මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති – සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්වීමක ස්වභාවය සටහන් කරමි.
මෙම රැස්වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්ෂූන්ද විය. මේ සියලු දෙනාම තරුණ සහ මැදිවියේ ප්‍රේතයෝ සහ ප්‍රේත භික්ෂූන්ය. මනුෂ්‍ය ලෝකයේ අයුරින් භික්ෂූන් ඉදිරි පෙළ ආසනවල නොසිටියේය. ප්‍රේත භික්ෂූන් සිටියේ ප්‍රේතයන් සමඟ කලවමේ අසුන් ගෙනය. සමහර ප්‍රේත භික්ෂූන් පසුපසම පේලියේද අසුන්ගෙන සිටියේය. ප්‍රේත ලෝකයේ තෙරුවන් ගැන හැඟීමක් නැති නිසා, ප්‍රේත ලෝකයේදී භික්ෂු ප්‍රේතයා ද සමාන්‍ය ප්‍රේතයෙක්මය.
මේ අය එකට රැස්වී ප්‍රේත රැස්වීම පවත්වයි. මේ රැස්වීම එකම ගාලගෝට්ටියකි. හැමෝම නායකයන් වීමට, හැමෝම දේශන පැවැත්වීමට, තම මතය දිනවීමට උත්සාහ ගනී. අයෙකුට නිදහසේ කතා කිරීමට අනෙකා ඉඩ නොදේ. කිසිවකු තෘප්තියට පත් නොවේ. කිසිවකුත් සතුටට පත්නොවී, සැවොම දුක වේදනාව, බලාපොරොත්තු කඩවීම් උරුම කරගනිමින් රැස්වීම කඩාකප්පල් වේ. එකිනෙකාට බැණ වදිමින් විසිර යති.
පෙර ආත්මවල අනුනට අවස්ථාව නොදී බලකාමයෙන් නිලතල දැරූ, නිලතලවලට ලෝභ කළ ගිහි පැවිදි පිංවතුන් කරගන්නා ලද කර්ම වල විපාකයන් විඳගන්නා අයුරු අපූරුයි නේද? මෙම කර්මය විඳින ප්‍රේතයන් තම ප්‍රේත ජීවිතය පුරාවට කරන්නේ රැස්වීම් තැබීම සහ රැස්වීම් කඩාපල්වීම නිසා දුකට පත්වීමය. පෙර අකුසල් ශක්තිය නිසා මේ අයට කිසිදාක ප්‍රේත රැස්වීම් සාර්ථක කර ගත නොහැක. රැස්වීම් කඩාකප්පල් වූ විට ප්‍රේතයන් එකිනෙකාට වෛරයෙන්, ක්‍රෝධයෙන් බැණ වදිමින්, ඇනකොටා ගනිමින්, දත්මිටිකමින් සීසීකඩව විසිර යයි. තමන් නායකයා වීමට ඇති ආශාව නිසාම ප්‍රේත ලෝකයේදී ද මේ අය මහා අකුසල් රැස්කරගෙන තව තවත් දුකට ඇදී යයි. ප්‍රේත ලෝකයේ ගත කරන සෑම නිමේෂයකදීම ඔවුන් රැස්කරන්නේ අකුසලයකි. එහෙයින් ඔවුනට සසර කල්ප ගණනාවකින් සුගතියක උපත ලැබීමට නොහැකිය.
ඔබ ගත කරන ඔය වටිනා මනුෂ්‍ය ජීවිතය ඔබගේ අදක්ෂභාවය නිසා සතර අපායට වැටුණොත් ඔබේ අනාගතයද අඳුරින් අඳුරටමය. ඔබ භුක්තිවිඳින මොන දෙයවත් තන්හාවෙන් තොරව භුක්ති විඳින්න. අනුන්ගේ අකමැත්තෙන් භුක්ති නොවිඳින්න. බලහත්කාරයෙන්, බොරුවෙන්, නැති ගුණ පෙන්වමින්, තමාට වඩා සුදුසු අය සිටියදී ඔබ එය අයිති කරගැනීමට නොයන්න. ඔබ අසීමිත තන්හාවෙන් මේවා අයිති කරගැනීමට ගියහොත් ප්‍රේත ලෝකයේ ප්‍රේත රැස්වීම් අංශයේ ඉපිද, නිතිපතා ඉහත ප්‍රේතයන් විඳින දුක විඳිය හැකිය. ප්‍රේත රැස්වීම් කඩාකප්පල් වී ගිය විට ප්‍රේතයන් හැසිරෙන්නේ හිස ගිනිගත් පුද්ගලයන්, වියරුවෙන් දඟලන්නා සේය. එය ඔවුනගේ තන්හාවේ ස්වභාවයයි. ආශාවේ වියරුවයි. කැමැත්තේ මරලතෝනියයි.
ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ දේවල් මොනතරම් පැහැදිලිව දේශනා කර තිබෙනවාද. මේ සියල්ල අත්දැකීමෙන් අත්දකිද්දී ලෝක ස්වභාවයන් පිළිබඳ ඥාන දර්ශනයන් පහළවන කොට ඔබටත් දැනේවි ඔබ සැබෑ බුදු පුතෙක්ය කියලා.