළාටත් ඇති තරම් කෑම, ජලය, බෙහෙත් ලැබෙනවා. නමුත් ඒ සතාගේ නිදහස සිමාවෙලා. දැන් ඔබ දෙස ඔබ අවංකව බලන්න. ඔබට තේරෙන්නේ නැතිද ඔබ මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකළත් ඔබේ නිදහස සීමාවෙලා කියලා. ඔබේ ආච්චිලා, සීයලා ගතකළ නිදහස්‌ ලෝකයට අනුව ඔබේ ජීවිත සිමාවෙලා නේද තිබෙන්නේ? නිදහස්‌ ලෝකය හමුවේ ඔබ පෙට්‌ටියක්‌ තුළ ජීවත්වන සතෙක්‌ වගේ නේද?

ඔබ උඩුමහල් තලයේ සිට ජනේලය හැර පරිසරය දෙස බලනකොට මට පෙනෙන්නේ කුකුළා පෙට්‌ටියේ කුඩා කවුළුවෙන් හිස එළියට දමා ලෝකය දෙස බලනවා වගෙයි. ඔබට නිදහස්‌ ලෝකය ස්‌පර්ශ කරන්න නම්, නිදහසේ හුස්‌ම ගන්න නම් ඔබ සතිඅන්තයේ නුවරඑළියට, ගමකට, අඩුම වශයෙන් විවේකීව ක්‍රීඩාංගණයකටවත් යා යුතුයි. නැවතත් කියමි, ඔබතුමන්ලා සැබෑම සසර පින්කළ පිරිසක්‌මය. ඒ පින නිසාමය ඔබට සශ්‍රීක භාවය. එහෙත් පෙර ආත්මවල ඔබ, තමන් යටතේ සිටි සේවකයන්ගේ නිදහස සීමාකර තබා වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමට යැම නිසා මෙම අකුසලය ඔබ සිදුකොට ඇත. එමනිසා මේ ජීවිතයේදී ඔබ යටතේ, ඔබගෙන් යැපෙන පිරිස්‌ වලට සාධාරණව සලකන්න. ඔබ හම්බකරන මිල මුදල් වලින් නොමසුරුව දාන, මාන, පිංකම් කරනවා වගේම නොපෙනෙන පැත්ත ගැනත් අවධානය ඇතිකරගන්න. එසේ නොවුණහොත් ඔබ කරනා පිංකම් නිසා මතු සසර කෝටිගණන් වටිනා නිවාස භාග්‍යය ලැබුණද, එය අර රාක්‌ක පෙට්‌ටියේ බ්‍රොයිලර් කුකුළාගේ ජීවිතය වගේ සීමාවෙලානම් එය අවාසනාවකි.

මේ ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනකි. ලෝකය කවදත් ගියේ මුළාව දෙසටය. අපි කිසිවකුට සටන්කොට ලෝකය නිවැරැදි කළ නොහැක. නිවැරැදිකිරීමට ස්‌ථිරවූ , නිත්‍යවූ දෙයක්‌ ලෝකය තුළ නොමැත, ස්‌ථිර නොවන දෙයක්‌ යමෙක්‌ කෙසේ වෙනස්‌ කරන්නද, එය ස්‌වභාවයෙන්ම වෙනස්‌වෙමින් පවතී. ඝනභාවයත්, දියර ස්‌වභාවයත්, උණුසුම් ස්‌වභාවයත්, වායු ස්‌වභාවයත් පදමට මුසුව හතරෙන් එකකට සිඳුවා නිර්මාණය වූ ලෝකයක්‌, රූපයක්‌ ලෝකය ලෙස අල්වාදීම අවිද්‍යාවේ ස්‌වභාවයයි.

