මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න

සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක්‌ අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක්‌ බියක්‌ නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක්‌ ගෙනදෙන අකුසල්. හුඟක්‌ වෙලාවට අනෙක්‌ වැරදි සිදුවෙන්නෙත් මේ වැරදි දෙක නිසයි. නියත වශයෙන්ම මේ වැරදි වල යෙදෙන අය ඒවායේ විපාක වශයෙන් ප්‍රේත, භූත ආත්ම වල ඉපැදෙනවාමය. මීට අමතරව, තන්හාව ප්‍රේත ලෝකයට ඉතා හොඳ සුදුසුකමකි.

දේපළ, අඹුදරුවන් ගැන ඔබ තුළ ඇති තණ්‌හාව, ඒවාට ඇති ආශාව අතහැරීමට බැරිකම, ඔබ පිං කළද ප්‍රේත ආත්ම වලට වැටීමට අතිශයින්ම හේතුවේ. දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥාවන් දැකිය හැක්‌කේ ප්‍රභාශ්වර ආලෝක සහිතවය. ඒ අය ආලෝකමත්ය. එහෙත් ප්‍රේත ලෝකයේ සංඥා නිරතුරුවම අඳුරුය. විකෘතිය. ගුප්තය. තැතිගත් ස්‌වභාවයෙන් යුක්‌තය. කිසිදු ප්‍රේතයකුගේ ස්‌වරූපයේ සතුටු ස්‌වභායක්‌ දැකිය නොහැකිය. මහා ප්‍රශ්නාර්ථයකට මැදිවී සිටින්නා සේ වික්‍ෂිප්ත ගුප්ත ස්‌වරූපයක්‌ දර්ශනය වේ. එකිනෙකාට වෙනස්‌වූ විකෘති ස්‌වභාවයන්ගේ මුහුණු ප්‍රේතයන්ට ඇත. මුහුණේ සෑම දශමයක්‌ම විකෘතිය. සමහර මුහුණු පැතැලිය. දිගය. රවුම්ය. ඇස, කණ, නාසය, නළල, හිස ඇත්තේ විකෘති ස්‌වභාවයන්ගෙන් යුතුවය. ප්‍රේතයා යනු විකෘති නිර්මාණයකි. ප්‍රේතයාට තිබෙන්නේ ඕලාරික කයකි. සමාධිය වඩන්නාට එම ඕලාරික කය සියුම් ඝණ ස්‌වභාවයෙන් දැකිය හැකිය. ප්‍රේතයාගේ ඕලාරික කය තුළ මනුෂ්‍යයාට, දෙවියාට, බ්‍රහ්මයාට සේම ආයතන හය පිහිටා ඇත.

එහෙයින් ප්‍රේතයාටද සිත් ඇතිවේ. ප්‍රේතයා අනිත්‍යභාවයට පත්වෙන සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, ඕලාරික කයක්‌ද, ඇතිවෙමින් නැතිවෙන සිතක්‌ද ඇති සත්වයෙකි. ප්‍රේත ලෝකයේ ප්‍රේතයෝ සහ ප්‍රේතියෝ දෙකොට්‌ඨාසයම සිටිති. මේ අය නිරතුරුවම අඳුර සහ ගුප්ත භාවය තුළ ජීවත්වන නිසා ඒ අයට නිතරම බය සහ ගැටීම තුළ ජීවත්වීමට සිදුවේ. එය අතීත කර්මයේ ප්‍රතිඵලයකි. බය සහ ගැටීම තුළ නිරතුරුවම ජීවත්වීම නිසා, ප්‍රේතයාගේ සිත වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වැනි අකුසල් ධර්මයෙන්ගන් පිරී පවතී. ප්‍රේත ලෝකයේ ජීවත්වන සෑම තත්පරයකදීම ඔහු රැස්‌කරන්නේ අකුසල්ය. කුසල් අකුසල් ගැන ප්‍රේතයාට හැඟීමක්‌ නොමැත. එය ඔහුගේ කර්මයයි. දිව්‍ය, මිනිsස්‌ ආත්මවල ඉපිද, කරගත් කර්මයන් හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගන්නා ප්‍රේතයෝ විවිධ ස්‌වභාවයන්ගෙන් යුක්‌තය.

භික්‍ෂුවට හමුවූ ප්‍රේතයන්ගේ ස්‌වභාවය හරිම අපූරුය. එක්‌ ප්‍රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්‌ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌වලින් ගින්දර නිකුත්වේ. ඇස්‌ නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්‍රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය.

තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌ වලින් සුදු ආලෝක දෙකක්‌ නිකුත් වේ. බල්බ දෙකක්‌ සේය. අධික තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තද, අනුනට ධර්මය කියාදීම, අධ්‍යාපනය ලබාදීම වැනි හේතූන් නිසා ඇස්‌වලින් ආලෝකය නිකුත්වනවා වියහැකිය. තවත් අවස්‌ථාවක විකෘති නොවූ ශරීරයක්‌ සහිත, හිස මුඩුකරන ලද, රවුම් පැහැපත් මුහුණක්‌ සහිත, සිවුරක්‌ දරාගත් භික්‍ෂු ප්‍රේතයෙක්‌ ආරණ්‍ය බිමකදී දුටුවේය. පෙර ආත්මයේ ඔහු භික්‍ෂුවක්‌ විය හැකිය. සිවුපසයට අධික තණ්‌හාව හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගත්තද, කරන ලද පිං සහ ආමිස පූජාවන් නිසා විකෘති නොවූ ශරීරයක්‌ ලැබුවා විය හැකිය. මෙම ආරණ්‍ය භූමියේදීම සුදු ජාතික ප්‍රේතයෙක්‌ හමුවිය. ඔහු විදේශීය බටහිර ජාතික ස්‌වරූපයෙන්ම යුක්‌ත විය. ඔහුද විකෘති ස්‌වභායක්‌ නොමැති ශරීරයක්‌ ඇති ප්‍රේතයෙක්‌ වෙයි. ඔහු සමහරවිට ගිහි භාවයෙන් ආරණ්‍යයේ සිටි විදේශිකයෙක්‌ හෝ මෙම ඉඩම්වල අතීත අයිතිකාර විදේශිකයෙක්‌ වීමට පුළුවන්. එහෙත් එම සුදු ජාතික ප්‍රේතයා කරන ලද පිං හේතුවෙන් විකෘති නොවූ ප්‍රේත ආත්මයක්‌ ලැබුවද අවසාන චුති සිතේ ඇතිවූ තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තා විය හැකිය.

ප්‍රේතයන් නිතරම කපුටන් සේ කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය කරන පිරිසකි. ඔවුන් දර්ශනය වීමේදී සමහරවිට සිය ගණන් සිනමා පටයක්‌ සේ දර්ශනය වේ.

ප්‍රේත ලෝකයේ මහා අරුමය සත්ව ප්‍රේතයන්ද සිටීමයි. එක්‌ ආරණ්‍ය බිමක භික්‍ෂුව වැඩසිටියදී ප්‍රේත හෝ භූත ස්‌වභාවයේ මීහරකුන් තුන්දෙනෙක්‌ දුටුවේය. තුන්දෙනාගේම පැහැය ලා දුඹුරු පාටය. කිසිදු විකෘතිභාවයක්‌ නොමැතිය. සාමාන්‍ය මීහරක්‌ ස්‌වභාවයේය. එක පේලියට මේ භූත මීහරක්‌ තුන්දෙනා හිස සොලවමින් සිටියහ. මොවුනගේ කටවල් ඇලී තිබිණි. භික්‍ෂුව මේ ගැන සොයා බලන විට දැනගන්නට ලැබුණේ එම ආරණ්‍ය පිහිටුවීමට පෙර එම ආරණ්‍ය පිහිටි කැළය, මස්‌ සඳහා හොර හරක්‌ සහ මී හරක්‌ මරණ ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ව තිබූ බවයි. ඒ මීට වසර 50කට පෙරදීය. අතීතයේ හොර හරක්‌ මැරූ මිනිසුන්, ඒ අය කරන ලද ප්‍රාණඝාත අකුසලය නිසා භූත මී හරක්‌ ලෙස උපත ලබා ඇතැයි අනුමාන කළ හැකිය. බලන්නකෝ කර්මය පසුපසින් එන ස්‌වභාවය. ඔබ ආසා කළ ස්‌වරූපයෙන්ම කර්මය ඔබට විපාක දෙනවා. භූත මීහරකුන්ගේ කටවල් ඇලී තිබුණේ ඔවුනට ආහාර නොලැබීමටය. එයද කර්මයේ විපාකයකි. ඔය භූත ආත්මයෙන් මිදෙන තෙක්‌ එම භූත මීහරක්‌ නිරාහාරව දුක්‌ විඳී. මේ ආකාරයෙන් භූත කුකුලන්ද, වනගත කුටි වලදී භූත මුවන්ද දර්ශනය වී ඇත. මේ සියල්ලන්ම පෙර මිනිස්‌ ආත්ම වල ඉපිද සත්ව ඝාතනය කර හරක්‌, මී හරක්‌, කුකුළන්, මුවන් මරා මස්‌ කමින් ජීවත් වූ සතුටු වූ මිනිසුන්ය. ඔවුනට ඔවුන් කළ කර්මය අනුරූපීව ප්‍රතිසන්ධිය ලැබී ඇත. ඔවුන් විසින් කැමැති කළ දෙය ඔවුනට ලැබී ඇත. තමා කෑමට ආසා කළ මස තමාගේම මස බවට පත්වී ඇත. ප්‍රේත ලෝකයේ ජීවත්වන කිසිවෙක්‌ උරණ නොවිය යුතුය. මන්ද තමන් කැමැති කළ දෙය තමන්ට දැන් ලැබී ඇත.