මිනිසා මේ හති දමාගෙන, බුල්ඩෝසර් දමාගෙන චිකන් ගුන්යා, සත්ව කුර රෝගය යැයි කියමින් සතුන් ලක්‍ෂ ගණනින් මරා දමන්නේද මස්‌, බිත්තර, කිරි, චොකලට්‌, විනාශ කරන්නේද රූපය ජාති, ජරා, ව්‍යාධි, මරණවලට ලක්‌වීම මිනිසාට වෙනස්‌කළ නොහැකි නිසාය. එය ස්‌වභාවයෙන් පීඩා විඳිය යුතුය. ඔය සතුන් ලක්‍ෂ ගණනින් විනාශකරන මිනිසුන් අතින් සිදුවන අකුසල කර්මයන් ඊළඟ ජීවිතයේදී ගෙවීමට පරිසර ලෝකය තුළ නිර්මාණය විය යුතුය. මරණ බියෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මියයන සතුන්ද, එම අකුසල් නිසා නැවත කර්ම ගෙවීමට අවශ්‍ය ලෙස ලෝකය නිර්මාණය විය යුතුය. නිර්මාපකයා අවිද්‍යාවයි. අවිද්‍යාව ඌරාගේ මස්‌ ඌරාගේ පිටේ තබා කපනවා සේය. හේතුඵල ධර්මයන්ට අනුව මැරෙන්නටද, මරන්නටද ඔහුගේ කර්ම විපාකයන් විඳීමට අවශ්‍ය මාරාන්තික රෝග, මාරාන්තික යුද්ධ නිර්මාණය කරයි. මේ මාරාන්තික යුද්ධ, මාරාන්තික රෝග නිර්මාණය කරන්නේද අවිද්‍යාසහගත සිත විසින්මය. මාරාන්තික යුද්ධ, මාරාන්තික රෝග යනු අහම්බයන් නොවේ. දේව කෝපයන් නොවේ. හේතුඵල ධර්මයන්ය. මේවා ලෝකය අවිද්‍යාවෙන් දියුණුවන්න දියුණුවන්න, සත්වයා රැස්‌කරන්නාවූ අකුසල් විපාකදීමට සකස්‌වන්නා වූ ලෝකධර්මතාවයන්ය. එහිදී යුද්ධයක්‌ යනු, මාරාන්තික රෝග යනු අතීතයේ ඔබ කළ කර්මවිපාකයන්ගේ කැඩපතක්‌මය. ඔබ ඒ කැඩපත දෙස අවිද්‍යාවෙන් තොරව බැලුවොත් ඔබ දකින්නේ පෙර ආත්මභවවල ඔබ කළ අකුසල්වල ස්‌වභාවයන්ය. දැන් ඔබට වැටහෙනවාද ලෝකය මේ වන විට ගමන් කරන්නේ මොන දිශාවටද කියලා. ඔබ විසින් ඇතිකළ හේතූන්ට විපාකයන් සකස්‌වීමට සුදුසු ස්‌වභාවය දෙසට, පරිසරයක්‌ දෙසට.

සෑම සත්වයෙක්‌ තුළින්ම රැස්‌වෙන්නේ තනණහාධික චිත්ත පරම්පරාවක්‌ නම් තරගකාරීත්වය, අයිතිකරගැනීම නමැති අවිද්‍යාවේ ශබ්දකෝෂය නම් එබද මේ නොදැනුවත්වම ඇදී යන්නේ බ්‍රොයිලර් කුකුළකුගේ තත්ත්වයට පත්කරන දිශාවටමය. ඒ තරමටම මිනිසා ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට වේගයෙන් ලක්‌වෙනවාය, ගොදුරුවෙනවාය. තාප්ප, ගේට්‌ටු දැමූ කූඩුවලට කොටුවෙනවාය. රෝග බිය, මරණ බිය, ජල බිය, යුද බිය වැඩිවෙනවාය. උපතත් මරණයත් අතර කාලපරතරය කෙටිවෙනවාය. නැවත ඉපදීම, මරණය වේගවත් වනවාය. මේ වේගය කියන්නේ දුකයි. හේතුව ඔබ අවිද්‍යාවෙන් තෙත්කළ සිත ඔබව අකුසලයේ යෙදවීමයි. ඵලය ඉපැදීම, මරණය වේගවත්වී දුක පසුපස තරගකාරීව හඹායැඹයි. මේ ස්‌වභාවය ඔබම නිර්මාණය කරගත් දෙයක්‌.

මේ ස්‌වභාවයන් ගැන හිතලා ඔබ බිය ඇතිකරගන්න. ඇයි මෙහෙම වෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ තිබෙන්නේ විඳවන්නටද, අවබෝධ කරන්නටද?

මේ බුද්ධෝපත්ති කාලයක, ඔබ මේ උතුම් මනුෂ්‍යත්වයක්‌ ලැබ උපත ලැබුවේ නැවත සතර අපායේ වැටෙන්නද? ඔබේ අම්මට, තාත්තාට, ඔබේ බිරිඳට, දරුවාට ඔබව බේරන්න බැහැ මේ මහා දුකෙන්.