ප්‍රේතයන්ගේ ලෝකයට වඩා ප්‍රේතියන්ගේ ලෝකය හිරිකිතය. භික්‍ෂුවට දර්ශනය වූ එක්‌ ප්‍රේතියක්‌ කාමය වරදවා හැසිරීමේ වරදට ප්‍රේත ලෝකයට වැටුණු කුණු ප්‍රේතියක්‌ය. ඇය කාමය උදෙසා අඩ නිරුවත්ව ජීවත් වේ. ශරීරය හරිම අපුලය. මුහුණ විරූපීය. ශරීරය කුෂ්ඨ පිරී ඇත. බලන්න අප්‍රසන්නය. මිනිස්‌ ස්‌ත්‍රියකගේ ස්‌වරූපයෙන්ම අඟපසඟ දර්ශනය වෙයි. පෙර ආත්මයේ කාමයේ වරදවා හැසිරීම නිසා ඇයට ලැබී තිබුණේ, දැකීමට අප්‍රසන්න ශරීර ස්‌වභාවයක්‌ය. ඇය කාමය යදිමින්, කාමය සොය සොයා ඇවිදී. ඇයගේ අකුසල් කර්මය නිසා ඇයට කාමය නොලැබේ. ඇය කාමය යදින්නේ එනිසාය. මෙවැනි කාම ප්‍රේතියක්‌ මනුෂ්‍ය ලෝකයේ ස්‌ත්‍රියක්‌ ලෙස ජීවත්වීමේදී ලැඡ්ජාවක්‌ බියකින් තොරව වරදේ බැඳීමට ක්‍රියා කිරීමේ පාපයෙන් මෙම ප්‍රේත ආත්මය ලැබී ඇත. මිනිස්‌ ලෝකයේ සේම ප්‍රේත ලෝකයේදීද මෙම ප්‍රේතියෝ මහා අකුසල් සිදුකරගනී. මැය මෙම භික්‍ෂුවගෙන්ද කාමය යැද්දාය. එම සිත ඇයට ඇතිවෙද්දීම ඇය පිච්චී ගියාය. නිරයේ ගිනිදැල් මතටම ඇය වැටුණි. භික්‍ෂුව ඒ බව දැන ගත්තේ ඇය ලතෝනි දෙමින් අතුරුදන්වූ නිසාය. බලන්න හොඳ සිහි බුද්ධියෙන්. මෙම ප්‍රේතිය මිනිස්‌ ලෝකයේ ඉපදිලා ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරිලා, ප්‍රේතියක්‌ වෙලා ප්‍රේත ලෝකයේද කාමය වරදවා හැසිරිලා නිරයේ ගිනිදැල් මතට වැටී පිච්චෙනවා. මොන අභාග්‍යයක්‌ද. මෙය එම ප්‍රේතියගේ කථාව පමණක්‌ නොව ඔබගේද කථාව විය හැකිය.

මේ රටේ මොනතරම් ගණිකා නිවාස තිබෙනවාද? මොන තරම් වැරදි කාම සේවනයන් සිදුවනවාද….. ඔබ එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම කරන අයගේ අනාගත ප්‍රතිඵල තමාම ලියන විභාගයේ ප්‍රතිඵල තමයි.

නවීන තාක්‍ෂණික ලෝකයේ මාධ්‍ය මාරයින් අහිංසක ඔබට දිගුකරන ප්‍රේත ලෝකයේ දෑත, ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න. ඔබත් මාධ්‍ය දරුවනුත් සුවසේ සැනසෙන්න.

තවත් අපූරු ප්‍රේතියක්‌ ගැන සටහනක්‌ තබමි. ඇයගේ මුහුණ විරූපී නොමැත. එය බැලූම් බෝලයක්‌ වගේ රවුම්ය. මිටි මහත ප්‍රේතියකි. ඇය පැහැපත්ය. ඇයට බැරලයක ස්‌වභාවයේ තර ශරීරයක්‌ විය. ඇය සිටියේ ඇඳුමක්‌ ඇඟලාගෙනය. දෑත් දෙපා බරවා රෝගය සෑදුනු අයකුගේ මෙන් මහතය. මේවා කර්මයේ විපාකයි. ඇය මෙම භික්‍ෂුවට දර්ශනය වන මොහොතේ සිටියේ මැද පෙරදිග රැකියාවකට ගොස්‌ එනවිට රැගෙන එන ආකාරයේ විශාල ප්‍රමාණයේ සූට්‌ කේස්‌ එකක්‌ සහ සුවඳ විලවුන් බෝතල් දෙකක්‌ අතේ තබාගෙනය. එක අතක සූට්‌කේසයද, අනෙක්‌ අතේ කුඩා සුවඳ විලවුන් බෝතල් දෙකද විය .මෙම ප්‍රේතිය සුවඳ විලවුන් බෝතල් දෙක දිගු කරමින් කාමය යදී. “ඩුබායි” සූට්‌ කේසයද ඇය අතේය. ඇය නියත වශයෙන්ම මනුෂ්‍ය ලෝකයේ ඉපිද, විදේශ රැකියාවකට මැද පෙරදිග ගොස්‌ පැමිණ දැඩි ලෙස කාමය වරදවා හැසිරීමේ අකුසල විපාකයෙන්, මිනිස්‌ ලොව ජීවත් වන විට තිබූ “මැද පෙරදිග ” සංඥාව සමඟම ප්‍රේතාත්මයක්‌ ලද කාම ප්‍රේතියකි. වර්තමාන සමාජය දෙස බැලීමේදී මේවා සිදුවිය නොහැකි දේවල් යැයි බැහැර කරලිය නොහැක. මෙහි සටහන් තැබුවේ භික්‍ෂුවක්‌ සමාධිය තුළදී දුටු සත්‍ය සිද්ධීන්ය.

ප්‍රේතයන්ගේ ලෝකය අඳුරුය. බිය, තැතිගැන්ම නිසා කලබලකාරීය. ඔවුනුත් සොයමින් ඇවිදින්නේ කාමයයි. ඔවුන්ද යන්නේ මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ අතීතයේ ජීවත්වීමේදී ඔවුන්ට තිබූ සංඥා විඳීම්, රස වින්දන සඳහාය. එහෙත් ඔවුනට අකුසල් බලය නිසා ලැබෙන්නේ දුකමය. කර්මය සහ විපාකය ඉතා හොඳින් ගැලපෙන ලෙස ලෝකය නිර්මාණය වී ඇත. මනුෂ්‍ය ලොකයේදී ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරීමෙන් සතුටුවේ. එහි විපාක ලෙස කාම ප්‍රේතියක්‌ව ඉපිද, කාම පිපාසය තිබුණිද එය සංසිඳුවාගැනීමට නොහැකිව දුකට පත්වේ. එම නිසාය ප්‍රේතිය සුවඳ විලවුන් දිගුකරමින්, ඩුබායි බෑගය පෙන්වමින් කාමය යදින්නේ කර්මය සහ විපාකය හොඳින් ගැලපෙන නිසාය. නෑනා මස්‌සිනා විවාහය වගේය. මේ හැම සිද්ධියකින්ම නැවත නැවත ඔප්පුවන්නේ ලොව්තුරා ධර්මයේ සත්‍යතාවයි.

ඔබද ලොව්තුරා මඟ නිවැරැදිව හඳුනාගන්න. ඔබ සියල්ල අතහරින්න. එවිට සියල්ල ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය. අතහැරීමෙන් ලැබෙන මේ සුන්දර අත්දැකීම ඔබ ඔබේත් අත්දැකීම කරගන්න. බව ගින්නෙන් නිවී යන්න.