ඒ නිසා ඔබ දක්‍ෂවෙන්න. සියල්ලම, සියල්ලන්වම පෝෂණය කරන ගමන් ඔබ කරන ව්‍යාපාරය, විවාහ ජීවිතය, දෙමාපියන් පෝෂණය කරන ගමන් එම බැඳීම්වලට බාධාවක්‌ නොවන ලෙස මේ දුකෙන් ගැලවෙන්න. ඔබ පැවිදිවෙන්නම අවශ්‍ය නැහැ. ඔබ කය මහණ නොකරාට කමක්‌ නැහැ. සිත මහණ කරගන්න. පැවිදි කරගන්න. එසේ නොවුණහොත් ඔබත්, ඔබගේ යැයි අල්ලාගත් සියල්ලෝමත් සතර අපායට, දුකට වැටේවී. බ්‍රොයිලර් කෙනෙක්‌ වේවි. මහා ගමනක්‌, මහා දුකක්‌, මහා විනාශයක්‌ වළක්‌වාගැනීමට ඔබ කළ යුත්තේ විසිරුණු, සලිත වුණු ඔබ සිතේ ස්‌වභාවය බොහෝම නිවිසැනසිල්ලේ අවබෝධකරගැනීමයි. කලබලවෙන්න, ඉක්‌මන්වෙන්න, යමක්‌ අල්ලාගන්න උත්සාහගන්න එපා. අල්ලාගත් දේවල් අනිත්‍ය දකිමින් පරිහරණය කරන්න. ඔබ බිරිඳ සමඟ නිදන සයනයේ සිටියදීත් ජීවිතය විඳින්න. එහෙත් ඒ විඳීම අනිත්‍යබව දකින්න. නැවත නැවතත්, නැවත නැවතත්, නැවත නැවතත් එකම දේ සිදුවෙන්නේ ඊයේ දවසේ සිදුවූදෙය අනිත්‍ය නිසා බවද දකින්න. මෙම සටහන තැබුවේ පැවිදි උතුමන් සඳහා නොව ගිහි පිංවතුන් සඳහාය. ඒ නිසා ඔබ ගිහි ජීවිතයේ බැඳීම් සමඟ ජීවත්වෙමින්, දුවා දරුවන්, ව්‍යාපාර, රැකී රක්‍ෂා නඩත්තු කරමින් නිරතුරුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ආර්යකාන්ත ශීලයක්‌ ලෙස ශීලය ආරක්‍ෂා කිරීමත්, ඒ කියන්නේ තමා අතින් නොදැනුවත්ව හෝ සිල්පදයක්‌ කැඩුණහොත් ඒ වහාම එම වැරැද්ද නිවැරදි කරගැනීම. ඒ ආකාරයෙන් අවංකව ශීලයක්‌ ආරක්‍ෂා කිරීමත්, ඔබ ඇසුරුකරන, ඔබට අයිති සෑම දෙයක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින්, මගේ ආච්චි, සීයා, අම්මා, තාත්තා රැස්‌කරපු, හම්බකරපු හැම දෙයක්‌ම තියලයි මැරුණේ. කිසිවක්‌ අරගෙන ගියේ නැහැ. ඒ වගේම් මේ කිසිවක්‌ මට අයිති නැහැ. මම මේ සියල්ල දාලමයි මියයන්නේ. මේ වගේ ජීවිතයේ අනිත්‍යය දකින්න. අතීතයේ මියගිය ඔබේ පරම්පරාවේ වැඩිහිටියන් සමඟ ඔබේ ජීවිතය සංසන්දනය කරන්න. මෙම සටහනේ තිබෙන බ්‍රොයිලර් කුකුළා, ඌරා, එළුවා, හරකා ගැන නිතර මෙනෙහි කරන්න. ඔබ එවැනි සතෙක්‌ වුවොත් ඔබ විඳින දුක මෙනෙහි කරන්න. අතීත සංසාරයේ ඔබ එවැනි සතුන්වී හිස්‌ ගැසුම්කෑ ස්‌වභාවය, වේදනාව, මරණබිය මනසින් දකින්න. මේ විදිහට මාස 3 ක්‌ ඔබ ඔබේ සිත පුරුදු පුහුණු කරන්න. ඔබේ ජීවිතය සංකීර්ණබවෙන් මිදේවි. ඔබට දැනේවි ජීවිතයේ අවබෝධ කරගැනීම පිණිස ගොඩක්‌ දේවල් නොමැතිබව. ජීවිතය මහා ගොඩක්‌ ලෙස දැනුණද ඔබට අවබෝධ කරගැනීමට ඇත්තේ එකක්‌ පමණක්‌ බව ඔබට දැනේවි. සිත වේවා, කය වේවා ඒ අනිත්‍යය පමණක්‌මයි. මේ අවබොධය, ලෝකයේ අවබෝධය ලැබීමට ඇති දුෂ්කරම ස්‌වභාවය වුවද, ඔබ තුළ හේතු සහිතව ලෝකය දුකය යන දැක්‌ම ඇතිකරගතහොත්, ඔබට මේ දුක අවබෝධ කරගැනීම දුෂ්කර කාර්යයක්‌ නොවනු ඇත. ඔබත් මේ මනුෂ්‍ය ජීවිතයේදී ඔය ආකාරයෙන් ගිහි ජීවිත ගතකරමින්, කම් සැප අත්විඳිමින්, සතර අපායෙන් මිදී නැවත බ්‍රොයිලර් කුකුළෙක්‌, මසට මරණ සතෙක්‌ වීමේ වේදනාත්මක අනතුරෙන් ගැලවෙන්න. සතර අපායෙන් මිදෙන්න.