භික්‍ෂුව මේ සටහන් තබන්නේ ඔබේ තෘප්තිය සඳහා නොවේ. අවබෝධය සඳහාය. මේ ඝෝර, කටුක, භයානක සංසාරය සත්වයා දුක සොයාගෙන යන ගමනේ කැඩපතකි. දයාබර පිංවත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න. ඔබට පෙනෙන්නේ ඔබේම මුහුණ නම් ඔබ සතුටුවෙන්න. ඔබට පෙනුණේ පෙරේතයකුගේ පෙරේතියකගේ මුහුණ නම් ඔබ වහාම අප්‍රමාදීවන්න. ප්‍රමාදය දුකට හේතුවනු ඇත. භික්‍ෂුවට වරක්‌ දර්ශනය වූ කිසියම් ප්‍රේතයෙක්‌ ප්‍රේතියක්‌ නැවත දර්ශනය වී නොමැත. සමහර විට පිං ගැනීමට හැකි ප්‍රේතයන් මෙසේ දර්ශනය වී පිං අනුමෝදන්ව ප්‍රේත ලෝකයෙන් චුතවනවාදැයි භික්‍ෂුව නොදනී.

ප්‍රේතයින්ගේ ආධ්‍යාත්මය තුළ යටපත්වී ගිය කුසල ශක්‌තියක්‌ ඇත. එම යටපත්වූ කුසල් ශක්‌තිය යම් අවස්‌ථා වලදී මතුකර ගැනීමට ප්‍රේතයාටද හැකිය. තණ්‌හාවෙන්, රැස්‌කරමින්, ගොඩගසාගනිමින්, දිවා රාත්‍රී නිදි නොලබා ඔබ වෙහෙසෙන්නේද ඉහත නුවරට නෑගම් යැම සඳහාමය. ඔබට පුළුවන් ඔබ ගැන ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරගන්න. සමාජයේ හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි පිනක්‌ කරගන්න තිබෙන අවිවේකය. විවේකය නැති නිසා සමහරු පොහොය දවසට පන්සලට යන්නේ නැහැ. ගෙදර බුදුන් වඳින්නේ නැහැ. පෝයට සිල් සමාදන් වන අම්මලා තාත්තලා ගෙදර දරුවන්ගේ ප්‍රශ්න ලෙඩරෝග ඇතිවුණොත්, මුණුබුරා අසනීප වුණොත්, බලාගන්න කෙනෙක්‌ නැති වුණොත් සිල්ගන්න එන්නේ නැහැ. රජකාරී, වගකීම්, ව්‍යාපාර නිසා හටගත් අවිවේකයෙන් තමන්ගේ ගෙදර තිබෙන පිංකමට නොයන අයත් ඉන්නවා. තණ්‌හාව බදාගැනීම හැර වෙන මොකුත් මෙහි නැහැ. පිංකමෙන් ලැබෙන පිනට වඩා සැපයක්‌ ඔවුන් සොයනවා. මේ අය හදිසියේ මියගියහොත් ඔබ හිතනවාද විවේකයෙන් පණ යාවි කියලා. පණ යන්නේ අවිවේකයෙන්මයි. ඒ කියන්නේ ගැටෙන සිතෙන්මයි. ප්‍රතිඵලය ප්‍රතිසන්ධිය සතර අපායයි. ඔබට බැරිනම් දින කීපයක්‌ ඔබේ දේපළ, ව්‍යාපාර, අඹු සැමියන්, දුවා දරුවන්, වගකීම් අතහැර නිදහසේ දුර බැහැරක, වන්දනාවක, හුදෙකලාවේ යන්න මේවායින් මිදිලා. මේවා අතහැරලා දින කිහිපයක්‌ හුදකෙලාවේ සිටින්න. ඔබ ස්‌ථිර වශයෙන් දැනගන්න ඔබ මියයන මොහොතේත් ඔබට බැරිවෙනවා මේවා අතහැරගන්න. මැරෙන මොහොත අති වේගවත්ම සිත් ඇතිවෙන නැතිවෙන මොහොතක්‌. ඔබව කම්පනය වන මොහොතක්‌. ඔබ සූදානම් නොවී සිටියොත් ගැටෙන සිත ඊළඟ ප්‍රතිසන්ධිය අල්ලා ගන්නේ ප්‍රේත ලෝකයමය. පිං කළා කියා වැඩක්‌ නැත. අතහැරීම පුරුදු කොට තිබිය යුතුය. මැරෙන මොහොතේ ඇතිවන තණ්‌හා සිතිවිලි අතහැරීමට අවබෝධය තිබෙන්නට ඕනෑය. භික්‍ෂුව දුටු ප්‍රේත ලෝකයේ භික්‍ෂුව එවැනි චරිතයකි. පිං කිරීම නිසා විකෘති නොවූ ප්‍රේත ශරීරයත්, තණ්‌හාව නිසා ප්‍රේත ජීවිතයත් ඔහුට ලැබී ඇත. ප්‍රේත ලෝකයට තණ්‌හාව බැසගත්තද කළ පිංකම් නිසා ලස්‌සන ශරීරයක්‌ ලැබීය.

එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවට තමන් ගැන මෙසේ ප්‍රකාශයක්‌ කළේය. “ස්‌වාමීන් වහන්ස මම දැන් ව්‍යාපාර වලින් නිදහස්‌ වෙලා ගොඩක්‌ විවේකයෙන් ඉන්නේ. හැම සතියකම වන්දනාවේ යනවා. දඹදිව වන්දනා කිරීමට කිහිප වතාවක්‌ම ගියා. බුරුමය, තායිලන්තය යන රටවලටත් වන්දනාවේ ගියා. තව රටවල් හුඟකට යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි බෞද්ධ සිද්ධස්‌ථාන වඳින්න ස්‌වාමින් වහන්සේ මට ආශිර්වාද කරන්න. “එම රටවලට යන්න ලැබෙවා” කියලා” භික්‍ෂුවට ඔහු ප්‍රකාශ කළා. බලන්නකෝ එම මහත්මයා පිංකම් කරගැනීම සඳහා ව්‍යාපාර අතහැරලා කරන පිංකම් වල ස්‌වරූපය. ඔහු ව්‍යාපාරිකයෙක්‌ කියලා තැනින් මිදිලා ඔහු සංචාරකයෙක්‌ වෙලා. අපූරු තෝරාගැනීමක්‌. මේකට තමයි මෝහය කියන්නේ. ඔහු භික්‍ෂුවගෙන් විමසුවා මෙවැනි පිංකම් කිරීමෙන් ලැබෙන විපාක මොනවාද කියලා. භික්‍ෂුව මෙහෙම කිව්වා “ඔබ බලාපොරොත්තු තබාගෙන සිටින්නේ තව හුඟක්‌ බෞද්ධ රටවලට සංචාරයේ යන්න. පිං කරගැනීම සඳහා. ඔබ මියයන විට මෙම බලාපොරොත්තුව සිහිවුනොත් ඔබ නියත වශයෙන්ම සංචාරක පක්‍ෂියෙක්‌ වෙනවා. මොකද ඔබ කැමති සංචාරයට නිසා. ඔබේ කැමැත්ත පරලොවදී ස්‌ථිරවම ඔබට ලැබෙනවා. ඔබ මියයන මොහොතේ ඔබ ඔය වන්දනාවේ ගොස්‌ කරගත්ත මහා පිංකමක්‌ ඔබේ මතකයට ආවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම සශ්‍රීක මිනිස්‌ හෝ දිව්‍ය ආත්මයක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔබේ සිතේ ඇතිවන හැම සිතිවිල්ලකම අනිත්‍ය වශයෙන් දැක්‌කොත් ඒ දකින්නේ ධර්මය නිසා නියත වශයෙන් ඔබ මාර්ගඵල ලාභී දෙවියන් බඹුන් අතර උපතක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔය ගිය වන්දනා ගමන්, කළ පිංකම් මතක්‌ නොවී ඔබට පෙර අතහැරදැමූ ව්‍යාපාර දේපළ, වස්‌තුව මතක්‌වුවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම ප්‍රේත ලෝකයේ උපතක්‌ ලබනව. භික්‍ෂුව ඔහුට අනුශාසනා කළා, ඔබ දක්‍ෂවෙන්න ඔබ කැමැති දෙය තෝරාගන්න කියලා. භික්‍ෂුව දන්නේ නැහැ ඔහු මොන දෙයට කැමැති වුණාද කියලා. හැබැයි එක දෙයක්‌ නම් දන්නවා. එදායින් පස්‌සේ ඔහු භික්‍ෂුව සමග අමනාප බව. මේක තමයි ලෝකයේ ස්‌වභාවය. හුඟක්‌ අය කැමැති බොරු කියලා හරි ඔහුව ඔසවා තබනවාට. ඔවුන් යන ගමනට ලකුණු දෙනවාට.