ඉහත සටහන භික්‍ෂුව හේතුඵල අනුව දකිමින් සටහන් කළා පමණි. එබැවින් වඩාත් වටින්නේ දොස්‌ පරොස්‌ සෙවීම නොව, එවැනි ස්‌වභාවයක්‌ ලෝකයේ තිබේය යන්න හඳුනාගනිමින් අවබෝධය ලැබීමය. මන්ද මෙහි සඳහන් පෙට්‌ටියේ ජීවත්වන, බ්‍රොයිලර් සතෙක්‌ අතිවිඳින නිදහසේ ස්‌වභාවයත්, වර්තමාන සුඛෝපභෝගී නිවාස සංකල්පයන් නිසා මිනිසා අත්විඳින නිදහසේ ස්‌වභාවයත් එකට සංසන්දනය කිරීම කෙනකුට ප්‍රශ්නයක්‌ වීමට පුළුවන. ඔබ කෙලෙස්‌වලින් ගොරෝසු වූ සිතකින් නොව, නිකෙලෙස්‌, කෙලෙස්‌ වලින් තුනීවූ සිතකින්, සියුම්ව මේ කරුණ දකින්න උත්සාහ ගන්න. පෙර මහා කුසල් සිදුකරගත්තත්, තමන් තුළින් සිදුවූ සියුම් අකුසල් විපාකයක්‌මයි මෙයට හේතුව විය යුතුව තිබෙන්නේ.

සමහර පිංවත් පිරිස ලක්‍ෂ ගණන් වියදම් කරමින්, මහා දාන පිංකම්, ශීල පිංකම් කරනවා. නමුත් ඒ අය තම සේවකයන්ට, අඩුවැටුප්, නිදහස සීමාකිරීම් කරනවා. මේ හේතුවෙන් ඒ අය පිංකම් කිරීමේ ආනිසංශය නිසා සශ්‍රීක ජීවිතත්, අනුන්ගේ නිදහස සීමාකිරීම් පාපයට තමාටද මතු සසර, සීමාවන් තුළට කොටුවූ ජීවිත ගෙවන්න සිදුවීම මෙහි කර්ම විපාකයක්‌ වෙන්න පුළුවන්. භික්‍ෂුව මෙහි කරන සටහන සියයට සියයක්‌ නිවැරැදි නොවන්නට පුළුවන්. එහෙත් ඔබ එය සියයට සියයක්‌ම වැරැදි යැයි වටහාගතහොත් එය ඔබේ අවාසනාවක්‌ වනු ඇත.

හැකිතරම් දානමාන පිංකම් කරනවා වගේම ඔබේ සේවකයන්ටද ස්‌වාමියකු ලෙස ඔබ නිරතුරුවම අවංක වෙන්න. ඔබ ලබන සතුටින් යම් ප්‍රමාණයක්‌ හෝ ඔබේ සේවකයාද ලබනවා දකින ඔබ අවංකව කැමැති වෙන්න. ඔබේ දක්‍ෂභාවයෙන් ඔබගේ සේවකයාවද ඔබ යහපතේ යොදවන්න. වෛරය, ක්‍රෝධය, සූරාකෑම වැනි ස්‌වභාවයන්ගෙන් තුනීවූ සිත කුසල් වැඩීමට සශ්‍රීක පොළොවක්‌ බව නිතරම සිතන්න. වැඩෙන කුසල් නිරතුරුවම නිවීම උදෙසා උත්තම පාරමීධර්මයක්‌ වේවායි දකිමින් නිවීමේ මඟම ශක්‌තිමත් කිරීමට උත්සහවත් වෙන්න. ව්‍යාපාරික ඔබේ ශබ්දකෝෂයේ ලාභය යන වචනය වෙනුවට බෙදාදීම, නිවීම යන වචන ඔබ භාවිතයට ගන්න. එය ඔබ සංසාරයක්‌ පුරාවට නොලැබූ වර්තමාන ජීවිතයේ ලැබූ ලොකුම ලාභය වනු ඇත. එම ලාභය ඔබට නැවත ජාති, ජරා, මරණ, ව්‍යාධිවලින් ඔබට කළ අලාභය අවසන් කරනු ඇත.